කෙළක් ෆ්‍රන්සක්කාරයන් කටපාඩමින් දන්නා නොහොත් ඔවුන්ගේ හදවතින්ම මතුවන සුප්‍රකටම කවිය කවරක්ද? වික්තෝරිඋගෝවුන්ගේ ‘හෙට හිමිදිරිය උදාවන මොහොතෙම’ නම් අර්ථය සපයන ‘Demain, dès l'aube’ - ‘දොමා දෙ ලෝබ්’ නම් කවියයි.
මෙකී කවිය ගැන නොදන්නා ෆ්‍රන්සක්කාරයෙක් වේ නම් ඒ ෆ්‍රන්ස කාව්‍යමය උරුමය පිළිබඳව වන මෙලෝ රස නහරක් නොමැති හුදු පංචස්කන්ධයක් පමණක්ම විය යුතු ය.
මේ වූ කලි සැබැවින් ම වේදනාවේ කාව්‍යමය ප්‍රක්ෂේපනයක් වන්නේ ම වෙයි. කවිය බැලූ බැල්මට පෙම් කවියක ලාලිත්‍යය උසුලයි. නිෂ්චිත විරිත් හෝ රිද්ම ලක්ෂණ නො රැකි, නිෂ්චිත අනුප්‍රාසයක් රහිත, එනමුත් සිවුපද ආකෘතිය අනුදත් ප්‍රවේශයක කවිය රැඳවෙයි. ස්ටන්සාවන් තුනකි. තුන්වැනි ස්ටන්සාවේ තුන්වැනි පෙළ වන තුරු කවියා ‘හෙට, වෛතාලය උදා වූ සැණින්’ ගමන් කරන්නේ කිසිවකුගේ සොහොන් ගැබ අසලට බව දැනෙන්නට අරින්නේ නැත. ඔහු පැමිනෙන්නට නියමිත ගමන අතර මඟ කැලෑබදදී කඩා ගන්නට නියමිතව ඇති ‘Houx vert - ඕ වෙර්’ ඉත්තක් නැතහොත් රතු පැහැ ‘හොලි’ ඵල පොකුරකින් ද යුතු වූ ‘හොලි’ කළඹක් ද ‘Bruyère - බෘයියේර්’ නම් වූ කඳුකර වර්ණවත් මල්වත් තෘණ පඳුරු බඳු රමනීය පැලෑටි අතරින් නෙලා ගත් මල් කිණිති ද රැගෙන එන කවියා ඒවා සොහොන් ගැබ මත තබයි.

මේ ප්‍රේමය කවරක් ද? මියගොස් සිටින්නිය කවරෙක්ද? කවියේ ළෙලදෙනා වේදනාව එයයි.
1802 වසරේ ඉපදුණු වික්තෝරිඋගෝ තමන්ගේ මෙන්ම තම සොහොයුරන්ගේ ද කුඩාකල සිට මිතුරයක වූ අදෙල් ෆුෂේ (Adèle Foucher) සමඟ අතිනත් ගත් පසු යුවලට ලැබුණු පළමු දියණිය ලෙයෝපොද්ලින් ය. (Léopoldine Hugo) ඇයට පෙර උපන් පිරිමි දරුවා ලෙයෝපොල් ඉපදී මාස කිහිපයක ඇවෑමෙන් ජීවිතය හැර ගියේ ය. අදෙල්, ඉක්බිති මෙම මහා කවියාට දාව තවත් දරුවන් ති දෙනෙකු වැදුව ද, 1824 අගෝස්තුවේ 28වැනිදා උපන් ලියෝපොද්ලින් වික්තෝරුවන්ගේ ප්‍රේමණීයම දූ රුවන බව ප්‍රකට ය.
සුන්දර කෙල්ලක ව වැඩෙන්නට වූ ලෙයෝපොද්ලින් වෙත කෙමෙන් විවාහයෙන් මුදුන්පත් වන ප්‍රේම යෝජනා ගලා එන්නට වූ අතර, අවසන, ඇය 19වැනි වියේ සිටිය දී ම විවාහප්‍රාප්ත වූවා ය. ෂාල් වැකෙරි (Charles Vacquerie) සමඟ 1843 පෙබරවාරියේ යුග දිවියකට එළැඹුණ ඇය ඒ මහා ඛේදවාචකයට මුහුණ දුන්නේ විවාහයෙන් මාස හයක ඇවෑමෙනි. හරියටම 1843 සැප්තැම්බර් 4වැනිදා ය. සුප්‍රකට සෙන් ගංගාවේ නොමන්දි (Normandie) කලාපයෙන් දියත්වුණු ඔවුන් රැගත් රුවල් ඔරුව ගමන පමණ ගෙනෙන සුළඟ මඳව අතරමඟදී පෙරලී ගිය අතර ලෙයෝපොද්ලින් වහා ගිලී ගියේ ඇගේ බරසාර ගවුමේ බරට ය. පිහිනුමෙහි සූර ෂාල් තමන්ට දාව උපදින්නට සිටින දරුවාද කුස දරාගත් සිය බිරිඳ බේරා ගැනීමට ප්‍රේමයේ නාමයෙන් නොනවතින උත්සහයක යෙදුණු බව මෙම වේදනාබර ඉතිහාස සංසිද්ධියෙහි ලියැවී ඇත. අවසන ඔහුද ලෙයොපොද්ලින් සමඟ එකම සොහොන් ගැබක මිහිදන් කරනු ලැබිණ. මේ සුප්‍රකට කවිය මතු වන්නේ මෙකි සංසිද්ධියේ වේදනාවෙනි. මේ මහා කවියා ලියූ මහා කවිය මොයාකාරය.
