රහසේ ඉගිළ පිට රට වැඳ වැටෙන්නේ
පෙර කළ පවට අත පුරවා ලැබෙන්නේ
කාසි ගොඩම වතුරේ දිය කරන්නේ
ලෝක බැංකු දෙවියෝ නඩු බලන්නේ
ඇසක මහිම බල ඇස්දෙක වැසීලා
ගෙලක මහිම බල තොණ්ඩුව වැටීලා
කටක මහිම බල වැට ඉණි බැඳීලා
රටක මහිම බල කණ පිට හැරීලා
වෙරළ වටා එල්ලෙන්නේ රට සුද්දෝ
රට මැද්දේ නිදියන්නේ කළු සුද්දෝ
කඳුයායම බදු ගන්නේ මස් වැද්දෝ
අපටත් හුස්ම මැණ ගන්නට ඉඩ දෙද්දෝ
මෙම කව් පෙළ කියවූ සැණින් ම එය මෑත දිනක රචනා කළ ඇති කවක් යැයි ඔබට හැඟෙනු ඇත; තවත් පැහැදිලි කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වුවාට පසුව රචනා කළ කවක් යැයි සිතෙන්නට පිළිවන. නැත; කිසිසේත් ම නැත.
මෙම කවිය රචනා කළ කවියා එය රචනා කළේ කුමන වසරේ ද යන්න නිසැකව ම පැවසිය නොහැකි වුව ද අදාළ නිර්මාණය ඇතුළත් කාව්‍ය සංග්‍රහය නිකුත් වී තිබෙන්නේ නම් 1993 වසරේ දී ය; 1993 වසරේ දෙසැම්බර් මාසයේ දී ය. එනම්, අවම මීට වසර තිහකට ඉහත දී ය. නිර්මාණයේ අන්තර්ගතය දැනට ද වලංගු ය; අනාගතයේ දී ද වලංගු නැතැයි විශ්වාසය තිබිය නොහැකි ය. මා එසේ පවසන්නේ ඊට ඉතිහාසය සාක්ෂි දරන බැවිනි.
කඳුයායම බදු ගන්නේ මස් වැද්දෝ - අපටත් හුස්ම මැණ ගන්නට ඉඩ දෙද්දෝ
අප දන්නා පරිදි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පළමු වරට ණය මුදලක් ලබාගෙන ඇත්තේ 1977 වසරේ දී ය. නිවැරැදිව දින වකවානු සඳහන් කිරීමට නොහැකි වුව ද ඒ 1977 වසරේ මහ මැතිවරණයෙන් ඉක්බිතිව වන්නට ඇතැයි අපට අනුමාන කළ හැකි ය.
මා එලෙස සඳහන් කරන්නේ 1950 වසරේ අගෝස්තු තිස්වන දින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගත්ත ද, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් දසලක්ෂ හතළිස් පහක් වෙන් කළ ද, 1960 වසරෙන් ඉක්බිති මෙරට ගෙවුම් ශේෂ හිඟයට මුහුණ පැව ද, 1977 වසර වන තෙක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණයවර ලබාගත් බව කොතැනකවත් සඳහන් වී නොමැති බැවිනි.
එතැන් සිට මේ දක්වා වරින් වර මේ ආකාරයට ණය ලබාගත් බැවින් සහ එම ණය මුදල් නිසි ලෙස පරිහරණය නොකිරීම හේතුවෙන් 2022 වසර වන විට ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත් විය. යට සඳහන් නිර්මාණය ජනගත කෙරෙන්නේ ශ්‍රී ලංකාව නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගෙන වසර වසර දහසයකට පසුව ය. කවියා මෙම ඛේදවාචකයේ අනාගතය විනිවිද දැක තිබෙන බව මෙම කව් පෙළෙන් විද්‍යමාන කෙරේ.
කවියාට අදාළ නිමිත්ත පහළ වන්නේ කවදාද යන්න අපැහැදිලි වුව ද අදාළ නිර්මාණය ජනගත කෙරෙන්නේ 1993 වසරේ බැවින් ඊට පෙර මෙම අදහස කවියාගේ සිතට නැගී ඇති බව පැහැදිලි ය. ඉදින් මේ කවියා කවුද යන්න දැන් පාඨක ඔබගේ සිත තුළ කුකුසක් ඇතිවන බව නිසැක ය. මේ කවියා නම් වර්තමානයේ සම්මානලාභී ගීත රචකයකු වන අතුල ජයදේව ය; කෘතිය ‘මගේ උස් වූ හඬින්’ නමැති කාව්‍ය සංග්‍රහය යි.
