රාජ්‍ය සාහිත්‍ය සම්මානය යනු ජනතාවගේ පරිකල්පන ශක්තියට, සිතිවිලිවලට හිස නැමීම යැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි පැවසී ය.
අමාත්‍යවරයා මෙම අදහස පළ කළේ ඊයේ (27) අරලිය ගහ මන්දිරයේ පැවති 65වන (2024) රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළෙහි මුඛ්‍ය දේශනය පවත්වමිනි.
මතු දැක්වෙන්නේ එම අවස්ථාවේ දී අමාත්‍යවරයා දැක්වු අදහස්වල සංක්ෂිප්තයකි.

ලෝකයට ම ගිය පණිවිඩය
‘‘අද මේ පිදෙන්නේ රාජ්‍ය ගෞරවය යි; රාජ්‍ය බුහුමන යි. ඔබේ අදහස්වලට, ඔබේ සිතිවිලිවලට, ඔබේ පරිකල්පන ශක්තියට ශ්‍රී ලංකා රජය හිස නමන බව තමයි රාජ්‍ය සම්මානය කියන එකෙන් කියවෙන්නෙ. ඒක මුළු රටෙහි ම, මුළු මහත් ශ්‍රී ලංකාවේ ම ගෞරවය ඔබට පිරිනැමෙන බවේ සංකේතයක්.
පසුගිය මහා මැතිවරණ ප්‍රතිඵලය අපට ගෙනා පණිවිඩය ඔබ හැම දෙනා ම දන්නවා. ඒ පණිවිඩය ජාතික පුනරුදයක් දැන්වත් ලංකාවේ ඇති විය යුතු බව, ජනිත කළ යුතු බව කියවෙනසුලු පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි: උතුර, නැගෙනහිර, බටහිර, දකුණ යන ඒ සමස්ත ශ්‍රී ලාංකීය ජාතිය නම් සංකල්පය අවශ්‍ය බව. මේ දිශා හතරේ ම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා අති විශාල ජන හමුවක් වෙමින් පළ කර තිබුණේ විශාල බලාපොරොත්තුවක්. සමහර විට ඒකෙන් කියවෙන්නෙ උතුරෙන් ලැබුණ පණිවිඩය උතුර ඉක්මවා ඉන්දියාවත් පසු කර ලෝකයට ම යන ප්‍රබල පණිවිඩයක් බවයි.
මට මතක් වෙනවා රවින්ද්‍රනාත් තාගෝර් නමැති වාශිෂ්ට බුද්ධිමතා කළ ප්‍රකාශයක්. එතුමා වරක් සඳහන් කරනවා: ‘ඉන්දියාව යනු මට අදහසක් පමණි. භූ ස්කන්ධයක් නොවේ. මගේ ස්වදේශිකයින් ලොව පුරා ම සිටිනවා. ඒ නිසා මගේ ස්වදේශිකයින් මම ලොව පුරා ම සොයනවා.’කියල.
ඔබට මතක ඇති අපේ රජයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තිම ම කොටස. පිටු ඉදෙසිය තිස් දෙකක් පුරා දිවෙන කෘතියේ අනතිමට තියෙන්නෙ විශ්වීය පුරවැසියෙක් බිහි කර ගන්න බලාපොරොත්තු වෙන බව.
