leader s

ශ්‍රී ලංකාවට ආවේණික, ස්භාවික පරිසරයෙන් වඳවී ඇතැයි සලකා නැවත වාර්තා කිරීමට සමත්වූ ශාක විශේෂයක්‌ වන පිනිබෙරලිය

(Doona ovalifolia) ශාක විශේෂය සංරක්ෂණය කිරීම සඳහා බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මණ්ඩගල ග්‍රාමසේවා වසමේ වෑවැල්ල ‍දොළ දෙපස පිනිබෙරලිය පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගිය 07වන දින ක්‍රියාත්මක කළේ ය.

පිනිබෙරලිය ඉතිහාසය

හෙළ බසින් පිනිබෙරලිය සහ Doona ovalifolia යන විද්‍යාත්මක නාමය යටතේ හඳුන්වන මෙම ශාක විශේෂය  1864 වර්ෂයේ දී මුල්වරට ලොවට හඳුන්වා දී ඇත්තේ පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ උද්‍යාන අධිකාරීවරයෙක් ලෙස සේවය කල බ්‍රිත්‍යාන ජාතික ශාක විද්‍යාඥයෙකු වූ හෙන්රි ත්වේට්ස් මහතා ය.

ඉන්පසු 1887 වර්ෂයේ දී වලල්ලාවිට, හෙවෙස්ස ප්‍රදේශයෙන් සහ තවලම, හිනිදුම ප්‍රදේශයෙන් මෙම ශාක විශේෂය වාර්තා වී ඇති අතර එහි දී සජීවී නිදර්ශක රැගෙන ගොස් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සහ ගම්පහ හෙණරත්ගොඩ උද්භිද උද්‍යානයේ රෝපණය කර ඇත.

එම ශාකවලින් පැවත විත් ඉතිරිව තිබූ  පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නිදර්ශක ශාකයත් 2012 වර්ෂයේ කඩා වැටී ඇති අතර පසුව එම ශාකයෙන් පැළ කිහිපයක් නැවතත් රෝපණය කිරීමට උද්භිද උද්‍යානයේ නිලධාරීන් සමත්ව ඇත.

උද්භිද උද්‍යානයට  පමණක් සීමා වී වසර 100කට අධික කාලයක් ස්භාවික පරිසරයෙන් වාර්තා නොවීම නිසා මෙම ශාක විශේෂය EW -  Extinct in Wild හෙවත් ස්භාවික පරිසරයෙන් වඳ වූ ශාක විශේෂයක් ලෙස 2012 ජාතික රතු දත්ත ලැයිස්තුවේ වාර්තා කර තිබුණි.

රතු දත්ත ලයිස්තුව යාවත්කාලීන කරයි

ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය හිමේෂ් දිල්රුවන් ජයසිංහ සහ ශාක විශේෂ පිළිබඳ පර්යේෂකයකු වන භාතිය ගොපල්ලව ඇතූළු කණ්ඩායම විසින් 2020 වර්ෂයේ දී රත්නපුර, අයගම ප්‍රදේශයේ දී සිදු කළ අධ්‍යයනයක දී වසර 134 කට පසු වඳවී ගොස් ඇතැයි සැලකූ පිනිබෙරලිය ශාක විශේෂය ස්භාවික පරිසරයෙන් ප්‍රථම වරට හඳුනා ගැනීමට සමත් විය.

ඉන්පසු 2020 රතු දත්ත ලැයිස්තුවේ දී මෙම විශේෂයේ සංරක්ශිත තත්ත්වය  CR -  Critically Endangered හෙවත් අතිශය අන්තරායට ලක්වූ ශාකයක් ලෙස යාවත්කාලීන කරන ලදී. පසුව පර්යේෂණ කණ්ඩාම සිදු කළ ගවේෂණ තුලින් පාලින්දනුවර, කෙලින්කන්ද සහ වලල්ලාවිට මණ්ඩගල යන ප්‍රදේශවලින් සොයා ගැනීමත් සමග අයගමට පමණක් ස්ථානීය ආවේණිකව තිබූ මෙම ශාක විශේෂයේ ව්‍යාප්තිය පුළුල් වීමක් සිදුවිය.

අනතුරට පත් විය හැකි බවට නිගමනයක්

පර්යේෂකයින් සිදු කළ අධ්‍යයන මගින් පිනිබෙරලිය ශාක වි‍ශේෂයේ ව්‍යාප්තිය පුළුල් වුව ද දැනට වාර්තාවී ඇති ස්ථාන තුනෙහි ම ඉතාකුඩා ශාක ගහනයක් පමණක් පවතින බැවින් දැඩි ලෙස සංරක්ෂණ ක්‍රියාමාර්ග ගනිමින් ආරක්ෂා කළ යුතු ශාක විශේෂයක් ලෙස හඳුනා ගැනුණි.

තේ, රබර් යනාදි ආර්ථික භෝග වගා සහ මිනිස් වාසය සඳහා වනාන්තර භූමි විනාශ කිරීම නිසා සිදුවන වනාන්තර ක්ෂයවීම හේතුවෙන් මෙම ශාක විශේෂයට වාසස්ථාන අහිමිවීමත් සමග තවදුරටත් අනතුරට පත් විය හැකි බව පර්යේෂකයින්‍ගේ නිගමනය විය.