කාව්‍ය සංග්‍රහය පිළිබඳ ලිවිමට ප්‍රථම එය මා අතට පත්වුයේ කෙසේ ද, කොතැනදී ද යන්න පිළිබඳ කෙටියෙන් හෝ අදහසක් දැක්විය යුතු ය.

ජීවිත පැවැත්ම සඳහා අනේක විධ අරගලයක නිරත වී සිටිය ද කිසියම් මුදලක් අත පත් පළමු මොහොතේ ම පොතක් මිලදී ගැනීම මිදිය නොහැකි ඇබ්බැහියක් වී ඇති බැවින් පසුගිය දිනෙක එළඹි එවන් මොහොතක මරදානේ ගොඩගේ පොත් මැදුරට ගොඩ වූයේ අත්‍යඅවශ්‍ය පොතක් මෙන් ම මිල අඩු කළ පොත් නරඹා ඒ අතුරින් ද අවැසි පොතක් දෙකක් මිලදී ගැනීමේ අටියෙනි.
එහි දී අවම මිල ගණන් සඳහන් පොත් තබා ඇති රාක්කයක් වෙත මගේ නෙත් යොමු විය. එසැණින් ම නෙතු ගැටුණේ ‘මගේ උස් වූ හඬින්’ නමැති කාව්‍ය සංග්‍රහය යි. එහි කතුවරයාගේ නම ලෙස සඳහන්ව තිබුණේ ‘අතුල ජයදේව’ යනුවෙනි. එතෙක් මා ඔහු හඳුනාගෙන තිබුණේ ගීත රචකයකු ලෙස පමණි.
එබැවින් මම වහා ‘මගේ උස් වූ හඬින්’ කෘතිය අතට ගෙන එහි පිටු පෙරළුවෙමි. ඒ මොහොතේ මා නෙත ගැටුණේ මතු දැක්වෙන කෙටි කවිය යි.
පහන් කණු
යට
අඳුරු
ජීවිත
අඳුරු
ජීවිත
තුළ
පහන්
කණු.
වදනින් වදන වෙන් කර සිරස් අතට ලියන සියලු රචනා කවි නොවේ යැයි බොහෝ අය පවසනවා සේ මම ද ඇතැම් අවස්ථාවල, ඇතැම් නිර්මාණ පිළිබඳ එලෙස සඳහන් කර තිබුණ ද මෙම පද පෙළ එසේ ඉවතට දැමිය හැකි වදන් පෙළක් නොවන බව මට ක්ෂණයෙන් වැටහිණ. මන්ද මා එම පද පෙළ තුළ ගැඹුරු යටි අරුතක් සැඟව පවත්නා බව අවබෝධ කරගත් බැවිණ. ඉක්බිති මම හිටි පියවර ම කෘතියෙහි අන්තර්ගත නිර්මාණ කිහිපයක් ම කියෙව්වෙමි; නොනවත්වා ම කියෙව්වෙමි; ඉක්බිති කෘතිය මිලදි ගත්තෙමි. ඉඳින් එබඳු කෘතියක අන්තර්ගත නිර්මාණ පිළිබඳ කිසිවක් නොලියා සිටිය හැකි ද...? මතු දැක්වෙන්නේ එකී කියවීම ය.

සමස්තයක් ලෙස ගත් විට කවියා නිසඳැස් හෙවත් නිදහස් කවියට මෙන් ම සඳැස් කවියට ද කෙටි කවියට ද වෙසෙස් දස්කම් දක්වන්නෙකි. එමෙන් ම මෙම නිර්මාණ සමුච්චය අතුරින් කිසිදු නිර්මාණයක් වෙනුවෙන් මාතෘකා යොදා නොතිබීම ද මෙම කෘතියෙහි පවත්නා සුවිශේෂී ලක්ෂණයකි. ලිපිය ආරම්භයේ දී උපුටා දැක්වු සඳැස් කවිය මෙන් ම ඊට පසු උපුටා දැක් වූ කෙටි කවිය ඊට කදිම නිදසුන් ය. දැන් තවත් නිදසුන් කිහිපයක් වෙත යොමු වෙමු.
