එළඹුම
“නිර්මාණ” වූ කලී මානව පරිකල්පනයේ ප්‍රතිඵලයකි. එය: විද්‍යාව, තාක්‍ෂණය හා වෙනත් ඕනෑ ම ක්ෂේත්‍රයකට අදාළ වූවකි. ඒවායේ හැඩය තීරණය වන්නේ පුද්ගල මනසේ ක්‍රියාකාරිත්වය මත ය. යමකුගේ මනස සාහිත්‍ය, කලාව හෝ සංගීතයට වඩා විද්‍යාව, ගණිතය හෝ තාක්‍ෂණයට ගෝචර විය හැකි ය. තවකකුගේ මනස: ගණිතය, විද්‍යාව හෝ තාක්‍ෂණයට වඩා සාහිත්‍ය, කලාව හෝ සංගීතයට ගෝචර විය හැකි ය. තවත් කෙනකුගේ මනස ඒ සියල්ලන්ට ම වඩා වෙනස්විය හැකි ය. ක්ෂේත්‍රය කුමක් වුව ද අවසන නව නිර්මාණයක් බිහිවන්නේ ම මානව පරිකල්පන ශක්තිය මත ය. ඒ නිසා ඔහු හෝ ඇයගේ පරිකල්පන ශක්තියට අගයක් හා ස්වාධිකාරයක් හිමිකර දෙනුවස් ඒවා “බුද්ධිමය දේපොළ” බවට පත්කොට ඇත. වර්තමානය වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටක ම පාහේ ඊට අදාළ නීති ද සම්පාදනය වී ඇත. එසේ තිබිය දී නිර්මාණ කොල්ලකෑම් පිළිබඳ තොරතරු නිරන්තරයෙන් වාර්තා වේ.
“නිර්මාණ” යන්න “සාහිත්‍ය නිර්මාණ” මැයෙන් කතාව ලඝු කරමි. ශ්‍රී ලංකාව තුළ සාහිත්‍ය නිර්මාණ කොල්ලය බහුල වශයෙන් සිදුවේ. කෙනකුගේ පළ හෝ නොපළ නිර්මාණයක් තවකකු විසින් සඳහනක් නොමැතිව තමන්ගේ මෙන් එළිදැක්වීම, මූලාශ්‍ර සඳහනක් නොමැතිව වචන හෝ අදහස් කොපි කිරීම, ඕනෑම නිර්මාණයක ව්‍යුහය, අදහස් හෝ වචන වැඩි ප්‍රමාණයක් ගැනීම හෝ වෙනත් සම්මත ක්‍රම පසෙකලා කෙනකුගේ නිර්මාණයක් තවකකු විසින් පූර්ණ, අර්ධ හෝ කොටස් වශයෙන් ගැනීම බොහෝ අය නිර්මාණ කොල්ලය සේ අර්ථ දක්වති; එය අවිවාදිතය.
නමුදු නිහඬ අලිඛිත සම්මුති තුළින් නිර්මාණයක හිමිකම් මාරුකර ගැනීමේ කොල්ලකාරී ක්‍රමයක් ද සිදුවේ. නිර්මාණකරුවාගේ ආර්ථික අසරණකම් හෝ වරදාන හා වරප්‍රසාද ලොල්කමේ මනෝභාව ප්‍රයෝජනයට ගෙන ඔහු හෝ ඇයගෙන් නිර්මාණ කරවාගෙන වෙනකකු නමින් එය පළකරවා ගැනීම ඉන් එක ක්‍රමයකි. බලහත්කාරය යොදවා වෙනකකු ලවා නිර්මාණ කරවාගෙන තවකකු නමින් එය පළකරවා ගැනීම තවත් ක්‍රමයකි. එකී ක්‍රම දෙකෙන් ම නිර්මාණකරුවා හට ආර්ථික වාසියක් හෝ වෙනයම් වරප්‍රසාදයක් ලැබෙන්නේ වුව සිදුවන්නේ පියකු විසින් දරුවකු වෙනකකු හට මුදලට පවරා දෙනු ලැබුවා වැනි ක්‍රියාවකි. ඒවා නිර්මාණ කොල්ල නොවන්නේ ද? නිර්මාණකරුවකු සතු එහෙත්, තමනට නැති ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය සහ වෙනත් නිර්මාණ ගුණ හා කුසලතා සපිරි කබායක් “කරකෙන් හෝ කෙමනෙන්” නමැති න්‍යායෙන් වෙනකකු ලවා මසාගෙන එය ඇඟලාගෙන සමාජය ඉදිරියේ පෙනී සිටීම කොතරම් ජුගුප්සාජනක ද? එහෙත් ඔවුහු විෂයානුගතව මුව විවරකළ පමණින් ඇතුළත හිස්බවේ දෝංකාරය පිටතට පනින්නේ ය.