සාහිත්‍යයේ මෙහෙවර සම්මාදම වඩ වඩාත් අවශ්‍ය යුගයක්

‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’ කියන ප්‍රධාන දැක්ම වගේ ම අද අපි මේ සහභාගි වන රාජ්‍ය සාහිත්‍ය උළෙල අදාළ වන කොටස සැලකුවොත්: කලා. සංස්කෘතික ජාතික ප්‍රතිපත්තිය. එහි සඳහන් වන්නේ උදාර සංස්කෘතික ජීවිතයක්; සහකම්පනීය ජනතාවක්. මම හිතන්නෙ මේක තමයි වැදගත් ම කොටස. අප ඉදිරියේ සිටින මේ මහා සාහිත්‍ය පෞරුෂ සියල්ල; මේ වැඩිහිටි සහ තරුණ ලේඛක ලේඛිකාවන් සියලු දෙනා ජීවිත කාලය පුරා: ඔබේ පරිකල්පනය, ඔබේ විස්මිත සිතිවිලි මෙහෙයවා තිබෙන්නේ කුඩා සංස්කෘතික ජීවිතයක් අප රටේ දි ජනිත කරන්න; සහකම්පනීය ජනතාවක් බිහි කර ගන්න. එය අනාදිමත් කාලයක් පුරා ඔබ කළ මහා ආයෝජනයක්. ඇත්තට ම කිව්වොත් මේ සඳහා ඔබ වෙච්ච මහන්සියේ ප්‍රතිඵලය නිසා තමයි අපේ සංස්කෘතික ජීවිතය, මේ රටේ ජන ජීවිතය මෙපමණකට හෝ මානව භක්තියෙන් පිරුණු එකක් වෙලා තියෙන්නෙ.
ඔබ දන්නවා සහකම්පනීය පුරවැසියෙක් කියන එක මොන තරම් අවශ්‍ය යුගයක ද අප ජිවත් වෙන්නෙ කියල. මේ, යාබද අසුනේ සිටින්නේ මනුෂ්‍ය දියණියක්, මනුෂ්‍ය පුරුෂයෙක් කියන හැඟීම වේගයෙන් තුරන් වෙලා යන කාලයක්. ඒ නිසා සාහිත්‍යයේ මෙහෙවර සම්මාදම වඩ වඩාත් අද අපට අවශ්‍ය වෙනවා. බිඳ වැටෙන රසාස්වාදය, බිඳ වැටෙන මානව භක්තිය පිළිබඳ ප්‍රශ්නය නිතර දෙවේලෙ අපිට සමාජයේ මුණ ගැසෙන්නේ එක්කො ප්‍රචණ්ඩත්වය විදියට එහෙමත් නැත්නම් ප්‍රචණ්ඩත්වය හා බැඳුණු භාවිතයක්, ආවේණිකයක් විදියට. පුනරුද යුගයක සාහිත්‍ය කලාවේ භූමිකාව කියන්නෙ ම ඔබේ විශිෂ්ට පරිකල්පනය ම මිස වෙනකක් නෙවෙයි. මෙබඳු විශිෂ්ට පරිකල්පනයක් මගින් අපේ ජීවිත පොහොසත් කරපු පූර්වගාමී සාහිත්‍යකරුවන් සාහිත්‍යකාරියන් රැසක් සිටිනවා. අද සභාව ආරම්භ කරේ ම ඒ අයට බුහුමන් දක්වමින්.
18% වැට් බද්ද පිළිබඳව ඉදිරි අය වැයේ දි සාකච්ඡා කරනවා

සාහිත්‍ය කලා ලෝකය ගෙඩනැගීමේ සංවාදය අපි කරගන්නෙ කොහොමද...? නිදර්ශනයක් හැටියට ගත්තොත් ග්‍රන්ථ ප්‍රකාශනය අපේ රටේ තවමත් කර්මාන්තයක් වෙලා නෑ. ඒක වාණිජ ව්‍යාපාරයක් විදියට පමණක් තිබීම අපරාධයක්. එය කර්මාන්තයක් විදියට පත් කර ගතයුතු බව අප ඉදිරියේ තිබෙන එක අභියෝගයක්; එය වහා කළ යුත්තක්.
ඔබ දන්නවා මේ ග්‍රන්ථකරණය එහෙමත් නැතිනම් ප්‍රකාශනය, මුද්‍රණය සහ පාඨකයා පැත්තෙන් බැලුවොත් සියයට දහඅටක වැට් බදු මුදල විශාල බාධාවක් බවට පත් වෙලා තිබෙනවා. මෙබඳු බාධක ඉවත් කරගෙන ප්‍රකාශනය, මුද්‍රණය සහ පාඨකයාගේ පාර්ශ්වය පොහොසත් කරගන්න, පහසු කර ගන්න අභියෝගය ද අප ඉදිරියේ තිබෙනවා. එහෙම නොවුනොත් අප මේ ක්ෂේත්‍රය ගැන තිබෙන බලාපොරොත්තු මා කලින් සඳහන් කළ සහකම්පනිය ජීවිතය සහ සංස්කෘතික ජීවිතය දක්වා සාහිත්‍ය සම්බන්ධ කර ගැනීම බෙහෙවින් ම අර්බුදකාරි තත්ත්වයක තිබෙනවා. ඉදිරි අය වැය සම්බන්ධයෙන් සාකච්ඡා මේ වන විටත් දියත් වෙමින් තිබෙනවා. ඒ සාකච්ඡා තුළ මෙබඳු කාරණා තිබෙන බව ඔබට සඳහන් කළ යුතුයි.