එදා මෙන් ම අදට ද අද මෙන් ම හෙට ද වලංගු; වෙසෙසින් ම මේ මොහොතට වලංගු නිර්මාණයක් ලෙස මතු දැක්වෙන නිර්මාණය හැඳින්විය හැකි ය; එය කවියාගේ දේශපාලන සවිඥානික බව කදිමට ස්ඵුට කරයි.
මිනිසුන්ගෙ දෙතොල් පුපුරනා
කතා බහ
සියල්ලම ඇත්තය
වෙන කවරදාටත් වඩා
වයිවාරන්න සර්පයෝ
දොරෙන් ඇතුළට එබෙත්.
කරට අත දා
අපේ සැප දුක් අසන්නේ කවුද
සිනාසෙන්නේ කවුද
සර්පයෝ රංචුගානේ ඇවිත්
අප හා දොඩන්නට
පිලේ බංකුව උඩින්
වාඩිවෙත්.
තුඹස තුළ සිටියවුන් අපම එළියට ඇද
යකඩ සපත්තු හොයන්නේ
කුමන පවකටද
විස දළ නැතැයි කියන්නට
අන් කට ඇර ඇත්තේද
බාගෙටය.
මෙය අපේ කන්වලට පුදුමයකි
රාත්‍රියේ අසන ලද ප්‍රවෘත්ති
මැදිවියේ සර්පයකුගේ
විරිදු බණ දෙසුමක්ය.
කුමන හෝ මැතිවරණයක් ආසන්නයේ මෙරට ගම් දනවු පුරා සිදුවන මේ: අප්‍රසන්න, කෛරාටික, මුග්ධ ක්‍රියාවලිය පිළිබඳ ඔබත්, මමත් ඇතුළු බහුතරයක් දෙනා හොඳින් ම දන්නා යථා ස්වභාවය කවියා ඉතා අපූරුවට පෙළ ගස්වා ඇත.

මෙරට කෘෂිකර්මාන්තයෙහි යෙදෙන ගොවි ප්‍රජාව පිළිබඳ නිරන්තරයෙන් ම අසන්නට ලැබෙන්නේ අඳෝනා ය; දුක්ගැනවිලි ය; කටුක අත්දැකීම් ය; පරාජිත භාවය යි. එහි යථාර්ථය පිළිබඳ විමසීම පසෙක තබා මතු දැක්වෙන කවිය පිළිබඳ විමසුමකට එළඹෙමු.
කමතෙ කටින් ලොරි රිංගන වෙලාවේ
ගෝණි පුරා දහඩිය පිර වුණාවේ
වාසි හෙවූ සාක්කු හිල් වුණාවේ
කාසි වැටී කුඹුරක් පැළ වුණාවේ
හෙළූ කඳුළු සතේට යටවුණා
ඇස් දෙක වැහී ගෝණියෙ හිරවුණා
කෙඳිරිල්ලක් නැගේ ද බියවුණා
කටවල් ගැටගසා උන් ඉගිලුණා
මෙම නිර්මාණයේ වුව ද ගොවි ප්‍රජාව කෙරෙහි දක්වා ඇත්තේ සාම්ප්‍රදායික දෘෂ්ටිය ම ය. එම දෘෂ්ටිය පිළිබඳ ගැටලු පවතී. නමුදු කවියා අදාළ ප්‍රස්තුතය කාව්‍ය නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීමේ දී කාව්‍යාලංකාර ඉතා මැනවින් උපස්තම්භක කරගෙන ඇත. සමස්ත නිර්මාණය පුරා ම එම ලක්ෂණ දැකිය හැකි ය. වෙසෙසින් ම කවියා උපස්තම්භක කරගන්නා ව්‍යංගාර්ථ පිළිබිඹු කිරීම උදෙසා භාවිත කරන: වක්‍රෝක්ති, වක් බිණුම් යනාදිය කවියේ රස භාව ඔප් නැංවීමට උපකාරි වී තිබේ. මෙම ලක්ෂණ පිහිටන්නේ ‘හොඳ කවියකුට ම’’ බව නොපැකිළව පැවසිය හැකි ය.
