leader s

දරුවෙක්ට, ඕනෑම දරුවෙකුට එයාගේ ළමා කාලය අහිමි වීම මොන වගේ හැඟීමක්ද, මොන වගේ තත්වයක්ද?


නිර්දය විදිහට ළමා කාලය අහිමි කරවනු ලැබූ දරුවෙක් ආකාර කිහිපයකට උස මහත් වෙන්න පුළුවන්. සමාජට වෛර කරන, විශේෂයෙන්ම කුඩා දරුවන්ගෙන් පළිගන්න අපරාධකාරයෙක් විදිහට. නැත්නම් ලෝකයේ මිනිසුන් අතර ගැවසීමට බිය, සමාජයෙන් ගුලි ගැහුණු, දිගින් දිගටම සමාජයෙන් කොන් වෙන කුලෑටි වැඩිහිටියෙක් විදිහට. යම් හෙයකින් ඔහුට හෝ ඇයට මහා සමාජයක, ලෝකයක ආදරය ලැබෙන යමෙක් විදිහට උස්මහත් වුණත් නිරන්තරයෙන්ම ඒ වැඩිහිටි සමාජය තුල අනාරක්ෂිත බවක් දැනෙන කුඩා ළමුන්ගේ ඇසුරම සොයන මනසින් සිය ළමා කාලයේ නැවතුණු වැඩිහිටියෙක් විදිහට.

 

 116246625 gettyimages 89538725 594x594

මයිකල් ජැක්සන්, පොප් රජු එහෙම නැත්නම් සියවසේ තාරකාව අයිති වෙන්නේ මෙන්න මේ අන්තිම කොටසට. ‘ළමුන්ගේ ඇසුරම සොයන මනසින් සිය ළමා කාලයේ නැවතුණු වැඩිහිටියෙක්‘. එනිසාම ඔහු දැඩිව ‘පීටර් පෑන්‘ නමැති කාටූන් චරිතයට ඇබ්බැහි වී සිටියා. පසු කලෙක සිය නිවාස හා එහි උද්‍යානය  ‘පීටර් පෑන්‘ ගේ දේශය වූ නෙවර්ලන්ඞ් නමින් නම් කළ ඔහු එය කුඩා දරුවනට  ඕනෑම මොහොතක ඇතුල් වීමේ අවසර ඇති තැනක් කිරීමම ඔහුගේ ශෝකී කෙටි ජීවිතය දැඩි ප‍්‍රශ්න රැසකට ඇද දමන එක් හේතුවක් වුණා. කොටින්ම ඔහුට ‘පීටර් පෑන් සින්ඩ්‍රෝමය‘ තිබෙන බවට පුවත් පත් වාර්තා කළා.

mj234

 

යන්තම් වයස වුරුදු 6 සපිරෙන විට පවුලේ සංගීත කණ්ඩායම ඔස්සේ සංගීත ලෝකයට පිවිසීමට MJ හට සිදුවුණේ ඔහුගේ කැමැත්තට නොවේ. ඔහුගේ දැඩි පාලනයක් සහිත පියා ජෝ ජැක්සන්ගේ බල කිරීමටයි. MJ සහ ඔහුගේ සහෝදරයන් සිව්දෙනා ඇතුළු Jackson 5 කණ්ඩායම එවකට සියලූ‍ම කළු ජාතික සමාජ ශාලා වල දර්ශන ඉදිරිපත් කළ අතර මේ පියා පවුලේ ජීවිකාව සරිකරගනු ලැබුයේ එයින්. ඒවෙනුවෙන් දැඩි හික්මවීමක් ලැබූ MJ ඇතුළු දරුවන් කිසිදා සෙසු දරුවන් හා සෙල්ලම් කිරීමට අවසර නොලැබූ අතර අකීකරු වීම පියාගෙන් කස පහර ලැබීමට හේතු වුණා.

