ප්‍රවීණ වේදිකා ආලෝකකරණ ශිල්පී උපාලි වීරසිංහ විසින් රචිත "අඳුරු කරළියේ සොඳුරු දිවාකර" කෘතිය එළිදැක්වීම සහ අගැයුම් උළෙල ජූනි 28වන දින සවස 6.30ට
මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත් වේ. මෙහි ප්‍රධාන දෙසුම මහැදුරු සුනිල් ආරියරත්නයන්ගෙනි. මෙහි දී උපාලි රංගාලෝක නිර්මාණයෙන් දායක වූ වේදිකා නාට්‍ය ගීත සහ ගෘහස්ථ ප්‍රසංග ගීත නවරත්න ගමගේ සංගීතවේදියාණන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඉදිරිපත් කෙරේ. සහෘද ආමන්ත්‍රණය සමන් අතාවුදහෙට්ටිගෙනි. මෙම ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙනි. මෙම ප්‍රසංගය නැරඹීම සඳහා මුදල් අය නොකෙරේ.

විචිත්‍රවත් ආලෝකධාරාවන්ගෙන් විකසිත වූ රංග භූමිය ක්‍රමයෙන් අඳුරු වීමට පටන් ගනියි. මෙතෙක් අඳුරේ පැවැති ප්‍රේක්‍ෂකාගාරය ආලෝකමත් වෙයි. ගිගුම් දෙන අත්පොළසන් හඬ හාත්පස වෙලා ගනියි. රසයෙන් කුල්මත් වූ ප්‍රේක්‍ෂකයෝ මෙතෙක් වේලා තමන් පින වූ රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් වැලඳ ගනිති. මාලාදාම කර දමා මල් කලඹ අත ගන්වා මුහුණු සිප ගනිති. අත් අල්ලා තදින් මිරිකා වේගයෙන් සොලවති. ඔවුන්ගේ සතුට, සිනහ සහ දහසකුත් එකක් සුභ පැතුම් මැද නළු නිළියෝද ගායක ගායිකාවෝ ද තමන් කෙරෙහි ම උපන් ආත්මාභිමානයෙන් යුක්තව සාඩම්භරව හැසිරෙති. ඒ, අද දිනට ඔවුන්ගේ කාර්යභාර්ය නිමා වූවා සේය.
එහෙත් ඔහුගේ කටයුතු නම් නිමා වී නැත. දර්ශන වාරය පුරා පරිහරණය කළ උපකරණවල සම්බන්ධතා මුදා හරිමින් ඒවා එකලස් කරමින් ඔහු කාර්යබහුලව සිටියි. ඔහු කවරෙකුගේ වුව ද අවධානයට හසු වන්නේ නැත. ඔහුට මල් මාලා පලඳවන්නෙක් හෝ මල් කලඹ අත ගන්වා සුභ පැතුම් එක් කරන්නෙක් ද නැත. ප්‍රේක්‍ෂකයන්ගේ ඇල්ම, ආදරය සහ ගෞරවය තමා රසගන්වන්නට රංග භූමිය මත රඟ දැක්වූවන් වෙත විනා තිරය පිටුපස සිට කාර්යයෙහි සාර්ථකත්වයට වෙහෙසෙන වුන් සඳහා නොවේ.