සැලසුම් කළ මහා ක්‍රියාන්විතයකට පසු නිර්මාණ කොල්ලයකින් අත්කරගන්නා ජයග්‍රහණයක තරම කෙතරම් අල්ප ප්‍රමාණයක් ද? ඒ තුළ ඇති ජුගුප්සාව සහ නිහීනකම කොතරම් ද ? එමතු නොව ඔහු හෝ ඇය ජීවිත කාලය පුරා ම භෞතිකව හා ආධ්‍යාත්මිකව පරාජයට සහ දඬුවමට ලක්වන්නේ කෙසේ ද ? යන්න පිළිබඳව පුළුල් විවරණයක යෙදෙන ප්‍රබන්ධයක් කියවන්නට මා හට අවස්ථාව ලැබිණ. ඒ වූ කලී ලේඛක ජයසිරි අලවත්ත විසින් ප්‍රබන්ධිත “ගෞර ග්‍රන්ථ” ප්‍රබන්ධය යි. එය ඔහුගේ පස්වන ප්‍රබන්ධ කතාව වේ. කතාව කියවා අහවරකළ මොහොතේ සිට ඒ පිළිබඳ යමක් නොව මා විඳි දෑ ලිවීමට ලේඛකයා විසින් සුක්ෂමව මා පොළඹවා තිබිණ. ඒ කතාකරුවකුගේ දක්ෂතාව යි.
කතා සාරාංශය
“අනපත්‍රප” යනු නිර්මාණ කොල්ලයට ලක් වූ කෘතියකි. එහි කතුවරයා සම්මානලාභී ලේඛක විදුර අභිමන් දිසානායක ය. එහෙත් මුද්‍රිත ප්‍රබන්ධයේ කර්තෘත්වය උසුලන්නේ අනිත්‍යා ආකර්ෂණී සිරිමාන්න ය. එම නිසා වාර්ෂික “ගෞර ග්‍රන්ථ” සම්මාන උළෙලේ දී ප්‍රශස්තතම කෘතියට හිමි සම්මානය හා මුදල් ත්‍යාග හිමිවන්නේ ඇයට ය.
“අනපත්‍රප” ප්‍රබන්ධයට ගෞර ග්‍රන්ථ සම්මාන උළෙලේ දී ප්‍රශස්තත ම නවකතාවට හිමි සම්මානය හිමිවනු ඇති බවට විදුර, අනිත්‍යා සමඟ පැවැසූ මොහොතේ සිට අනිත්‍යා එය තමාගේ නමින් මුද්‍රණය කරවාගෙන සාහිත අඹරේ අභිෂෙස්වීමේ ආශාවේ බීජය සිතේ ඇල්මැති පෙදෙසේ ම පැළ කර ගනී. ඉක්බිති සැලසුමකට අනුව එයට සාත්තු කරයි. ඇය පළමු ඇම චේතිය දෙසට විසි කළා ය. චේතිය එය නොගිල්ලේ ය. එම උපායෙන් ඇය උත්සහ කළේ ප්‍රබන්ධයේ ලියා නිමකරන කොටස් කියවන මුවාවෙන් එකිනෙක E-mail ක්‍රමයට හෝ Pen Drive එකක ආධාරයෙන් තමා සතුකර ගැනීමට ය. ඉක්බිති ඇය දෙවන ඇම ඔහු දෙසට විසිකළා ය. ඒ තම රූමත් තුනුපසුව කෙරෙහි පුර්ණ විශ්වාසය ඇතිව ය. වරෙක තම පෙම්වතා හා එක්ව ද, තවත් වරෙක තනිව ද ඇය විදුර සමග මධුවිත තොලගෑවා ය. කාන්තාවකට පිරිමි මනස ප්‍රබෝධමත් කළ හැකි ලාභ ම උපාය වන කාය ප්‍රදර්ශන උපාය අසාර්ථක වූ තැන ස්පර්ශයේ කූටප්‍රාප්තියට ඔහු කැඳවනු වස් ඇයට එම ඇම ඔහුගේ මනෝ ගැඹුරට ම ඇදගෙන යෑමට සිදුවිය. එයිනිදු ඔහු ඇම නොගිල්ලේ ය. ඇයට අවසාන සැලසුම ක්‍රියාත්මක කිරීමට සිදුවූයේ ඉක්බිතිව ය. ඒ විදුර පැහැරගෙන ගොස් නිවාස අඩස්සියක තබාගෙන බලහත්කාරය යොදවා ප්‍රබන්ධය ඇගේ නමින් පළකරවා ගැනීමය.