අපේ සිතිවිලි ලෝකය පුළුල් කර ගැනීම සඳහා කළ යුතු ම දෙයක්
ඔබ දකින්නට ඇති අද: සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රයෙන් ම සම්මානිත වූ මේ ග්‍රන්ථ සම්භාරය. මෙබඳු කෘති: ඉතා ම නිරවුල්ව, ඉතා මසංවිධානාත්මකව අනෙක් භාෂාවලට නැගීම අප කරගත යුතු වෙනවා. අපේ සිතිවිලි ලෝකය පුළුල් කර ගන්න නම් එය කළ යුතු ම වෙනවා. ඒ පිළිබඳව අපේ සංස්කෘතික ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ම ගැබ් වෙනවා. මගේ ප්‍රයත්නය වෙන්නෙ කෙසේ හෝ මේ කාලය තුළ මෙබඳු ඉලක්ක කරා යන්න.
ග්‍රන්ථ සංස්කරණය සහ බුද්ධිමය දේපළ පිළිබඳ අවධානයක්

ඔබ දන්නවා ග්‍රන්ථ සංස්කරණය කියන කටයුත්ත අපේ රටේ බෙහෙවින් ම අඩුවෙන් අවධානය යොමු වෙන කරුණක්. ප්‍රකාශන ආයතන වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, පාසල් අධ්‍යාපනය වෙන්න පුළුවන්... මේ කිසිදු තැනක ග්‍රන්ථ සංස්කරණය පිළිබඳව ප්‍රධාන පෙළෙහි පාඨමාලාවක්, එහෙමත් නැති නම් බර තැබීමක් දකින්නට නැහැ. මේ ග්‍රන්ථ සංස්කරණය, පිටපත් සංස්කරණය වගේ කාරණා මේ ක්ෂේත්‍රයට අදාළව විසඳා ගත යුතු, ප්‍රවර්ධනයට පත් කළ යුතු ක්ෂේත්‍ර හැටියට අප ඉදිරියේ තිබෙනවා. ඒ වගේ ම බුද්ධිමය දේපළ පිළිබඳව ගැටලු තිබෙනවා; ඒ වෙනුවෙන් සංවාදයක් දක්වා ගිය දිගේලි කරගැනීම්, ප්‍රකාශන හිමිකම් පිළිබඳ ගැටලු, පරිවර්තන හිමිකම් ලබාගැනීම පිළිබද ගැටලු පවතිනවා.
ජාතික ලේඛක මධ්‍යස්ථානයක්
අපිට ජාතික ලේඛක මධ්‍යස්ථානයක් අවශ්‍ය යි. ඔබ දන්නවා ප්‍රත්‍යන්ත දනව්වල ඉන්න අපේ ලේඛක ලේඛිකාවන් පොත් ප්‍රකාශනය හා බැඳුණු කටයුතු සඳහා අගනුවරට එනවා. ඒ අයට නතර වෙන්න තැනක් නෑ. ඒ අයගෙ කටයුතු කරගැනිම සදහා පහසුකම් බෙහෙවින් ම අඩුයි; ඒ අය හුඟක් අපහසුතාවලට ලක් වෙන බව අපි දන්නවා. සමහර විට අතට ලැබෙන අන්තිම සෝදුපත කොළඹ නතර වෙලා, දවසකින්, දෙකකින් හෝ දින කිහිපයකින් අවසන් කරලා බාර දිලා ආපසු: අම්පාරට වෙන්න පුළුවන්, අනුරාධපුරයට වෙන්න පුළුවන්... එහෙම යන්න තියෙනවා නම් ඒක ලොකු දෙයක්. එබඳු කරුණු රාශියක් අපිට විසඳා ගතයුතුව තිබෙනවා. බහු සංස්කෘතික මධ්‍යස්ථාන ඇතුළු මාතෘකා රැසක් මෙතන විසඳා ගතයුතුව තිබෙනවා.
