leader s

"මේ මගේ බෝට්ටුව" නිෂ්මි කියයි.


"ඔයත් එනවා ද?" ඇය අසයි.

"මම ඕකට බර වැඩී!" සචින් ගේ පිළිතුර යි.

"එහෙම නම් අපි ඔය ලට්ට-ලොට්ට ටිකක් මූදට දාමු!"

නිෂ්මි ගේ ප්‍රතිචාරය යි. ඔබ, ලට්ට-ලොට්ට බදාගෙන ජීවිතය අතහැරගෙන නොවේ දැ යි ආයු අපෙන් අසයි.

 


දැන් සචින්වත් ප්‍රේක්ෂක අපිවත් ඒ බෝට්ටුව නිර්මිතව ඇත්තේ නිෂ්මිට මරාන්තික වෛරසය ශරීරගත කළ ලේවල උරුමක්කාරයා ගේ නම, ලිපිනය ලියූ පත්‍රිකාවකින් බව නොදනී. ඒ වන විටත් නිෂ්මි ඒ බෝට්ටුව පදිමින් සිටින බව, ඊට සචින්ව නංවාගැනීමට ඇය ඒ තාක් ජීවිතය ම අතහැර ඇති බව, සජින්වත් ප්‍රේක්ෂක අපිවත් නොදනී.

චත්‍ර ගේ රූප සංකේතාත්මක ය. සජින්ව සොයාගත් පසු නිෂ්මි ඔහු හමුවීමට යෑමට පෙර විවාහ මුද්ද ගලවා දැමීම සංකේතවත් කරන්නේ මේ ලට්ට-ලොට්ට අතහැර දැමීම ය. අපේ යුගයේ ජීවිතය සොයාගිය මහා සාහිත්‍යධරයා වූ අමරසේකර විවාහයේ දී මුදු පැලඳීම ප්‍රතික්ෂේප කළ බව කියැ වේ. මම?

විශාලාවකට කියන පිරිතක් !

දැන් මෙයාකාරයට චිත්‍රපටය විචාරය කිරීම,  එහි මුල මැද අග පිරිසිඳ දැකීමට තැත් කිරීම චිත්‍රපටයේ ප්‍රදර්ශනයට හානිකර ද? චිත්‍රපටයෙහි ත්‍රාසය මේ මඟින් තවමත් එය නරඹා නැති ප්‍රේක්ෂකයාට අහිමි වේ ද? ඒ නිසා චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් අහිමි වේ ද? නොවේ යනු මගේ අවංක විශ්වාසය යි. එ වැනි අදහස් පළ කරන ප්‍රේක්ෂකයන්, විචාරකයන් ම ඒ චිත්‍රපටය බැලූ දෙ වන නැතිනම්, තුන් වන වාරය යි කීමෙන් ම, නැතිනම් තමන් තව එක පාරක් හෝ චිත්‍රපටය බලන බව කීමෙන් ම, ආයු හුදු කුතුහලය මත දුවන චිත්‍රපටයක් නොවන බව කියාපායි. ආයු බලන්න බලන්න, මේ කුතුහලය වැඩි වන බව මගේ අත්දැකීම යි. ආයු බලන්න බලන්න, සිදු වුයේ කුමක් ද යන ප්‍රශ්නය පරයා, එසේ සිදු වූයේ ඇයි යන ප්‍රශ්නය මතු ව දෝංකාර දේ.  එය ශ්‍රේෂ්ඨ කලා කෘතියක ලක්ෂණයකි. ඇත්තට ම ඒ අවබෝධයෙන් තොර ව, සිදු වූයේ කුමක් ද යන්න පවා අපට අවබෝධ කරගත හැකි ද?

ආයු චිත්‍රපටය මේ රටේ චිත්‍රපට රසිකයන් නැරැඹීය යුතු ම චිත්‍රපටයකි. ජීවිතයේ අරුත සොයන ඔබ නැරැඹිය යුතු ම චිත්‍රපටයකි. තව-තවත් රසිකයන් ආයු නරඹත්වා යනු අපේ පැතුම යි! ඒ, වාණිජ අරුතකින් ම නෙවේ; සමාජීය අරුතකින් ද මේ චිත්‍රපටය වැඩි-වැඩියෙන් ප්‍රේක්ෂකයන් නැරඹිය යුතු ය. එය එසේ වේ වා යන්න, අපේ අවංක පැතුම යි...!


