leader s

වාර්තා රංගය හා සුසාධිත රංගය අතර තවත් නාට්‍යමය විධි ක්‍රමයක් තිබිය හැකිද?

පෙර සඳහන් දෙකෙන් එකක් තෝරා ගන්නවා වෙනුවට ඒ දෙක අතරමැදින් නාට්‍ය කතිකාවතක් ඉදිරිපත් කළ නොහැකිද? මේ ගැන මෙතෙක් බරපතල සංවාදයක් නාට්‍ය සමාජය තුළ නොතිබුණි, එහෙත් එවැනි නාට්‍යමය කතිකා අත්දැකීමක් (discoursive experience) පසුගියදා කුරුණෑගල kandyan reach හෝටල් පරිසරයේදී අත්දකින්නට ලැබුණි.

 

PHOTO 2024 09 18 13 30 39

"මහා වින්නැහි මේලා" යන නමින් හඳුන්වා දී තිබුණු එම නාට්‍ය හා කතිකාමය අත්දැකීමෙහි නිර්මාතෘවරිය ප්‍රකට කලා ශිල්පිනියක් වන සුලෝචනා දිසානායකය.

සුලෝචනා ඇමරිකාවේ, අප්‍රිකාවේ හා ඉන්දුනීසියාවේ විවිධ නාට්‍ය ශෛලීන් හදාරා ඒ පිළිබඳ ප්‍රවීණත්වයට පත්ව සිටින්නියකි. ඇය 2010දී ලංකාවට පැමිණ සිය නාට්‍ය චාරිකාව ආරම්භ කළ අතර ඉන්පසු ලංකාව පුරාත් විදෙස් රටවල් ගණනාවකත් ඇගේ නිර්මාණ ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කෙරිණි.

PHOTO 2024 09 18 13 30 41

සුලෝචනා දිසානායක

 

මහදැනමුත්තා ඇතුළු ගෝල පිරිසට සම්ප්‍රදායෙන්  බැහැර අර්ථකථනයක් දුන් ඇය මහදැනමුත්තා මගින් එච්අයිවී/ ඒඩ්ස් පිළිබඳ සමාජය දැනුවත් කරන කතිකාවතක් රූකඩ රංග ආකෘතියක් ඔස්සේ ගොඩනැගුවාය. මහදැනමුත්තාගේ සාම්ප්‍රදායික ගෝලයින් වෙනුවට පුවක් බඩිල්ලී, පොල් බෑ මූණි වැනි චරිත ඇය රංගයට උචිත  අරුතකින් ප්‍රති නිර්මාණය කර තිබුණාය.

 

PHOTO 2024 09 18 13 30 29

ගැහැණු දරුවකු වැඩිවිය පැමිණීම සම්බන්ධ ඇතැම් චාරිත්‍ර වාරිත්‍රවල ඇති ගූඪ බව තවත් ආකෘතික රංගයකින් නොපැකිලව ප්‍රකාශමාන කළ සුලෝචනා එහිදී රැක ගත යුතු හරයාත්මක සම්ප්‍රදායන් හා බැහැර කළ යුතු ආචීර්ණ කල්පිතයන් පිළිබඳ මෙම නාට්‍යය මගින් විවෘත සංවාදයක් ඉදිරිපත් කළාය. සුලෝචනා ගේ සෑම නාට්‍යයකම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සමාජ සාධනීය කතිකාවතක් නිවැරදි රංග සිද්ධාන්ත උපයුක්ත කොටගෙන ඉදිරිපත් කර තිබීමය.

එමෙන්ම සුලෝචනාගේ නිර්මාණවල තවත් විශේෂත්වයක් වන්නේ ඇය සිය වස්තු විෂයයන් ප්‍රොසීනියම් වේදිකාවට පමණක් සීමා නොකර ප්‍රොසීනියම් වේදිකාව ඉක්මවා ගිය පැවැත්මක් වෙත විස්තාපනය කර තිබීමය.

 

PHOTO 2024 09 18 13 30 33 3
ඇය "මහා වින්නැහි මේලා"වට පෙර නිර්මාණය කළ,පෙර සඳහන් Mahadanamuththa HIV/AIDS (2010), the boy who slept in the sky (2013) sounds of silence-Nelum (2017), why saama (2018/19) ආදී නිර්මාණවලත් මෙම ලක්ෂණය දැක්ක හැකි වූ අතර මේ සියල්ලෙහි පොදු හුයක් වන්නේ නාට්‍ය අධ්‍යයන පරාසය තුළට හසු වුණු ජනශ්‍රැතිමය හා ජන නාට්‍යමය ශෛලීන් නූතන සුසාධිත රංගයද සමග මුසු කොට කතිකාත්මක නාට්‍යමය අත්දැකීමක් හැම විටම ප්‍රේක්ෂාවට ළඟා කරදීමට යත්න දැරීමය.