උපාලි වීරසිංහ
උපාලි වීරසිංහ නම් වූ ඔහුව ප්‍රේක්‍ෂකයන් නොදකිතත් ප්‍රේක්‍ෂකයන් සියල්ල දකින්නේ ඔහු නිසා ය. ප්‍රේක්‍ෂකයන් ඔහු හඳුනාගෙන නොසිටියත් නිෂ්පාදකයන්, අධ්‍යක්‍ෂකවරුන්, ගායක ගායිකාවන් ආදී කොට ඇති ප්‍රසංගික කලාවෙහි දැවැන්තයින්ගේ සිට ශාලාව අතුගා පිරිසිදු කරන සුළු සේවකයා තෙක් ඔහු නොහඳුනන කිසිවකුත් නැත. ඔහුගේ සේවාව කෙතරම් අත්‍යාවශ්‍ය වූවක් ද යන්නත් ඔහු තමන්ගේ සේවාව කෙතරම් කාර්යක්‍ෂමව හා ගුණාත්මකව ඉටු කරනු ලබන්නේ ද යන්නත් ඔවුන් අතරින් කිසිවෙක්ට හෝ පැහැදිලි කරදිය යුතු ද නැත. මන්දයත්, ඔහුගේ සේවාව ලබා නොගත් අයෙකු හෝ එකී සේවාවෙන් තෘප්ත නොවූ කිසිවෙකුත් ඔවුන් අතර නොසිටින බැවිනි.
පාඨක ඔබ වෙහෙසට පත් කිරීමට මම අකමැති වෙමි. ඔහු කවරෙක් ද යන්නත් ඔහුගේ සේවාව කුමක් ද යන්නත් කල් නොයවා ම අණාවරණය කළ යුතු ය. කලා අධ්‍යාපනයේ යෙදෙන්නවුන්ගේ නිර්වචනයට අනුව නළුවකු හෝ නිළියක තම ශරීරය මනස හෝ චිත්තවේග ආදී කොට ඇති කිසිදු කායික ක්‍රියාවලියකින් ඉදිරිපත් කිරීමට නොහැකි වන්නා වූත් තමා වෙත පූර්ණ වශයෙන්ම පිටතින් පමුණුවන ලබන්නා වූත් “ආහාර්ය අභිනයට” අයත් එක් සුවිශේෂ අංගයක් රංගනයේ යෙදෙන පාත්‍රයන් සහ රංග භූමිය වෙත සමීප කරවීම ඔහුගේ කාර්ය භාර්ය යි. සංක්‍ෂිප්තව දක්වතොත් ඔහු රංගාලෝක ශිල්පියෙකි. උපාලි වීරසිංහ යනු අප අතර සිටින පළපුරුදු, ප්‍රවීණ සහ විශිෂ්ඨතම රංගාලෝකකරණ ශිල්පියා ලෙස හඳුන්වා දීම කිසිවිටෙකත් අතිශයෝක්තියක් නොවේ.
රංගාලෝකකරණය යනු හුදු තිත්පහන්, ධාරා පහන්, වර්ණ පඨක හෝ ප්‍රක්ෂේපණ භාවිතයෙන් රංග භූමිය මත ආලෝකය පතිත කරවීමේ ක්‍රියාවලියක් නොවේ. එය මනාව ප්‍රගුණ කළ යුතු ශිල්පයකි. ඒ සඳහා විදුලි පරිපථ හෝ විදුලි පහන් පිළිබද තාක්‍ෂණික ඥානය පමණක් ප්‍රමාණවත් නොවේ. කලාත්මක කුසලතාවක්, නිර්මාණශීලි පරිකල්පණයක්, දීර්ඝ කාලීන පරිචයක් සහ අත්දැකීම් ඔස්සේ වඩවාගත් හසුරු කෞෂල්‍යක් ද එයට අවශ්‍ය වේ. අපගේ ඇගැයීමට පාත්‍රවන ‘’උපාලි වීරසිංහ’’ ආලෝකකරණ ශිල්පියා තමන්ගේ වෘත්තියමය කාර්යභාරය තුළ අතිමහත් සාර්ථකත්වයට පත් වන්නට හේතු සාධක විමසා බැලීම එකී ක්‍ෂේත්‍රය ඔස්සේ පියනගන්නට අපේක්‍ෂා කරන ආධුනික ආලෝකකරණ ශිල්පීන්ට මාර්ගෝපදේශයක් වනු ඇත.
