ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජන වරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ‘ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම’ පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු රැසක් දැල්වින.
එම බලාපොරොත්තු ඉටු කිරීමට නම් ශ්‍රී ලංකාවේ සමස්ථ වියලි කලාපයම පාහේ ඇතුලත් විශාල වපසරියක පැතිරී ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීමට හිමිවිය යුත්තේ ප්‍රමුඛස්ථානයකි. එම සංකීර්ණ මානව-වනජීවී ගැටුම අවම කිරීම සඳහා මෙතෙක් භාවිතාකළ අවිද්‍යාත්මක, යල්පැනගිය, අසාර්ථක විසඳුම් පසෙකලා ජාතික මට්ටමේ කඩිනම් සමෝදානිත සහ විද්‍යාත්මක ප්‍රතිචාරයක අවශ්‍යතාවය මෙරට පරිසරවේදීන් සහ විද්වතුන් පෙන්වා දෙන්නේ මෙම රජය මගින් හෝ අපගේ මාතෘභූමිය ඉහළට ඔසවා තැබෙනු ඇතැයි දැඩි විශ්වාසයෙනි.
එසේම ජාතික ජන බලවේගය විසින් පොරොන්දු වූයේ සහ ජනතාව බලාපොරොත්තු වූයේ අප රට දවන ප්‍රශ්න විද්‍යාත්මක පදනමක් තුළින් හරි හැටි තෝරා බේරා ගෙන සාර්ථක විසඳුම් සෙවීමය. නමුත් එම පොරොන්දු සියල්ලට පයින් ගසමින් අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු වර්තමාන රජය ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම සඳහා නොදැනුවත්කම සහ මිත්‍යාව මත පදනම්වූ අලි-මිනිස් ගැටුම් අවුළුවන මග තෝරාගැනීම ජාතියේ අවාසනාවකි.
ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන මෙම ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස, වන අලි ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඉකුත් ජුනි 20 වැනිදා පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණි. ඒ අනුව මෙම කටයුතු සිදු කිරීම සඳහා අලි-මිනිස් ගැටුම් බලපවත්නා දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු ඉදිරි මාසය තුළ පත් කිරීමටද උපදෙස් දී තිබේ.
දැනට වනජීවී දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත ගැනීමටද, ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස සිවිල් ආරක්ෂක නිලධාරීන් නිශ්චිත පුහුණුවක් සමඟ වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටද, ඊට අදාළ නීති සම්පාදනය කිරීමටද නිලධාරීන්ට උපදෙස් දී තිබේ. තවද වන අලි ගැටලුව විසඳීමට, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දැනට ගෙන යන මෙහෙයුම් (වන අලි පලවහැරීම් මිස අන් කිසිවක් නොවේ) වඩා විධිමත් සහ කාර්යක්ෂම කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන් බව දැනගන්නට ලැබේ.
වර්තමාන රජයේ කෙටි ධූර කාලය තුළ අලි-මිනිස් ගැටුම අවම කිරීමට බව පවසමින් ගෙන ඇති සහ ගෙන යමින් සිටින ක්‍රියාමාර්ග මෙන්ම ජනාධිපතිවරයා ලබාදී ඇති උක්ත උපදෙස් මගින්ද යළි යළිත් තහවුරු වන්නේ මෙම ප්‍රශ්නය සාර්ථකව කළමනාකරණ කිරීමේදී මූලිකව අවබෝධ කරගතු යුතු අලි-මිනිස් ගැටුමේ පසුබිම, අලි ඇතුන්ගේ හැසිරීම් රටා සහ අලි-මිනිස් ගැටුම් මැඩපැවැත්වීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයන්ගේ සාර්ථක අසාර්ථකභාවය යනාදී කරුණු ගැන රජයට කිසිඳු අවබෝධයක් නොමැති බවය.