මහා වින්නැහි මේලා වින්නැහිය

 

PHOTO 2024 09 18 13 30 31 2

"මහා වින්නැහි මේලා" කතිකාමය නාට්‍යයේ ප්‍රථම අංකය ලංකාවේ ජනයා මුහුණපා සිටින ගැලවිය නොහැකි ආර්ථික අර්බුදය පිළිබඳ ප්‍රේක්ෂකයා භෞතිකව මැදිහත් කිරීමකි. එය බෙහෙවින්ම ආකර්ෂණීය අත්දැකීමක් වන්නේ ප්‍රේක්ෂකයන් සියලු දෙනාම මහා වින්නැහි මේලාවේ වින්දිතයන් බවට සහභාගිත්වය ඔස්සේම එක සැණින් පත් කිරීමෙනි. ලංකාවේ රාජ්‍ය භාණ්ඩාගාරය ලබන සොච්චම් ආදායම, රාජ්‍ය වියදම්, නාස්තිය දූෂණය ආදී සියල්ලට යටත්ව පුරවැසි සුභසාධනයටද ඉන් ඉතා අල්පයක් වැය කිරීමෙන් පසු රටේ ආර්ථිකය සෘණ ආර්ථිකයක් දක්වා පල්ලම් බැස තිබීම මෙම අංකයේ නාට්‍යමය අත්දැකීම වෙයි. මූල්‍ය විනිවිධභාවය ඇති නොවන්නේ නීතියේ පාලනය තහවුරුවී නැති නිසා යන්න මෙහි කතිකාවතක් බවට පත්ව තිබුණු අතර මහ බැංකුව තීරණ ගන්නා ආකාරයේ සාවද්‍ය ස්වභාවයද මූල්‍ය අර්බුදයේ කේන්ද්‍රීය කාරණයක් බවට පත්ව තිබුණි. මහ බැංකුවේ තීරණ තනිකරම එහි නිලධාරීන් මත රඳා පවතීද නැතහොත් දේශපාලන අධිකාරියේ හැසිරවීමට එය යටත්ද යන්න පිළිබඳව එක අවස්ථාවක ප්‍රේක්ෂකයන් සහ නිර්මාපකයන් අතර විවාදයක් ද මතුවිය.

PHOTO 2024 09 18 13 30 38

 

වෙනත් කිසිදු නාට්‍යයක නිර්මාණකරුවා මතු කරන කරුණු කාරණා පිළිබඳව ඒ මොහොතේම ප්‍රේක්ෂක පාර්ශ්වයෙන් ප්‍රශ්න කිරීමක් සිදු නොවන අතර මහා වින්නැහි මේලා විශේෂත්වය වූයේ එවැනි කතිකාමය ගොඩනැගීම් වලටද අවකාශ ය සලසා තිබීමය. මෙම කතිකාමය හා රංග මැදිහත් වීම එක් අතකින් අර්වින් පිස්කැටොර්ගේ වාර්තා රංග සිද්ධාන්තයටද සමීපකර තිබෙන බවක් පෙනී යන අතර සුලෝචනා මහා වින්නැහි මේලා කතිකාවත ගොඩනගන්නේ වාර්තා රංගයට වැඩි බර තබමිණි.

සිහින කතිකාවත

 