ඔබ නොදුටු නර්තන ශිල්පියා
චිත්‍රසේන වජිරා නර්තන කණ්ඩායම සමග විදෙස් සංචාරයක දී. කවයෙන් දැක්වෙන්නේ උපාලි වීරසිංහ යකුඩා කල සිටම නර්තන කලාවට ඇලුම් කළ උපාලි තම පියාගේ සහෝදරයෙක් වූ නර්තන ආචාර්ය හේරැස් අල්විස් වීරසිංහ වෙතින් නර්තන කලාව ඉගනුම ආරම්භ කළේය. ඔහුගේ ආශාව සහ දක්‍ෂතාව වටහාගත් බාප්පා තමා හොඳින් දැන හඳුනාගෙන සිටි එස්. පණීභාරත ගුරුතුමා සමඟ සාකච්ජා කර එවකට නර්තන ඉගැනුම සඳහා ප්‍රකට ආයතනයක්ව පැවැති රජයේ ලලිත කලායතනයට ඇතුළු වී ශිල්ප ඉගෙන ගන්නට උපාලිට අවස්ථාව උදාකර දුන්නේය. පසු කලෙක නර්තන ප්‍රසංග සඳහා ආලෝකරණ ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමේ දී නර්තන ශිල්පියෙකු ලෙස ඔහු ලබාගත් අත්දැකීම් බෙහෙවින් ප්‍රයෝජනවත් වූවාට සැකනැත.
රජයේ ලලිත කලායතනයේ සති අන්ත පාඨමාලාවේ එස්. පණීභාරත, ඇල්ගම කිරිගණිතා, මුරුතව, මංගල සිරියා, සුරඹා වැනි ගුරුවරුන් යටතේ ශිල්ප උගත් උපාලි තත් වකවාණුව තුළ ගාණ්ධර්ව විභාග සඳහා ද ඉදිරිපත් වූයේය. දක්‍ෂ ලෙස නර්තනය උගත් උපාලිට අම්පාර දිස්ත්‍රික්කයේ පාසලක නර්තන ගුරුවරයකු ලෙසට සේවයට පත් කරනු ලැබීය. එහෙත් එම ගුරු පත්වීම භාර නොගැනීමට ඔහු තීරණය කළේ ගුරු වෘත්තියෙන් බොහෝ එපිට ඉසව්වක් කරා ගමන් කිරීම ඔහුගේ අභිප්‍රාය වූ බැවිනි. වේදිකා නාට්‍ය කලාව ජනප්‍රිය කලා අංගයක්ව පැවැති එම යුගයේ දී නාට්‍ය ශිල්පියෙකු වීමටත් කලා ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් වූ එදිරිවීර සරච්චන්ද්‍ර සහ ඩබ්. ඩී. අමරදේව වැනන්වුන් හඳුනා ගැනීමටත් ඔහුට අවශ්‍ය විය. කොළඹින් ඈත අම්පාර දිස්ත්‍රක්කය වැනි ප්‍රදේශවල රැකියාව සඳහා පිටත්ව යෑම තමාගේ ඉලක්ක සපුරා ගැනීමට බාධාවක් ලෙස ඔහුට හැගෙන්නට විය.
මහැදුරු සරච්චන්ද්‍රයන් සහ ධනපාල බෝගොඩ සමග‘ඔමරිලතා’ ගමන වෙනස් කළා ය...
