leader s

පාලන බලතල, මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය සහිතව ජනතාව වෙත හිමිකර දී ඇති ජනරජයේ පරමාධිපත්‍ය බල ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ නවවන විධායක ජනාධිපතිධුරය සඳහා අනුර කුමාර දිසානායක තේරී පත්ව ඇත.
ශ්‍රී ලංකා ජනරජයේ උත්තරීතර ම දේශපාලන ආයතනය ලෙස මුල් ව්‍යස්ථාව හරහා බලය හිමිකරදුන් හා එහි ලා ව්‍යස්ථාපිත ඒකාධිපතීත්වයක් කරා රාජ්‍යය මෙහෙයවමින් ද පාලන තන්ත්‍රයේ දේශපාලන අභිලාෂ මත එකී ජනපතිධුරයේ බලතල සමඟ අනඟ රැඟුම් පාමින් ද ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතක් වෙත විටින් විට අවතීර්ණ වෙමින් ද ඉදිරියට පැමිණි මෙකී විධායක ජනපතිධුරය සඳහා එදා මෙදා තුර ඉතිහාසයේ මෙරට ප්‍රමුඛ දේශපාලන පක්ෂ ද්විත්වයෙන් හා ඉන් කැඩී බිඳී විසිර ගිය අනේකවිධ පක්ෂ හා කණ්ඩායම් වෙතින් බැහැර ව වෙනත් විකල්ප දේශපාලන ධාරාවක් වෙත හිමි වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගතවනු ඇත. 
 
පුවත් - Results from #8505
 
විප්ලවීය ක්‍රියාමාර්ග වෙතට අවතීර්ණ වූ මෙරට ප්‍රථම හා එකම දේශපාලන පක්ෂය ලෙස වරනැගෙන ජනතා විමුක්ති පෙරමුණ, ජේ.ආර්. ගේ බලලෝභී උප්පරවැට්ටි දේශපාලනයට නතුව, රුහිරෙන් තෙත්ව තහනම කරපින්නාගනිමින් සිටිය දී ගිනි දලු අතරින් සිය අවසන් අපේක්ෂාව වෙනුවෙන් දැල්වූ පහන්සිළුව ද ප්‍රේමදාස පහරින් නිවී ගිය පසු නැවත කුඩා ආලෝක දහරාවක් සේ මතුව, විප්ලවය අතැර ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී මාවත තෝරාගැනීමත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හා වාමවාදී සම්මිශ්‍රණ ප්‍රතිපත්තියකට එළැඹීමෙන් නැවත ගැබ දැරීම ආරම්භ වීමත්, අනතුරුව එහි විළිරුදාවෙන් ඉකිබිඳ වසර ගණනාවක් මුළුල්ලේ සිදු කළා වූ ප්‍රයන්තය අභිමුඛව මෙසේ අනුර කුමාරගේ ජයග්‍රහණය තුළින් සිය කුළුඳුල් දරු උපත බිහි කළ බවත් නොරහසකි.
 
මාතලේ මහ පො‍ළොව සීතල ද ? - (මංජුල වෙඩිවර්ධන)මංජුල වෙඩිවර්ධනමෙරට දේශපාලනය තුළ වූ නාගරික ප්‍රභූ භූමිකාවෙන් බැහැර ප්‍රදේශයක හා සමාජ ස්ථරයක ඉපිද, සිය ජීවිතය වෙනුවෙන් පොරබැද, දේශපාලන ප්‍රවාහය තුළට පිළිපන් අනුර කුමාර දිසානායක විසින් මෙසේ මෙරට පළමු පුරවැසියා බවට පත්වීම කුමාරොදයක් සේ හඳුනාගැනීම අපහසු නොවේ.  අනුර කුමාර හා ජාතික ජන බලවේගයේ නැගී ඒම මෙරට දේශපාලන ප්‍රවාහය බලාපොරොත්තු දෑසින් බලා සිටි එවන් කාලවකවානුවක 'මංජුල වෙඩිවර්ධනගේ' ප්‍රබල කාව්‍යමය පුරෝකථනය අනුර කුමාර දෙස ඉලක්කගත වීම ද විමතියට කරුණක් නොවේ.
punarසමාජ මාධ්‍ය පෝස්ටුවක්
 
සිංහලයේ කුමාරෝදය කුමාර + උදය නමින් විසන්ධිව දැක්විය හැකි අතර, මෙකී කවෙහි මාතෘකාව හා බද්ධව පවතින තේමාත්මක විග්‍රයේ දී එකී 'කුමාරොදය' නම් වදන් සමුච්චය ඔස්සේ අනුර 'කුමාර' ගේ පිබීදීම නැතහොත් උන්නතිය වැනි අදහසක් වෙත ප්‍රවිශ්ට විය හැකිය. එහෙත් ජනාධිපතිවරණ සටනේ දී තම ප්‍රධාන සටන් පාඨය වූ පුනරුදය (පුනර් + උදය) ඇති කිරීම ද ඊට සම රේඛීය චලිතයෙන් එකිනෙක සම්මුඛ වීම අරුමයක් නො වෙ ද ?
 