PHOTO 2024 09 18 13 30 34
මෙම අංකයේදී ආර්ථික හා සමාජ අර්බුදය හමුවේ බිඳවැටුණ පුරවැසියාගේ සිහින කන්දරාව කෙතෙක්ද යන්න විමසා බැලෙනුයේ ශාලාවේ පැත්තක ඉදිකර ඇති ධවල පැහැ බැලුම් බෝල වලින් පිරුණු සිහින කුටීරය තුලදීය. පුරවැසියාගේ බිඳවටුණු සිහිනය එකිනෙකා හුදෙකලාවේ පසෙකට වී සටහන් කරනුයේ ධවල පැහැ බැලුම් බෝලවල පෘෂ්ඨය මතය. අධ්‍යාපන මට්ටමට සරිලන රැකියාවක් ලබා ගැනීම, නිවසක් තනා ගැනීම ආදී වශයෙන් වූ පුද්ගලික බලාපොරොත්තු වල සිට යහපත් සමාජයක් හා රටක් මෙන්ම දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් දක්වා වූ බලාපොරොත්තු මේ බැලූන් මත සටහන් වී තිබුණි. පරිශ්‍රයේ ඇති දුරේක්ෂයට ඇස තබා බැලීමට හිණි පෙළක් දිගේ අඩි තුන හතරක් උඩට නැගිය යුතුය. එ තුළින් පෙනෙන්නේ සෑම පුරවැසියකුම වෙන වෙනම ගෙවන්නට නියමිත ණය ප්‍රමාණයයි.

 

PHOTO 2024 09 18 13 30 35 3

තමන් වසන රාජ්‍යය සම්පූර්ණයෙන් බංකොලොත් යයි ඇසීම තරම් දුක්ඛදායක ආරංචියක් පුරවැසියෙකුට තවත් තිබිය හැකිද? එතැන් සිට අහිමිව යන්නේ පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම්ය. ඒ සමගම විදෙස් රටවලට ගෙවිය යුතු ණය නොගෙවා සිටීමෙන් ලෝකයේ පරිධිය කරා තල්ලු වෙන ජාතියක් බවට පත්වීමට ඒ රටේ පුරවැසියන්ට සිදුවෙයි. මේවා සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව නාට්‍ය රසිකයා හෙවත් පුරවැසියා සවිඥානිකය. එසේ නම් ඔහු ඒ ගිලා බසින සමාජ ආර්ථික යාන්ත්‍රණය සාධනීය අතට හරවා ගැනීමේ නව වැඩපිළිවෙලක කොටස්කරුවකු විය යුතුව ඇත. එම සමාජ දේශපාලන අදහස සුලෝචනා නිර්මාණකාරියක ලෙස මහත් බුද්ධි ප්‍රබෝධයෙන් යුතුව විශද කරන්නීය.

PHOTO 2024 09 18 13 30 40

 

මෙම නාට්‍ය පුරාම රංග අධිකාරිත්වයට සමාන්තරව ප්‍රේක්ෂක අධිකාරිත්වයක්ද ගොඩනංවා තිබීම සුවිශේෂී ලක්ෂණයකි. එක් පැත්තකින් ප්‍රේක්ෂකයින් නාට්‍යයට උවමනාවෙන්ම සම්බන්ධ කරගන්නවා සේම තවත් පැත්තකින් ප්‍රේක්ෂකයන්ට ස්වාධීනව නාට්‍යය මැදට ඕනෑ නම් කඩා වදින්නට ජනෙල් කවුළුද මෙම කතිකාමය නාට්‍යය තුළ හැර දමා තිබේ. එකී සුලක්ෂණවලින් තවදුරටත් රැකෙන්නේ එම අර්ථ රංගයේ විවෘත භාවයයි.

නරියා මුදලාලිගේ සම්ප්‍රාප්තිය 

 

PHOTO 2024 09 18 13 30 30
මහා වින්නැහි මේලාව යනු සැබැවින්ම රට බංකොළොත් භාවයට පත්වීම පිළිබඳ කතාවේ පියවරයන් පිළිබඳව කෙරුණු තාර්කික දිගහැරුමකි. මෙම දිගහැරුම බහු අර්ථ දෙන රඟදැක්වීමක් බවට පත් කරන්නට නිර්මාණවේදිනී සුලෝචනා දිසානායක ඇතුළු ඇගේ කණ්ඩායම ප්‍රශස්ත වෙහෙසක් ගෙන තිබේ.

මහා වින්නැහි මේලාවේ එන "සසිරි බර නිදහස් සල්පිල" බ්‍රෙෂ්ට් රංග සිද්ධාන්තයන්ද භාවිත කරමින් සිදු කරනු  ලැබූ මනරම් අර්ථාන්විත රංග මැදිහත්වීමක් බව කිව යුතුය. එහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ නරියා මුදලාලිය.  මෙහි ඇති විශේෂත්වය වන්නේ නරියා මුදලාලි සියල්ල කපටි ලෙස තම ග්‍රහණයට ගෙන සිටීම, සමස්ත පුරවැසි සමාජය හොඳින් තේරුම් ගෙන සිටියත් නරියා මුදලාලිගෙන් තොරව මූල ධනයක් අවශ්‍ය කිසිවක් සංවිධානය කළ නොහැකිය යන ස්ථාවරය සමාජයට පසක් කර දීමය. එනම් අර්ථපතියාගේ භූමිකාව එබඳුය. එය විචල්‍යයක් නොවේ.

