ඔස්ට්‍රේලියානු බ්‍රිතාන්‍ය ලේඛිකා පිප් විලියම්ස් විසින් ලියන ලද ඉතා සාර්ථක ඓතිහාසික නවකතාවක් වූ The Dictionary of Lost Words (2020) නම් කෘතියට පාදක වූයේ දහනව වන සියවසේ,
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රිසි ශබ්දකෝෂය සම්පාදනය කරමින් සිටි පිරිමින් විසින් ‘කාන්තාවන් සම්බන්ධ වදන්’ එම ශබ්දකෝෂයෙන් ඉවත් කිරීම සහ වැරදි ලෙස අර්ථ කතනය කිරීම පදනම් කරගත් කතාන්දරයකි. 19 වැනි සහ 20 වැනි සියවස් පිළිබඳව එම කෘතියට අවශ්‍ය පර්යේෂණ කටයුතු කරමින් සිටින විට, පිප් දුටු එක් ඡායාරූපයක් නිසා Oxford University Press ප්‍රකාශන ආයතනයේ එකල, පොත් බඳින අංශයේ වැඩ කළ කාන්තාවන් පිළිබඳ සොයා යාමට ඇයට සිතක් පහළ වූයේය. (The Dictionary of Lost Words (2020) කෘතිය පිළිබඳ සවිස්තර ලිපියක් 2022/03/20 වැනි දින අනිද්දා පුවත්පතේ පළ විය)
The Dictionary of Lost Words (2020) කෘතියඇය ඒ පිළිබඳ තව තවත් කරුණු සොයා යන විට, පොත් බැඳීමේ කාර්යය තුළ කාන්තා භුමිකාව පිලිබඳ ඇති තොරතුරු ඉතා අල්ප බව පිප් ට වැටහුණු අතර, කාන්තාවන් පොත් බැඳීමේ කාර්යය තුළ නිරත වන කුඩා වීඩියෝවක් ඇතුළු ඇය මහත් පරිශ්‍රමයෙන් සොයා ගත් තොරතුරු මාර්ගයෙන් ඇය එම කාන්තාවන්ගේ කාර්යය භාරය පිළිබඳ යම් කිසි දැනුමක් ලබා ගත්තාය.
ඒ අනුව පිප් පවසන පරිදි, පොත් බැඳීමේ අංශය ‘කාන්තා’ සහ ‘පිරිමි’ ලෙස වෙන් කොට ඇත. ඔබ පොතක් අතට ගත් විට පිටු නැමීම, පිටු එක පිළිවෙලකට එක් කිරීම, එකට තබා මැසීම වැනි පොත තුළ දෘශ්‍යමාන නොවන දේවල වගකීම කාන්තාවන් විසින් දැරිය යුතු අතර, පිරිමින්ගේ කාර්යය භාරය වන්නේ එහි පිටත හොඳින් පෙනෙන පිටකවරය සැකසීම, රන් ආලේපනය, වෙනත් භාහිර අලංකරණය කටයුතුය.
1925 වසරේ නිෂ්පාදනය කරන ලද, The Oxford University Press and the Making of a Book නම් නිහඬ චිත්‍රපටය පිප් විසින් නරඹන විට, පොත් බැඳීමේ කාර්යය තුළ නිරතව සිටින කාන්තාවන් එම කාර්යයේ යෙදෙන උනන්දුව, ඔවුන් විවිධ අංශ වලට ගොස් තමන්ගේ දෑතින් ඒ මහා දැනුම සහිත පොත්වල කොටස් එක්රැස් කරගන්නා සැටි දකින මොහොතක ඇය මෙසේ සිතයි: “ ඇය ඒ පොත් කියෙව්වා නම්...” එකල ලෝකයේ අග්‍ර ගණයේ දැනුම එක් තැනකට ගොනු කළ උත්තුංග ආයතනයක ඒ මහා දැනුම හා ගැවසුණු වැඩකරන පංතියේ කාන්තාවන් ගැන එසේ පැන නැඟුණු සිතිවිල්ල, පිප් විලියම්ස් නම් ලේඛිකාව විසින් සම්පාදිත The Bookbinder of Jericho (2023) නම් කෘතිය බිහි වීමට පාදක වුණු මූලික සිදුවීම විය.
