‘‘අලේ... අන්න උඹට කියවනව නං මරු පොතක් ඇවිත් තියෙනවා...’’
මහාචාර්ය සුචරිත ගම්ලත් එලෙස පැවසුවේ මීට වසර දහසයකට පෙර එනම් 2008 වසරේ අගෝස්තු මාසයේ දිනෙක මාකුඹුරේ අප නිතර ගැවසුණු ආයතනයක පැවති මධුපානොත්සවයක දී ය. මා මධු පානය නොකළ ද එවන් අවස්ථාවල ඒ ඒ පුද්ගලයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීම සාමාන්‍ය කටයුත්තකි. මහාචාර්ය සුචරිත ගම්ලත් මා ඇමතුවේ ‘අලයා’ යනුවෙනි.
‘‘මොකක් ද සර් පොත... කවුරු ලියපු එකක් ද...?’’
මහාචාර්ය සුචරිත ගම්ලත් කිසියම් කෘතියක් පැසසුමට ලක් කරන්නේ නම් එම කෘතිය අත් හළ නොහැකි කෘතියක් වන බැවින් මම විමසුවෙමි.
‘‘මට හරියට ලියපු කෙනාගෙ නම නං මතක නෑ. මේ... කතරගම පැත්තෙ හාදයෙක්... මොකද්ද මේ... රත නොරත රත වගේ තමයි මට මතක...’’
මහාචාර්යවරයා පැවසුවේ මා තව දුරටත් ව්‍යාකුලත්වයට ඇද දමමිනි.
‘‘සර් ගාව පොත තියෙනව ද...?’’