PHOTO 2024 09 18 13 30 32 2

 

සසිරි බර සල්පිලේ ඇති ලේන්සුව දක්වාම දේවල් නරියා මුදලාලි සිය මූල්‍ය බලය ප්‍රදර්ශනය කරමින් අත්පත් කර ගනී. මූල්‍ය බලය සමඟ ගැට ගැසී ඇති මැර බලයද මෙහිදී හොඳින් ප්‍රදර්ශනය කෙරෙන අතර නරියා මුදලාලිගේ මුහුණේ එක් අර්ධයක් පියවි මුහුණින්ද, අනෙක් අර්ධය වෙස් මුහුණින්ද ප්‍රකාශ මාන කිරීම මගින් සුලෝචනා, නරියා මුදලාලිගේ කුප්‍රකට ස්වභාවය සාකල්‍යයෙන්ම තීව්‍ර කරයි. රාජ්‍ය සේවකයෙකු සල්පිලට කැඳවා එම චරිතයත් සංකේතාත්මක අරුතින් බලයට යටත් කිරීම මගින් රාජ්‍ය සේවයේ සාපේක්ෂ එක් පාර්ශ්වයක් ප්‍රතීයමාන කරන අතර එමගින් සුලෝචනා නරියා මුදලාලි පුද්ගලික ව්‍යවසායකත්වයේ සිට රාජ්‍ය සේවය දක්වාම බලපෑම් කරන්නකු බව සහනුකම්පිතව කියන්නීය. එමෙන්ම මුදලාලි සමස්ත සමාජයටම ඕනෑ වී තිබෙන්නේ මන්ද යන ප්‍රශ්නයට පිළිතුරු සොයන නිෂ්පාදකවරිය සිය නාට්‍ය තේමාත්මකය මගින් කියනුයේ, ඔහු ඕනෑ වී තිබෙන්නේ නරියා මුදලාලිගෙන් ගැලවිය නොහැකි තැනට අර්ථ ක්‍රමය පත්ව ඇති නිසා යන්නය. ඒ අනුව අප සැවොම නරියාට ආදරය කරමු. නරියා මුදලාලිගේ සම්ප්‍රාප්තිය සෑම කලෙකම අපේක්ෂා කරමු.

 

PHOTO 2024 09 18 13 30 37
එපමණකින් නොනවතින සුලෝචනා සිය මහා වින්නැහි මේලා රංගයේ නිෂ්පාදන පාර්ශ්වයද නරියා මුදලාලිගේ භූමිකාව නියෝජනය කරතැයි ව්‍යංගයෙන් කියන ආකාරය උත්ප්‍රාසාත්මකය.

ඔබද විරුවා

PHOTO 2024 09 18 13 30 34 2

ඔබද විරුවා යනුවෙන් නම් කෙරුණු අංකය ලංකාවේ පාලක ආකල්ප පිළිබඳ තියුණු ප්‍රශ්න කිරීමක් ලෙස දැක්විය හැකිය. කවර ආණ්ඩුව බලයේ සිටියත් වෘත්තීය සමිති විවිධ හේතු මත නැගිටීම නොවැළැක්විය හැකි කාරණයකි. ඒවා මැඩ පවත්වන ක්‍රම කිහිපයක් තිබිය හැකිය. බලහත්කාරය යෙදීම එකකි. එහෙත් ටික කලකින් යළි ඒ බලහත්කාරය පරාජය කරමින් වැඩ කරන ජනයා නැගිටිනු ඇත. අනෙක මහින්ද රාජපක්ෂගේ ක්‍රමයට වෘත්තීය සමිතිකාරයන්ගේ බුරියට වියතක් විතර පහළ ඇති ප්‍රදේශයට ඇඟිල්ලෙන් ඇන කිති කවා සටන ආපසු හැරවීමය.ඒ උපක්‍රමයත් තාවකාලිකය. එසේ නම් වැදගත් වන්නේ වෘත්තීය සටන් අරභයා පාලකයා අවංකව මැදිහත් වී ප්‍රශ්න නිරාකරණය කිරීම සහ විසඳුම් දීමය. උක්ත කාරණා විෂයෙහි ඔබද විරුවා අංකය මගින් මහා වින්නැහි මේලා නිෂ්පාදකවරිය වෘත්තීය අරගල අරබයා ස්ථාවර  විසඳුම් මාර්ග යෝජනා කරයි. සැබැවින්ම සමාජයේ විරුවා බවට පත්වන්නේ ප්‍රශ්න විසඳන්නාය. මහින්ද රාජපක්ෂ නොනවතින යුද්ධයක් දියත් කොට එල්ටීටීඊ සංවිධානය පරාජය කොට විරුවකු වූයේය.එය අර්ධ විසඳුමක් බව සැබෑය. යුද්ධයෙන් පසු තත් ප්‍රශ්නයට ස්ථිර දේශපාලන විසඳුමක් ලැබුණේ නැත. මේ තත්ත්වය තුළ ඔහු කෙරෙහි ආරෝපණය වන වීරත්වයද අර්ධයකි.