ආයු: අලුත්, අපූරු අත්දැකීමක් රැගෙන එන, අපේ හද-මනස ඇද-බැඳගන්නා නිර්මාණයකි; විශිෂ්ට නිර්මාණයකි! ඊට අමතර ව එය කුරිරු ත්‍රස්තවාදයකින්, එක් තරුණ පරපුරක් ම ඝාතනය වූ කැරැල්ලකින්, භීෂණයකින් විසාලවක් බවට පත් වූ අප රටට කියන, ඔත්පළ වූ ජන-මනස් සුවපත් කරනු පිණිස සජ්ඣායනා කරන, පිරිතක් වැනි ය.

නිෂ්මි අපව ඇද-බැඳගන්නා සබඳතාව කුමක් ද?

ආයු සුන්දර යි! අපූරු යි! ඒ එක්කම මොකද්ද හැඳින්වීම සඳහා යොදන්න පුළුවන් නිසැක වචනය. තැතිගන්වන සුළු යි, අභියෝගාත්මක යි...!  ඒ වගේ ම, භියකරු යි...!

chathraචත්‍ර වීරමන්

චත්‍ර, බොහෝ ම පින් මේ අපුරු නිර්මාණයට. ගැඹුරු නිර්මාණයට. ඒ වගේ ම සැන්ඩ්‍රාට. ඒ රංගනය අපූරු යි, විචිත්‍ර යි, විශිෂ්ට යි. මනුවර්ණ ඇතුළු ආයු නළු-නිළි කැල ම සමස්තයට විශිෂ්ට දායකත්වයක් ලබා දෙද්දී, සැන්ඩ්‍රා ගැන සුවිශේෂීව සඳහන් කෙරෙන්නේ ආයු නිෂ්මි ගේ කතාව වන බැවිනි. ඇගේ දෑසින් පරිබාහිරව අපි යමක් දුටුවා නම්, ඒ සජින් බොට්ටුවේ අකුරු ඇමුණූ අවස්ථාව බඳු ඉතා විරල අවස්ථා ය. ඒ අවස්ථාවට ද නිෂ්මි නැතත් ආයු සහභාගී වේ. ආයු යනු නොකැළල් (සුදුසු ම වදන කුමක් ද?) නිෂ්මි ම ද?

දැන් අපි නිෂ්මි එක්ක ඇති කරගන්නා බැඳීම මොකක් ද? දයානුකම්පාව ද, ආදරය ද, ප්‍රහේළිකාව ද, අභියෝගය ද, වීරත්වය ද, මේ සියල්ල ද? මේ සියල්ල නම් ඒ කවුද? මිතුරිය, හිතවතිය, පෙම්වතිය, බිරිය, අභියෝගය... මේ සියල්ල ද, මේ සියල්ල නම් ඒ කවුද, නිෂ්මි අපව මේ තාක් අපි ගවේෂණය නොකළ භාව ලෝකයක් ගවේෂණයට පොලඹනවා ද?

අහිමිවීම් අභිමුව ජීවිතය!

නිෂ්මි හට දරුවකු පිළිසිඳ ඇති බව දැනගත් පසු ඒ සතුටුදායක පුවත සිය සැමියා සහ මව සමග බෙදා-හදාගැනීමට කොතරම් නම් වුවමනාවක් ඇයට තිබෙන්නට ඇති ද? ආරම්භයේ ම දරුවකු හැදීමට කාලය බවට නිෂ්මි ගේ මව කරන ප්‍රකාශ අපට නැවත නැවත ඇසේ. එහෙත් ඇය ඒ සතුටුදායක පුවත පළමු ව