දෛවය බොහෝ දෙනාගේ ජීවිත නිර්මාණය කරනවා පමණක් නොවේ. අහඹු ලෙස හෝ කෙනෙකුගේ සැඟවුණු දක්‍ෂතා එළිදැක්වීමට මැදිහත්කරුවෙකු ලෙස ද කටයුතු කරයි. එය එසේම විය. උපාලි ඒ වනවිට බැසිල් මිහිරිපැනන්ගේ “ඔමරිලතා” මුද්‍රා නාට්‍යයේ නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කළේය. එකී නාට්‍යයේ කටයුතු කරන අවස්ථාවක දී එවකට ලංකාවේ අග්‍රගණ්‍ය ආලෝකකරණ ශිල්පියෙකු ලෙස ප්‍රකටව සිටි මහින්ද ඩයස් හඳුනා ගැනීමට හැකිවිය. උපාලි කෙරෙහි දයා බරිත වූ මහින්ද ඩයස් තමා යටතේ විදුලි ආලෝකකරණ ශිල්පය ඉගෙනීමට කැමැත්තක් දක්වන්නේ නම් එයට අවස්ථාවක් ලබා දිය හැකිබව උපාලිට කියා සිටියේය. මෙකී අනපේක්‍ෂිත ආරාධනයට එකඟ වන්නට දෙවරක් සිතා බැලීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. එය ඔහුගේ ජීවිතයේ ප්‍රධාන හැරැවුම් ලක්‍ෂයයි. කාරුණික දෛවය ඔහු යා යුතු ගමන් මග මෙලෙස විවෘත කිරීම අහඹුවක් නොව දෛවෝපගත සංසිද්ධියකි.
1966 මාර්තු මස 03 වැනිදා ඔහු ප්‍රථම වරට ලුමුබිණි රඟහලේ රඟදක්වන ලද ජී. ඩී. එල්. පෙරේරාගේ ‘තොටුපළ’ නාට්‍ය සඳහා මහින්ද ඩයස්ගේ සහායකයකු ලෙස කටයුතු කළේය. මාර්තු 04 දින රඟදැක් වූ චිත්‍රසේනගේ කරදිය මුද්‍රා නාට්‍යයේ ආලෝකකරණය සඳහා ද උපාලි මහින්ද ඩයස්ට සහය විය. මෙම නාට්‍ය දෙකම රඟ දක්වන ලද්දේ නන්දා මාලනී ගායන ශිල්පිනියට භාරතයේ සංගීත ඉගැනුම සඳහා යෑමට ආධාර පිණිස වූයෙන් නන්දා මාලනී ගායන ශිල්පිණිය දැන හඳුනා ගන්නට උපාලිට හැකිවිය.
නන්දා මාලනී සහ අරිසෙන් අහුබුදු සමගඋපාලිට ප්‍රථම වරට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මුණගැසුනේ කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී ය. එදින රඟදැක්වීමට නියමිත මනමේ නාට්‍යයේ රංගාලෝක කටයුතු කළේ මහින්ද ඩයස් ය. ඔහුගේ සහායකයකු ලෙස කටයුතු කළ උපාලි පිළිබඳව සතුටට පත් සරච්චන්ද්‍රයන් තමාගේ නාට්‍යවලට උපාලි නොවරදවාම කැඳවාගෙන එන ලෙස මහින්ද ඩයස්ගෙන් ඉල්ලා සිටියේය. එහි අවසන් ප්‍රතිඵලය වුයේ සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු, පේමතෝ ජායතී සෝකෝ ඇතුළු සියලු නාට්‍යන් හි ප්‍රධාන ආලෝකරණ ශිල්පියා ලෙස කටයුතු කිරීමට උපාලිට අවස්ථාව උදාවීමය.
කේලමත් හොඳට ගිය වගයි...