අවසන ඇය ජයග්‍රහණය කළා ය. එහෙත් ඒ ජයග්‍රහණයට වැඩි ආයුෂ නොතිබිණ. කතාව දිගහැරෙන්නේ ඉක්බිතිව ය. එකී සිද්ධියෙන් පසු විදුර විදේශ ගත විය. “අනපත්‍රප” ප්‍රබන්ධයේ ලියූ සෑම අකුරක්ම iCloud හි සඟවා තබා තැබූ ඔහු එහි නෙගටිව් පොසිටිව් මාරු කොට එම වසරේ ම “අනපාය” නමින් ප්‍රබන්ධයක් රචනා කර ශ්‍රී ලංකාවේ සිටින තම යෙහෙළියගේ පුත්‍රයකු නමින් පළකළේ ය. යට කී සම්මාන උළෙලේ දී දෙවන ස්ථානය හිමිවන්නේ එම ප්‍රබන්ධයට ය. ඉක්බිති ඔහු “අනපත්‍රප” ප්‍රබන්ධය නිර්මාණ කොල්ලයක් බව තහවුරු වන තැනට කටයුතු සලසා “අනපාය” ප්‍රබන්ධයට “ගෞර ග්‍රන්ථ” සම්මානය හිමිවන තැනට ඕස්ට්‍රේලියාවේ සිට කටයුතු මෙහෙය වීය. මේ වූ කලී අඩිය අඟලට තළන තරමේ කතා සාරාශයකි.
“ගෞර ග්‍රන්ථ” ප්‍රබන්ධය තුළින් ප්‍රබල ලෙස හෙළි කරන හා විවරණ දෙන සාහිත ලොවේ දුර්ගන්ධිත ඉම් පෙදෙස් දෙකක් වෙත හැරෙන්නට අවසර.
පළමු දුර්ගන්ධය
“අනපාය” යනු “අනපත්‍රප” ප්‍රබන්ධයේ ම අන්තර්ගතය නෙගටිව් පොසිටිව් මාරුකර ලියූ ප්‍රබන්ධිත කතාවකි. කිසියම් නිර්මාණයක් රටේ ප්‍රධාන සම්මාන උළෙලක දී සම්මානයට පාත්‍ර කරන්නේ වට කිහිපයක සමීක්ෂණයකට පසුව ය. එය ක්‍ෂේත්‍රයට අදාළ පුළුල් පරිචයක් හා විචාර බුද්ධියක් ඇතැයි උපමානිත හා ස්වාධින යැයි හඟින පිරිසක් ලවා කරවා ගනී. එවන් පිරිසක් අතුරින් එකම විනිශ්චයකරුවකුට හෝ නෙගටිව් පොසිටිව් මාරු කොට ප්‍රබන්ධ කර ඇති එක ම කතාව පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවූයේ මන්ද? සිද්ධි සමානිත බව, පාරිසරික වර්ණනා සමානිත බව, පාත්‍ර වර්ගයාගේ සමානිත බව, කාලයේ හා අවකාශයේ සමානිත බව, ප්‍රස්තුතයේ හා අනුභුතියේ සමානිත බව හා වෙනත් කරුණු පිළිබඳ ඉවක් නොවැටුණේ මන්ද? ඒ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයින්ගේ කියැවීමේ තරම ප්‍රශ්න කිරීමක් නොවේ ද? ඒ ප්‍රශ්න කිරීම යුක්ති සහගත ය. අපේ රටේ ප්‍රධාන සම්මාන උළෙලවලට පසු ඇතැම් අවස්ථාවල සම්මානිත කෘතිවල අන්තර්ගත වෙනත් නිර්මාණවලින් කොල්ල කෑ කොටස් පාඨකයා විසින් අහුලා පරසක්වල ගසන තෙක් විනිශ්චය මණ්ඩලයේ කිසිවකු ඒ පිළිබඳ නොදනී.
ජයසිරි අලවත්තට “ගෞර ග්‍රන්ථ” ප්‍රබන්ධය සඳහා අනුභූතිය සපයා දුන් ලේඛිකාව වන සුජාතා අලහකෝන්ගේ “එත්,අපි පියාඹමු” යොවුන් නවකතාව තුළට වෙනත් ප්‍රබන්ධවලින් ගත් පරිසර වර්ණනා කොටස් එලෙසින් ම ඇතුළත් කිරීම හේතුකොටගෙන සම්මාන උළෙලට පසු සමාජය තුළ බොහෝ කතා බහක් ඇතිවිය. ඉක්බිති ඇය විසින් සම්මානය හා මුදල් ත්‍යාගය ආපසු භාර දී ඇත.