 

mj456
එපමණක් නොවේ කුඩා කල MJ හට මදක් විශාල නාසයක් තිබීම අපහාසයට ලක් කල පියා ඔහුට ”‍බිග් නෝස්”‍ ලෙස නිතර බැනවැදීම නිසා කුඩා කල සිටම ඔහු සිය නාසය විටින් විට අතින් ආවරණය කරගැනීමට නිරායාසයෙන්ම යොමු වන ආකාරයට එයින් මානසික පිඩනයට පත්ව සිටියා. ඔහු ලෝ සුප‍්‍රසිද්ධ තරුවක් බවට ක‍්‍රමයෙන් පත් වද්දී පියාගේ බලපෑමෙන් නිදහස් වීමට දැඩිව උත්සාහ කරනු ලැබුවද එය ඔහුව තවත් පිඩනයට පත් කළා. මෙනිසාම ඔහු වැඩි වශයෙන් ගැවසීමට ආශා කළේ කුඩා දරුවන් සමඟයි. ඔහුගේ ප‍්‍රසංගයක පුහුණුවීම් අතරතුර පවා මඟ තොටක කුඩා දරුවන් සෙල්ලම් කරනු දුටුවහොත් ඔහු පුහුණුවීම් නවතා ඔවුන් සමඟ සෙල්ලම් කිරීමට පෙළඹුණා.

 

Michael Jackson

වරක් සිය සම්මානයක් අතැතිව සම්මාන උළෙලකදී ඔහු පැවසුවේ ”‍මම ළමා කාලය අහිමි කරවනු ලැබුවෙක්, මම අමුතුයි කියලා මිනිස්සු කියනවා තමයි. ඒත් තමන්ගේ ළමා කාලය අහිමි කරවලා යන්තම් අවුරුදු 5 සම්පුර්ණ වෙනකොට මිනිස්සු සිය ගානකගේ ඇස් ඉස්සරහා වේදිකාවක අධික පුහුණුවීම් වලින් පසු කෙරෙන දර්ශන පවත්වනවා කියන එක දරුවෙක්ගේ මනසට මොන වගේ දෙයක්ද කියලා ඔයාල දන්නවද?”‍. ඒ මොහොතේත් ඉන්පසුවත් සිය ජීවිතය, ළමා කාලය ගැන කතා කරන සෑම විටකදීම ඔහුගේ දෙනෙත් වල කඳුළු පටලයක දිලිසුමක් දක්නට ලැබුණා.

 

ඉතා මෘදු මිනිසෙකු වූ මයිකල් ජැක්සන් හට තිබුණේද දරුවෙකුගේ මෙන් මෘදු සන්සුන් කතා විලාශයක්. ඔහු ආවේගශීලි වූ අවස්ථා වාර්තා වී නොමැති තරම්. කොටින්ම ඔහු වැඩිහිටියෙකු ලෙස උපායශීලිව පිළිතුරු දීමට පවා නොදැන සිටි අයෙක්. එනිසාම ඔහුගේ දරුවෙකුගේ වන් අව්‍යාජ පිළිතුරු ඔහුට විරුද්ධවම මාධ්‍ය විසින් පාවිච්චි කරමින් මේ මිනිසා තව දුටත් ලෝකයෙන් ගුලි ගැහෙන පුද්ගලයෙක් බවට පත් කෙරුණා. ඔහුට එරෙහිව නැගුනු ළමා අපචාර චෝදනා ද්විත්වයෙන්ම ඔහු නිදහස් වුවත් එය ඔහු තවදුරටත් සමාජයෙන් ඈත් වී සිටීමට බලපානු ලැබුවා.