මතු දැක්වෙන්නේ ද කවියාගේ කාව්‍යක්කාරත්වය මැනවින් විදහා පාන නිර්මාණයකි.
ඇද වැටිණි
අම්මා
මහගෙදර පඩි පෙළෙන් දොට්ට.
වෙර යොදා ඈ තල්ලු කළ දියණිය
බිය විය ගෙතුළට හැරෙන්නට
දකිත්ම තම සිඟිති දූගේ දෑත
යෝධ සෙවණැල්ලක්ව
පිටුපසින් මතුවන අයුරු
මෙම නිර්මාණය කියවූ සැණින් මට කෙටිකතාවක් සිහිපත් විය. එහි නම, කතුවරයා හෝ කතුවරිය කවුදැයි නිවැරැදිව ම මතකයේ නොතිබුණ ද කතාව මතක ය.

කුඩා දියණියක සිටින මවක ඒ කුඩා දියණිය ඇගේ ආත්තම්මා (දියණියගේ අම්මාගේ මව) හට පෝසිලේන් පිඟානකට කිසියම් ආහාරයක් බෙදාගෙන විත් දෙන අයුරු දුටු මව සිය කුඩා දියණියට බැණවැදී පෝසිලේන් පිඟානෙහි තිබූ ආහාර නිවසෙහි තිබූ ප්‍රයෝජනයකට ගත නොහැකි බෙලෙක් පිඟානකට බෙදා දෙයි. ඒ සමග ම කුඩා දියණිය ඉවත ලා තිබෙන එම පරණ බෙලෙක් පිඟන් අතර තිබූ තවත් පිඟානක් රැගෙන ගොස් පිඟන් තබා ඇති කබඩ යේ තබන්නී ය. එසැණින් මව කුඩා දියණියගෙන් ඒ පිළිබද විමසන්නී ය. එවිට ඒ කුඩා දියණිය මෙසේ පිළිතුරු දෙන්නී ය.
‘‘මම ඒ පිඟාන අරන් තිබ්බෙ අම්ම වයසට ගියාම බත් බෙදල දෙන්න’’
සිතන්න... එබඳු අවස්ථාවක ඒ මව පත්වන අපහසුතාව. යට සඳහන් නිර්මාණයේ සිටින කුඩා දියණියගේ මව වුව ද මුහුණ පාන්නේ එබඳු අවස්ථාවකට නොවේ ද? කවියා අදාළ සිදුවීම සිතුවමක් සේ පාඨකයාගේ මනසෙහි තැන්පත් කරන අතර එහි ඛේද ජනකත්වය කාව්‍යාත්මකව ඉදිරිපත් කිරීමට සමත්ව ඇත.
කාන්තාවකගේ පියයුරු පුරුෂයකුගේ පියයුරුවලට වඩා වෙනස් ලෙස පිහිටා තිබෙන්නේ කාන්තාවගේ රූ සපුව උද්දීපනය උදෙසා යැයි පුරුෂ පාර්ශ්වය මතු නොව කාන්තා පාර්ශ්වය ද විශ්වාස කරන බව නොරහසකි; නමුත් එහි විද්‍යාත්මක හේතුව වෙනකකි. එය දැන හෝ නොදැන පුරුෂ පාර්ශ්වය කාන්තා පියයුරුවලට ආසක්ත වීම, ඒවායේ හැඩය විඳීම, පහස විඳීම මග නොහරී. එමෙන් ම කාන්තා පියයුරු කෙරෙහි කෙතරම් ආසක්ත වුව ද, ඒවායේ පහස විඳින්නට රිසි වුව ද කිසියම් නිශ්චිත මොහොතක යථාර්ථය අවබෝධ කරගැනීමට ද උත්සාහ කරයි; යළි තවත් නිමේෂයක ඒවායේ පහස විඳින්නට අසිරිය විඳින්නට පුරුෂයෝ පෙලඹෙති. මතු දැක්වෙන නිර්මාණය එක් නිශ්චිත මොහොතක යථාවබෝධය ලද පුරුෂයකුගේ පාපෝච්ඡාරණයකි.