වෙඩිවර්ධනගේ කවිය එක්වරම අනුර කුමාර වෙත හෝ එකී දේශපාලන ප්‍රවාහය වටා කුළුනොගැන්වෙන සේ අතිශය සුමටව ධ්වනිය දනවන අයුරින් හා සංකේතාර්ථ බාහුල්‍ය වශයෙන් භාවිතා කරමින් රචනා වූවක් වන අතර ප්‍රවේශමෙන් අඩි තබමින් ඇවිද ගොස් ගැඹුර දැනගැනීමේ සියුම් උපායමාර්ගික කියවීමක් අපේක්ෂා කරන්නක් ද වන බව පැහැදිලිය. දෙපද ආකෘතිය සිය කවිය තුළට කැඳවන කවියා, කවිය ආරම්භයේ දී ම එකී සංකේතයන් තුළට අපව කැඳවාගෙන යයි.  
 
මෙ තරම් ලස්සනක් කොහිද වෙන ලිපිනෙක
‘’කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල’’
 
නල්ලච්චියෙ අහසට රතුපාට ගෑව
මෙච්චර දුරකට ඇහුණද දේවහූව
 
අනුර කුමාරගේ සඳහන පරිදි හෙතෙම සිය ජීවිත වියමන වියූ නිවෙස පිහිටා ඇත්තේ මෙකී "කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසළ" නම් වූ ලිපිනයෙහි ය. තඹුත්තේගම නල්ලච්චිය ග්‍රාමයේ රේල්ලුව ආසන්නයේ වැටී ඇති, "කුමාරොදය" නම් පුනරුදයේ නිර්මාතෘවරයාගේ නොහොත් නායකයාගේ එකී ලිපිනය කවියා පවසන අයුරින් ම අතිශය රමණීය ය. සාම්ප්‍රදායික ලාංකේය ලිපින අංක, මාවත ආදී කෙටි හැඳුනුම්වලින් යුතු වුව ද මෙකී ලිපිනය ගඟක් ගලා බසින්නා සේ කාව්‍යාත්මක රිද්මයකින් ගලා බසින බව දැකිය හැකි නොවෙ ද ?
 
best time to visit Sri Lanka
 
එහෙත් එකී කවියේ නල්ලච්චියෙ අහසට රතුපාට ගෑව යන්නෙන් කවියා අදහස් කරනුයේ වාමාංශිකත්වයේ පැහැය වූ රතු පැහැය සංකේතීමය අයුරින් කවිය තුළ සඳහන් කරමින්, විප්ලවයෙන් බැහැර පාර්ලිමේන්තුකරණීය වූ මාවතක් වෙත ගෙනගොස් ප්‍රථම වතාවට මෙරට වාමාංශික අනන්‍යතාවයක් සහිතව උපත ලැබූ පක්ෂයක් පාලන බලය අල්ලා ගැනීමේ සුවිසල් ක්‍රියාන්විතයේ නායකත්වය දරන්නා එහි ජීවත් වන බව විය හැකිය. නැතහොත් මෙරට ජ.වි.පෙ තරුණ නැගිටීම ට එරෙහි ව රාජ්‍ය තස්ත්‍රවාදය ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන් සමූල ඝාතනය කිරීමේ එ.ජා.ප ආණ්ඩු ක්‍රියාමාර්ග හේතුවෙන් අකාලයේ ඝාතනයට ලක් වූවන්ගේ රුධිරය ද සුසුම ද දහඩිය ද සම්මිශ්‍රිත අහස යට දී නැවත එකී දේශපාලන ප්‍රවාහයේ ඉදිරි ගමන වෙනුවෙන් රුධිරය ගැලූ මාවත ඔස්සෙ තම අහසෙහි හෙවත් ජීවිතයෙහි රතු පාට තවරාගැනීම විය හැකිය.
dewahuwawewa
 