සාහිත්‍ය කලාවෙහි නිරත වූවන්ට රක්ෂණාවරණයක්

ඒ වගේ ම අප අද දුටුවා මේ වේදිකාවට ගොඩ වුණ ඇතැම් ලේඛක ලේඛිකාවන් සිය ජීවිතයේ මැදි විය පසු කර සිටින, වයෝවාද්ධ භාවයට ආසන්න වැඩිහිටියො බව. වයෝවෘද්ධ වේවා, තරුණ වේවා මේ සියලු ලේඛක ලේඛිකාවන් සහ කලාකරුවන් සම්බන්ධව සුබසාධන වැඩපිළිවෙළක් එහෙමත් නැතිනම් විශේෂයෙන් ම රක්ෂණයක් බඳු කාරණා පිළිබඳව අවධානය යොමු වෙලා ම නැහැ. මේ අය පිළිබඳව කල්පනා කරන්නට, මැදිහත් වෙන්නට කාලය යොදවීමට මම අපේක්ෂාවෙන් සිටිනවා.
මම කලින් සඳහන් කළ විදියට පොත් ප්‍රකාශනයට බදු එකතු වෙලා, පොත් මිල වැඩි වෙලා ඒ මිල නිසා ම පොත් අපෙන් ඛේදනීය ලෙස ඇත් වෙලා කියන කාරණය පිළිබදව අපි ඉතා ඉක්මනින් නැවත සලකා බැලිය යුතුයි. එක්දහස් නමසිය පනහ වසරෙ අත්සන් කෙරුණු ෆ්ලොරන්ස් ගිවිසුම වගේ දෙයක් මෙතනදි සලකා බලන්න අපිට පුළුවන්.
සංවේදිත්වය සහ නීතිය අතර තිබෙන තත්ත්වය සලකා බැලිය යුතුයි
ඔබට මතක ඇති යම් වරදකට බන්ධනාගාර ගතවුණ ලේඛක සහෝදරයෙක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලබල, සම්මානය තමන්ගෙ අම්මට බාර දිලා නැවතත් බන්ධනාගාරයට ගිය අත් දැකීම. මේක: අප වගේ, ඔබ වගේ සංවේදී මිනිස්සුන්ට මේවා හිත රිදෙන කරුණු තමයි. නමුත් සංවේදිකම සහ නීතිය අතර තිබෙන්නෙ වෙනම තත්ත්වයක්; එකිනෙකට වෙනස් තත්ත්වයක්. ඒ කෙසේ වුනත් මේ කාරණා සලකා බැලිය යුතුව තිබෙනවා.
උතුර සහ නැගෙනහිරට පුස්තකාල සේවා මණ්ඩල ශාඛා
මගේ අමාත්‍යංශයට අදාල විෂය පථය ගැසට් කෙරුණෙ දින දෙකකට කලින්. ඒ අතරෙ කලින් වෙනත් ක්ෂේත්‍රවලට අයිතිව තිබූණ, නමුත් කලා සංස්කෘතික ක්ෂේත්‍රයට හිමි විය යුතුව තිබුණු ක්ෂේත්‍ර කිහිපයක් මා වෙත පවරා තිබෙනවා. ඒ අතරේ පුස්තකාල සේවා මණ්ඩලය තිබෙනවා. මේ ආයතනයේ ශාඛා කොළඹට අමතරව: මහනුවර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල එහි ශාඛා තිබෙනවා. එසේ තිබුණත් මා කලින් සඳහන් කළ සිහිනයට සම්බන්ධ උතුර සහ නැගෙනහිර මෙහි ශාඛා නොමැති බවයි මගේ වැටහීම. මේ කරුණ ද සලකා බැලීමට අවශ්‍ය යි.’’
(සටහන - ජයසිරි අලවත්ත)






