ගොඩින් හා අහසින් එල්ල කරන ලද බර අවි ප්‍රහාර වලට ගොදුරු වී දිවි තොරවූ දහස් ගණනක් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීම සදහා මැයි 18 වැනි දින "දෙමළ වර්ග සංහාරයට එරෙහි ජාතික නැගිටීමේ දිනය" ලෙස ප්‍රකාශයට පත් කරමින් මුල්ලිවයික්කාල් භුමියේදී තම සමීපතමයන් අනුස්මරණය කිරීමට දෙමළ ජනයා කටයුතු කර තිබේ.
දෙමළ වර්ග සංහාර සතිය නිමිතිකොට උතුරු නැගෙනහිර පුරා පැවති කැඳ දන්සල් ඇතුළු සැමරුම් හමාරයේ 2026 මැයි 18 වැනි සදුදා පෙරවරු 10.31 ට ආරම්භ වු මුල්ලිවයික්කාල් අනුස්මරණයේ සමරු ගිනිසිළුව දහස් සංඛ්‍යාත දෙමළ ජනකායක සෝ සුසුම්, විලාප මැද මෙවර දල්වනු ලැබුයේ අවසන් යුද්ධයේදී සිය පවුලේ සමීපතමයන් පස් දෙනකුම අහිමි වු යුද පීඩිත දෙමළ මාතාවක් විසිනි.

දස දහස් ගණනක් ජනඝාතනයට බිලිවූ මුල්ලිවයික්කාල් භූමියේ දී පුෂ්පයෙන්, ධූපයෙන් හා දීපයෙන් මල’වුන්ට බුහුමන් දක්වන්නට එක්ව සිටි ජාත්‍යන්තර දූත මණ්ඩල නියෝජිතයන් හා මානව හිමිකම් ප්‍රධානීන් තම සහභාගිත්වය හැඳින්වූයේ යුද අපරාධ සම්බන්ධයෙන් තවමත් ඉටු නොකළ යුක්තිය පිළිබඳව ආණ්ඩුවටත්, ජාත්‍යන්තර බලවතුන්ටත් සිහිපත් කරදීමට ලත් මහඟු අවස්ථාවක් ලෙසිනි.
“අපරාධකරුවන් සම්බන්ධ විමර්ශනය, නඩු පැවරීම හෝ වරදකරුවන් කිරීම සිදුවන බවක් අපට දැකගන්නට ලැබී නැතැ,” යි නිව් යෝර්ක් නුවර මුලස්ථාන කොටගත් හියුමන් රයිර්ස් වොච් (HRW) ආසියා කලාපීය අධ්‍යක්ෂිකා එලේන් පියර්සන් මුල්ලිවයික්කාල් සමරු බිමේදී මාධ්‍යවේදීන් හා පැවසුවාය.
“වගඋත්තරදායකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය සතු බැඳීමත්, අවුරුදු දාහතකට ඉහත සිදුවූ දේ පිලිබඳ වගවීම සැලසෙන බව සහතික කිරීම සඳහා විදේශීය ආණ්ඩු දිගටම බලපෑම් කිරීමේ අවශ්‍යතාවත් සිහිපත් කර දීමට මෙය මහඟු අවස්ථාවක් කියා මම හිතනවා”.
ඝාතනයට ලක් වු තම ඥාතීන් අනුස්මරණය කිරීම සදහා මුල්ලිවයික්කාල් භූමියට පැමිණ සිටි දහස් සංඛ්‍යාත දෙමළ ජනතාවට පෙර වසරවලදී මෙන්ම පොල් පැළ බෙදා දීමට කටයුතු කර තිබුනි. අහිමි වූ සමීපතමයා වෙනුවෙන් එම පැලය සිටුවා ජීවමාන ස්මාරකයක් සේ සැලකීම එහි අරමුණ බව සංවිධායකයෝ පැවසුහ.