ඒ සා කෙසේ කවියා තම දෘෂ්ටිය කවිය තුළ සනිටුහන් කළ ද  "මෙච්චර දුරකට ඇහුණද දේවහූව" යන්නෙන් කවියා අදහස් කරන්නේ කුමක් ද යන්න තීව්‍ර වශයෙන් කුමක්දැයි හඳුනාගැනීම වටී. එනම් නල්ලච්චියේ අනුර කුමාරගේ උපන් ගම සේ හඳුන්වන මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගලේවෙල ආසනයේ එක් ප්‍රබල භූ පාරිසරික ලක්ෂණයක් වන "දේවහූව වැව" කවියා කවිය වෙතට සමපාත කරවන බවයි.  දේවහූව වැව හා බැඳුණු අතිශය ප්‍රබල හා ප්‍රකට ජනප්‍රවාදයක් ද පවතින්නා වූ අතර එකී ජනප්‍රවාදය මෙකී කවියේ ඉදිරි ගමනට මහෝපකාරී වන හෙයින් සඳහන් කිරීම වටී. ද්‍රවිඩ පාලනයෙන් රට මුදවා ගැනීමේ අත්‍යන්ත හා ඒකායන අදිටනෙන් යුතු වූ දුටුගැමුණු කුමරු තෙමේ රුහුණෙහි මාගගේ සිට අනුරාධපුරය දක්වා යුද වදිමින් එළාර අධිරාජ්‍යයාගේ බලකොටු සුන්නද්දූලි කරමින් පැමිණි ගමන් මගෙහි අතරතුර හමුවූ විශිෂ්ටතම හා නො බිඳිය හැකි යැයි අනුමාන කළ විශාලතම බලකොටුව වූ විජිතපුර බලකොටුව පරාජය කිරීම සඳහා පිඹුරුපත් සකසමින් එකී සටනට කදවුරු බදිමින් සේනාව සංවිධානය කරන අවධියේ, විජිතපුරය දක්වා දිවෙන ජලමාර්ග අවහිර කරමින් විහාරමහා දේවියගේ මග පෙන්වීම මත කදුගැට දෙකක් යා කරමින් සේනාව ලවා වැව බදිමින් සිටියදී දෙවියන් විසින් එතුමාට පිරිත් නූලක් දැමූ බැවින් දේව-හුය ලෙසත් පසුකාලීනය එය දේවහුව ලෙසත් පරිවර්තනය වූ බව එම ප්‍රකට ජනප්‍රවාදයයි.
 
එසේ ගොඩ නැංවුණු ගලේවෙල දේවහූවේ සිය නල්ලච්චිය දක්වා ගලා ආ සුළං ධාරවන් විසින් අනුර කුමාර නම් දේශපාලන මිනිසාගේ දේශපාලන භාවිතය සකස් කිරීමෙහි ලා පරමෝපකාරී වූවේ ද ? එසේ ම දුටුගැමුණු විසින් එළාරගේ පාලනය විනාශ කිරීම හුදු එළාරගේ දමිළ අනන්‍යතාවය නිසා සිදුවූවක් නම් හා ඉතිහාසය වර නගන පරිදි එළාරගේ මරණය දුටුගැමුණුව වීරයෙක් කිරීම හුදු ජාතිවාදී අන්තවාදය ම අප හමුවේ රැගෙන එන්නේ නොවෙ ද ?
වෙඩිවර්ධනගේ කවිමය උණ්ඩය අනතුරුව එල්ල වනුයේ මෙකී කවිය තුළ අනුර කුමාරමය ප්‍රාදේශීය අනන්‍යතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා වීම විශේෂත්වයකි. 
 
කලා නිහින රිලා පැටව් විකුම් පෑව
කලා වැවට කැරකෙනවද මාලිමාව
නෑගම් ගිය රිලව් පැටව් පුරුදු කෙරුව
දුරට පෙනුණි 'කුඩාගමේ මද්දහනය'
නැව් නැඟ ගිය මතකය සිහියට එනකොට
වැව් දහසක එගොඩ මෙගොඩ පිහිනනව ද
 
381395899 122094920864059498 2136468696714045255 n
 
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නිවෙස පිහිටි අනුරාධපුර, තඹුත්තේගම මැතිවරණ බලප්‍රදේශය අයත්වන ඡන්ද ආසනය වනුයේ අනෙකක් නොව, කලාවැව ආසනයයි. මෙකී කලාවැව ආසනය මෑත කාලීනව බර්ටි ප්‍රේමලාල් දිසානායක මහ ඇමතිවරයාගේ දේශපාලන බලකොටුවකැයි හැඳින් වූ අතර, පසුව එහි ආධිපත්‍යය එස්.එම්. සහෝදර දෙපළ විසින් සභ්‍යත්වයෙන් තොර අයථා විධික්‍රම භාවිතයෙන් හෝ ඇතැම් විට දේශපාලනික වශයෙන් බර්ටි වෙතින් උදුරා ගත් බව නොරහසකි. මෙකී පාලකයන් සියල්ලම පාහේ පවතින අධිපති දේශපාලන ක්‍රමයේ ගැත්තන් ලෙස හැඳිනගත හැකි අතර මෙරට සහෘද ජනතාව විසින් දූෂිත පාලකයන් ලෙස වරනගන පාලන තන්ත්‍රවල බළල් හස්තය ද විණ. ඔවුහු කලාව සාහිත්‍යය තබා, දේශපාලනාර්ථික සමාජ සංස්කෘතිය හෝ ජනතා ගෝචර අයුරින් එකී ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් කළේ ද යන්න ප්‍රශ්නාර්ථ සහිත ය.  එකී කලා නිහින 'රිලා පැටව්' විසින් වික්‍රම පාමින් සිදුකළ ක්‍රියා පටිපාටි හමුවේ කලා වැව ආසනය වෙත ජාතික ජන බලවේගය කේන්ද්‍රීය මාලිමාවේ දිශානතිය ගෝචර වේ ද යන පැනය කවියා සහෘද පාඨකයාගෙන් විමසයි. පවතින දේශපාලන ප්‍රවාහය අනුව යමින් අධිපති දේශපාලන ක්‍රියාමාර්ග අනුගමනය කරන පක්ෂ හා දේශපාලන නායකත්වය වෙත නිරන්තරයෙන් තම ඡන්ද අයිතිය භාවිතා කළ මෙකී ඡන්ද බලප්‍රදේශයේ සුවහසක් ජනයා විකල්ප දේශපාලන මාවතක් වෙත ආකර්ෂණය වේ දෝ හෝ යි යන පැනය කවියා විසින් මතු කර ඇත්තේ නොවෙ ද ?
 