“මේ ගැටලුව ආවේ බාහිර වර්ණනා කිහිපයක ඡේද කීපයක් යම් කෘතිවලින් උපුටා ගැනීම සම්බන්ධයෙන්. ඇත්තටම එය මා අතින් වුණ බරපතළ වැරද්දක්. මා එය පිළිගත්තා. මා සම්මානය හා මුදල් භාර දුන්නේ ඒ තත්ත්වය තුළ”
(සුජාතා අලහකෝන්: 2020 නොවැම්බර් 14: ලංකාසර වෙබ් අඩවිය)
2021 ජූලි මස 09 වැනි දින ප්‍රවීන ලේඛක මහින්ද කුමාර දළුපොත මහතා “ස්වර්ණ පුස්තක හා වසුරු පුස්තක” මැයෙන් ඔහුගේ මුහුණු පොතේ තැබූ සටහනක් උපුටමි.
“මට පහුගිය දා රෑක දුරකතන ඇමතුමක් ආවා. ඒ මහන්තැන්නේ කැකෑකරෙන වේදනාවක් බෙදාගන්නයි මට කතා කළේ. නිමිත්ත වුණේ මා ලියූ ‘බඹසර යහන’ නවකතාවයි. පළමු වටය පොත් කියවීමට ඒ මහන්තැන්ට පොත හම්බුණා ලු. ඒත් ප්‍රාදේශීය වහර බහුලව තියෙන හින්දා කියවීම අත්හැර දැම්මලු. එය පළමු වටයෙන්ම පොත ඉවත් කිරීමට සාධකයක් වීලු. ඔහුගේ ලේලිය ‘බඹසර යහන’ පොත කියවා සිය මාමණ්ඩියගෙන් විමසා ඇත්තේ ස්වර්ණ පුස්තක සම්මාන සඳහා මේ පොතට මොකද වුණේ කියායි. ‘‘ඒකේ භාෂාව මට හුරු නෑ. ඒ හින්දා මං අයින් කරා.’’ ඒ, මහන්තැන්ගේ පිළිතුර ය. ‘‘ඇයි අංකල් එහෙම කරේ? මේ පොත මං බඳින්න කලින් හම්බුණා නම් මේ අත්දැකීම අපටත් ගන්න තිබුණා” ඒ, ලේලිය දුන් ප්‍රති පිළිතුර ය.
මින් කියැවෙන්නේ ලංකාවේ සාහිත්‍ය විනිශ්චය මණ්ඩල නියෝජනය කරන ඇතැම් සාමාජිකයින්ගේ තත්ත්වය නොවේද? මෙවන් අයගෙන් වටිනා නිර්මාණ කොපමණ ප්‍රමාණයක් ඇගයුමක් නොමැති ව හමස් පෙට්ටියට ගොස් ඇති ද? අනෙක, නිර්මාණයකින් අමු අමුවේ සොරාගත් කොටස් තවත් නිර්මාණයක ඔබ්බවා ලියුව ද ඔවුනට හසුවේ ද ?
දෙවන දුර්ගන්ධය
“කොහොමද අංකල් ෂුවර් එකට ම කියන්නෙ අංකල්ගෙ අලුත් පොතටත් ඒ සම්මානෙ හම්බවෙයි කියල...?”
දුර දිග යන්නේ අනිත්‍යාගේ එම පැනයට විදුර දෙන පිළිතුර ය. ඒ තුළ ඇති වැදගත් ම කාරණය නම් විදුර “අනපත්‍රප” ප්‍රබන්ධ කොට තිබෙන්නේ නිර්මාණ ඇගයීම් මණ්ඩල සාමාජිකයන්ගේ ඔළුගෙඩි සඳහා ම යන්න නොවේ ද? එය එසේ වී නම් නිර්මාණ ඇගයීම් මණ්ඩල සාමාජිකයන්ගේ ඔළුගෙඩි ගැන නොදැන, නොසිතා විවෘත මනසකින් යුතු ව බිහිකරන උසස් නිර්මාණවලට කුමක් සිදුවේ ද? මහින්ද කුමාර දළුපොත මහතාගේ “බඹසර යහන” නව කතාවට අත්වූයේ එවැනි ඉරණමක් නොවේද? “ඒකේ භාෂාව මට හුරු නෑ. ඒ හින්දා මං අයින් කරා” යැයි පවසමින් පළමු වටයෙන් ම ඉවත් කිරීමේ සිද්ධිය තුළ තිබෙන්නේ ම කතා තේමාවට හා පරිසරයට උචිත භාෂාව නොව ඔළුව ජපන් බඩ ජර්මන් ක්‍රමයෙන් වුව සමික්ෂකවරයා දන්නා භාෂාවෙන් ඔහුගේ රුචිය වටහාගෙන ලියා ඉදිරිපත් කළ යුතු යන්න නොවේ ද? ඉන් ලෝක සාහිත්‍යයේ ප්‍රවණතා සහ මාන සොයමින්, පර්යේෂණ හා අත්හදා බැලීම් කරමින් උසස් ගණයේ නිර්මාණකරණයේ යෙදෙන ලේඛකයන්ගේ නිර්මාණවලට කුමක් සිදුවේද?