දෙමළ ජනයාට එරෙහිව ඉතිහාසයේ සිදු වු දැවැන්තම වර්ග සංහාරයට දාහත් වසරක් සපිරෙන දිනයේ උතුරු හා නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකම අනුස්මරණ සිදු කර තිබේ.
දහස් සංඛ්‍යාත දෙමළ ජන සහභාගීත්වයෙන් මුල්ලිවයික්කාල් භුමියේ පැවැති ප්‍රධාන අනුස්මරණ සදහා ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් පැමිණ සිටි සිවිල් සංවිධාන ක්‍රියාධරයන් හා මාධ්‍යවේදීන් සංඛ්‍යාව අතලොස්සක් පමණක් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
මුල්ලිවයික්කාල්හි පැවැති 17 වැනි අනුස්මරණයට සමගාමීව, “நினைவாயுதம்" - ස්මරණායුධය - වර්ග සංහාරයකට ගොදුරුවූ දෙමළ ජනතාව අත්විඳි දුක්ඛ දෝමනස්සයන් පිළිබඳ මතකය අනාගත පරම්පරාව වෙත ගෙනයාමේ අරමුණින් මුල්ලිවයික්කාල් හා සම්බන්ධ ඡායාරූප, ලිපිලේඛන හා මතක වස්තු තුන් දින ප්‍රදර්ශනයක්ද රැගත් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුනි.
යුද්ධයෙන් මරා දමන ලද උතුරේ දෙමළ ජනතාව සිහිකිරීම සදහා කොළඹ වැල්ලවත්ත වෙරලේ සංවිධානය කර තිබු අනුස්මරණයකට සහභාගි වෙමින් සිටියවුන්ට සිංහල දැඩි මතධාරීන් පිරිසක් පසුගිය වසරවලදී මෙන්ම මෙවරත් වෛරී භාෂාවෙන් බැන වදිමින් ගැටුමකට කැඳවන ආකාරය කොළඹ මාධ්‍යවේදීන් විසින් වාර්තා කර ඇත.
දෙමළ ජනතා නියෝජිතයන් කිහිප දෙනකුද එක්ව සිටි මෙවර අනුස්මරණයේ මුල්ලිවයික්කාල් ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ තෙන්කයිලෙයි ආදීනම් ආශ්‍රමයේ සභාපති සිවතිරු අගතියර් අදිකාලර් විසිනි.
දෙමළ වර්ග සංහාරය වෙනුවෙන් වගවීම ඉල්ලන අරගල, ඉඩම් නැවත ලබා ගැනීමේ අරගල සහ අතුරුදහන් කළ’වුන් සඳහා යුක්තිය සඳහා වන අරගල ප්‍රචණ්ඩත්වයෙන් මර්දනය කරනු ලබන අතර, ඊලාම් දෙමළ ජනතාවගේ සාමූහික මානසිකත්වයට එරෙහිව මහා යුද්ධයක් ගොඩනගා ඇති බව එම ප්‍රකාශනයෙන් අවධාරණය කර තිබේ.

“අප සතුව මතකය ඇති තාක් කල්, කිසිවෙකුට අපව විනාශ කළ නොහැක,” යි එහි වැඩි දුරටත් සදහන්ය.
මෙම වසර වඩුක්කෝඩෙයි ප්‍රකාශනයේ 50 වැනි සංවත්සරය සනිටුහන් කරන අතර , එය ස්වාධීන සහ ස්වෛරී දෙමළ ඊලාම් රාජ්‍යයක් දෙමළ ජනතාවගේ සාමූහික පැවැත්ම ආරක්ෂා කරන බව හඬ නඟා ප්‍රකාශ කළ ඓතිහාසික සිදුවීමක් බවත් මුල්ලිවයික්කාල් ප්‍රකාශය සිහිපත් කරයි.
දෙමළ නිජබිමේ සිංහල-බෞද්ධකරණය වැළැක්වීමට, දෙමළ වර්ග සංහාරය සඳහා ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා සිටීමට, දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගැනීමට අවධාරණය කිරීමට, සැලසුම් සහගත දෙමළ වර්ග සංහාරය වැළැක්වීමට හා දෙමළ ජාතික අභිලාශය පදනම් කොටගෙන එක්සත්ව සටන් කිරීමත් මුල්ලිවයික්කාල් ප්‍රකාශය අවසානයේ ප්‍රතිඥා දී ඇත.





