‘‘විහාර දේවිය:-
... මහතෙරුන් ලියාගෙන යන මහ පුස්තකයේ නුඹ ගැනනෙ ඔය ලොකුවට කතාකරන්නෙ. නුඹේ දක්ෂකම් ගැන, වීරකම් ගැන, ගුණවත්කම් ගැන එක දිගට කියවෙනව. කොටින්ම අනුරාධපුරේ අන්තිම සටන ගැන ලියා තියෙන හැටි දැක්කම මටත් පුදුම හිතුණා. එළාර ද්වන්ධව සටන සඳහා නුඹට ආරාධනා කරල එවපු පයින්ඩෙයි තෑගියි ගැන වචනයක් නොකියා ඒ අදහස හරියට නුඹේ ම ශ්‍රේෂ්ඨ අදහසක් විදියටයි දක්වල තියෙන්නෙ.’’
යට දැක්වූ කොටස උපුටා ගත්තේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් රචිත ‘රත්නවල්ලි’ නාට්‍යය මුද්‍රිත පිටපතෙහි 25වන පිටුවෙනි.
මේ දෙබස් ඛණ්ඩය කියවන විට සිතට නැගෙන්නේ කුමක් ද...?
‘මේ ඉතිහාසය විකෘති කිරීමක්’ යැයි කිසිවකු පැවසිය හැකි ය; ඇතැම් විට චෝදනා කිරීමට ද පිළිවන. ‘නැත... එය ඉතිහාසයට අභියෝග කිරීමක්’ යැයි තවත් පාර්ශ්වයක් පැවසිය හැකි ය. ‘නැත... ඒ ඉතිහාසය ප්‍රශ්න කිරීමකි.’ යනුවෙන් තවත් පාර්ශ්වයක් තර්ක කළ හැකි ය. මේ සියල්ලට ම වෙනස්ව සිතන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ‘නැත... මේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමකි.’ යැයි පැවසිය හැකි ය.
කිසියම් නිර්මාණකරුවකු මෙබඳු සිදුවීමක් තම නිර්මාණ තුළින් සමාජ ගත කිරීම යනු ජීවිතයේ දැවැන්ත අභියෝගයකට මුහුණ පෑමකි. එහෙත් කලාකරුවා යනු කුමන බාධක පැමිණිය ද තම අදහස් සමාජගත කරමින් පාඨක, රසික, ප්‍රේක්ෂක ප්‍රජාව සබුද්ධිකත්වයට පත් කරන පුද්ගලයෙකි.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන යනු ද එබඳු පුද්ගලයෙකි. ඔහු, සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට පිවිස, ඒ වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක නියැළෙමින් සිටින්නේ දැනට සාළිස් වසරකත් අධික කාලයක සිට ය. ඔහුගේ සාළිස් වසරක සාහිත්‍ය කලා කර්තව්‍ය අගය කරනු වස් පැවැත්වෙන සංස්කෘතික ප්‍රභාෂණය මෙම මස 27වන දින සවස 02.30ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මෙම සද්කාර්ය නිමිති කරගෙන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාවට සමග කළ සාකච්ඡාව පහත වීඩියෝවෙන් නරඹන්න.
සබැඳි ලිපියක් :
සුනිල දිය දහර - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)