ayucnqty893y
සිය සැමියාට කීමේ ආධ්‍යාශයෙන් පෙළේ. සැමියා නිවසින් බැහැර ව සිටින්නේ සංචාරක මග පෙන්වන්නකු ලෙස ඔහු ගේ ආර්ථික ක්‍රියාකාරකම් නිසා ය. ඇය, සැමියා සොයා පිටත් වන්නේ ඔහු ගේ පැමිණීම දවස දවස කල්ගිය බැවිනි. එහි දී ඇය රිය අනතුරකට ලක් වේ. ප්‍රතිඵලයක් ලෙස දරුගැබ අහිමි වේ. ශල්‍ය කර්මයෙන් පසු සිහිය ලබන ඇය සිය සැමියාට කියන පළමු අදහස නම්, ඔහු තාත්තා කෙනකු වීමට යන බව ය. ජීවිතය මේ තරම් කුරිරු දැ යි අපට සිතේ. ඇයට ජීවිතය, සැමියා එපාවීම සහේතුක යැයි සිතේ.

එහෙත් ජීවිතය ඊට ද වඩා බොහෝ කුරිරු විය හැකි බව ආයු අපට කියයි. ඒ මාරක රිය අනතුරින් ඇගේ දිවි ගලවා ගැනීමට ලබාදෙන රුධිරය ම ඇයට මාරාන්තික වේ. මරණයක දී රොද-බැදගන්නා අපේ මිනිස්සු මරණය සමග අභිමුඛ වූ නිෂ්මිව පිටු දකී; ඒ සියල්ල හමුවේ නිෂ්මි ජීවිතය සොයා යයි.

අපේ සමාජය බොහෝ අහිමිවීම් අත්විඳි සමාජයකි. ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී බොහෝ මවුවරුන්ට සිය පුතුන් අහිමි විය. භාර්යාවන්ට සැමියන්, දූ-පුතුන්ට පියවරු අහිමිවිය. ඒ ත්‍රස්තවාදය නිසා මිය ගියේ හමුදා භට පිරිස් හෝ ත්‍රස්ත කණ්ඩායම්වල සාමාජිකයන් හෝ පමණක් නොවේ. ත්‍රස්ත ප්‍රහාර හමුවේ ශ්‍රී මහා බෝධිය, දළදාව වදින-පුදන බැතිමතුන් ගේ පටන් මායිම් ගම්මානවල නිදා සිටි දරුවන් පමණක් නොව මව්කුස තුළ සිටි දරුවන් ද ඝාතනය කෙරිණි. ඒ හා සමග ම දකුණේ කැරැල්ල වමේ, දකුණේ දේශපාලන ක්‍රියාධරයින් පමණක් නොව,  වමක් දකුණක් පිළිබඳ හාන්කවිසියකවත් හැඟීමක් හෝ නොතිබුණු අසරණයින්ව ද බිලිගත්තේ ය. මෙ රට 'මරණයේ භූමියක්' යැයි නාමකරණය වූ බව අමතක ද?  ඒ අමානුෂිකත්වය හමුවේ සොබාදහම ද කුරිරු වී සුනාමියක්ව, තව තවත් ජීවිත උදුරාගත්තේ ය. ඒ සියල්ල අතීතය යි සිතන්නට ඉඩ නොදී, පාස්කු දිනක දෙවියන් යදින අසරණයන් සිය ගණනක ගේ ද ජීවිත උදුරා ගැනිණ. ඒත් මදිවී මහමග රිය අනතුරුවලින් අප ගේ ආදරණීයන් කී දෙනෙක් දවසකට අප ගෙන් උදුරා ගැණේ ද? චත්‍ර ආයු රැගෙන එන්නේ අහිමිවීම් පොදු ජීවන අත්දැකීමක් වූ සමාජයකට ය.