ඔවුහු දෙදෙනාම පළමු ලෝක යුද්ධය ආරම්භ වන වන විට ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස් ප්‍රකාශන ආයතනයයේ පොත් බඳින්නියෝ ලෙස සේවය කරන්නවුන් වූහ. The Bookbinder of Jericho කෘතියේ කතාව ගොඩනැගෙන්නේ පෙනුමෙන් එක සමාන සහෝදරියන් දෙදෙනෙකු වන පෙගී සහ මෝඩ් නම් තරුණියන් දෙදෙනා වටාය. ඔවුහු දෙදෙනාම පළමු ලෝක යුද්ධය ආරම්භ වන වන විට ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස් ප්‍රකාශන ආයතනයයේ පොත් බඳින්නියෝ ලෙස සේවය කරන්නවුන් වූහ. ඔවුන් අනාථ දැරියන් වූ අතර ජීවත් වූයේ බෝට්ටුවක් තුළය. ආර්ථික වශයෙන් කෙතරම් අමාරු කාරියක් වුවද පෙගී නිතරම සිහින දුටුවේ, පාසල් ගමන නිමා කර, ඉන් අනතුරුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළුවීමටය. මෝඩ් තමන් ට හිමි ජීවිතයෙන් තෘප්තිමත් වූ අතර ඇය නිතරම කිසිවෙකු ගේ පිළිසරණ සහ රැකවරණය අපේක්ෂා කළාය. පෙගී ඇයගේ මව කළාක් මෙන් ප්‍රතික්ෂේප වුණු පොත් ගෙදර ගෙනැවිත් කියවීමට පුරුදුව සිටියාය. නමුත් වැඩ කරන විට ඇයට කියවීම තහනම්ය. පළමු ලෝකය යුද්ධය ආරම්භයත් සමඟ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, අවතැන් වූ බෙල්ජියම් ජාතිකයන්ට නවාතැන් පොළක් බවට පත් වන අතර එම සිදුවීම පෙගී සහ මෝඩ් ගේ ජීවිත කිසියම් වෙනසකට ලක් වීමට බලපායි. පෙගී සහ මෝඩ් තම තමන් අපේක්ෂා කරන ජීවිත වෙත ගමන් කරනවාද, විශේෂයෙන් ඉගෙනගැනීමට සිහින දකින පෙගී ඒ අපේක්ෂා සැබෑවක් බවට පත් කරගන්නවාද යන්න නවකතාවේ ගලා යාමත් සමඟ පාඨකයා දැනගන්නවා ඇත.
ඒ අනුව, ඉතා සාර්ථක අලෙවි වාර්තා තැබූ The Dictionary of Lost Words නම් පිප් විලියම්ස්ගේ පළමු කෘතිය සේම The Bookbinder of Jericho නම් ඓතිහාසික කෘතියත් පාදක වී ඇත්තෙ පළමු ලෝක යුධ සමයේ දිවි ගෙවූ කාන්තාවන්ගේ ජිවිත කතාන්දර අළලාය. පහතින් දැක්වෙන්නේ The Garret නම් වෙබ් අඩවියේ පොඩ් කාස්ට් වැඩසටහනක දී පිප් විලියම්ස් සමඟ කරන ලද සංවාදයක් ඇසුරින් සකස් කරන ලද සංක්ෂිප්ත සටහනකි.
ඔබගේ පළමු නවකතාව The Dictionary of Lost Words පිටවුනේ 2020 වසරේ. එය ඉතාමත් සාර්ථක කෘතියක් යැයි පැවසුවොත් මා නිවැරදියි. දෙවැනි ප්‍රබන්ධ නවකතාව The Bookbinder of Jericho එළිදැක්වුනේ 2023 වසරේ. ඒ කෘති තුළ සිදුවීම්වලට පදනම් වෙන්නෙ එකම කාල වකවානුවක්. දෙවැන්න මුල් කෘතියේ දිගුවක් නොවෙයි, එහෙත් පැහැදිලි සමානකම්, අන්තර්බැඳීම් දක්නට තිබෙනවා. ඔබ The Bookbinder of Jericho කෘතිය පිළිබඳ හැඳින්වීමක් කළොත්?
