leader s

ලංකාවේ කලෙක හිටියේ ශ්‍රීලංකාකාරයන් හා යූඇන්පීකාරයන්ය.

එහෙත් රාජපක්ෂ යුගයේදී ශ්‍රීලංකාකාරයන් වෙනුවට රාජපක්ෂලාට වන්දනාමාන කරන රාජපක්ෂ භක්තිකයෝ ඉදිරියට ආවෝය. ශ්‍රීලංකකාරයෝ වැඩි පිරිසක් රාජපක්ෂ වහලුන් බවට රූපාන්තරණය වූහ. ඉතිරි ශ්‍රීලංකාකාරයෝ දුර්වල වූහ. ශ්‍රීලංකාකාරයන් සංඛේතවත් කළ නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක රාජපක්ෂ යුගයේදී කැපීමට ලක්විය.

Text 04බණ්ඩාරවෙල පදිංචිකරුවෙකු වන ලියුම්කරුට ඒ ගැන පෞද්ගලික අත්දැකීම්ද ඇත. පරන ශ්‍රීලංකාකාරයන් රාජපක්ෂ යුගය ගැන කේන්තියෙන් සිටි අයුරු සිහිවෙයි. වැලිමඩ ප්‍රදේශයේ හිටපු ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු වන 'මද්දු' (එස්.ඒ.ආර්. මද්දුමබණ්ඩාර) වැනි අය ශ්‍රීලනිපය ගොඩ ගැනීම වෙනුවෙන් ඡන්දවලට ඉදිරිපත් විය. (ලියුම්කරුගේ පියාද එවැනි පෙරමුණුවල ඡන්ද මෙහෙයුම්වල සිටි අයෙකි) මද්දුමබණ්ඩාර මහතා ජනාධිපතිවරණයකටත් ඉදිරිපත් වුණේය.

යහපාලන ආණ්ඩුව සමයේදීද ශ්‍රීලනිපය එජාපය සමග එකට සිටි නිසා ශ්‍රීලංකාකාරයන්ට ඒ යුගයද යහපත් එකක් නොවීය. එහෙත් කිසි තැනක ඇණ ගැසුවොත් ශ්‍රීලංකාකාරයන්ගේ හැඟීම් ඇවිස්සීම කළ හැක්කකි. ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් සිතන අන්දමට එය මේ තීරණාත්මක මොහොතේ කළ යුත්තකි.

 

ශ්‍රීලනිපයට තෝරාගැනීම් තුනක් :

එක : පොහොට්ටුව සමග සන්ධානගතවීම :

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන්නේ කුමක්දැයි තවමත් එම පක්ෂය නිල වශයෙන් ප්‍රකාශ කර නැත. සැප්තැම්බර් 03 වැනිදා ශ්‍රීලනිප ජාතික සමුළුව පැවැත්වීමට නියමිතය. එම සමුළුවේදී ශ්‍රීලනිපය කරන්නේ කුමක්දැයි නිල වශයෙන් ප්‍රකාශ කරන බව පසුගිය සතියේ 'අනිද්දා' පුවත්පත සමග අදහස් දැක්වූ මහින්ද අමරවීර මන්ත්‍රීවරයා කීය. ඒ බව ඔහු අගෝස්තු 15 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදීද කියා තිබුණී.

ඇත්තෙන්ම ශ්‍රීලනිපයට තෝරාගැනීම් කිහිපයක් ඇත. හැම තෝරාගැනීමකටම අදාලව ගෙවිය යුතු මිලක් ඇත. එකක්වත් බැලූ බැල්මට වාසි සහගත නැත. හැම තෝරා ගැනීමක්ම අවාසි සහගත යැයි බැලූ බැල්මට පෙනෙයි. ප්‍රායෝගිකව බැලුවහොත් ශ්‍රීලනිපය අද ජනාධිපතිවරණයක් ජයගත හැකි පක්ෂයක් නොවේ. ඒ නිසා පහසු තෝරා ගැනීමක් නැති වීම පුදුමයක් නොවේ.

text 05පළවැනි තේරීම වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කොන්දේසි විරහිතව සන්ධානගත වීමයි. හේතුව පොදුජන පෙරමුණ ශ්‍රීලනිපය සමග කොන්දේසි සහිතව සන්ධානගත වීමට කැමැත්තක් දැක්වීමයි. පොදුජන පෙරමුණේ ප්‍රබලයන් වන ප්‍රසන්න රණතුංග වැනි අය ප්‍රසිද්ධියේ කියන්නේ ශ්‍රීලනිපය සමග එක් නොවීම පොදුජන පෙරමුණට යහපත් බවයි. ඕනෑතරම් ශ්‍රීලනිපයට පොදුජන පෙරමුණේ ලැයිස්තුවෙන් ඡන්දවලට ඉදිරිපත් විය හැකි බව පමණක් පොදුජන පෙරමුණ ශ්‍රීලනිපයට දී ඇති ඉඟියයි.