මා විමසුවේ මහාචාර්යවරයාගේ නිවසේ පොත තිබේ නම් එදින ම ගොස් එය රැගෙන විත් කියවීමේ බලාපොරොත්තුවෙනි. මේ සිදුවීම වන වකවානුවේ මහාචාර්යවරයාගේ නිවස අපේ ම නිවසක් බඳු විය. මධුපානයෙන් ඉක්බිති ඔහු නිවසට ඇරලන්නේ ද අප කණ්ඩායම ය.
‘‘දැනට නං මා අතේ පොත නෑ අලේ... මං ඒක කැතලින්ට දුන්න. උඹ කැතලින්ගෙන් ඉල්ලගනිං. මං කිව්ව කියල කියන්නකො.’’
ඉනොබ්බට මහාචාර්යවරයාගෙන් පොත පිළිබඳ විමසීම අත් හළ මා එදින මධු සාදය අවසන් වූ පසු ඔහු සමග ඔහුගේ නිවසට ගියේ සුපුරුදු පරිදි හෙතෙම ඇරලීම සඳහා ය.
මහාචාර්යවරයා නිවසට ගොඩ වූ සැණින් සිය බිරිඳ අමතා ‘‘... මේ මගේ ටෙලිපොන් ඉන්ඩෙක්ස් එකේ කැතලින්ගෙ නොම්මරේ ඇති. ඒක මේ අලේට ලියල දෙන්න’’ යැයි පැවසුවේ මා පොත් කියවීමට රුචිකත්වයක් දක්වන බව හෙතෙම අවබෝධ කරගෙන සිටි බැවිනි.
මහාචාර්යවරයා පැවසූ විගස ම ක්‍රියාත්මක වූ ඔහුගේ බිරිඳ කොළ කැබැල්ලක් මා අත තබා ‘‘ඔන්න අලවත්ත කැතලින්ගෙ නොම්මරේ. නැති කරගන්නෙහෙම එපා’’ යැයි පැවසුවේ සුපුරුදු ළෙන්ගතු භාවය දක්වමිනි.
පසුදින ම මා කැතලින් ජයවර්ධන ලේඛිකාව අමතා ගම්ලත් මහාචාර්යවරයා පැවසූ පරිදි අදාළ පොත පිළිබඳ විමසී ය.
අනුර වික්‍රමසිංහ
‘‘අනේ ජයසිරි... පොත නං දැනට මා ළඟ නෑ... හැබැයි මං ඒ මහත්තයගෙ නොම්මරේ ලියාගත්ත. මං ඔයාට ඒක එවන්නං,’’ යැයි පවසා එසැණින් ම මගේ ජංගම දුරකතනයට අදාළ අංකය එවා තිබුණේ එම ලේඛකයාගේ නම ද සමග ය. ඔහු අනුර වික්‍රමසිංහ නම් විය; වාසය කරන්නේ කතරගම ය.
එසැණින් ම මම අනුර වික්‍රමසිංහ නමැති ලේඛකයා ඇමතුවෙමි.
ඔහු ඉතා ගරු සරු සහිතව දුරකතන ඇමතුමට පිළිතුරු දෙමින් ‘‘මං ළඟ පොත් තියෙනව.. මහත්තෙයගෙ ඇඩ්‍රස් එක දෙන්නකො... මං ඔහේට පොතක් එවන්නං,’’ යැයි පැවසුවේ කලක සිට දන්නා හඳුනන පුද්ගලයකු ලෙසිනි.
ලේඛක අනුර වික්‍රමසිංහගේ කෘති කිහිපයක්
එම දුරකතන කතා බහ සිදුවීමෙන් අනතුරුව එළඹි සිව්වන දිනයේ දී තැපෑලෙන් මගේ නමට පාර්සලයක් ලැබිණ; එහි ආපසු ලිපිනය ලෙස සඳහන්ව තිබුණේ ‘අනුර වික්‍රමසිංහ, අංක 67, කඳසුරිඳුගම, කතරගම’ යනුවෙනි.
පොත මා අතට පත්වු සැණින් මා අනුර වික්‍රමසිංහ ලේඛකයා අමතා: පොත මා අතට පත්වූ බවත්, ඉක්මනින් ම කියවා අදහසක් ලියන බවත් පවසා ස්තුති කළේ ය.
ඔහුට පොරොන්දු වු පරිදි ම දින තුනක් ඇතුළත පොත කියවූ මා පොත ගැන මගේ අදහස ලියා රාවය පුවත්පතේ විමලනාත් වීරරත්න සොයුරා වෙත බාර දුන්නේ ය.
එතැන් සිට අනුර වික්‍රමසිංහ මගේ සමීපතම මිතුරකු විය; ඔහු කොළඹ පැමිණ සෑම දිනක ම මගේ නිවසට ද පැමිණියේ ය. ඒ වන විට මා නුගේගොඩ නාවල පාරේ පිහිටි ‘නැණිල ප්‍රකාශන’ ආයතනය සමග යම් රාජකාරිමය කටයුත්තක යෙදී සිටි බැවින් ඒ සබඳතාව මත අනුර වික්‍රමසිංහ නමැති මිතුරු ලේඛකයාගේ පළමු කෘතියේ (රත නොරත රති) තෙවන මුද්‍රණය එම ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත් විය. ඒ වන විට ඔහුගේ දෙවන කෘතිය වන ‘‘පංචායුධ නැති කුමාරිකාවෝ’’ කෘතියේ පළමු මුද්‍රණය ද අවසන්ව තිබිණ. ඊළග වසරේ එම කෘතියේ දෙවන මුද්‍රණය ද නැණිල ප්‍රකාශන ආයතනයෙන් ම ප්‍රකාශයට පත් විය. එතැන් සිට 2014 වසර දක්වා නැණිල ප්‍රකාශන ආයතනය විසින් ලේඛක අනුර වික්‍රමසිංහගේ කෘති (යට සඳහන් කෘති ද්විත්ය ද ඇතුළත්ව) හතක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ, මතු දැක්වෙන පරිදි ය.
රත නොරත රති - තෙවන මුද්‍රණය - 2010
දඩයක්කාරයාගේ නිම්නය - පළමු මුද්‍රණය 2011, දෙවන මුද්‍රණය - 2012 (මෙම කෘතිය 2012 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලෙහි පළමු වටයට නිර්දේශ විය)

පංචායුධ නැති කුමාරිකාවෝ - දෙවන මුද්‍රණය - 2013 (පළමු මුද්‍රණය සදිනි ප්‍රකාශනයක් ලෙසින් 2010 වසරේ දී නිකුත් විය)

පුරුෂඃපුර - පළමු මුද්‍රණය - 2012, දෙවන මුද්‍රණය - 2018

කලියුග වර්ධන් - පළමු මුද්‍රණය 2012

වනචාරිනී - පළමු මුද්‍රණය - 2013, දෙවන මුද්‍රණය - 2018
එකට සැතපීලා - පළමු මුද්‍රණය - 2014