කාල අනුක්‍රමණය විතැන් කර අපව ප්‍රශ්න කිරීම

ayun89347y34
චත්‍ර ආයු චිත්‍රපටයේ දී කාලය රේඛියව ගලා යෑමට ඉඩ නොදේ. මුල මැද අග විතැන් කරමින් ප්‍රේක්ෂකයාව වට-වන්දනාවක රැගෙන යයි. එය අපූරු ය. ආයු ප්‍රදර්ශනය දින 50 සැපිරීම වෙනුවෙන් පැවැති හමුවේ දී, මා  මේ සම්බන්ධයෙන් නැඟු පැනයට චත්‍ර දුන් පිළිතුරෙන් පැහැදිලි වූයේ, එය කතා රසය ත්‍රීව කිරීම සඳහා ම කළ කටයුත්තක් නොවන බව යි. එ මගින් චත්‍ර ප්‍රේක්ෂකයාට ජීවිත සම්බන්ධයෙන් නිගමනවලට ඒමට හදිසි නොවිය යුතු බව අවබෝධ කරදීමට තැත් කරයි. සිනමා පටයේ ඒ සෑම ඡේදනයක දී ම, ඒ ඒ චරිත සම්බන්ධ අපේ නිගමන වැරැදි බව අපට ම පසක් කරවයි. "ජීවිත කළුත් නැත; සුදුත් නැත. ඔබ නිගමනවලට ඉක්මන් නොවිය යුතු ය" ආයු අපට අවබෝධ කරවයි.

ඒ වගේ ම නිෂ්මි ගේ උපැස් යුවළ ද අපූරු ආකාරයට යොදාගනී. පෙනෙන්නේ බලන දේ ද? දකින දේ අපට සාපේක්ෂක ද?

දැන් චත්‍ර, ආයු ඔබේ නිර්මාණයක්. ඒක මෙහෙම වුණා නම් කොහොම දැ යි ඇසීම යුතු නෑ. ඒත්, ඒත්, 'ආයු' ම අපව ඊට පොලඹවනවා නම්?

නිෂ්මිට සජින් හමුවීම හුදු අහම්බයක් නොවන බව අප චිත්‍රපටය අග දී දැනගනී. ඒ වෙනුවට නිෂ්මි සජින් සොයා-යන ඒ උද්වේගකර ගමන ප්‍රේක්ෂක අපවත් කැඳවාගෙන ගියා නම් යැයි නැඟෙන සිතුවිල්ල, ඒ තමාට ජීවිතය අහිමි කළ තැනැත්තා ගේ ජීවිතය සොයා යන ගමනක් යැයි අප දැනසිටියා නම්, අප ගේ වින්දනය කෙබඳු වනු ඇද්ද යන හැඟීම, රළ සේ නැවත-නැවතත් මතුවීම වළක්වාලීම අපහසු ය.

 

ayuroiweporhei
විවෘත ආර්ථිකයේ ව්‍යසන

ආයු කාව්‍යාකාර සිනමාව යැයි ලේබල්කර, එහි සමාජ කියවීම් පිටුදැකීම සහාසික ය. ඔව්, ආයු ජීවිතය පිළිබඳ ව ය. ඒත් එය මේ පොළොවෙන් උගුලුවා කළ නිර්මාණයක් නොවේ. ඉතා ප්‍රබල ලෙස මේ පොළොව මත ම ගොඩනැඟුවකි.

නිෂ්මිට සිය දරුවා සහ ජීවිතය ම අහිමි කරන්නේ සැමියා ගේ සංචාරක ව්‍යාපාරය සමග බැඳුණ රැකියාව ය. සජින් ගේ මාරාන්තික රෝගයට හේතු වන්නේ ඔහු ගේ ආර්ථිකය ද වැල්ලේ විදේශික කාන්තාවන් පිනවීම සමග බැඳී ඇති නිසා ය. විජාතිකයින් පිනවීමෙන් මිදී නිෂ්මි සමග කාලය ගත කරන කළ ඔවුනට සංචාරකයින් කැටුව යන සැමියා මුණගැසීම අපූරු රූප රාමුවකි. මේ විවෘත ආර්ථිකය මාරාන්තික පිළිකාවකි.