The Bookbinder of Jericho මම දකින්නෙ, The Dictionary of Lost Words කෘතියේ සගයා, සොයුරිය නැතිනම් මිතුරා විදියට. එකක් අනිකෙන් පෝෂණය වී වැඩි දියුණු වෙනවා. ඒත් ඔබට එක කෘතියක් තේරුම්ගැනීමට අනෙක කියවිය යුතුම නෑ. ඒවා ස්වාධින පැවැත්මක් තියෙන කෘති, ඒත් චරිත හුවාමාරු වීම වැනි දෙයක් සිදු වෙනවා.
The Bookbinder of Jericho මම දකින්නෙ, The Dictionary of Lost Words කෘතියේ සගයා, සොයුරිය නැතිනම් මිතුරා විදියට. එකක් අනිකෙන් පෝෂණය වී වැඩි දියුණු වෙනවා. ඒත් ඔබට එක කෘතියක් තේරුම්ගැනීමට අනෙක කියවිය යුතුම නෑ. ඒවා ස්වාධින පැවැත්මක් තියෙන කෘති, ඒත් චරිත හුවාමාරු වීම වැනි දෙයක් සිදු වෙනවා.
එය මුළුමනින්ම ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස් ප්‍රකාශන ආයතනයේ පොත් බැඳීමේ අංශයේ වැඩ කරන කාන්තාවන් පිළිබඳ ගෙතුණු කතාවක්මේ කෘතියේ සිදුවීම් දිගහැරෙනේනෙ පළමු ලෝක යුද්ධයේ ආරම්භයත් සමඟම. එය මුළුමනින්ම ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස් ප්‍රකාශන ආයතනයේ පොත් බැඳීමේ අංශයේ වැඩ කරන කාන්තාවන් පිළිබඳ ගෙතුණු කතාවක්. ඇයගේ රැකියාව පොත් බැඳීම මිස ඒව කියවීම නොවන බව ඇයට කියනු ලබනවා. නමුත් ඇය වඩාත් කැමති, ඇයගේ ශ්‍රේෂ්ඨතම සිහිනය ඉගෙන ගැනීමත් අධ්‍යනය කිරීමත්. ඇය කැමති වෙන කිසිම දේකට නෙමෙයි ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස් ප්‍රකාශන ආයතනයේ පාරෙන් එහා පැත්තෙ තියෙන ඉස්කෝලෙට ගිහිල්ලා ඉගෙන ගන්න එක.
මේ කෘතිය ලිවීමේදී මම වැඩි අවධානය යොමු කලේ ඔක්ස්‍ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස් ප්‍රකාශන ආයතනයේ පොත් බැඳීමේ කාන්තාවන්ගේ කාර්යයභාරය ගැන, මොකද මගේ මුල් කෘතියට පර්යේෂණ කරන කාලේ ඒ ගැන මම තොරතුරු සොයන්න වෙහෙසුනා. ඒත් මට එතරම්ම දේවල් සොයා ගැනීමට හැකි වුනේ නැහැ.
එහෙත් සමහර තොරතුරු මූලාශ්‍ර ඇසුරු කිරිම තරමක සිත සසල කරවන අත්දැකීමක් වුණා. මට ලැබුනු පින්තූර සහ වීඩියෝ පටය නැරඹීමේදී එකවරම මගේ කල්පනාවට අවේ.. “ ඇය මේ එකතු කරන, එකට තබා බඳින, නමන පිටු ඇය කියවූයේ නම්..” ඒත් මට වැටහුණා ඇයගේ කාර්යය මන්දගාමී වන නිසා ඇයට එසේ කිරීමට නොහැකි වන්නට ඇති බව.
වතුර සම්බන්ධ චිත්ත රූපය මගේ මනසේ මැවුනේ ඉන් පස්සෙ, හැමතැනම වතුර, ඒත් ඉන් එක බිඳක් බොන්න හැකියාවක් නෑ. ඒ වගේම ඔබ දැඩි දැනුම් පිපාසයක ඉන්නවා. එවැනි සිදුවීමක් තරමක විරල තත්වයක්. ඒ විශ්වවිද්‍යාලයේ, රටේ වඩාත් කීර්තිමත්, ලෝකයේ වඩාත් කීර්තිමත් විශ්වවිද්‍යාලයේ මහා දැනුම් සම්භාරය ඔබේ අතැඟිලි අග! ඒත් ඔබට එය ඇසුරු කරන්න බැහැ.