යට සඳහන් කළේ නුගේගොඩ නාවල නැණිල ප්‍රකාශන වෙතින් ප්‍රකාශයට පත් කළ කෘති පෙළ ය. මීට අමතරව ‘‘සංහාර තාණ්ඩව’’ නමැති කෘතිය 2017 වසරේ ප්‍රකාශයට පත්වූයේ සදීපා ප්‍රකාශනයක් ලෙසිනි. ඉක්බිති 2018 වසරේ දී ‘‘භවන්කුණ්ඩය’’ දෙවන මුද්‍රණය (මෙම කෘතියේ පළමු මුද්‍රණය ප්‍රකාශයට පත් කරන ලද්දේ රාජගිරියේ ග්‍රැෆිකෙයාර් ප්‍රකාශන ආයතනය විසිනි) සහ ‘‘බදාලතා’’ නමැති කෘති ද්විත්වය ප්‍රකාශයට පත් කරන ලද්දේ මුල්ලේරියාව සඳිනි ප්‍රකාශන වෙතිනි.
ඔහුගේ කෘති සියල්ලෙහි ම පාහේ සාකච්ඡා කළේ පුරුෂ පීඩනයට ලක්වූ කාන්තා පාර්ශ්වය පිළිබඳව ය; ඒ අතුරෙන් ද වැඩි අවධානයක් යොමු කර තිබුණේ විවිධාකාරයේ සමාජ, ආර්ථික හේතු මත ගණිකා වෘත්තියට ඇද වැටුණු කාන්තාවන් පිළිබඳව ය.
අප සුහද කතා බහක යෙදී සිටින මොහොතක මා ඔහුගෙන් මෙලෙස විමසී ය.
‘‘ඇත්තට ම අනුර මහත්තයො ඔයා ගණිකාවො ගැන මේ තරමට ම ලියන්නෙ කොහොම ද...?’’
පංචායුධ නැති කුමාරිකාවෝ පළමු මුද්‍රණය
මා ඇසූ පැනය එය වුව ද එම පැනය තුළ නොඇසූ පැනයක් ද පවතින බව ඔහු ක්ෂණිකව ම වටහාගත්තේ ය.
‘‘ජයසිරි මහත්තයො... ඔහේ ඔය වටින් ගොඩින් අහන්නෙ මම ගණිකාවො ඇසුරු කරනව ද කියල නෙ... නෑ... හැබැයි මහත්තයො මගේ උපන්ගම වගේ ම ඉපදුණ දා ඉඳල ම ජීවත් වෙන්නෙ කතරගම. කතරගම කියන්නෙ මහත්තයො ලංකාවෙ හතරදිග් බාගෙන් ම මිනිස්සු එන නගරයක්. ඔහේ දන්නවයි... සුදු ඇඳගෙන මේ කතරගමට වැඩිපුර ම එන්නෙ අමු තක්කඩියො, නීති විරෝධි ව්‍යාපාරිකයො, ජාවාරම්කාරයො. ඔන්න ඔය අතර ගණිකා ව්‍යාපාරය කරන අය, ගණිකාවො සිය ගණනක් එක්ක බුදියගත්තු අය වගේ ම මිනිස්සු සිය ගණනක් එක්ක බුදියගත්තු ගණිකාවොත් මේ නගරයට එනව. ඒ සමහර ගණිකා ව්‍යාපාරිකයො වගේ ම ගණිකාව මිලදී ගත්තු පිරිමි තමන්ගෙ අතින් වියදං කරගෙන ගණිකාවො කතරගමට එක්කරගෙන එනව. මම මේ හැම කෙනෙක් එක්ක ම කතා බහ කරනවා. එයාලගෙ අත්දැකීම් අහල දැනගන්නවා. ඉතිං මගේ පොත්වල තියෙන්නෙ ඒ ඇත්ත කතා. ඒ කතාවල පීඩාවට පත්වෙලා තියෙන්නෙ ම ගෑනු. ඉතිං මං ඒ ගෑනු ගැන ලියනවා. මං හිතන්නනෙ ඒක මං කරන්න ඕන කියල... මොකද මිනිස්සු හිතාගෙන ඉන්නෙ හැම ගෑනියෙක් ම මිනිස්සු එක්ක නිදිවදින්නෙ කැමැත්තෙන් කියල... එහෙම නෑ ජයසිරි මහත්තයො. ඒ ගෑනු විඳින්නෙ අපා දුකක්...; ඒ හුගක් ගෑනු මේ රස්සාව කරන්නෙ කැමැත්තකිං නෙවෙයි...’’
ඔහුගේ එම පිළිතුර තුළ කෙතරම් ඛේදජනක සිදුවිම් ප්‍රමාණයක් අන්තර්ගතව ඇති ද යන්න ඔබට සිතාගැනීමට අපහසු නැතැයි මම විශ්වාස කරමි; ඔහුගේ බොහෝ නිර්මාණ සඳහා අනුභූති සැපවූයේ මේ කාන්තා චරිත ය; එකී කාන්තාවෝ පීඩනයට පත් කරන පිරිමි ය; ව්‍යාපාරිකයෝ ය.
භවන්කුණ්ඩය දෙවන මුද්‍රණය
ඔහුගේ කෘති අතර ද්විලිංගික පුද්ගලයකු පිළිබඳ වූ කෘතියක් ද විය. එය නම් කර තිබුණේ ‘‘භවන් කුණ්ඩය’’ නමිනි. එම නිර්මාණය ද හුදු ප්‍රබන්ධයක් පමණක් ම නොවන බව ඔහු මට පැවසී ය. ඔහුට එබඳු පුද්ගලයකු මුණ ගැසී තිබිණ; එම පුද්ගලයාගේ ජීවිත පවත ඔහු අසා තිබිණ. ‘‘භවන් කුණ්ඩය’’ රචනා කරන්නේ එම අනුභූතිය ඇසුරෙනි.
මා එම කෘතියේ අත්පිටපත කියවමින් සිටි සමයේ (2016 වසරේ) එකල මා සේවය කළ සත්හඬ පුවත්පතේ මෙබඳු චරිතයක් පිලිබඳ ලිපියක් පළ විය. එම ලිපිය අනුර වික්‍රමසිංහගේ කෘතිහෙයි පසු සටහන ලෙස යොදන්නැයි මම යේජනා කළෙමි. ඔහු එය අනුමත කළේ ය. මතු දැක්වෙන්නේ එම සටහන යි.
‘‘Herculine Barbin යනු 19වන සියවසේ ජීවත් වූ ප්‍රංශ ජාතිකයෙකි. එම පුද්ගලයා හඳුන්වන්නේ ‘Hermaphrodite’ නමැති අනන්‍යතාවෙනි. එහි සිංහල අරුත නම් ‘ද්විලිංගිකයා’ හෙවත් ‘පිරිමි සහ ගැහැනු ලිංගික අවයව ද්විත්වය ම පිහිටි පුද්ගලයා’ යන්න ය.
ද්විලිංගික පුද්ගලයා පිළිබඳ
Herculine Barbin යනු ද ද්විලිංගිකයෙකි. ඇය / ඔහු උපත ලබන්නේ 1838 දී ය. (මෙම පුද්ගලයා ඇය ද ඔහු ද යන්න ගැටලුවකි) අපතේ දි ඇය නම් කෙරෙන්නේ කාන්තාවක ලෙසිනි. ඇය සිය අධ්‍යාපන කටයුතු හමාර කළ ද මල්වර වන වයස පසු වුව ද එසේ නොවිම බරපතළ ගැටලුවක් විය.
අවසන 186 දී වෛද්‍යවරයකු කළ පරීක්ෂණයේ දීහෙළිවන්නේ ඇයට ඉතා කුඩා යෝනි මාර්ගයක් පිහිටා තිබුණ ද ඊට පහළින් අර්ධ ලෙස වර්ධනය වූ පුරුෂ ලිංගයක් සහ වෘෂණ කෝෂයක් ද පිහිටා ඇති බව ය.
2016/10/30: සත්හඬ: ජීවනි මංජුලා විරසිංහ
භවන්කුණ්ඩය ඇගේ ම කතාව දැයි කිසිවකු නොදනිති.’’
අනුර වික්‍රමසිංහ නමැති ලේඛකයා ලියා තිබුණේ Herculine Barbinගේ කතාව නොවුණ ද ඒ ආකාරයට ම උපත ලද, මේ සමාජයේ ජිවත්වූ පුද්ගලයකු පිළිබඳව ය.
මා පුවත්පත්හි මාධ්‍යකරණයේ නියැළෙන සමයේ ඔහු සමග සම්මුඛ සාකච්ඡා කිහිපයක් ම ලිවි ය. ඔහුගේ කෘති කිහිපයක් පිළිබඳව ම මගේ කියවිම ලිවී ය; එම කෘතිවල අඩුපාඩු ඔහුට පැහැදිලි කළේ ය. ඒ කිසිදු අවස්ථාවක ඔහු කිසි දිනක මා සමග අමනාප වී නොමැත. ඔහු නිර්මාණකරුවකු ලෙස මවිසින් ඔහු වෙත එල්ල කරන ලද විවේචන සියල්ල සාවධානව කියෙව්වේ ය; අසා සිටියේ ය. ඒ, මා ඔහුට යමක් පවසන්නේ අමනාපයට නොව ඔහුගේ ලේඛන දුර්වලතා මගහරවා ගැනීම පිණිස බව ඔහු හොදින් අවබෝධ කරගෙන සිටි බැවිනි. නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයකු සතුව තිබිය යුතු උතුම් ම ගුණාංගය ද එය යි. අදාළ පුද්ගලයාගේ නිර්මාණ පියවරෙන් පියවර සාර්ථකත්වය කරා ගමන් කරන්නේ එවිට ය. ඔහු ඒ ආකාරයට සාර්ථකත්වය අත්පත් කරගත් ලේඛකයෙකි.