නමුත් අප මෙහිදී තරයේ සිහි තබාගත යුත්තේ මිහිතලයේ වෙසෙන ඉතාම ශක්තිමත්, බුද්ධිමත් හා සංවේදීම සත්ව විශේෂයක් වන අලි ඇතුන් සමග මිනිසා ඇතිකරගෙන ඇති මෙම ගැටුම විසඳීමට නම් අලි ඇතුන්ගේ හැසිරීම් රටා, ඔවුන් අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ ක්‍රමවේද වලට දක්වන ප්‍රතිචාර සහ එකී ක්‍රමවේද වල සඵලතාවය පිළිබඳ පසුගිය දත්ත ගැඹුරින් විමසා බැලීම අත්‍යාවශ්‍ය බවය.
ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම ලෝකයේ දරුණුතම අලි-මිනිස් ගැටුම දක්වා ඔඩු දුවා ඇත්තේද, රුපියල් කෝටි ගණන් මහජන මුදල් ගඟට කැපූ ඉනි බවට පත්ව දුප්පත් අහිංසක ග්‍රාමීය ජනතාව දිනෙන් දිනම කබලෙන් ලිපට විසිවී ඇත්තේද මෙතෙක් කලක් එසේ නොකළ නිසා බවය.
ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් අටක, දිස්ත්‍රික්ක 19 ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක වාර්තාවන අලි-මිනිස් ගැටුම්, ගෝලීය වශයෙන් එම ගැටුම හේතුවෙන් වැඩිම වාර්ෂික අලි මරණ සහ දෙවන ඉහළම මිනිස් මරණ වාර්තාවන රට ශ්‍රී ලංකාව බවට පත්වීමට හේතුවී ඇති බව අප විද්‍යාත්මකව තහවුරු කළේ 2020 වසරේදීය. ගැටුම් කලින් වාර්තා කළ ප්‍රමාණයට වඩා තීව්‍රතාවයෙන් සහ භූගෝලීය ව්‍යාප්තියෙන් බෙහෙවින් වැඩි වී ඇති බවත් අප එහිදී පෙන්වා දුනිමු.

එම වසරේ සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ ක්ෂේත්‍රයේ විද්වතුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ගැටුම් උග්‍ර ලෙස ව්‍යාප්තවී ඇති ප්‍රදේශ වල දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සමන්විත ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණු අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම වසර අවසානයේදී රජයට භාර දීමය.
එම සැලැස්මෙන් නිර්දේශ වන්නේ අලි-මිනිස් ගැටුම් උත්සන්න කරවන අසාර්ථක අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය වැනි ක්‍රමවේද වෙනුවට සෘජුවම මිනිසුන්ගේ ආරක්ෂාව සපයන ප්‍රජා මූලික ග්‍රාමීය විදුලි වැට සහ ගොවි බිම් ආරක්ෂා කරන කෘෂි විදුලි වැට වැනි සාර්ථක ක්‍රමවේදයන් මූලික වැඩසටහනක් දියත් කිරීමය.
ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කළ යුතු බව එහිම සඳහන්වී තිබුණද වසර හතරක් ඉක්මගිය පසුවත් එවැන්නක් පත් කිරීමට කිසිඳු රජයක් මෙතෙක් කටයුතුකර නැත.
ජනාධිපති කාර්ය සාධක බලකායක් වෙනුවට, පූර්වගාමී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 2022 නොවැම්බර් මාසයේදී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම සහ අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කළේය.

අපේක්ෂිත අධිකාරී බලය සහ අරමුදල් නොමැතිකම නොතකා 2024 වසර තුළ මෙමගින් ජාතික ක්‍රියාකාරී සැලැස්ම යම් මට්ටමකින් ක්‍රියාත්මක වීමෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ප්‍රජා මූලික විදුලි වැට 300 ක් පමණ ස්ථාපනය කෙරිණි.
තවද එම වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලි පලවාහැරීම් සහ අලි පරිස්ථාපනය කිරීම් අවම කිරීමද සිදු විය.