මම හිතන්නේ ඒ කාලයේ පොත් බැඳීම කියන්නෙ බොහොම සුන්දර දෙයක්. පොඩ්ඩක් හිතලා බැලුවොත් පොතක් හදන්න, එහි පිටු බඳින්න මිනිස්සු පිරිසක් මහ රෑ ඇහැරගෙන ඉන්නවාය කියන එක. මම කවදාවත් හිතලා නැති වුණත් ඒ කාර්යයත් අපි පොතක් ලියනවා කියවනවා වගේම අප අවධානය යොමු කළ යුතු වැදගත් කොටසක්. එය ඇත්තටම හරිම අසිරිමත් අත්දැකීමක්.
ඒ කාලයේ පොත් බැඳීම කියන්නෙ බොහොම සුන්දර දෙයක්. ඔව් ඇත්තටම කිව්වොත් මම ඒ පොත් බැඳීමේ ක්‍රියාවලියට පෙම් බඳින්න පටන් ගත්තා, ඒවගේම ඒ දේ සිදුකරන මිනිස් කණ්ඩායමටත්. මොකද පොත් බඳින පිරිස මේ පොත් කියවන්නෙ නෑ, කියවන්නෙ වෙනම පිරිසක්, ඒත් පොත් බඳින්නෙ තවත් පිරිසක්.
ඒවගේම අවුරුදු සියයකට ඉහතදී සිටි වැඩකරන පංතිය ගැන අපට තියෙන්නෙ වැරදි අදහසක්. ඔවුනට ඒ කාලෙ කියවීමේ හැකියාව තිබුනා, ඒ නිසා අපි දැන් හිතාගෙන ඉන්නාවට වඩා හොඳ මට්ටමින් ඔවුන් කියෙව්වා. දැන් කාලයට වඩා හොඳින් ඔවුන් ශේක්සිපියර් ඩිකන්ස් වගේ සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කලා. අපි තමයි ඔවුන්ගේ සාහිත්‍ය ඇසුර අවතක්සේරු කර තිබෙන්නෙ. අනික් පැත්තෙන් අපට හිතන්න පුළුවන් තව දෙයක් තමයි, එයාලා අපි හිතනවා ට වඩා උසස් මට්ටමින් කියෙව්වා මොකද එයාලට විනෝද වෙන්න වෙන ගොඩක් අවස්ථා තිබුනේ නෑ. ඒ නිසාම මම හිතනවා පොත් බැඳීමේ අංශයේ වැඩ කරපු මිනිස්සුත් අපි හිතනවාට වඩා එයලා බඳින පොත් වල අගය දැනගෙන ඉන්න ඇති කියලා.
මෙම කෘතියේ ඔබ සමාජ පංති ගැන කතා කරනවා. ඔබ ලන්ඩනයේ සමාජ පංති ගැන සොයා යාමක් කරනවා. අනික් පැත්තෙන් මේ මුළු ප්‍රබන්ධයම ස්ථානගත වෙලා තියෙන්නෙ පළමු ලෝක යුද්ධය පැවති කාලය තුළ. එහි කියැවෙන්නෙ පොත්වලටත් පොත් කියවීමටත් ඇති ආදරය ගැන, පොත් වලින් ඔබව කැඳවාගෙන යා හැකි ලෝකය පිළිබඳව. මේ ඓතිහාසික නවකතාව තුළ ඒ කාලයත්, ඒ සමාජය ප්‍රතිනිර්මාණය කිරීමටත් ඔබ ප්‍රවේශ වුයේ කොහොමද?
මට දැනගන්න අවශ්‍ය වුනේ ශබ්දකෝෂයය වචන එකතු වුනේ, ඒවා එකට සංස්කරණය කලේ කොහොමද කියලා දැනගන්නඔව්, එය හරිම සිත් ගන්නා සුළුයි. මම The dictionary of Lost words ලියන කාලයේදී මට අවශ්‍ය වුනේ ඉතිහාසයවත් යුද්ධය ගැනවත් කියවන්න නෙමේ, මට දැනගන්න අවශ්‍ය වුනේ ශබ්දකෝෂයය වචන එකතු වුනේ, ඒවා එකට සංස්කරණය කලේ කොහොමද කියලා දැනගන්න. මම ලිව්වෙ කියෙව්වෙ ඒ ගැන. ශබ්දකෝෂය සම්පාදනය පිළිබඳ කියවනවා කියන්නෙ පැහැදිලිව ඉතිහාසය තමයි. දෙවන ලෝක යුද්ධය සහ කාන්තා ජන්ද අයිතිය පිළිබඳ දේවල් ඉදිරියට ආවේ ඒ අනුව.