ඒ අනුව මෙම ශාකය ස්ථානීය සංරක්ෂණය (In-situ conservation) සහ විතැන් සංරක්ෂණය (Ex-situ conservation) යන ක්‍රම දෙක ඔස්සේම සංරක්ෂණය කිරීම සඳහා ඩිල්මා සංරක්ෂණ ආයතනය, රජරට විශ්වවිද්‍යාලය සහ තර්ජිත ශාක සංරක්ෂණය සඳහා වූ අරමුදලක් වන Franklinia Foundation සමග එක්ව ක්‍රියාත්මක වන ඇන්දාන ජෛව විවිධත්ව මංපෙත (Endane Biodiversity Corridor) ව්‍යාපෘතියේ තර්ජිත ශාක සංරක්ෂණ වැඩසටහන තුළින් කටයුතු ආරම්භ කළේ ය.

නිරෝගී පැළ පරිසර පද්ධතියට එක් කරයි

ඒ අනුව පර්යේෂකයින්, මෙම ශාක විශේෂය පවතින පරිසර කලාප තුළ දීර්ඝ අධ්‍යයනයක යෙදී ඇති අතර එහි දී  ශාකවල ඵල හටගෙන බීජ ව්‍යාප්තිය සිදුවන  විට දී මවු ශාකයෙන් වෙන් වෙන බීජ හේතු කිහිපයක් මගින් විනාශ වීම නිසා සාර්ථක පැළ හට නොගන්නා බව හඳුනා ගෙන ඇත.

 ඒ අනුව ඔවුන් මෙම ශාක වල බීජ රැස් කර ඒ බීජ මගින් සාර්ථක පැළ තවාන් නිර්මාණය කර ඒ මගින් හට ගන්නා නිරෝගී පැළ පරිසර පද්ධතියට එක් කිරීමට කටයුතු කළේ ය.

එලෙස නිර්මාණය කළ පිනිබෙරලිය පැළ ස්ථානීය සංරක්ෂණය (In-situ conservation) ක්‍රමවේදය අනුගමනය කරමින් පරිසර පද්ධතියට එක් කිරීමේ ආරම්භක අවස්ථාව ලෙස වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මණ්ඩගල ග්‍රාමසේවා වසමේ වෑවැල්ල ‍දොළ දෙපස පිනිබෙරලිය පැළ සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ ය.

එම වැඩසටහන සමගින් ගම්වාසීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ ජනතාව දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීමේ පුවරු සවිකිරීම ද මෙහිදී සිදු කෙරිණ.

විනාශයට හේතුව මානව ක්‍රියාකාරකම්

මීට අමතරව ස්ථානීය සංරක්ෂණ ක්‍රමවේදය අනුගමනය කිරීමට පිනි බෙරලිය දැනට වාර්තා වී ඇති අනෙක් ස්ථාන දෙක වන පාලින්දනුවර කෙලින්කන්ද  ප්‍රදේශයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පිඹුර විද්‍යාලය ආශ්‍රිතවත් විතැන් සංරක්ෂණ ක්‍රමවේදය අනුගමනය කරමින් වලල්ලාවිට නාවලකන්ද, යගිරල සහ පාලින්දනුවර මගුරුගඟ ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

අතීතයේ දී මෙම ශාක විශේෂය මීට වඩා පුළුල් ව්‍යාප්තියක් තිබුණ බව ගම්වාසීන් පවසන අතර මානව ක්‍රියාක‍ාරකම් නිසා මෙම ශාක විශේෂයට වාසස්‌ථාන අහිමි වී ඇති බව ඔවුන් පවසයි.

වර්තමානයේදී සීඝ්‍රයෙන් සිදුවන වනාන්තර ක්‌ෂය වීමත් සමග මෙම ශාක තවදුරටත් අනතුරට පත් වනු ඇතැයි පර්යේෂකයෝ පුරෝකථනය කරන අතර මෙම ශාක විශේෂය පිළිබඳව තවදුරටත් පර්යේෂණ සහ ගවේශණවල යෙදීමටත්, මේ ආකාරයේ සංරක්ෂණ ව්‍යාපෘති සිදුකිරීමටත් පර්යේෂකයින් බලාපොරොත්තු වේ. ඒ තුළින් විශාල වටිනාකමක් සහිත දුර්ලභ ශාක විශේෂ ආරක්ෂා කර ගැනීමට මෙන්ම මෙම ජීව විශේෂ අනාගත ලෝකයට උරුම කර දීමට ද  හැකි වනු ඇත.

ඩිල්මා සංරක්ෂණ ආයතනයයේ ඇන්දාන ජෛව විවිධත්ව මංපෙත ව්‍යාපෘතිය, වෑවැල්ල එකමුතු අන්‍යෝන්‍යාධාර සමිතිය සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළ අතර වැඩසටහන සඳහා ඩිල්මා සංරක්ෂණ ආයතනයේ කළමනාකාරතුමා, රජරට විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරු සමගින් පිනිබෙරලිය ශාකය පිළිබඳව පර්යේෂණ සිදු කළ පර්යේෂකයින්, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම්තුමිය සමගින් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරීතුමිය, මණ්ඩගල ග්‍රාමසේවා වසමේ ග්‍රාමනලධාරීතුමා සහ ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය,  වනසංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, ඇන්දාන ජෛව විවිධත්ව මංපෙත ව්‍යාපෘතියේ සාමාජිකයින්, වෑවැල්ල එකමුතු අන්‍යෝන්‍යාධාර සමිතියේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

(සටහන | පේශල පසන් කරුණාරත්න)
Peshala Media
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

sdfgertgf

  

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්