“ගෞර ග්‍රන්ථ” තුළින් හෙළි කරන නිර්මාණ කොල්ලයේ ජුගුප්සාව හා කියවන නුවණ කේදෑරි මිනිසුන්ගෙන් සපිරි සාහිත සම්මාන විනිශ්චය මණ්ඩල පිළිබඳ කෙරෙන ප්‍රබල හෙළිදරව්ව අගයකළ යුත්තකි. පොත් ප්‍රකාශකයින්ගේ අනුග්‍රහයෙන්, රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ ආයතනික මට්ටමින් පවත්වන සම්මාන උළෙල සඳහා සමික්ෂකවරුන් පත්කිරීමේ දී සමීක්ෂණ කටයුතු පහසුවෙන් කරවාගත හැකිකම හෝ හිතවත්කම හෝ යන නිර්ණායකවලට වඩා ක්ෂේත්‍රගත බහුශ්‍රැත භාවය, පුළුල් විචක්ෂණ දැනුම, මධ්‍යස්ථ භාවය හා යාවත්කාලීනැති දැනුම යනාදි අංශ කෙරෙහි ද අවධානය යොමුකළ යුතු බව ජයසිරි අලවත්ත නොකියා පවසයි. සම්මාන උළෙලකට පසු පාඨක සමාජය හෝ විචාරක ප්‍රජාව සමග විනිශ්චය මණ්ඩලයේ තේරීම ඒකමතික නොවිය හැකි ය. එහෙත් සම්මාන උළෙලකට පසු ඇගයීමට ලක් වූ කතා දෙකක ඇති සමානකම්, වෙනත් කෘතියකින් කොටස් අමු අමුවේ සොරා ගැනීම් හෝ සම්මානය අවලංගු කරවන ආකාරයේ වෙනත් යමක් විනිශ්චය මණ්ඩලය වෙත පාඨකයා විසින් හෝ විචාරකයා විසින් සොයා දෙන්නේ නම් ඒ තුළ මහා ඛේදවාචයක් ඇත. එවන් අවස්ථාවල විනිශ්චය මණ්ඩලය ප්‍රශ්න කිරීම අසාධාරණ නොවේ.
කතුවරයාගේ නිර්භිත භාවය
ජයසිරි අලවත්ත යනු අත්හදා බැලීම් සඳහා නිර්භය හෝ තම නිර්මාණ සඳහා අනුකම්පාවක් ඉල්ලා සිටින හෝ සම්මාන සමීක්ෂණ මණ්ඩලවල ඔළුගෙඩි දෙස බලා හෝ නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයකු නොවේ. හෙතෙම, හේතු සහිතව ම දුටුතැන ඉලක්කයට ම සැර අකුරුවලින් ගසා දමන පුද්ගලයෙකි. මෙම ප්‍රබන්ධය ම ඊට කදිම නිදසුනකි.
“ගෞර ග්‍රන්ථ” ප්‍රබන්ධය ඉදිරිපත් කිරීම සඳහා ඔහු විසින් යොදාගෙන ඇති ආකෘතිය ඔහුට ම අනන්‍ය වූවකි. ඒ තුළින් පාඨකයාගේ කියවන වෙහෙස නිවීමට හැකි වී තිබේ. එමෙන්ම නව ප්‍රබෝධයකින් යුතු ව කතාවේ තවත් පියවරකට යෑමට අවස්ථාව සලසා තිබේ. භාෂාව, කතා ප්‍රයෝග හා සිද්ධි ඝට්ටන මා සිත් ඇදගත්තා පමණක් නොව ඇතැම් සමාජ සිද්ධිවල දිගෑදුණු අඳුරු සෙවණැලි විනිවිද දකින්නට කතාව පුරා ආලෝක කදම්භ සවිකොට තිබිණ. එබැවින් ම මෙම නිර්මාණය සමාජය තුළ කතා බහට ලක්විය යුත්තක් සේ හඟිමි.
(විරවිජය ගුණසේකර)