එලෙස කොන්දේසි විරහිතව එකතුවීමේ අවාසිය සියල්ලෝ දනිති. පොදුජන පෙරමුණ මේ වෙද්දී රාජපක්ෂ පවුල කේන්ද්‍රකරගත් මැතිවරණ ව්‍යාපාරයකය. ශ්‍රීලනිපය තබා පොදුජන පෙරමුණ සමග මෙතෙක් කාලයක් සිටි අනෙකුත් පක්ෂ ගැන පවා පොදුජන පෙරමුණ තඹේකට තකන්නේ නැත.

පොදුජන පෙරමුණ සිය දීර්ඝකාලීන පැවැත්ම ගැන කල්පනා කරද්දී ශ්‍රීලනිපය මරා දැමීමිම අත්‍යවශ්‍ය කාරණයකි. ඉතින්, මාරයාට බෙල්ලදීම මේ මොහොතේදී ශ්‍රීලනිපය පැත්තෙන් අවාසිසහගතම තීන්දුවකි.

 

දෙක : එජාපය සමග සන්ධානගත වීම !

අනෙක් තෝරාගැනීම එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වීමයි. අප මොහොතකට ශ්‍රීලනිපය පැත්තෙන් කල්පනා කළොත් එයත් පහසු තීන්දුවක් නොවෙයි. ශ්‍රීලනිපයේ පදනම සම්පූර්ණයෙන්ම දියවීමේ අවදානමක් තිබීම එය හේතුවක් වෙයි.

පළමු තෝරාගැනීම් දෙකෙන් කුමන තෝරාගැනීම කළත් එය ශ්‍රීලනිපයට තාවකාලික වාසියකි. ශ්‍රීලනිපයේ දැනට තිබෙන ප්‍රබලයන්ට යාන්තමින් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දිනා ගැනීමට එයින් හැකිවනු ඇත. එහෙත් ඉහත කී පක්ෂ දෙක සමග එකට කටයුතු කිරීම අසීරු කටයුත්තකි.

 

තෙවැනි තෝරා ගැනීම:

ශ්‍රීලනිපයට ඇති තෙවැනි තෝරා ගැනීම ජනාධිපතිවරණයට තනිව ඉදිරිපත් වීමයි. ඉන්පසුව එන මහමැතිවරණයටද තනිව ඉදිරිපත් වීමයි. එයද අසීරු කටයුත්තකි. ජනාධිපතිවරණය ජයගැනීමේ හැකියාවක් කිසිසේත්ම ශ්‍රිලනිපයට නැත.

ලංකාවේ මැතිවරණ ක්‍රමය අනුව මහමැතිවරණවලදී ආසන කිහිපයක් දිනාගැනීමද ශ්‍රීලනිපයට අසීරු කටයුත්තක් වනු ඇත. එහෙත් මන්ත්‍රීධූර කිහිපයක් හා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් දිනාගැනීමේ හැකියාවක් ශ්‍රීලනිපයට නැතැයි කිසිසේත්ම කිව නොහැකිය. ජවිපෙට එය කළ හැකි නම් ශ්‍රීලනිපයටද කළ හැකිය.

වඩා අසීරු තෝරාගැනීම වන්නේ තෙවැන්නයි. එයට දැවැන්ත ධෛර්යයක් අවැසිය. එහෙත් දීර්ඝකාලීනව වාසිදායක තෝරාගැනීම වන්නේ එයයි.

 

''පොදුජන පෙරමුණට ඉන්නේ රාජපක්ෂලා පමණයි''

දයාසිරි ජයසේකර පසුගිය සතියේ අනිද්දා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වූ කාරණයක් ඇත. ඔහු කීවේ මේ වෙද්දී පොදුජන පෙරමුණට ඇත්තේ රාජපක්ෂලා පමණක් බවයි. පොදුජන පෙරමුණට ජනප්‍රිය තරුණ නායකයන් නැත. වියපත් රාජපක්ෂලාට කිහිපදෙනෙක් පමණක් ඇත.

text 06පොහොට්ටු උරුමය ඉදිරියට ගෙනයෑමට තරම් කැරිෂ්මාවක් නාමල් රාජපක්ෂට හෝ ශෂීන්ද්‍ර රාජපක්ෂට නැති බව පැහැදිළිය. ඉතින්, ඉදිරියේදී එන මැතිවරණවලදී ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව පරාජය වුණොත් ඒ පක්ෂය ලත් තැන ලොප් වනු ඇත. ඒ පොහොට්ටුවට ගුලි නොවී ඈතින් සිටියොත් ශ්‍රීලනිපයට නැවත නැගී සිටීමේ හැකියාවක් ලැබෙනු ඇත.