අඛණ්ඩව වසර නවයකට පසු 2024 වසරේ දී වාර්තා වූ අලි-මිනිස් ගැටුමේ වින්දිතයින් වන මිනිස් සහ අලි මරණ සංඛ්‍යාව අඩුවීමට එම ක්‍රියාකාරකම් හේතු වූ බව ලියුම්කරුගේ විශ්වාසයයි.
කෙසේ වෙතත්, බල පෙරළියත් සමග කමිටුවේ ධුර කාලය ද ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමද මේ වන විට අවසන්ව ඇත. වර්තමාන රජයට ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අප මුල සිටම අවධාරණය කළ නමුත් එය දවල් සිහිනයක් බවට පත්ව ඇත.
ඉකුත්දා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවට වන අලි ගැටලුව බහුලව පවතින දිස්ත්‍රික්ක වල දිසාපතිවරුන්ද සහභාගීවූ බව වාර්තා විය. වඩාත් විමතිය දනවන කාරණය නම් එසේ සහභාගීවූ අලි මිනිස් ගැටුම බහුල අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, අම්පාර, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක වල උක්ත නිලධාරීන් හෝ ඔවුන්ගේ පූර්වගාමීන් අප ඉහතකී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ කමිටුවේද සාමාජිකයින් වීමය.
වත්මන් රජයේ ධුර කාලය ආරම්භවීමත් සමග, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, බොහෝ විට නොයෙකුත් අමාත්‍යවරුන්ගේ බලපෑම මත, අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ වලට පලවාහැරීම නැවතත් ආරම්භ කළ අතර, රජයේ විගණන මගින්ම අසාර්ථක බව තහවුරුකර ඇති හොරොව්පතාන ඊනියා අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට හෙවත් හස්ති සිරකඳවුරට අලි ඇතුන් ගාල් කිරීමද නැවතත් ආරම්භ කළේය.

මෙවැනි අලි පලවාහැරීම් වලදී දහස් ගණන් අලි වෙඩි දැල්වීම සහ අලින්ට වෙඩි තැබීම මගින් අලි ඇතුන් ඉමහත් පීඩාවකට ලක් කෙරෙන අතර එමගින් ඔවුන් තුළ මිනිසා කෙරෙහි වෛරය වැඩි වීමෙන් ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වේ. අලි පලවාහැරීම අසාර්ථකවීමෙන් පසු ඊට තීන්දු තීරණ ගත් දේශපාලන අධිකාරිය සහ බලධාරීන් මෙන්ම පලවාහැරීමට සහභාගීවූ සෙසු පාර්ශව පිටව ගිය පසු මෙසේ කුපිතකරවනු ලැබූ අලින්ට සැමදා මුහුණ දීමට සිදුවන්නේ අහිංසක ගම් වැසියන්ටය, වන්දි ගෙවීමට සිදු වන්නේ ජීවිත වලින්ය.
ජාතික ජන බලවේග රජය සමයේ මෙතෙක් සිදුකළ අලි පලවාහැරීම් පිළිබඳ තීරණ ගෙන ඇත්තේ කවුරුද යන්න සොයා බැලීමෙන් එහි (අ)විද්‍යාත්මක පදනම තහවුරු වේ. ඒ අනුව වන අලි ගැටලුව විසඳීමට ජනාධිපතිවරයා යෝජනා කරන දිස්ත්‍රික් කමිටුද මෙහිම දිගුවක් වනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. තවදුරටත් එය කවරාකාර වේද යන්න මෑතකදී පැවැත්වූ එවැනි රැස්වීම් කිහිපයක් මගින්ද නිදසුන් ගෙනහැර දැක්විය හැකිය.
මහියංගනය හා හසලක ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම සඳහා විසඳුම් සෙවීමට පසුගියදා මහියංගනය ප්‍රදේශයේ පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම එවැන්නකි. කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා පවා ගැටුමට තිරසාර විසඳුමක් ලබාගත හැකි ක්‍රම පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ දරද්දී සුදත් බලගල්ල බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුට බාධා කරමින් වස්ගොමුව ජාතික උද්‍යානයට අලි ඇතුන් ගාල් කිරීමට බලපෑම් කරන ආකාරය එහිදී මැනවින් පැහැදිළි විය.
හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂකවරයාඑසේම පසුගිය ජුනි 13 වැනිදා පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කහල්ල පල්ලෙකැලේ අභය භූමිය අලි ඇතුන් වෙනුවෙන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමේ වරදට හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂකවරයා ස්ථාන මාරුකරවීමට නාමල් කරුණාරත්න නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා නියෝග කළේය. ඉන් නොනැවතුණු ඔහු අනෙක් පසින් අසාර්ථක බව දශක ගණනාවක් තිස්සේ ඇස් පනාපිටම සපථකර ඇති අලි පලවාහැරීමක් සංවිධානය කිරීමට කටයුතු කළ ප්‍රාදේශීය පරිපාලන නිලධාරියෙකු ආරක්ෂා කිරීමට පෙරමුණ ගත් ආකාරය ජුගුප්සාජනකය.
අලි-මිනිස් ගැටුම විශාල ජන කොටසකට බලපාන බැවින් මේ සියලු බලධාරීන් එය විසඳීමට උනන්දු වීම අගයකල යුතුය. එනමුත් එසේනම් කළ යුත්තේ ඒ ගැන හරි හැටි හදාරා දැනුවත්වීම මිස තමන් බලධාරීන් වූ පමණින් සියල්ල දත්තවුන් ලෙස හැසිරීම නොවේ.
විද්‍යාත්මක ක්‍රමයට අමාත්‍යාංශ විෂය පථයන් බෙදා වෙන්කර ඒ අනුව කටයුතු කිරීමට වගබලා ගන්නා බව කී ආණ්ඩුව, අලි-මිනිස් ගැටුම මැඩපැවැත්වීමේ අදහසින් සිදු කරන අලින් කළමනාකරණ ක්‍රියාවලීන් පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී පරිසර අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම අමතක කර දැමීමද තවත් තමන්ගේම පොරොන්දු සහ ප්‍රතිපත්ති වලින් පිටපැනීමකි.
ඉකුත් විසි වැනිදා ජනාධිපතිතුමන් මූලිකව පැවති රැස්වීමේද පරිසර අමාත්‍යවරයා පෙනෙන්නට නොසිටි අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙනු ලැබුවේ වෙනත් විෂයන් භාර විවිධ අමාත්‍යවරුන් විසිනි. මින් විදහා පාන්නේ විද්‍යාත්මක ප්‍රවේශයක් වෙනුවට ‘බල්ලාගේ වැඩේ බූරුවා කිරීමේ’ ක්‍රම වේදයයි.

මෙතෙක් ජාතික ජන බලවේග රජයේ ක්‍රියාකලාපයෙන් පැහැදිළි වන්නේ ජාතික මට්ටමේ කඩිනම් සමෝදානිත සහ විද්‍යාත්මක ප්‍රතිචාරයක් සඳහා පරිසරවේදීන්ගේ අඛණ්ඩ ඉල්ලීම නොතකා, තවමත් රජයේ අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ දැක්ම රක්ෂිත ප්‍රදේශ වලට සීමාවී ඇති බවය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විදුලි වැට කම්කරුවන් හා සිවිල් ආරක්ෂක භටයින් විශාල වශයෙන් බඳවා ගැනීම ද මෙම යල් පැන ගිය මානසිකත්වය පිළිබඳ අපගේ විවේචනය ශක්තිමත් කරන අතර, රජයේ මූලිකම අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ උපාය මාර්ගය සැමදා අසාර්ථකවූ ක්‍රමවේද මත පමණක් විශ්වාසය තැබීම දිගටම කරගෙන යෑම බව සංඥා කරයි.
(අලි-මිනිස් ගැටුම සම්බන්ධ පර්යේෂණ ගණනාවකට සක්‍රිය දායකත්වයක් දැක්වූ පරිසරවේදියෙකි)