kudagama
තව ද තඹුත්තේගම යන ග්‍රාමය සිහි කැඳවන බොහෝ අවස්ථාවන්හි තෙළිඟු මිශ්‍රිත ජනතාව ජීවත් වන වෙනත් ආකාරයකට එනම් ග්‍රාම්‍ය කියමන අනුව 'අහිකුණ්ඨික' ජනතාව ජීවත් වන 'කුඩාගම' නම් අතිශය කුඩා ගම් පියසත් එහි ජීවත්වන සුළුතර ප්‍රජාවත් අමතක කළ නොහැකිය. කවියා එකී සුළුතර ය ද සිහියට කැඳවනුයේ එකී සුළුතරය ඉක්මවන බහුතරය මධ්‍යයේ වුව ද එකී ප්‍රජාව ශ්‍රී ලංකාව වශයෙන් එක ම ජාතික රාජ්‍යයේ සාමාජිකයන් වන හෙයින් බැව් පැහැදිලිය. තෙළිඟු සම්භවයක් සහිත වීම මහ ජාතිය අතර කොන් වීමට හෝ මහ ජාතියෙන් වියුක්ත වීමට කාරණයක් දැ යි නැවත නැවත සිතා බැලිය යුතු නොවෙ ද ? තමා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවට විකල්ප මාවතක් තෝරාගැනීම හෝ නොගැනීම එකී ජන කොටසේ අභිලාෂය පරිදි සිදුවිය යුත්තක් මිස මහජාතිය විසින් තීරණය කළ යුත්තක් නොවන්නේ ද එබැවිනි. එහෙයින් මෙසේ කියමි. ඔවුහු රිලා පැටවු පුරුදු කිරීමෙහි නියුතු වූව ද ඔවුන ද මෙකී ශ්‍රී ලාංකිකයාට අයත් වන්නේ ය. එකී සිංහල හෙජමොනිය විසින් සිදුකළ යුතු වනුයේ ඔවුනගේ රිලා පැටවු පුරුදු කිරීම හාස්‍යයට හෝ උපහාසයට ලක් කිරීම නොව එකී කුඩාගම ඇතුළු ඒ හා සමාන සුළුතර ප්‍රජාවගේ 'මද්දහනය' හෙවත් අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීම නොවෙ ද ? මෙකී බරැති කටයුත්තෙන් අනුර කුමාර ජනාධිපතිවරයාට වුව පැන යා නොහැකි සේ යදමින් බැඳී ඇත. එකී මද්දහනේ ආලෝකය දුරට දිස් වුව ද එය සමීපාර්ථයෙන් ද ආලෝකයක් දැ යි යන කරුණ නැවත නැවතත් අනුර කුමාර ජනාධිපතිවරයා විසින් විමසා බැලිය යුතු නොවෙ ද  ?
 
ජනාධිපතිවරයා වරෙක 'හරි Tv' හි සම්මුඛ සාකාච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කරන්නේ තමා නොපිහිනූ වැවක් කුරුණෑගල සීමාවෙන් එහා නොතිබෙන බවයි. එසේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ අතිශය පෞද්ගලික සීමාවන් මෙකී කවිය තුළට රැගෙන පැමිණීමේ අරමුණ අනෙකක් නොව, නැව් නැගගිය මතකය හෙවත් තමාගේ සමීපතමයන් ගේ වියෝගයන්, රට හැර යාම්, අතුරුදන්වීම් පමණක් නොව තමාට පක්ෂය තුළ සිටියවුන් විසින් මතුකළ චෝදනා ද, සමස්ත සමාජය විසින් 3% ඡන්ද ප්‍රතිශතයකට ඇද දමා ජාතිවාදී තට්ටු මාරු දේශපාලනය තවදුරටත් ඉල්ලා සිටීම තුළ ඇතිවන බලාපොරොත්තු අතැර ගැනීම ආදී අනේක විධ කළු පැහැති මතක අටෝරාශියක් නැවක නැග දුරු රට ගියාක් සේ අමතක කොට දමමින්, එකී අතිශය සුන්දර අතීතය එනම් වැවක දොළක පිහිනූ උදාරතර යෞවනය සිහියට නැංවීම හරහා තම දේශපාලන සිතියමේ කළු පැල්ලම් මගහරිමින් සුදු සුමුදු දේශපාලනයක් කරා පිවිසීමේ සංකේතයක් ජනනය වේදෝ යි සැක පහළවන අතර, අනෙක් අතට තමා හා ‍තම දේශපාලන කණ්ඩායමේ දේශපාලනය 3% ට ඇද වැටී ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව පක්ෂයත්, රටත් අතැර ගිය පක්ෂ සාමාජිකයන් හා ආධාරකරුවන් රාශියක් මධ්‍යයේ ශ්‍රී ලංකාව තුළ තවදුරටත් දේශපාලනය කිරීමේ පූර්වාදර්ශයත්, ආනන්දයත්, ප්‍රතිපත්ති සහගත දේශපාලනයත් නියෝජනය  කිරීමට කවියා යොදන ලද ව්‍යංගාර්ථවත් යෙදුමක් ලෙස ද මෙකී පද වැල දැක්වීම උචිතය.
 