ඉදිරි මැතිවරණ ජයගැනීමට ශ්‍රීලනිපයට නොහැකි වුණත් අනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ඈත්ව සිටියොත් ඔවුන්ට ඒ පක්ෂ දෙකම නිදහසේ විවේචනයට ලක් කිරීමේ හැකියාව ඇත. ශ්‍රීලනිපයට එය වාසියක් වනු ඇත. ශ්‍රීලනිපයට ආදරය කරන පාක්ෂිකයන් විශාල පිරිසක් අදටත් සිටී. අසීරු කාලයේදී ඒ පිරිස ශ්‍රීලනිපය සමග සිටිනු ඇත.

ඩාලි පාරේ කාර්යාලය හා පක්ෂ ලාංඡනය හැර සම්පූර්ණ ශ්‍රීලනිපය අප අතේයැයි රාජපක්ෂලා පාරම්බෑවත් එය ඇත්තක් නොවේ. සැබෑ ශ්‍රීලංකාකාරයන් හා රාජපක්ෂ වහලුන් කියන්නේ දෙපිරිසකි.

ශ්‍රීලංකාකාරයන් එක් කාලයක සුදු නෙළුම් ව්‍යාපරය වෙනුවෙන් වෙහෙස විය. එක්සත් ජාතික පක්ෂයේ අඳුරුම පාලන යුගයකදී මානව හිමිකම් වෙනුවෙන් සටන් කළේය. දූෂණයට එරෙහි විය.

 

මෛත්‍රීගේ තේරීම:

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව මුණගැසී එකඟතාවයක් ඇති කර ගත් බව අපට වාර්තා වන තත්වයයි. අනෙකුත් මාධ්‍ය ආයතන ගණනාවක් ඒ ගැන වාර්තා කර තිබුණි. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී මහින්ද රාජපක්ෂ සමග එක්වීමට එකඟ වී ඇත.

ඒ අනුව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයටත් පොදුජන පෙරමුණ සමග ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට තේරී පත්වීමටද ජනාධිපතියාගේ බලාපොරොත්තුවයි. පොදුජන පෙරමුණ ආණ්ඩුවක් හැදුවොත් එහි ප්‍රබල ඇමතිධූරයක් ලැබීම ඔහුගේ කැමැත්තයි.

 

ඇතුලේ කැරැල්ලක්:

ජනධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප සභාපතිවරයා වුව ඔහු මේ වෙද්දී සිය ධූර කාලයේ අවසන් මාස කිහිපය ගත කරමින් සිටියි. එතැනින් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රීලනිපයට යන්නට මහලොකු ගමණක් නැත. මෛත්‍රීපාල සිරිසේන ආකර්ශණීය නායකයෙකු නොවේ. ඉතින්, ශ්‍රීලනිපය නැවත නැගී සිටින්නට නම් අලුත් නායකයන්ව සෙවිය යුතුය. ඔහුගේ තනි තීන්දුවලට යටවීමේ කිසිදු අවශ්‍යතාවයක් ශ්‍රීලනීප මන්ත්‍රීවරුන්ට නැත.

text 07මේ කතාවේ අලුත්ම හා රසවත්ම කාරණය මතුවන්නේ එතැනින් පසුවය. මේ වෙද්දී ශ්‍රීලනිපයේ කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මතයට එරෙහිව කැරලි ගසමින් සිටී. ඔවුන් උත්සාහ කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණොත් වෙනත් නායකයෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමයි. 

දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර වැනි නායකයන් ලංකාවේ ඉදිරිපෙල සිටින අනෙකුත් සියලු දේශපාලඥයන්ට වඩා තරුණය. එජාපයේ සිටින සජිත් ප්‍රේමදාස හා නවීන් දිසානායක වැනි නායකයන් සමග සංසන්දනය කරද්දී ද ඔවුන් තරුණය.