ඒත් The Bookbinder of Jericho කෘතිය ලියන විට මම පළමු ලෝක යුද්ධය පිළිබද විශේෂයෙන් අවධානය යොමු කළා. කෘති ද්විත්වය අතිපිහිත වෙන්නෙ එම කාලය තුළ දිගහැරෙන සිදුවීම් නිසා.
එම කාලය පිළිබඳ සිදුවීම් අධ්‍යයනයේදි මට පැහැදිලි වු කාරණයක් නම්, විසිවැනි සියවස මුල් භාගයේ ඉතිහාසයේ එම කාලය කියන්නෙ පුදුම එළවන සුළු ගතිකභාවයක් පැවති සමයක්. එය විශාල වශයෙන් සමාජ නැඟිටීම් සහ සමාජ වෙනස්කම් සිදුවුණු කාලයක්. එවැනි දැවැන්ත ආකාරයේ ඛේදාන්තයන්, සමාජ විපර්යාසයන් සහ සමාජ කැළඹිම් සිදුවන විට සාමාන්‍ය සමාජ පිළිවෙල ඉරිතලා විනාස වෙලා යනවා. ඉන් පසු මම හිතන්න උත්සාහ කළා එවැනි සමාජ පිළිවෙලෙහි ඇතිවන ඉරි තැලීම් පිපිරීම්, තමන්ගේ අච්චිඅම්මගෙන් සහ අම්මගෙන් පස්සෙ පොත් බැඳීමේ නිරත වන, පාසල් ගමන නතර කළ අවුරුදු දොළහක් වයසැති වැඩකරන පංතියේ පුංචි කෙල්ලකට කොහොම බලපායි ද කියන එක. ඇයගේ ජීවිතය ඉරණම තීරණය වෙලා තිබුනේ, අතේ ඇඟිලිවල හන්දි රුදා ඇතිවන තුරුම පිටු නවන්න සහ බඳින්න.
ඉන්පස්සේ යුද්ධය පටන් ගත්තා, අනිත් දේවලුත් ඒ වනවිටත් සිදු වෙමින් පැවතියා, කාන්තා ඡන්ද අයිතිය වෙනුවෙන් සටන් කළ ව්‍යාපාරය වගේ දේවල්.
අවසානයේ කාන්තාවෝ 1918 වසරේ ඡන්ද අයිතිය දිනා ගත්තාපළමු ලෝක යුද්ධය සමයේ කාන්තාවගේ භූමිකාව වුනේ, ඔවුන් පිරිමින් ගේ රැකියා බාරගත්ත එක, ඒ නිසා රට දිව්වා, ඒ ක්‍රියාව නිසා කාන්තා ව්‍යාපාරයත් ශක්තිමත් වුණා. අවසානයේ කාන්තාවෝ 1918 වසරේ ඡන්ද අයිතිය දිනා ගත්තා, ඒත් එය ලැබුනේ සමාජ පංතිය අනුව සමහර කාන්තාවන්ට පමණයි.
වැඩකරන පංතියේ කාන්තාවෝ ඉදිරියට ඇවිල්ලා ආයුධ කම්හල් වල වැඩ කෙරුවා, බස් රථ ධාවනය කළා. ඒ දේවල් නිසා තමයි රට ඉදිරියට ගියෙ. ඒත් ඉහළ සහ මැද පංතියෙ කාන්තාවෝ තමයි මුලින්ම ඡන්ද අයිතිය ලැබුවේ. වැඩකරන පංතියෙ කාන්තාවට ඒ අයිතිය ලබා ගන්න තව අවුරුදු දහයක් බලා ඉන්න සිද්ධ වුණා.
වැඩකරන පංතියේ කාන්තාවෝ ඉදිරියට ඇවිල්ලා ආයුධ කම්හල් වල වැඩ කෙරුවා, බස් රථ ධාවනය කළා. ඒ දේවල් නිසා තමයි රට ඉදිරියට ගියෙ. ඒත් ඉහළ සහ මැද පංතියෙ කාන්තාවෝ තමයි මුලින්ම ඡන්ද අයිතිය ලැබුවේ. වැඩකරන පංතියෙ කාන්තාවට ඒ අයිතිය ලබා ගන්න තව අවුරුදු දහයක් බලා ඉන්න සිද්ධ වුණා.