මා අනුර වික්‍රමසිංහ නමැති ලේඛකයා පිළිබඳ මෙලෙස ලියන්නේ මන්දැයි මෙය කියවන ඔබ තුළ කුකුසක් පවතින බව සක් සුදක් සේ පැහැදිලි ය. ඔවු... එය එසේ විය යුතු ය. මා මෙම සටහන තබන්නේ ඔහුට උපහාරයක් වශයෙනි. මන්ද මේ මොහොත වන විට ඔහු අප හැර ගොසිනි. පුද්ගලයකු එසේ මිය පරලොව යෑම අරුමයක් නොවුණ ද අනුර වික්‍රමසිංහ නමැති ලේඛකයාගේ නික්ම යෑම මා කම්පණයට පත් කළේ ය. ඒ ඊයේ දිනයේ (09) මා ලද දුරකතන ඇමතුමක් හේතුවෙනි.
නොහඳුනන අංකයකින් පැමිණි එම ඇමතුමට මා පිළිතුරු දුන් සැණින් අනෙක් පසින් ‘‘ඔය ජයසිරි අලවත්ත මහත්තයා නේද...?’’ යැයි කාන්තාවක විමසුවා ය.
‘‘ඔවු... අලවත්ත තමයි... ඔබතුමිය කවු ද...?’’
මා එසේ විමසුවේ මගේ ප්‍රබන්ධ කෘතියක් කියවූ පාඨකාවක යැයි අනුමාන කරමිනි.
‘‘මම විනීතා...’’
අනෙක් පසින් පිළිවදන් දුන්නා ය.
‘‘විනිතා කිව්වේ...!’’
මා යළි විමසුවේ මට එම නම පිළිබඳව එතරම් මතකයක් නොතිබූ බැවිනි.