බොහෝ කල් මහින්ද ඩයස්ගේ විශ්වාසය දිනාගෙන කටයුතු කළ උපාලි වීරසිංහට ඔහු වෙතින් ඉවත් වීමට සිදු වූයේ එක්තරා පුද්ගලයෙකු මහින්ද ඩයස්ට බොරු කේලාම් කියා උපාලි කෙරෙහි බිඳවන ලද බැවිනි. මේ අවාසනාවන්ත සිදුවීම වික්ටර් රත්නායකයන් ගේ ‘‘ස’’ ප්‍රසංගය පවත්වන කාලයට සමගාමීව සිදු වූවකි. මහින්ද ඩයස් උපාලි සමඟ ඇතිකර ගත් සිත් අමනාපය මත වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගයට ආලෝකකරණ උපකරණ ලබාදීම ප්‍රතික්‍ෂ්ප කිරීම ප්‍රසංගය පැවැත්වීම කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරන ලද්දේ වුව ද වික්ටර් රත්නායකගේ ඉල්ලීම මත වෙනත් ස්ථානවලින් කුලියට ලබාගත් ආලෝක උපකරණ යොදා ගනිමින් ප්‍රසංගය සඳහා ආලෝකකරණය සාර්ථක ලෙස කරන්නට උපාලිට හැකි විය. ස්වාධීන රංගාලෝක ශිල්පියෙකු ලෙස කටයුතු කරන්නට උපාලි පටන් ගත්තේ ඉන් අනතුරුවය. මහින්ද ඩයස්ගේ වැරැදි වැටහීම මත බොහෝ කාලයක් ඔහු හමුවීමෙන් වැලැකී සිටිය ද තම ගුරුවරයා කෙරෙහි පැවැති භක්තිය බිදකින් හෝ අඩුකර නොගන්නට උපාලි කටයුතු කළේය. එය ඔහුගේ සුවිශේෂ චරිත ලක්ෂණයක් විය. එක් එක් ශිල්පීන් ඉදිරිපත් කළ ඒක පුද්ගල ප්‍රසංග සඳහා මෙන්ම ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ගම්උදාව සංදර්ශණයන් හි ද ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී ප්‍රසංගය ද ඔහුගේ ආලෝකකරණයෙන් ඔපවත් විය.

සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ සියල්ලක් සඳහා ම ද හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාව, ජනේලය, කුවේණි, අපට පුතේ මගක් නැතේ, තවත් උදෑසනක් යනාදි නාට්‍ය නිර්මාණ සඳහා ද, ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු, දේවතා එළි, ලිය තඹරා, සඳ කිඳුරු යනාදි නාට්‍යවල ටද උපාලි ආලෝකකරණයෙන් දායක විය. ආර්. ආර්. සමරකෝන්ගේ කැළණි පාලම, කපුටු බෙර, අහසින් වැටුණු මිනිස්සු, කකුල් හතරේ ඉලන්දාරියා, ජනක් ප්‍රේමලාල්ගේ රාජ කපුරු, අබුද්දස්ස කෝලම, රජගහේ නාඩගම, සක්වල කැලඹිලා, විජය නන්දසිරිගේ කුසපබාවතී, භාරත රැජින, වෘෂභ රාජ, ශ්‍රී ගජබා යන නිර්මාණයන් ද ඒ අතර වේ. සයිමන් නවගත්තේගම, ශ්‍රියන්ත මෙන්ඩිස්, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, චිත්‍රසේන දහනායක, හේමසිරි ලියනගේ, ගාමිණී හෙට්ටිආරච්චි ආදී කොට ඇති ප්‍රකට නාට්‍ය ශිල්පීන් තමන්ගේ නාට්‍ය නිර්මාණ සඳහා උපාලිගේ සේවය ලබා ගැනීමට හැකි සෑම අවස්ථාවකදීම කටයුතු කළහ.
ප්‍රවීණ කලාකරුවන් සමග එක්ව...
