දොළොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා

උතුරේ මව්වරුන් අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනයේදී විරෝධතා දක්වා තිබේ.

 
 මාරාන්තික වසංගතය පාලනය සදහා රජය විසින් මුළු දිවයිනම අගුලා ලා තිබීම හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ මව්වරුන් සිය නිවෙස් තුළ අගොස්තු 30  වැනි සදුදා දිනයේ විරෝධතා දියත් කළ බවයි පළාත් බද වාර්තකරුවන් පවසන්නේ.
 
 සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ අරගලයක යෙදී සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ  මව්වරුන් 2017 වසරේදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට අද වන විට දින 1653 ක් සම්පුර්ණ වී තිබේ.
 
 මිය ගිය සමීපතමයන් සිහි කරමින් ඉටි පන්දම් දල්වා ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ලියන ලද පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය දියත් කර තිබේ.
 
OMP 1
OMP 2
OMP 3
 
අතුරුදහන්ව සිටින පිරිස් අතුරින් ඇතමුන් විදෙස්ගතව සිටින බවට රජය නියෝජනය කරන ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකුම පසුගිය සමයේ ප්‍රකාශ කර තිබු  බව සිහිපත් කරන මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් ප්‍රබාකරන් රංජනී මාතාව මාධ්‍ය හමුවක් පවත්වමින් අද රජයෙන් ඉල්ලා තිබුනේ එසේ විදෙස්ගතව පිරිසක් සිටීනම් ඔවුන්ගේ නම් හෙළි කරන ලෙසයි.
 
 බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සමීපතමයන් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් විසින්ම ආරක්ෂක අංශ වෙත බාර දුන් පිරිස් බව ඇය එහිදී  වැඩි දුරටත් පවසා තිබුනි.
 
 අම්පාර  දිස්ත්‍රික් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායිකා ටී. සෙල්වරාණි අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කර තිබුනේ සිය සමීපතමයන් සොයා දීම වෙනුවෙන් පසුගිය වසර 12 තුළ බලයට පත් කිසිම ආණ්ඩුවක් කටයුතු කර නැති බවයි.
 
අතුරුදහන් වුවන්ට යුක්තිය ඉටු කිරීම සදහා රජය යෝජනා කරන දේශිය යාන්‍ත්‍රණයක් සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව පවසන ඇය තව දුරටත් සදහන් කර තිබුනේ සිය සමීපතමයන්ට අත්වු ඉරණම සොයා ගැනීම සදහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අත්‍යවශ්‍ය බවයි.
 
 
ඉරණම නොදැන අවසන් ගමනේ
 
 බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ  දියත් කර ඇති අඛණ්ඩ අරගලයට එක්ව සිටි දෙමාපියන් 90 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර තිබේ.
 
 
යුද හමුදාවට භාරවීමෙන් පසුව අතුරුදහන් කරනු ලැබුවන් අතර බාල දරුවන් තිහකට වැඩි සංඛ්‍යාවක්ද ඉන්නා බව උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ සංගමය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වෙත අද යැවූ ලිපියක සඳහන් වේ.
 
 
අවුරුදු තුන හමාරත් පසුකළ OMP කාර්යාලය
 
අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර තුන හමාරක්  පිරි තිබේ.
 
කෙසේ වෙතත්, පසුගිය ආණ්ඩුව විසින් OMP කාර්යාලය පිහිටුවීම “වැදගත් පියවරක්” ලෙසින් නැවත වතාවක්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රසාදයට ලක් වී තිබේ.
 
“ශ්‍රී ලංකාවේ ආණ්ඩුව 2016 දී අතුරුදහන් වූවන් පිළිබඳ  කාර්යාලය ( OMP) පිහිටුවීම වැදගත් පියවරකි. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වන්නේ වින්දිතයන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ විශ්වාසය ගොඩනැගිම සහ පවත්වා ගැනීමය. වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට කිසියම් පිළිතුරක් ලබා ගැනීමට ඉවහල් වන අතිශයෙන් වැදගත් වැඩ කොටස සඳහා සම්පත්, කුසලතා සහ දේශපාලන සහාය ලබන සම්පුර්ණ ස්වාධීන සහ කාර්යක්ෂම ආයතන අවශ්‍ය ය,” යි එක්සත් ජාතීන්ගේ කොළඹ නේවාසික සම්බන්ධීකාරිකා හනා සිංගර් හම්ඩි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නීය.
 
ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද ආයතනයක් එක්සත් ජාතීන් විසින් බලහත්කාරයෙන් පැටවීම කොය්තරම් යුක්ති සහගත දැයි අතුරුදහන් වුවන්ගේ ඥාතීන් එක්සත් ජාතීන්ගෙන් විමසා තිබේ.
 
“මේ OMP කාර්යාලය පිහිටුවා ඇත්තේ බලහත්කාරයෙන් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ අනුදැනුමකින් තොරව රහසිගතවය. අඩුපාඩු සහ ප්‍රවිචාරන කාර්ය සාධක බලකායේ නිර්දේශ සම්බන්ධයෙන් පියවර ගැනීමට අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් විසින් OMP කෙටුම්පත ක්‍රියාත්මක වූදා සිට කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන නැත. එමනිසා අපි මෙම OMP කාර්යාලය විවෘත කිරීමට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් දියත් කළෙමු,” යි සංගමයේ සභාපතිනි යෝගරාසා කලාරන්ජනී සහ ලේකම් ආනන්දනඩරාජා ලීලාදේවී විසින් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ වෙත යවන ලිපියක දැක්වේ.  
 