‘‘විනිතා ගමගේ... මතක නෙ...’’
‘‘ආ... මතකයි මතකයි... ඔවු කියන්න...’’
මා ඉතා සතුටෙන් පැවසුවේ ඇය ද මගේ පාඨකාවක වන බැවිනි. එහෙත් ඇගේ පිළිතුර හේතුවෙන් මගේ ප්‍රීතිය රත් වූ යකඩයක් මත වැටුණු ජල බිඳු කිහිපයක් සේ වාෂ්ප විය.
‘‘දන්නව ද... අනුර වික්‍රමසිංහ මහත්තය වෙඩිතියාගෙන මැරිල නෙ...’’
ඉනික්බිති ඇති වු හැඟීම් කෙලෙසෙ නම් අකුරු කරන්න ද... ඒ මා ජීවිතයේ ඇසු සානුකම්පිත ම පණිවිඩය යි. දැන් කුමක් කරන්න ද... කුමන හෝ හේතුවක් මත ඔහු තමන්ට හිමි බලපත්‍ර සහිත ගිනිඅවියෙන් ම සිය දිවි නසාගෙන ඇත; අපි කවුරු කෙසේ තර්ක කළ ද ඔහුට එසේ කිරීමට කුමක් හෝ හේතුවක් තිබෙන්නට ඇත; ජීවිතය කලකිරෙන්නට ඇත. මා දන්නා තරමින් ඔහු හොඳ: ලේඛකයෙකි; මනුෂ්‍යයෙකි; සමාජ සේවකයෙකි. එහෙත් ඔහු සිය දිවි නසාගෙන ඇත.

ඔහුගේ එක් ප්‍රබන්ධයක ද ප්‍රධාන කථකයා සිය දිවි නසාගන්නේ ය. ඒ, සිය දිවි නසා ගත් ඔහුම ද යන්න දැන් දැන් මසිත කුහුලෙන් පිරී ඇත...
ලොව විසු බොහෝ ප්‍රසිද්ධ නිර්මාණකරුවන්, නිර්මාණකාරියන් මෙන් ම වෙනත් වටිනා පුද්ගලයෝ ද සිය දිවි නසාගෙන ඇති බව මා මෙන් ම ඔබ ද අසා ඇතුවාට සැක නැත. ඉදින් මොහු ද එවැන්නෙක් යැයි සිත හදාගන්නවා හැර කළ හැකි අන් කිසිවක් නැත.
සටහන :

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/10/10