කවියාගේ වෑයම අනෙකක් නොව මෙකී දේශපාලන ප්‍රවාහය තුළට කිමිදෙමින්, එහි අංශු මාත්‍රයන් තමාගේ විචාරක්ෂියට ගොඳුරු කරගැනීම බව වඩ වඩාත් පැහැදිලි වනුයේ කවියාගේ 'කුමාරොදය' කවියේ අවසන් පද සමුච්චය තුළිනි. 
 
අපි කොච්චර පිච්චිල දියවෙලා ඇද්ද
ටොපි සිකැරැට් ටොපි සිකරැට් ටොපි ගාණට
රේල්ලු හඬ සිහිවන මුදු අඹ වාරෙට
කර්තකොලොම්බන් අහිමිද සංසාරෙට
 
ජනපති අපේක්ෂක අනුරගේ පැටිකිරිය මෙන්න...(ජායාරුප)
 
ශ්‍රී ලංකා ජනරජයේ නවවන විධායක ජනාධිපතිධුරය සඳහා තේරී පත් වූ ජනාධිපතිවරයා එකී ධුරය සඳහා පත්වීම පිණිස ගෙවා පැමිණි දිවි මඟෙහි කිසිකලෙක පවුල්වාදී දේශපාලනමය හස්තයක් නොතිබි බව අප විසින් දත්තෙමු. මෙරට බිහිවූ අනේකවිධ දේශපාලන නායකත්වයන් සඳහා මඟ පිළිසකර කරනු ලැබූවේ ඔවුන්ගේ පිය පාර්ශවය හෝ නෑ සිය මිතුරන් විසින් බව ද නොරහසකි. නමුදු තඹුත්තේගම නල්ලච්චිය ග්‍රාමයෙන් මතුවූ දේශපාලන අංකුරය එසේ පවුල්වාදය කරපින්නාගත් කාලකණ්ණි දේශපාලනය මගැර ස්වකීය ස්වායක්ට්ජ දේශපාලන පර්යාවලෝකනයක් සහිතව දේශපාලනයට පිවිසීමේ ප්‍රහර්ශය කවියා විසින් වර නගා ඇත්තේ ඉහත සඳහන් පරිදි ය. ජනාධිපතිවරයා සිය දිවියේ යොවුන් විය ගෙවා දමනුයේ දුම්රිය මැදිරි තුළ ජංගම වෙළදාමේ නිරතවෙමිනැයි හෙතෙම ප්‍රසිද්ධියේ පවසනුයේ තමා විසින් එහි දී අලෙවි කරනු ලැබූ 'ටොෆි සහ සිගරට්' ද සිහි කරවමිනි.
 
දේශපාලඥයන් එසේ වසර 75 ක් මුළුල්ලේ අපගේ ජීවිත ටොෆි සිගරට් දේ දියකර හරිමින් ද පුළුස්සමින් ද ස්වකීය දේශපාලන කඨිපයාදී බලය තහවුරු කරගැනීම පිණිස කටයුතු කළ බවත්, එසේ තැළී පොඩිවී බිම්මට්ටමේ දේශපාලනයේ සිට රාජ්‍යයේ පළමු පුරවැසියා දක්වා පැමිණීම තුළ දක්නට ලැබෙන බල පෙරළියේ ස්වභාවයත්, නව දේශපාලනික පුනරුදයක් වෙත දෑස දල්වා බලාසිටිය හැකි බවත් අනුර කුමාර චරිතයේ බිංදු මාත්‍රයන් නිරූපණය කරමින් පෙන්වා දීමට කවියා සමර්ථව ඇත. දුම්රිය මැදිරි තුළ ටොෆි හා සිගරට් විකුණූවෙකු තමා එම තත්ත්වය වෙත ඇද දැමූ පාලකයා වූ පසුව කුමකින් කුමක් සිදුවේ ද යන්න පිළිබඳ අප දෑස හොවා බලා සිටිය යුතු නොවෙ ද ?
මෙසේ දුම්රිය මැදිරි තුළ වෙළඳාමෙහි නිරත වන්නන් අනුරාධපුර ගල්ගමුව අතර තඹුත්තේගම හා සෙනරත්ගම නම් දුම්රිය ස්ථානවල දී වැඩි වශයෙන් දුම්රිය වෙත ගොඩවන බව එකී දුම්රිය ස්ථාන පසුකර ඇදෙන කවරෙකු වුව ප්‍රායෝගිකව අත්දකින්නා වූ සංසිද්ධියකි. බොහෝදුරට ටොෆි සිගරට්වලින් පරිබාහිර දෙහි, සියඹලා, අඹ වැනි ස්වභාවික ඵලයන් විකුණමින් එදා වේල සරි කර ගැනීමෙහි නියුතු මිනිසුන් හා ගැහැනුන් එහි දී අපට වැඩිවශයෙන් සම්මුඛ වන අතර 'අඹ වාරය' යනු එකී ජීවිතවල මහප්‍රාණික ආලෝකය දල්වන වාරයැයි අප දනිමු. කවියා ස්වකීය පද්‍යාලංකරණ හැකියාව භාවිතා කරමින් රේල්ලු හඬ සිහිවෙන මුදු අඹ වාරය යැ යි පවසනුයේ ද මෙකී සංසිද්ධිය නොවෙ ද ? අඹ වෙරළු ආදිය විකුණා ස්වකීය ජීවිතය සරි කර ගන්නා මෙකී ජනයා ට රේල්ලු හඬ සිහිවන්නේ අඹ වාරයට මිස අන් කවර වාරයකට ද ? එකී රේල්ලු වාරය ඔවුන් තුළ දල්වනුයේ අනෙකක් නොව බලාපොරොත්තුවේ හා ජීවත්වීමේ අභිලාෂය නොවෙ ද ?
 
