රජයේ හමුදා සෙබළුන් විසින් වසර 25 කට පෙර කල්ලි ගැසී දුෂණය කොට මරා දැමූ පාසල් ශිෂ්‍යාවක් වන ක්‍රිෂාන්ති කුමාරස්වාමි යාපනයේදී සමරා තිබේ.
දෙමල ජාතික පක්‍ෂයේ වැල්වැටිතුරෛ ප්‍රධාන කාර්යාලය මගින් සංවිධානය කර තිබු ක්‍රිෂාන්ති කුමාරස්වාමි සමරු උත්සවයට එක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. සිවාජිලිංගම් කියා සිටියේ ''එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් 2015 ඔක්තෝම්බර් පළමු වැනිදා ඉදිරිපත් කළ යෝජනාව අනුව ලංකාවේ යුද අපරාධ සිදුව ඇති බැවින් ජාත්‍යන්තර විනිසුරන් හරහා ඒවා විමර්ශනය කිරීමට ලංකාණ්ඩුව එකඟ වුවද, එය මෙතෙක් ඉටු කිරීමට සමත් වී නැහැ'' යනුවෙනි.
ක්‍රිෂාන්ති කුමාරස්වාමි
එසේ ජාත්‍යන්තර පොරොන්දු ඉටු කිරීම මග හැර සිටි ආණ්ඩුව ජාත්‍යන්තර බලපෑමක් ඇතැයි මැසිවිලි නැගීමේ තේරුමක් නොමැති බව සිවාජිලිංගම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර බලපෑම් ගැන විදේශ ඇමැති ජි.ඇල්.පීරිස් විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරුක් වශයෙනි.
චුන්ඩිකුලි මහා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා ශිෂ්‍යාවක වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි 1996 ඔක්තෝම්බර් 6 වැනිදා උසස් පෙළ විභාගයට පෙනී සිට නැවත ගෙදර යමින් සිටිය දී චෙම්මනි මුරපොලේ සිටී හමුදා සෙබළුන් විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සාමුහික දුෂණයකට ලක් කොට මරා වළ දමා තිබිණි.
ඈගේ ප්‍රමාදය නිසා කලබල වූ ඇගේ මව වූ රාසම්මා කුමාරස්වාමි, ප්‍රාණවන් කුමාරස්වාමි සහ කුමාරස්වාමි පවුලේ හිතවතෙකු වූ සිදම්බරම් කිරුබමූර්ති සමඟ ඇය සොයා චෙම්මනි මුරපොල වෙත ගොස් විමසා තිබේ.
ක්‍රිෂාන්ති ගැන කිසිදු තොරතුරක් තමන් නොදන්නා බව පැවසූ මුරපොලේ සෙබළු ඔවුන් තිදෙනා බංකරයක් තුළට ගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා තබා ඇත. එදින රාත්‍රියේදී හමුදා සෙබළුන් විසින් ප්‍රාණවන් සහ කිරිබමූර්ති කඹයකින් ගෙල සිරකර මරා දමා සිරුරු දෙක ආරක්ෂක මුරපොල පිටුපස වළ දැමූ අතර ඔවුන්ගේ ඇඳුම් වෙනම වළක වළලා තිබේ. රසම්මා ද ඒ ආකාරයෙන්ම ඝාතනය කළ මේ හමුදා සෙබළු මුරපොල පිටුපස ඇගේ සිරුර වළ දැමූහ.
ක්‍රිෂාන්ති කුමාරස්වාමි සාමුහික දුෂණය කර මරා දමා ඇති බවට රජයේ හමුදා වෙත එල්ලවූ චෝදනා කෙරෙහි පරීක්ෂණ පැවැත්වීමට එවක පැවති චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවට ජාත්‍යන්තර බලපෑම් එල්ලවිය.
ඉන් ටික කලකට පසු අතුරුදහන් වූ සිවිල් වැසියන් සිව්දෙනකු සම්බන්ධයෙන් යුද හමුදා බලධාරීන්ට ලැබුණු නිර්නාමික පෙත්සමක් ඔස්සේ කරන ලද පරීක්ෂණයක් අනුව චෙම්මනි හමුදා මුරපොල වෙත අනුයුක්ත කර සිටී හමුදා සෙබළුන්ගෙන් ප්‍රශ්න කෙරිණි.
ඒ අනුව, දිරාපත් වූ සිරුරු හතරක් සහ ඇඳුම් ආයිත්තම් සොයා ගත්තේ චෙම්මනි හමුදා මුරපොල අසල වල දමා තිබියදීය.
හමුදා සෙබළුන් 9 දෙනකුට විරුද්ධව චෝදනා 18කින් යුක්ත අධිචෝදනා පත්‍ර ගොනු කිරීමෙන් අනතුරුව මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නඩුව විභාග කරමින් විත්තිකරුවන්ගේ පාපොච්චාරණය ඔස්සේ සොයාගත් සාක්ෂි මෙන්ම අනෙකුත් වාචික සාක්ෂි මත තීන්දුව ලබා දෙන ලදී.
ඉන් අපරාධ චෝදනා ඔප්පු වූ හමුදා සෙබළුන් 5 දෙනකුට මරණ දඩුවම නියම කෙරුණු අතර තවත් චූදිත හමුදා සෙබළු තුන් දෙනෙකුට විසි පස් වසරක සිර දඩුවම් නියම විය. තවත් විත්තිකාර හමුදා සෙබළු 4 දෙනකු නිදොස් කොට නිදහස් කෙරිණි.
මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් චූදිතයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය සහ අධිනීතිඥ රංජිත් ප්‍රනාන්දු ප්‍රධානව තවත් අධිනීතිඥවරුන් කිහිප දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කළද, එය විභාග කළ එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි බණඩාරණායක ප්‍රධාන පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ අභියාචනාව නිශ්ප්‍රභ කරමින් මහාධිකරණයේ තීන්දුව ඒ ලෙසම ක්‍රියාත්මක කළ යුතු බවයි.
1971 අප්‍රියෙල් තරුණ නැගිටීමේ සිටම ශ්‍රී ලංකා රජයේ හමුදාවට එරෙහිව සාමුහික ස්ත්‍රී දුෂණ චෝදනා රැසක් එල්ල වී තිබේ. ඉන් කිහිපයකට පමණක් නිතිය ක්‍රියාත්මක වී අදාළ අපරාධකරුවන්ට දඩුවම් ලබා දුන්න ද උතුරේත් දකුණේත් බහුතරයක් මෙවැනි අපරාධ ඉතාම සැලසුම් සහගතව යටපත් කොට දමා තිබේ.
යුද්ධය අවසන් දින කිහිපය දී මෙවැනි සාමුහික ස්ත්‍රී දුෂණ රැසක් පිළිබඳව යුද හමුදාවට පොලිසියට එල්ල වී තිබුන ද ඒ ගැන කිසිදු පරීක්ෂණයක් නොකර අපරාධකරුවන්ට දඩුවම් නොදී ආණ්ඩුව මග හැර සිටීමෙන් යළිත් එවන් අපරාධ සිදු විය හැකි බවට එම් කේ. සිවාජිලිංගම් අනතුරු අඟවීය.
THE LEADER TV
සැප ගන්න රුසියාවට ගිය අයගෙන් අපුරු යෝජනාවක් !
අන්ධකාරයේ රිදී රේඛාව