රනිල් වික්‍රමසිංහ මෙරට මුහුණ දුන් ආර්ථික අගාධයට තාවකාලික පැලැස්තරයක් යෙදුවේය. බදු ගසා ජනතාව මිරිකා දියත් කළ එම ආර්ථික ක්‍රමයද තාවකාලික විසඳුමකි. එහෙත් රනිල්ද එමගින් අර්ධ වශයෙන් විරුවකු වූයේය. දැන් සමාජය සොයන්නේ මූලික ප්‍රශ්න වලට තිරසර විසඳුම් ගෙනෙන වැඩපිළිවෙළකි. දීර්ඝ සංවර්ධන  සැලැස්මකි. එය ක්‍රියාත්මක කරන්නා විරුවකු ලෙස පිළිගැනීමට සමාජය සතුටුය. 

හෙට දවසේ සිතීම 

 

PHOTO 2024 09 18 13 30 33 2
සුලෝචනා ඔබද විරුවා අංකය මගින් මහා වින්නැහි මේලා කතිකාවත එවැනි සාරගර්භ ඉසව්වකට කැඳවන අතර මහා වින්නැහි මේලා සමස්තය ප්‍රාමාණික අර්ථ රංගයක් දක්වා ඔසවා තබයි. මෙම නාට්‍ය හා කතිකාමය රංගය අවසන් කෙරෙනුයේ නොනවතින ගී රැල්ලකිනි. එමගිනුත් නිෂ්පාදකවරිය පුරවැසියන්ට කියන්නේ අනාගතය ගැන තීරණ ගන්නා විට හිතලා හිතලා හිතලා තවදුරටත් හිතලා හිතලා හිතලා තීරණ ගන්නා ලෙසය. ප්‍රශ්නය වන්නේ එච්චර ගැඹුරින් හිතන්නට තරම් අප සුධවල බුද්ධි ජීවීන් නොවීමය. අප තීරණ ගන්නේම මතුපිටවාදී ලෝකයක අත්දැකීම් තුළිනි. හෙට දිනයේදීත් අභ්‍යාස වන්නට නියමිත ඒ තත්ත්වය අප උපේක්ෂා සහගතව පිළිගත යුතුව ඇත.

 

PHOTO 2024 09 18 13 30 35 2

මහා වින්නැහි මේලා කතිකා රංගය ප්‍රොසීනියම් රඟහල අත්දැකීම ඉක්මවා ගිය නාට්‍ය අත්දැකීමක් බව අපි මුලින්ම සඳහන් කළෙමු. සැබැවින්ම පුරවැසියෝ මෙතෙක් නරඹන්නන් ලෙස මේ කියන වින්නැහිය දෙස බලා සිටියෝය. මෙතැන් සිට එම නැරඹුම් කැමැත්ත පමණක් ප්‍රමාණවත් නොවන බවත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය, සහභාගිත්ව ආර්ථික විනිවිදභාවය හා සහභාගිත්ව සංස්කෘතික හඹා යාම දක්වා පුරවැසියා පියවරක් තැබිය යුතු බවද සුලෝචනා දිසානායක මෙම කථිකා රංගයේ හරය මගින් මහත් වූ හැඟීම් පෙරදැරිව ප්‍රේරණය කරන්නීය.


ගාඩි: රාජධානිය වෙනුවට ආදරය මුණගැසීම - (විමලනාත් වීරරත්න)(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


na1na2na3na4

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්