පණ්ඩිත් අමරදේවයන්ගේ ශ්‍රවණ රමණී, අමර ගී සර යනාදි සංගීත ප්‍රසංග ඔස්සේ ගැටවර වියේ දී තමා හඳුනාගැනීමට ප්‍රිය කළ ගායන ශිල්පියා හඳුනා ගැනීමට අවස්ථාව උදාකර ගත්තා පමණක් නොව ඔහු හා එක්ව කටයුතු කරමින් එම නිර්මාණවලට දායකත්වය ලබා දෙන්නට ඔහුට හැකි විය. උපාලිගේ ආලෝක රටා ඇසුරෙන් වේදිකාව කලාත්මකව ආලෝකවත් කරගත් සනත් නන්දසිරිගේ ස්වර්ණ කුණ්ඩල, නන්දා මාලනීගේ ශ්‍රවණාරාධනා, සත්‍යයේ ගීතය, පවන, ගුණදාස කපුගේගේ කාලයේ රාවය, කම්පන, ලතා වල්පොළගේ ලතා රාත්‍රිය, සුනිල් එදිරිසිංහගේ සඳකඩ පහණ පමණක් නොව නීලා වික්‍රමසිංහ, සුජාතා අත්තනායක, එච්. ආර්. ජෝතිපාල, මාලනී බුලත්සිංහල යනාදින්ගේ ඒක පුද්ගල ප්‍රසංග ද වේ.
එකිනෙකට වෙනස් වූ ප්‍රාසංගික ඉදිරිපත් කිරීම් මනාව වටහාගෙන ඒ අනුව ආලෝකකරණය සැපැයීම මනා අවබෝධයකින් යුතුව කළ යුත්තකි. නාට්‍ය, මුද්‍රා නාට්‍ය, ගීත ප්‍රසංග, ඒක පුද්ගල ප්‍රසංග, නර්තන ප්‍රසංග ආදී කොට ඇති ප්‍රාසංගික ඉදිරිපත් කිරීම්වල විවිධත්වය ආලෝකකරණ ශිල්පියාගේ අවධානයට ලක්විය යුත්තකි. කුඩා කාලයේ සිට ම නර්තනයෙහි යෙදීමෙන් ලද අත්දැකීමත්, නාට්‍ය සහ මුද්‍රා නාට්‍යන්හි රඟදැක්වීමෙන් ලද අභ්‍යාසයත් එයට මඟපෙන් වූ සාධක විය හැකිය. චිත්‍රසේන ශූරීන්ගේ කරදිය, නල දමයන්ති, තෘත්‍යාංජලී, නවාංජලී, ශිව රංග, කිංකිණි කෝලම, වසන්ත කුමාරගේ හිරෝෂිමා, කුඹුරු පනත උපාලිගේ දක්‍ෂතා ප්‍රදර්ශනය කළ නිර්මාණ අතර වේ. ඊට අමතරව මිරැන්ඩා හේමලතා, වජිරා චිත්‍රසේන ,උපේකා චිත්‍රසේන, කමලා ජයතිලක, රවිබන්දු විද්‍යාපති, ආරියරත්න කළුආරච්චි, කරුණාරත්න බණ්ඩාර, මුදියන්සේ දිසානායක, සෝමපාල මුදුන්කොත්, කුලසිරි බුදවත්ත ආදී කොට ඇති ශිල්පීන්ගේ නිර්මාණ ද උපාලි වීරසිංහගේ කලාත්මක ආලෝක හැසිරවීමෙන් ඔපවත් විය.
සිංගප්පූරුවේ රඟහලක වේදිකා ආලෝකකරණ කටයුතු මෙහෙයවමින්උපාලිගේ අත්දැකීම් පුළුල්ය. වඩාත් අර්ථවත්ය. ශ්‍රී ලංකාවේ සෑම රංග ශාලාව ක්ම ඔහුගේ රංගාලෝකයෙන් ඔපවත් ය. බොහෝ රටවල අතිනූතන රංග ශාලාවල පවා ආලෝකකරණ කටයුතු කිරීමෙන් ලබා ඇති පළපුරුද්ද විශිෂ්ට ය. අපට මෙවැනි දක්‍ෂයන් ඉන්නේ අතළොස්සකි. ඔවුගේ සේවාව අගය කිරීමත්, වටිනා සම්පත් ලෙස ඔවුන් ආරක්‍ෂා කිරීමත් අප සතු වගකීමකි.
(මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර)