 
 
ඥාතීන් කෝපයෙන් යුතුව සිටින බව ....
 
මෛත්‍රී රනිල්  ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද කාර්යාලය සම්බන්ධයෙන් ඥාතීන් කෝපයෙන් යුතුව සිටින බව OMP ආරම්භක ප්‍රධානියාද පිළිගෙන තිබුනි.
 
“අතුරුදහන්වීම් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව කෝපයට හා ශෝකයට පත් පවුල් වල සාමාජිකයින් දහස් ගණනක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අපට මුණගැසී ඇති අතර, අතුරුදහන් වීම් සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලියට එරෙහිව විරෝධතාවන්ට සහභාගී වූ, රාජ්‍ය ආයතන කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යනත්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන පිරිස් මේ අතර සිටිති,” යි OMP දෑවුරුදු සමරුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ගේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 
1535037555 saliya piris l
ජනාධිපති නීතිඥ සාලිය පිරිස්
 
 
යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.
 
 ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම ඥාතීන්ට හෙළිකර දීම සඳහා ආණ්ඩුවට “නෛතික හා සදාචාරාත්මක” වගකීමක් ඇතැයි හිටපු  OMP ප්‍රධානියා සිය කාර්යාලයේ දෙවර්ෂ පූර්ණ සංවත්සර නිවේදනයේ සඳහන් කර තිබේ.
 
කෙසේ නමුත් යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 වසරේදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි. ඉන් පසුව ඔහු පවසා තිබුනේ “අතුරුදහන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් පැවසූ බවයි.
 
අරමුදල් නැවැත්වීමේ ජාත්‍යන්තර මෙහෙයුමක්
 
යුද සමයේ හිටපු පොලිස්පතිවරයා ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශයට පත්කිරීම, පසුගිය ආණ්ඩුව යටතේ ස්ථාපිත කරන ලද සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ යාන්ත්‍රණය මිලිටරීකරණය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමක් ලෙසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් 2021 ජුනි මාසයේදී  පෙන්වා දී තිබුනි.
 
 මැයි 20 වැනිදා පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් අනුමත කිරීමෙන් පසුව, හිටපු පොලිස්පති හපු ආරච්චිගේ ජයන්ත ශාන්ත කුමාර වික්‍රමරත්න හෙවත් ජයන්ත වික්‍රමරත්න එම තනතුරට පත් කිරීමට තීරණය කර තිබුනි.
 
 යැස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) එම පත් කිරීම පෙන්වා දී ඇත්තේ අතුරුදහන්වූවන්ගේ පවුල් සඳහා සත්‍යය සහ යුක්තිය සඳහා වූ කවර හෝ අවස්ථාවක් වී නම් එය මකා දමන සිදුවීමක් ලෙසිනි.
 
Yasmin Sooka
 යැස්මින් සූකා
 
"යුද්ධාවසානයේදී සමූහ අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන මගින් නම්කරන ලද පොලිස් ඒකක තුනක් භාරව කටයුතු කළ පුද්ගලයාම දැන් අතුරුදහන්වීම් සම්බන්ධ විමර්ශන සිදුකරමින් සිටියි. මේ වනාහී විදේශගත වුවහොත්, පොලිස් වධහිංසා වැනි බරපතල මානව හිමිකම් උල්ලංණයන්ට අදාළ ඔහුගේ විධාන භූමිකාව හේතුවෙන් සර්ව භෞමික අධිකරණ බලය යටතේ නඩු පවරනු ලැබීමේ අවදානම දරණ ඉහළම රාජ්‍ය නිලධාරියෙකි" යැයි සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්‍ෂිකා සූකා ප්‍රකාශ කළාය.
 
 ආ ගිය අතක් නොමැති සහ බලහත්කාරී අතුරුදහන්වීම් පිළිබඳ ලෝකයේ දෙවැනි විශාලතම සංඛ්‍යාව වාර්තා වී යැයි සැළකෙන ශ්‍රී ලංකාවේ  අතුරුදහන් වූ දස දහස් සංඛ්‍යාතවුන්ගේ ඉරණම පිළිබඳ විමර්ශනය කිරීම භාරව ඇත්තේ OMP කාර්යාලයටය.
 
 එම ආයතනයකට ජාත්‍යන්තර අරමුදල් ලැබීම වැලැක්වීම වෙනුවෙන් තම ආයතනය රහස්‍ය ලේඛන ගොනුවක් බෙදාහරින බවටද  ජුනි 1 අඟහරුවාදා ජොහැන්නස්බර්ග් නුවරින් නිකුත් කළ නවතම නිවේදනය මගින්  සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය දැනුම් දී ති‌බේ.
 
 මීට ඉහතදී අතුරුදහන්වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ සභාපතිවරයා වශයෙන් විනිසුරු උපාලි අබේරත්න පත්කරනු ලැබීම ශ්‍රී ලංකාවේ වින්දිත පවුල් විසින් දැනටමත් හඳුන්වා දී ඇත්තේ 'සෘජු අවමානයක් සහ ප්‍රචණ්ඩක්‍රියාවක් ' ලෙසිනි.
 
මහින්ද රාජපක්ෂ පාලන සමයේ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබන ආරක්ෂක සේනා නිලධාරීන්ට නඩු පැවරීමට එරෙහිව නිර්දේශ ලබා දුන් දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසන් සභාවේ ප්‍රධානියා උපාලි අබේරත්නයි. 
 

 

 

 


 

THE LEADER TV 
 
 
තොග මාසයකට : සීනිත් සලාකයට 
 

 
  
 
විමල් මෛත්‍රී ආණ්ඩුවෙන් එළියට! 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්