jaffna7
නමුදු කවියා අප ව ඉන් මුදවාගැනීමට ප්‍රථම එකී කවෙහි ම දිගුව ලෙස සඳහන් කරනු ලබන 'කර්තකොලොම්බන් අහිමි ද සංසාරෙට' යන්න හරහා අප වෙත හෙලනුයේ සියුම් උපහාසයකැයි මගේ පෞද්ගලික හැඟීම ය. 'කර්තකොලොම්බන්' යන පදය හඟවනුයේ දමිළ අනන්‍යතාවයකි. අනුරලාගේ යෞවනය ගෙවුණු මෙකී අඹ අතර තරමක් දිගටි මුල හා අග රවුම් හැඩයෙන් ද, හොටය වැනි සළකුණෙන් ද,  කවාකාර හැඩයකින් යුතු නැම්මකින් ද, රවුම් අගකින් හා තරමක් ඝනකම් පොත්තකින් ද වටව ඇති මදය තරමක් මෘදු, රන්වන් පැහැති, ඉතා රසවත්, යුෂ සහිත මෙකී කරත්තකොලොම්බන් ප්‍රවර්ගය සුවිශේෂ වනුයේ ද එහෙයිනි. කවියා මෙලෙස අප ඉදිරියේ වරනගන්නේ එකී සිංහල බහුතරය අතර දිවි ගෙවන  'කර්තකොලොම්බන්' හි අනන්‍යතාවය සිංහල හෙජෙමොනිය විසින් අහිමි කරන බව නොවෙ ද, අප විසින් ඔවුහු අතැර, මගැර යන බව නොවෙ ද ? කවියා මෙලෙස සමාජගත කරනුයේ එකී කර්තකොලොම්බන් හෙවත් දෙමළ ජනයා අතැර සිංහල භාෂාවට හා බෞද්ධාගමට ව්‍යස්ථාපිතව ම වෙනම පිළිගැනීමක් ලබාදෙමින් සම්පූර්ණ සිංහල රාජ්‍යයක් කරා යෑම අනුචිත බව නොවෙ ද ? මෙ බැව් වඩ වඩාත් හේතු සාධක සහිතව පෙන්වා දෙනු ලබනුයේ කවියාගේ මීළඟ සහෘදාමන්ත්‍රණය තුළිනි.
 
තනි සිංහල මඩ වගුරක කළල් අතර
විකසිතවනු හැකි ද මිතුර අරවින්දය !
රතන සූත්‍රය රඳවා මල් පඳුරක
ගෙය ගිනිලෑව ද ලිපිනය නිරුපද්‍රිත
මෙ කව එවමි කවියක් බඳු ඒ ලිපිනෙට
"කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල’’
 
