leader s

X-Press Pearl ව්‍යසනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රාජ්‍ය ආයතනවල හැසිරීම සහ දූෂණ, වංචා චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම පිණිස විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවක් පත්කරන මෙන් 'පරිසර යුක්ති කේන්ද්‍රය' ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලීමක් කරයි.  


ව්‍යසනය අවස්ථාවේ ඇතැම් රාජ්‍ය ආයතන කටයුතු කළේ ශ්‍රී ලංකාවේ උන්නතිය උදෙසාද යන්න පිළිබඳව බරපතල ගැටළු පවතින බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ සම-නිර්මාතෘ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සිහිපත් කළේ, Sandeshaya by Saroj යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමිනි.



"ඇතැම් රාජ්‍ය ආයතන සමහර තීරණ ගැනීමේදී මැලි බවක් දැක්වුවේ ඇයි, සමහර තීරණ ගැනීමේදී බැලූ බැල්මට ශ්‍රී ලංකාවට අවාසි සහගත තීරණ ගත්තේ ඇයි කියන කාරණය පිළිබඳව මම හිතන්නේ පුළුල් විමර්ශනයක් සිදුවිය යුතුයි කියලා."

ව්‍යසනය සම්බන්යෙන් ශ්‍රී ලංකාව වන්දි ඉල්ලීමේ නීති කටයුතු කඩාකප්පල් කිරීම පිණිස චාමර ගුණසේකර නම් පුද්ගලයෙකුගේ බ්‍රිතාන්‍ය බැංකු ගිණුමකට ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබා දී ඇතැයි තොරතුරක් ලැබුණ බව එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ 2023 අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

 



අමාත්‍යවරයා එල්ල කළ එම චෝදනාව සම්බන්ධ පරීක්ෂණයට සිදු වූයේ කුමක්ද යන්නත් රටවැසියන්ට රහසක් බව පෙන්වාදෙන ආචාර්ය දාබරේ, එබැවින් මේ සියල්ල පිළිබඳ විමසා බැලීම පිණිස ජනාධිපති කොමිසමක් අවශ්‍ය බව අවධාරණය කරයි.

ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ, මේ වනවිට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පරිසර කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

පොරොන්දු වූ පරීක්ෂණය කෝ?

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන විශේෂ විමර්ශනයක් පවත්වන බව එවකට කැබිනට් ප්‍රකාශකවරයා වූ, අමාත්‍ය විජිත හේරත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ අල් ජසීරා නාලිකාව කළ විමසීමකදී සඳහන් කළේය.

 

Raweendra Kariyawasam 2024.09.03 1ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්


ඉන් අනතුරුව පසුගිය මැයි මාසයේ බීබීසී සමග අදහස් දක්වමින් පරිසර අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් කියා සිටියේ, පරිසර අමාත්‍යවරයා විසින් ජුනි මාසය මුලදී ඒ සඳහා විශේෂ කමිටුවක් පත්කරන බවය.

එහෙත් මේ වනතුරු ආණ්ඩුව එවැනි පරීක්ෂණ කමිටුවක් පත්කොට නැත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනිගෙන ගිලී යාමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පළමුවෙනි මූලික අයිතිවාසිකම් පෙත්සම පවරනු ලැබුවේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි. ඉන් අනතුරුව තවත් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වූ අතර වසර කිහිපයක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම්වල තීන්දුව මේ මාසය ඇතුළත ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂිතය.

විශේෂයෙන්ම 2022 නොවැම්බර් දක්වා පමණක් කෙරුණු පර්යේෂණ මත පදනම් වූ විශේෂඥ වාර්තාවක අන්තරවාර (අසම්පූර්ණ) නිර්දේශ ප්‍රකාර නීතිපති දෙපාර්තමේන්තුව විසින් වන්දි මුදලක් ඉදිරිපත් කිරීම ගැන ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ විරෝධය පළ කළේය. පර්යේෂණ පැවැත්විය යුතුව තිබුණ අංශ තිහකට වැඩි ප්‍රමාණයකින් 2022 නොවැම්බර් වනවිට අවසන් වී තිබුණේ අංශ හතරක පමණක් බව ඔහු සවිස්තරව පෙන්වා දුන්නේය.

මීපා ආයතනය 'නිහඬයි'

mepa
"මේ විද්වත් කමිටුව පැහැදිලිව කියල තියෙනව මේ වන්දි තක්සේරුව සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ අඩුම වශයෙන් අවුරුදු දහයක් සමහර අංශවල අවුරුදු සීයක් දක්වා සිදුවිය යුතුයි කියල," ආචාර්ය දාබරේ සංදේශය සමග පැවසීය.

කෙසේ වුවත් විශේෂඥ කමිටුවේ කාලය 2022 වසරෙන් පසුව දීර්ඝ නොකරන මෙන් මීපා ආයතනයට රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇති බව සංදේශයට අනාවරණය වේ.

මේ තත්වය යටතේ අදාළ විශේෂඥ වාර්තාව යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන මෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (මීපා ආයතනයේ) සභාපතිවරයාගෙන් සහ ප්‍රධාන විධායක නිලධාරියාගෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු සඳහන් කළේය.  

"මම ඉල්ලීමක් කළා, වන්දි තක්සේරුව ගැන අධිකරණ කටයුතුවලට මීට වැඩිය සහය දක්වන්න කියල. නමුත් ඒ සහය ලැබුණේ නැහැ."

මීපා ආයතනය සහ එහි හිටපු සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර ද මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් විත්තිකරුවන් ලෙසින් නම් කරනු ලැබ තිබේ.

ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ පෙන්වාදෙන පරිදි, ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය සහ ජනාධිපති කොමිෂන් සභා නීතිය යටතේ පවතින්නේ එකිනෙකට වෙනස් බලතල බැවින් අධිකරණ ක්‍රියාදාමයක් පවතින අතරවාරයේ විශේෂ ජනාධිපති කොමිසමක් පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය ගැටලුවක් පැන නොනගී.


(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ජුලි 12


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්