හමේ රෝගයක් සහ හිසට සිදුවූ අනතුරක් නිසා විටින් විට සිදු කෙරුණු ප්ලාස්ටික් සැත්කම් වලින් ඔහුගේ බාහිර ස්වරූපය ක‍්‍රමයෙන් වෙනස් වෙද්දී, මුළු ලෝකයක් ඔහු සමච්චලයට ලක් කරන්නත් ඔහුට ”‍පිස්සු”‍ බව පවසන්නටත් වීම තනි මිනිසෙකුගේ මානසික සෞඛ්‍යට කෙලෙස බලපාන්නට ඇතිද? විවාහ දෙකක් අසාර්ථක වූ මයිකල් ජැක්සන්, සිය දරුවා බැල්කනියකින් පහළට එල්ලාගෙන සිටින දර්ශනයක් නිසා නැවතත් ලෝකයේ මාධ්‍ය උණුසුම් වූ අතර ඔහුට වටකර පහර දෙන්නට වුණා. එය ළමා හදවතක් ඇති ජැක්සන් අපරික්ෂාකාරී ලෙස දරුවා මාධ්‍යට පෙන්වීමට ගත් උත්සාහයක් මිස දරුවාට හානි කිරීමේ අරමුණින් කල දෙයක් නොවන බව පසුව හෙළි වුණා. ”‍ඒක පුංචි දරුවෙක් එයාගේ බෝනික්කව අනිත් අයට පෙන්නන්න අල්ලාගෙන හිටියා වගේ අහිංසක වැඩක්, කරුණාකරලා මේ අහිංසක මනුස්සයව පීඩාවට පත් කිරීමෙන් වළකින්න”‍ යනුවෙන්  ඵන්‍ ට හිතවත් පුවත්පත් ඔහු වෙනුවෙන් පෙනී හිටියා.

 

mj5867878

තමන් කුඩා කල සිට විදිමින් සිටි අධික මානසික පීඩා, විශාදය, කාංසාව වැනි රෝග තත්වයන් නිසාම ඔහු ලෝකයට වඩාත් සංවේදී වුණා. ලෝකයේ සොබාදහමත්, දුගී මිනිසුනුත් වෙනුවෙන් ඔහු සිදු කළ මුදල් පරිත්‍යාග වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන ගණනක්.

Picture 4

 

ඔහුගේ අමුතු ගමන් විලාශය, කතා විලාශය මෙන්ම නැටුම් විලාශය ද පිටුපස ඔහුගේ උමතුව දකින්නට හැකි බව MJ  විරෝධීන් නිරන්තරයෙන් ප‍්‍රචාර ගෙන ගියා. දැඩි මානසික පීඩා එල්ලකිරීම් මධ්‍යයේ වසර කිහිපයක් ලෝකයෙන් වසන් වී, ප‍්‍රසංග වේදිකාව අතහැර සිටි මයිකල් ජැක්සන්, එම දිගු නිහැඩියාව බිඳිමින් 2009 ජූලි මාසයේදී  ”This is it ” ප‍්‍රසංග මාලාවක් ලන්ඩනයේ පැවැත්වීම නිවේදනය කළා. එහි සියලූ‍ම ටිකට් පත් විකිණී අවසන් වී, ප‍්‍රසංගයට සති තුනක් තිබියදී එම වසරේ ජූනි 25 වෙනි අඳුරු බ‍්‍රහස්පතින්දා, කැලිෆෝර්නියාවේ නෙවර්ලන්ඞ් හි ළමා වියේ සිහින දුටු පීටර් පෑන් දරුවාගේ හදවත සදාකාලයටම නතර වී තිබුණා.

සියවසේ තාරකාව, දුක්බර මයිකල් මිය ගොස් තිබුණේ හෘදයාබාධයකින්. නමුත් මරණය ඉතා සැක සහිත බැවින් පොලිස් පරීක්ෂණ ආරම්භ වුණා. අවසානයේ තීරණය කෙරුණේ ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ කොන්රඞ් මරේ විසින් මයිකල් ජැක්සන් හිසේ සැත්කම සඳහා ලබා ගන්න වේදනා නාශකයක් වූ Propofol අධි මාත‍්‍රාවක් ලබා දීම නිසා ඔහුගේ මරණය සිදුව ඇති බවයි. වෛද්‍යවරයා සිව් වසරක් සඳහා සිරගෙට නියම වූ  අතර ලෝකයට පොප් රජු අහිමි වී ගියා.

 

Picture 9

එහෙත් සිය වේදනාව, උමතුව ලෙසින් හංවඩු ගසනු ලැබීමට ලක්වූ මයිකල් ජැක්සන් නම් මිනිසාගෙන් හිස්වූ ලෝකයේ ඒ හිස්තැන පිරවිය හැකි කිසිවෙක් අදටත් නොමැති තරම්.

7214a030 5b38 4372 bddf 1aff18753e1bසටහන : Yesha Fernando
 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්