කළු ජූලිය සැමරීම : වාමාංශික තක්කඩියන්ගේ දෙබිඩිකම
 
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන ව්‍යවස්ථාවට අනුව බුද්ධාගමට ව්‍යවස්ථාපිතව පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය ව්‍යස්ථාදායකයේ තුනෙන් දෙකක බලයෙන් හා ජනමත විචාරණයකදී ජනතා කැමැත්තෙන් මිසෙක අන් කිසි ලෙසකින් ඉවත නොහෙළිය හැකි ලෙස ස්ථාපිත කරමින් හා දහ අටවන ව්‍යස්ථාව අනුව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරමින් ජේ.ආර්. ජයවර්ධන ගෙන ආ ආගමික හා ජාතිවාදී මර උගුල එවකට ව්‍යස්ථාපිත නිරාගාමිකත්වයක් වෙත සිය රාජ්‍යය ගෙන යමින් සෑම ආගමකටම අපක්ෂපාතීව සැලකීමත්, සෑම ආගමකටම සමානව සැලකීමත් යන ව්‍යස්ථා විධිවිධාන ක්‍රියාත්මක කළ අසල්වැසි ඉන්දියාව වෙතින් වුව ආදර්ශයට නොගෙන නිර්මාණය වූවක් බව ප්‍රත්‍යක්ෂ වේ. මෙලෙස ආගමික රාජ්‍යයක් බවට පත්කරමින් ප්‍රජාතන්ත්‍රවාදී විධිවිධාන පරයා අන්තවාදී ලෙස ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ග හමුවේ 1980 සංවර්ධන සභා ඡන්දයෙන් පසුව උතුරේ ඇති වූ තත්ත්වය, 1983 කළු ජූලිය ආදී විරෝධතා හමුවේ මෙරට ජාතික සහජීවනය තඹ දොයිතුවක හෝ තරමේ ගණනකට නොගෙන සිදුකළා වූ දේශපාලන හැසිරීම තුළ සම්පත් බෙදී යාමේ විෂමතාවය කේන්ද්‍රකොට උතුර තුළ ඇති වූ විමුක්ති සටන සන්නද්ධ අරගලයක් බවට පත්වීම වැළැක්විය නොහැකි විය. පසුව 13 වන සංශෝධනය ආදී වූ පිළිවෙත් ක්‍රියාත්මක කළ ද අතීතය තුළ වූ හිස්තැන් පිරිවීමට නොහැකිවීම තුළ සිදුවූයේ අනෙකක් නොව මෙකී තත්ත්වය සිවිල් යුද්ධයල් බවට පත් ව ගිනිකන්දක් සේ පුපුරා යෑමයි. අවසානයේ දී එකී උතුරේ ප්‍රධාන ප්‍රශ්නය එසේ ම ඉතිරි ව තිබිය දී සංකේතීමය වශයෙන් දකුණ විසින් උතුරට එරෙහිව ලැබූ යුධ ජයග්‍රහණය සැමරීමත්, උතුර වෙන් කොට සැලකීමත්, උතුර හා දකුණ අතර වන භාෂා හා සංස්කෘතික වාර්ගික අර්බුදය බිඳහෙළීමට නම් දෙමළා විසින් සිංහල බහුතරය වෙත එළැඹිය යුතු බවත් යන කරුණු කාරණා හා විශ්වාස සමාජය තුළ මුල් බැස ගත් අතර එහි අවසාන ප්‍රතිඵලය ලෙස ජාතිවාදය මෙරට දේශපාලන ප්‍රවාහය තුළ බලයට ඒමේ ප්‍රධානතම උපායමාර්ගය බවට ද පෙරැළිණ.
 