ඒ නිසා සමාජ පංතිය වැදගත්. යුද්ධය විසින් සමාජ පංති සැකැස්ම බිඳ දැමුවා. ඔක්ස්ෆර්ඩ් වල තිබුනේ ‘ටවුම් ගවුම්’ (Town and gown)ආකල්පය. ‘ටවුම්’ කියන්නෙ ඔක්ස්ෆර්ඩ්වල ජීවත් වූ වැඩ කරන පංතියේ ජනතාව. ‘ගවුම්’ කියන්නෙ ඔක්ස්ෆර්ඩ් විද්‍යාර්ථින් අයත් ප්‍රජාව. මේ සමාජ කාණ්ඩ දෙක එකිනෙක හා ගැටුනේ සේවකයා- හාම්පුතා යන සබඳතාවය තුළ. ඒත් යුද්ධය එය වෙනස් කලා. යුද්ධය ජනතාව එක තැනකට ගෙන ආවා. යුද්ධය එකිනෙකා අනෙකා පිළිබඳව සිතන ආකාරය වෙනස් කළා.
ඔබගේ පර්යේෂණ ක්‍රියාවාලිය මොන වගේ එකක්ද? මම දන්නවා ඔබ විශේෂයෙන් ලන්ඩනයේ ඒ කාලය පිළිබඳ පර්යේෂණ කළා. ඔබ ප්‍රතිනිර්මාණය කල ඒ ලෝකය තුළට නිවැරදිව ඒ දේවල් යොදා ගත්තෙ කොහොමද?
මම ගොඩක් උනන්දු වුවා හැකි තරම් ඓතිහාසික කරුණු පිළිබඳ නිරවද්‍ය වෙන්නමම ගොඩක් උනන්දු වුවා හැකි තරම් ඓතිහාසික කරුණු පිළිබඳ නිරවද්‍ය වෙන්න, ඒ කියන්නෙ දින වකවානු සහ සිදුවීම් පිළිබඳව. ඒ දේවල් මට වෙනස් කරන්න බැහැ. ඒ ඉතිහාසය කියන්නෙ මගේ ප්‍රබන්ධය රඳවා තබන පලංචිය වගේ. එය වෙනස් වන්නේ නැහැ.
ඒත් සැබෑ ඉතිහාසය ලියනවා කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එතන තියෙන්නෙ කරුණු සම්බන්ධ කාරණාවක් නෙමෙයි. එය මිනිස් අත්දැකීම්, සිතුවිලි, හැඟීම් වගේ දේවල් හා සම්බන්ධ කාරණාවක්. ඓතිහාසික වාර්තාවලට නිතරම අතහැරී ඇත්තෙ ඒ පැත්ත. මගේ ප්‍රබන්ධය තුළ මා සොයා යන්න උනන්දු වුනේ අන්න ඒ අතහැරුණු කලාපය.
මගේ පර්යේෂණය සඳහා ආරම්භයේදී මම ගොඩක් දේ කියෙව්වා. මම ඉතිහාසය පිළිබඳ ලියැවුණු පොත් කියෙව්වා, ඒවගේම ඒ කාලයේ ලියැවුණු කවි පොත්, ප්‍රබන්ධ, මතක සටහන් වගේම ඒ කාලයේ කාන්තාවන් විසින් කරන ලද සාහිත්‍ය නිර්මාණය විශේෂයෙන් සොයා ගෙන කියෙව්වා.
ඒවගේම මම ඒ කාලයේ කාන්තාවන් විසින් නිර්මිත කලා නිර්මාණ පිළිබඳ අධ්‍යනය කළා. ඒ විදියට තමයි ඉතිහාස පොත් තුළ මඟ හැරුණු දේවල් පිළිබඳ කිසියම් සංවේදනීයතාවක් ලබා ගන්න උත්සාහ කළේ. මගේ ප්‍රබන්ධ නිර්මාණයේ දී බරපතල ආකාරයෙන් මම වැඩ කලේ ඒ දේවල් සමඟ මිස ඓතිහාසික කරුණුත් එක්ක නොවෙයි.