 

56u56b
මරණය හමුවේ ජීවිතය

ඉන්පසු ආයු සොයා රට මැදට යන දුම්රිය ගමන ද සංකේතාත්මක ද? විසඳුම ඇත්තේ වෙරළෙහි නොව, රට අභ්‍යන්තරයෙහි බව ද මේ අඟවන්නේ? අප ශිෂ්ටාචාර ගොඩනැඟුවේ රට අභ්‍යන්තරයෙහි සිට බව ද ආයු අඟවන්නේ? චත්‍ර ගේ පළමු චිත්‍රපටය වළගම්බා සමය පාදක කරගත්තක් බව අපට මතක ය.

ඒ ඉඟි කිරීම් අතහැර ප්‍රධාන තේමාව යළි සලකමු. නිෂ්මි මරණය අභිමුව අලුත් ජීවිතයක් සොයා යයි. අපි, අපේ පරම්පරාව ම මරණය අභිමුබ වූ පරම්පරාවකි. පේරාදෙණිය සරසවියේ පද්මසිරි සොහොයුරා ගේ හා ඒ අනුසාරයෙන් සිදු වූ කොළඹ සරසවියේ රෝහණ රත්නායක සොහොයුරා ගේ මරණයට පෙර හා පසු මගේ  ජීවිතය එකක් ම ද? එය එකක් නම් නොවේ. වසර 40කට පසුත් පාසලේ මිතුරන්, "උඹට මොකද වුණේ?" යැයි අසන්නේ එ බැවිනි.

පොහොට්ටු මන්ත් රීවරුන්ගේ නිවාස 650x366

නැවතත් මේ අත්දැකීමට මුහුණදීමට ගෙවල් ගිනි තැබූ අරගලකරුවන් නිසා මට සිදු විය. 2022 ඒ ගෙවල් ගිනි තැබීම සිදුවන විට, මා සමග දේශපාලනය කළ සියල්ලන් ගෙවල්-දොරවල් අතහැර වෙනත් ආරක්ෂිත ස්ථානවලට ගොස් තිබිණි. මට ද දේශපාලන සගයින් ගෙන් සේ ම, ආරක්ෂක අංශවලින් ද ලැබුණු පොදු උපදෙස එය යි. එහෙත් ඒ වනවිට පුතා ගේ ආ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට තිබුණේ දින 7ක් බඳු කාලයකි. මා නිසා, ඒ මොහොතේ ඔහු ගේ පොත්-පත් වැනසේ නම්, එ වැනි කුරුරි අත්දැකීමකින් ජීවිතය ම අදුරු වේ නම්, මම ජීවිතය රැකගැනීමට තැත් කිරීමේ අරුතක් තියේ ද? ඒ වගේ ම පොත්-පත් සියල්ල සමග (ඒ මොහොතේ එය කළ හැකි ද?) හෝ වෙන තැනකට ගියොත්, මට ඇති තර්ජනය ගැන ඔහු දැනුම්වත් වුවහොත්, ඔහුට සිය ජීවිතයේ පළමු අභියෝගාත්මක විභාගයට පාඩම් කිරීමට සිත එකඟ කරගත හැකි වේ ද? ආරක්ෂක උපදෙස් සියල්ල පසක ලා, අනතුරක සේයාවක් ගැනවත් ඔහුට දැනෙන්ට නොදී සිටීම, එ තරම් පහසු නැත. පුෂ්කින් ගේ 'ද්වන්ධ සටන' කතාවෙහි කියැවෙන්නේ මේ වෙනස ය.

ආයු කතා කරන්නේ මරණය අභිමුව ජීවත්වීම ගැන ය.  ඒ වගේ ම අහිමිවීම් හමුවේ ජීවත්වීම ගැන ය. එය අපේ පරම්පරාවේ අතිබහුතරයක ගේ අත්දැකීමකි. පරම්පරා කිහිපයක ම අත්දැකීමකි. එනම්ම එය මේ මොහොතේ මවුබිමේ පොදු අත්දැකුම ය. චත්‍ර ගේ ආයු, කලාත්මක වනවා සේ ම, කාව්‍යාත්මක වනවා සේ ම, අතිශයෙන් ම දේශපාලනික ය.




gevindu kumaratunga(ගෙවිඳු කුමාරතුංග)
යුතුකම සංවාද කවය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්