JaffnaFoD8
 
2015 මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙත ප්‍රබල බලපෑමක් එල්ල කළ උතුරු හා නැගෙනහිර ජන කොටස් 2019 දී ගෝඨාභය රාජපක්ෂගේ ජයහ්‍රහණයේ දී කිසිඳු වැදගැම්මකට නොමැති ඡන්ද දායකයන් බවට පත්වීමත් ගෝඨාභය විසින් ප්‍රකාශ කරනු ලැබූ තමා සිංහල බෞද්ධ ඡන්ද පදනම හරහා පත්වූ ජනාධිපතිවරයෙකු බවට වන ප්‍රකාශත් හමුවේ මෙරට දේශපාලනය තනි සිංහල ඡන්දය පමණක් දිනා ගැනීමේ දේශපාලන මඟකට පිවිසි බව අපට දැකගත හැකිය. 13 වන සංශෝධනයේ දී හා 2005 දී මහින්ද රාජපක්ෂ රෙජීමය සමඟ අත්වැල් බැඳගනිමින් ජ.වි.පෙ. විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ජාතිවාදී දේශපාලනය පිළිබඳ සමාව ඇයදීමක් හෝ කම්පාවක් නොමැතිව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම හරහා මෙකී උතුර හා නැගෙනහිර දිනා ගැනීමේ වැඩපිළිවෙළක් නොතිබීම නම් කාරණයත්, උතුර හා නැගෙනහිර ඡන්ද පදනමෙන් තොර සිංහල බෞද්ධ බහුතර ඡන්ද පදනමක් යටතේ හෙතෙම තනි සිංහල මඩ වගුරේ කැළැල් අතර විකසිත වීම තෝරාගත් බවත් අපට පෙන්වා දිය හැකි නොවෙ ද ? එසේ නම් මින් අනතුරුව ජනාධිපතිවරයා වෙත පැවරෙන වගකීම වනුයේ මෙකී සුළුජන කොටස් ද තම දේශපාලන ගමන වෙත ඈඳාගමින් දශක ගණනාවක් මුළුල්ලේ ඔවුන් විසින් ඉල්ලා සිටි අයිතිවාසිකම් පිළිබඳ වෙනත් දෘෂ්ටිකෝණයකින් බැලීම හෝ අධ්‍යයනය කිරීම නොවෙ ද ? තම දේශපාලනය වෙත එකී කොටස් ද ඔවුන්ගේ ඉල්ලීම් ද එක්‍ රැස් කරගැනීම නොවෙ ද ? අප සාවධානී දෑසින් එදෙස බලා සිටීම උචිත ය.
Strike village 1988 
කවියේ අවසානය වෙත ළඟා වෙන්නා වූ කවියා නැවත අනුර කුමාර දිසානායකගේ අත්දැකීමක් අප හා සමපාත කරවන්නේ එහි ලා ගිල් වූ අතිශය ව්‍යංගාර්ථවත් අදහස ක් ද කැටිම වීම සුවිශේෂ ය. ජේ.වී.පී. තරුණ විමුක්ති අරගල හමුවේ රාජ්‍ය ත්‍රස්තවාදය බලපවත්වමින් මර්දනකාරී වැඩ පිළිවෙළක් දියත් කරමින් සිටි කාලවකවානුවක ශිෂ්‍ය සමයේ දී ම විකල්ප වාමාංශික දේශපාලනය සිය දේශපාලන ගමනේ ඉදිරිය බවට තීරණය කළ තුරුණු අනුර කුමාරගේ නිවෙස ගිනිබත් කිරීමත් එසේ පැමිණියා වූ පිරිස් රතන සූත්‍රය සඳහන් වූ පොත් පිංච අසළ පේර ගසක රඳවා නිවෙස ගිනිබත් කිරීමත් නම් වූ සංසිද්ධිය හුවා දක්වන කවියා මෙසේ ප්‍රදර්ශනකාමී බෞද්ධයා පිළිබඳ කතිකාවතක් අප වෙත ගෙන එනු ලබයි. ජීවත් වීම සඳහා තිබූ සෙවණ ගිනිබත් කළ ද ඒ තුළ වූ රතන සූත්‍රය එනම් සංකේතීමය බුද්ධ දේශනාව ගිනිතැබීමත්, එකී බුද්ධ දේශනාව විසින් යෝජිත ප්‍රායෝගික මාර්ගය වෙත නො එළැඹීමත් මෙරට බෞද්ධාගමේ ප්‍රදර්ශනකාමී උන්මාදය පසක් කරන්නේ නොවෙ ද ? බෞද්ධ දර්ශනය වෙනුවට අන්තවාදී බෞද්ධාගමක් කරපින්නා ගනිමින් අමූලික ශ්‍රද්ධාවෙහි නියුතු වල්, ප්‍රායෝගික ශික්ෂණය කරා තම ජීවිතය මෙහෙයවීමෙහි කිසිඳු අභිලාෂයක් නොපෙන්වීමත් යන මෙකී බහුතර සිංහල බෞද්ධ ප්‍රජාවගේ සරල සුගම යථාර්ථය කවියා පසක් කොට ඇත්තේ නොවෙ ද ?
 
IMG 1141
 
මංජුල වෙඩිවර්ධන කවියෙකු ලෙස මෙරට සිංහල කවිය තුළ තබා ඇති සලකුණ සුළුපටු නොවන්නේ, මෙසේ අනෙකුත් කවියක්ගේ දෘෂ්ටිය වෙතින් මගැරෙන අතිශය සියුම් කරුණු කාරණා තම කවියට වස්තු විෂය කරගැනීමේ ශක්‍යතාව නිසා පමණක් නොව, ඔහු විසින් භාවිතා කරනු ලබන භාෂාවත්, එහි රිද්මයත් ඔහුගේ කවියේ සමස්ත සන්ධර්භය හා අත්වැල් බැඳගැනීම හේතුවෙනි. මෙකී කවිය තුළ ද එම ලක්ෂණය වඩාත් තදබල ලෙස දැකියහැකි අතර ධ්වනියත් ව්‍යංගයත් මූලික කොටගත් ඉතා විශිෂ්ට කාව්‍යමය සංරචනයක නිරත වීමට ද ඔහුට හැකියාව ලැබී ඇති බව සඳහන් කළ යුතු ය.
IMG 1140
 
සමස්තයක් වශයෙන් ගත් කළ සංකේතීමය කරුණු කාරණා වටහාගැනීම හරහා ඉතා තියුණු ලෙස රසවිඳිය හැකි මෙ කව, කවියාගේ "බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්" නම් නවතම කාව්‍ය සංග්‍රහයේ සඳහන් කවක් වන අතර එකී සමස්ත කෘතිය වෙත ආලෝකය සපයන හුදු වචනාර්ථයෙන් ඔබ්බේ සනිටුහන් වන අති විශිෂ්ට වියමනකැයි හැඳිනිය හැකි ය. කවියා මෙකී කව රචනා කරනු ලැබූ මින් වසර දෙකකට පෙර කාල පරිච්ඡේදය හා සසඳන විට මෙ කව කතිකාවතට නතුවිය යුතු හා පාඨක අවධානය යොමුවිය යුතු කාලෝචිත කාලවකවානුව මෙයයැයි ද සඳහන වටී.
 
 • ජිමුත් ඉඳුසර රත්නායක
(අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන සිසුවෙකි)
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්