බිරිය
තන පුඩුව මුවට ළං කොට
පෙව්වාය දරු පැටවාට
සෙනෙහසේ
රන් දියර
පිළිකුලක් නැගිණි මසිතට
මා ගැනම
රාගයේ මත් දියර
ඇගෙන් උරා බිව් හැටි
සිහිව.
මිනිසත් බව ලබන්නේ කල්ප කාලාන්තරයක් පෙරුම් පුරා යැයි ආගමානුකූලව පහදා දුන්න ද, ඒ මිනිස් ප්‍රජාවෙන් ම කොටසක් මිනිස් ජීවිතවල වටිනාකම දුහුවිලි අංශුවක් තරමකට හෝ නොතකා හැරි අවස්ථා ඉතිහාසයේ අනන්තවත් දක්නට ලැබිණ; දැනුදු දක්නට ඇත; අනාගතයේ ද එසේ නොවේ යැයි විශ්වාසය තැබිය නොහැකි ය. විශේෂයෙන් ම රාජ්‍ය පාර්ශ්වයේ මෙන් ම වෙනත් සටන්කාමි සංවිධාන විසින් මෙහෙය වන ලද ඇතැම් මර්දනකාරී අවස්ථාවල දී දෙපාර්ශ්වය ම කටයුතු කළේ, දැනට කරන්නේ, අනාගතයේ ද කළ හැකි යැයි සිතෙන්නේ මිනිස් ජීවිතවල වටිනාකම නින්දිත ආකාරයෙන් පහත හෙළීම ය. එවන් අවස්ථාවල අප අතර හුවමාරු වූ වදන් ගොන්නක් වූයේ ‘‘මුන් හරියට මිනිස්සු මරන්නෙ බල්ලො මරනවා වගේ’’ යන්න ය. මතු දැක්වෙන්නේ මෙම අදහස ම කවියා වෙනත් ආකාරයකින් පාඨක ප්‍රජාව වෙත සමිප කරන ආකාරය යි.

බල්ලෙක් මිය ගියැයි
එදා
හැඬුවේ
ගමක්
ගමක් මිය ගියත්
අද
නොහඩයි
නොවැළපෙයි
බල්ලෙක්.
මනුෂ්‍යයාට මනුෂ්‍යයා පිළිබඳ විශ්වාසය බිඳී ගිය විට ඔවුන් පිහිට පතන්නේ අදෘශ්‍යමාන බලවේග හෝ පුද්ගලයින් යැයි විශ්වාස කරන පාර්ශ්වයකිනි. මිනිස්සු: බෝධි පූජා තබන්නේ ද, පඬුරු ගැටගසන්නේ ද, පොල් ගසන්නේ ද, ගම්මිරිස් අඹරන්නේ ද, තොවිල්, අනවින කොඩිවින කරන්නේ ද, මන්ත්‍ර ජප කළ පෑන්වලින් විභාග ලියන්නේ ද, දෙවියන් උදෙසා පඬුරු පාක්කුඩම් පුදන්නේ ද මිනිසාට මිනිසා පිළිබඳ විශ්වාසය නැති බැවිනි; තමන්ට තමන් පිළිබඳ ආත්ම විශ්වාසයක් නැති බැවිනි. කෙටියෙන් ම පවසන්නේ නම් ඔවුන් මේ සියල්ල කරන්නේ ඔවුන්ගේ ගිනි නිවාගැනීම පිණිස ය.
මේ ආකාරයට තමන්ගේ ගිනි නිවාගැනීම පිණිස මිනිස් ප්‍රජාව නියැළෙන ඉතාමත් මුග්ධ ක්‍රියාවක් කවියා සිය කවිත්වය භාවිතයෙන් මෙලෙස සමාජ ගත කරයි.
ඇසේය
මහ යාතිකාවක හඩක්
දෙවොල තුළ
ගිනි පෑගීමේ උළෙලකි
පුද බිමේ.