ඔවුන්ගේ වයස විශේෂයෙන්ම සංසන්දනය කළ යුත්තේ ශ්‍රීලනිපයේ ඡන්ද පදනම කඩාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙල නායකයන් සමගය. ගෝඨාභය රාජපක්ෂගේ වයස අවුරුදු හැත්තෑව ඉක්වමා ඇත. ඩලස් අලහප්පෙරුම ආදී පොදුජන පෙරමුණේ තීරණ ගන්නා මට්ටමේ සිටින අනෙකුත් නායකයන්ට සාපේක්ෂව දයාසිරි ජයසේකරලා තරුණ දේශපාලඥයන්ය.

අනෙක ඔවුන් දේශපාලන අඳබාලයන්ද නොවේ. දේශපාලනය ගැන දන්නා උදවියය. ඒ නිසා රාජපක්ෂලාගේ තුරුලට ගොස් දේශපාලන අනාගතය විනාශ කරගැනීම තෝරාගැනීමක් බවට පත් කරන්නට ඔවුන් අකමැතිය.

මේ වෙද්දී ශ්‍රීලනිප මහලේකම්ධූර, එජනිස මහලේකම්ධූරය ඇත්තේ ඔවුන් සතුවය. ඒ නිසා තීන්දු ගැනීමේදී ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ තනි තීන්දුවලට ඇහුම්කන් දිය යුතු නොවේ.

 

චන්ද්‍රිකා බණ්ඩාරනායක:

අප පෙර කී පරිදිම ශ්‍රීලනිපය පැරණි සාමාජිකයන්ව සංකේතවත් කරන නායිකාව වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායකය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවයාට සමීපව සිට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මේ කැරැල්ල පසුපස සිටී. 2018 ඔක්තෝම්බර් කුමන්ත්‍රණය මොහොතේ ජනාධිපතිවරයාගෙන් ඈත්වූ ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් කණ්ඩායමද සංවිධානකරුවන් කණ්ඩායමද ඉන්නේ එතැනය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ කැරලිකරුවන් කණ්ඩායම සංවිධානය කිරීමේ කටයුත්තෙහි ඉදිරියෙන් සිටින්නීය. ඇයට ශ්‍රීලනිපය පිළිබඳව ඇති බලය කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකිය.

අගෝස්තු 15 වැනිදා ඩාලි පාරේ ශ්‍රීලනිප කාර්යාලයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකද පැමිණ තිබේ. ඉන්පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායකව ශාන්ත බණ්ඩාරගේ ඉල්ලා අස්වීමෙන් හිස්වූ ජාතික ලැයිස්තුව මන්ත්‍රීධූරයට පත්කරන ලෙස ශ්‍රීලනිපයේ පිරිසක් ජනාධිපතිවරයාට යෝජනා කර තිබුණි. එයද මේ කැරැල්ලේ කොටසකි.

මෛත්‍රීපාල සිරිසේනට වෙනුවට ශ්‍රීලනිපය ඇතුලේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ බලය වැඩි කිරීමට කැරලිකරුවන් උත්සාහ ගනිමින් සිටී. චන්ද්‍රිකා බණ්ඩාරනායක යන නාමයට ශ්‍රීලනිප යන්ත්‍රණයේ විශාල පිරිසක් ඇත. රාජපක්ෂ යුගයේදී යටපත් කරන ලද ප්‍රාදේශීය ශ්‍රීලනිප හඬවල් බොහෝය.

 

කුමාර වෙල්ගම ?

text 08මේ කැරලිකරුවන් අතර පසුගිය සතියේ පැවති සාකච්ඡාවල කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද සිට ඇත. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට දැන් පොදුජන පෙරමුණෙන් දේශපාලන අනාගතයක් නැත. සෘජුවම තමන්ව විවේචනය කළ යෙකුට පුංචි ඉඩක්වත් දීමට රාජපක්ෂ කෙනෙකු ඉඩ දෙන්නේ නැත. ඉතින්, පොහොට්ටුව සමග තවදුරටත් රැඳී සිටීම යනු කුමාර වෙල්ගමගේ දේශාපාලන අනාගතය විනාශ කර ගැනීමකි.

මේ වෙද්දී පවතින සාකච්ඡා අනුව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාව මීළඟ ජනාධිපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ විශාල ඉඩකඩක් ඇත.

ශ්‍රීලනිප ඉදිරයේදී යමක් කරන්නට ඉඩ ඇත. ඔවුන් නිහඬවම රාජපක්ෂලාගේ ග්‍රහණයට නතුවෙනු ඇතැයි අනුමාන නොකළ යුතුය.

(අනිද්දා-තරිඳු උඩුවරගෙදර)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්