ඒවගේම මම ඒ කාලයේ කාන්තාවන් විසින් නිර්මිත කලා නිර්මාණ පිළිබඳ අධ්‍යනය කළා. ඒ විදියට තමයි ඉතිහාස පොත් තුළ මඟ හැරුණු දේවල් පිළිබඳ කිසියම් සංවේදනීයතාවක් ලබා ගන්න උත්සාහ කළේ. මගේ ප්‍රබන්ධ නිර්මාණයේ දී බරපතල ආකාරයෙන් මම වැඩ කලේ ඒ දේවල් සමඟ මිස ඓතිහාසික කරුණුත් එක්ක නොවෙයි.
ඒකෙන් කියවෙන්නෙ නෑ වැඩකරන පංතියේ කාන්තාවෝ කලා නිර්මාණ බිහි කලේ නෑ කියලාමම ඒ සමයේ කාන්තාවන් ගේ කලා නිර්මාණ පිළිබඳ සොයා ගත් තවත් කාරණයක් තමයි, මම බොහෝ විට දේවල් තේරුම් ගන්න ඒ කාලයේ කාන්තාවන් විසින් සිදුකළ කලා නිර්මාණ මත විශ්වාසය තැබූ මුත් ඒ සියළු නිර්මාණ බිහි වී තිබුනේ ඒ කාලයේ ජීවත් වූ වත් පොහොසත්කම් තිබුණු පවුල් වල කාන්තාවන්ගෙන්. ඔවුන්ට පමණයි ඒ කාලයේ කලා නිර්මාණයක් බිහි කිරීමට තරම් ධනවත්කමක් සහ විවේකයක් තිබුනේ.
ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ වැඩකරන පංතියේ කාන්තාවෝ කලා නිර්මාණ බිහි කලේ නෑ කියලා, සිද්ධ වුනේ ධනවත් කාන්තාවෝ වගේ එයාලාගේ නිර්මාණ ප්‍රකාශයට පත් නොකරපු එක. ඉතින් වැඩකරන පංතියේ කාන්තාවන්ගේ අත්දැකීම් තේරුම් ගනිද්දි, පවතින කරුණු යොදාගෙන ඒ කාලෙ මේ මේ විදියට සිද්ධ වෙන්න ඇති කියලා මට අනුමාන කරන්න සිද්ධ වූණා.
ඉතින් ඒ ඉතිහාසයේ පවතින හිදැසක්. ඒ සිදුවන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා නොව සමාජපංතිය නිසා. බ්‍රිතාන්‍ය තුළ ඒ කාලෙ, සංක්‍රමණිකයන්ට, දේශපාලන සරණාගතයින්ට මේ දේම සිදු වෙන්න පුළුවන්. ඒ පහළ සමාජ පංතිවල ජනතාව ඉතිහාසය තුළ නියෝජනය වන්නේ නෑ. ඒ නිසාම ඔවුන්ගේ කලා භාවිතාවන් පිළිබඳ කොහොමත් කිසිවක් කියවෙන්නේ නෑ. එය අපි තව තවත් සොයා යා යුතු කාරණයක්.

සටහන - සුභාෂිණී චතුරිකා
2024/07/28 අනිද්දා පුවත්පතේ පළ විය
අවධාරණය කිරීම්, වීඩියෝ, ඡායාරූප අපෙන්

1925 වසරේ නිෂ්පාදනය කරන ලද, The Oxford University Press and the Making of a Book නම් නිහඬ චිත්‍රපටය පිප් විසින් නරඹන විට, පොත් බැඳීමේ කාර්යය තුළ නිරතව සිටින කාන්තාවන් එම කාර්යයේ යෙදෙන උනන්දුව, ඔවුන් විවිධ අංශ වලට ගොස් තමන්ගේ දෑතින් ඒ මහා දැනුම සහිත පොත්වල කොටස් එක්රැස් කරගන්නා සැටි දකින මොහොතක ඇය මෙසේ සිතයි: “ ඇය ඒ පොත් කියෙව්වා නම්...” එකල ලෝකයේ අග්‍ර ගණයේ දැනුම එක් තැනකට ගොනු කළ උත්තුංග ආයතනයක ඒ මහා දැනුම හා ගැවසුණු වැඩකරන පංතියේ කාන්තාවන් ගැන එසේ පැන නැඟුණු සිතිවිල්ල, පිප් විලියම්ස් නම් ලේඛිකාව විසින් සම්පාදිත The Bookbinder of Jericho (2023) නම් කෘතිය බිහි වීමට පාදක වුණු මූලික සිදුවීම විය.