තද රතට දිලිසෙන
ගිනි අඟුරු පාගනු බලන්නට
දෙවොලේ දොරටුවෙන්
ඇතුළුවෙත්,
ගිනි ඇවිළෙනා මිනිස්සු
යට කී ප්‍රස්තුතයේ ම වෙනත් මානයක් කවියා සිය නිර්මාණකරණය වෙත ග්‍රහණය කරගන්නේ අදාළ දෙපාර්ශ්වයේ ම ක්‍රියාකලාප දැඩි උපහාසයට ලක් කරමිනි.
ඇද වැටිණ
ගුරුන්නාන්සේ
ආතුරයාගේ
පැදුර මත
නොසෙල්විණි අත් පා
බියට පත් මිනිසුන්
ශාන්තිකර්මයකට සැරසෙද්දී
ළඟපාතක නැද්දැයි ඉස්පිරිතාලයක්
සොයා බැලූහ රහසේ ම
ගුරුන්නාන්සේගේ
ගෝලයෝ.
මෙහි උපුටා දැක්වු කවි සියල්ලෙහි ම පාහේ භාෂා භාවිතය පිළිබඳ සැලකිලිමත් වීමේ දී දක්නට ලැබෙන්නේ අදාළ භාෂා භාවිතය ඉතා: සරල, සුගමාකාරයකි. එම භාෂා භාවිතය තව දුරටත් වර්ධනය කරගැනීමට කවියා සමත් වූයේ නම් මෙහි අන්තර්ගත නිර්මාණ තව තවත් රසවත් වන්නට ඉඩකඩ තිබිණ. මන්ද කවියා සමස්ත කෘතියේ ම පාහේ භාවිත කර තිබෙන්නේ එදිනෙදා භාවිතයෙහි තිබෙන බස් වහරකි. නමුදු එම බස් වහරෙන් වුව ද අගනා කාව්‍යාලංකාර මවන්නට, කාව්‍යෝක්ති ඉදිරිපත් කරන්නට, උපමා, උපමේය, රුපක, සංකේත යනාදිය පිළිබිඹු කරන්නට මෙන් ම ව්‍යංගාර්ථ, වක්බිණුම්, වක්‍රෝක්ති ඉතා මැනවින් උපස්තම්භක කරගෙන ඇත. එම නිසා මෙහි අන්තර්ගත සියලු නිර්මාණවල පවත්නා සරල, සුගම භාෂා රටාවෙහි අඩුව මැකී ගොස් තිබේ.
අතුල ජයදේව
මේ වන විට අතුල ජයදේව වඩාත් ප්‍රචලිතව සිටින්නේ ගී පද රචකයකු ලෙසින් වුව ද වර්තමානයේ ඔහු කාව්‍යකරණයට පිවිසෙන්නේ නම් ‘‘මගේ උස් වූ හඬින්’’ කාව්‍ය සංග්‍රහයේ දක්නට තිබෙන භාෂා ඌනතා මගහරවා ගනු ඇතැයි මට සිතේ. ඉදින් කවියාණනි අනාගතයේ දී කාව්‍යාත්මක භාවය මෙන් ම භාෂාත්මක භාවයෙන් ද පිරිපුන් කාව්‍ය සංග්‍රහයක් පාඨක ප්‍රජාව අතරට පත් කරන්නැයි මම ඉල්ලා සිටිමි. මන් ද ඔබ දක්ෂ කවි නිමැවුම්කරුවෙකි.
‘‘මගේ උස් වූ හඬින්’’ කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත සමස්ත කාව්‍ය ප්‍රමාණය පනස් හතකි. ඒ අතුරින් යට විමංසනයට බඳුන් කළ නිර්මාණ නවය හැරුණු විට තවත් කාව්‍ය නිර්මාණ විසි නවයක් මගේ රස භාව පුබුදු කළ බව වෙසෙසින් ම සඳහන් කළ යුතු ය. ඒ අසවල් කවිය යැයි නම් කළ නොහැකි වන්නේ යට සඳහන් කළ පරිදි කවියා මෙම කෘතියෙහි අන්තර්ගත කිසිදු කවියකට මාතෘකා නොයොදා ඇති බැවිනි.
සැ. යු. උපුටාගත් සියලු නිර්මාණවල: අක්ෂර වින්‍යාස, පද බෙදීම් සහ විරාම ලකුණු කෘතියේ අන්තර්ගත පරිදි ම ය.
සටහන :
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/08/11