‘’මෙ පිටිසර පිනි බිඳෙන මොහොතෙහි ම, හිමිදිරියෙ, හෙට
නික්ම එමි දකින්නට ඔබ, දනිමි මඟ බලාගෙන සිටින බව
පය ඉක්මනෙහි රඳමි වණ අරණ, ගිරි සිරස වැද
ඔබ කෙරෙන් ඈත් වී, තවත් නම් ඉනු බැරි ය මට.
ඇවිද යමි මම මගේ සිතුම් ආරම්මණය මත
හාත්පස කිසිවකුදු පෙනෙන්නැත, ගොස කිසිඳු ඇසෙන්නෙද නැත
එකලාව, රහසින්ම, වකගැහී, දෑත් බැඳගෙන
සෝබර ය, වෙනසකුදු නැත දවස රැය සදිසිමය
ඇස නොරඳවමි ශරත සන්ධ්‍යාව සළන රන්වන
‘අර්ෆ්ලරෙන්’ දියත්වන රුවල් ඔරු පවා මඟ හැර
පැමිණි පසු සීරුවෙන් තබන්නෙමි ඔබෙ සොහොන මත
‘හෙද’ කිණිති හා බැඳුණ ‘හරිත හොලි’ කලඹක්ද මම. ‘’

වික්තෝරිඋගෝගේ මෙකී වෛතාල කවිය ඇතුළත් වන්නේ ඔහු 1856දී පළකළ ඔහුගේ ‘Les Contemplations - ලෙ කොන්තොම්ප්ලාස්ස්‍යොං’ නම් කාව්‍යාවලිය තුළ ය. එහි සමස්ථාර්ථය ‘ධ්‍යානය-භාවනාව-සමාධිය’ අර්ථයෙන් ගත හැකිවා මෙන් ම ‘මනසිකාරය’ අර්ථයෙන් කියවා ගන්නට ද පිළිවන. එමෙන්ම ජීවිතය පිළිබඳ සමෝධානයක් බඳු ‘අවලෝකනය’ නම් අර්ථයෙන් ද මෙම කාව්‍යාවලිය බාර ගන්නට පිළිවන.
ප්‍රස්තුත, ‘දොමා දෙ ලොබ්’ ඇතුළත් වන්නේ ‘ඕජෝද්වී’ නම් දෙවැනි කොටස පටන්ගන්නා කවි 17කින් සමන්විත පළමු කෘතියටයි. ‘දියණියට ගෙතූ කවි කිහිපයක්’ යන අර්ථය ගෙනෙන ලතින් යෙදුමක් සහිත ශීර්ෂයකින් සමන්විත ‘Pauca meae - පෝකා මියායි’ කෘතිය මුළුමනින් ම පාහේ ලියෝපොද්ලින්ගේ ඛේදජනක සමුගැනීමේ වේදනාව දරා ගැනීමේ කාව්‍යමය ප්‍රක්ෂේපනයක්ව පවතී.
‘දොමා දෙ ලෝබ්’ සියලු කවි අභිබවමින් පොදු ජන සන්තානයේ ගැඟුම් ගත් කවිය යි. මෙම කවිය ෆ්‍රන්ස බසින් පරිවර්තනය කරන කල්හි, ‘Houx vert - ඕ වෙර්’ සහ ‘Bruyère - බෘයියේර්’ ලෙස මුල් කවියේ දැක්වෙන ශාඛ නාමයන්ට අදාල සිංහලකරණය වූ නම් හොයා ගන්නට නැතියෙන් කවිය පරිවර්ථනයේදී මේකී ශාඛ නාම ‘Green Holly - හරිත හොලි ‘සහ ‘ Heather - හෙද’ ලෙස ඉංග්‍රීසියෙන් පවතින්ට ඉඩ තැබුවේ සිංහලෙන් කවි කියවන දනා බොහෝ විට සමීපව සිටින්නේ ඉංග්‍රීසි නාමකරණයන්ට නිසා ය.
කවියෙහි එන අර්ෆ්ලරය (Harfleur) වනාහි එනමින් යුතු එකල රුවල් බෝට්ටු ගහණ වූ සෙන් ගඟට හා වූ නොමන්දි කලාපයේ නගරයයි. කවියා රුවල් ඔරු දෙස නොබලාම එන හේතුව සහෘදයාට පැහැදිලි ය. කවියා මෙම කවියේදී මෙකී නගර නාමයම යොදා ගන්නට ඇත්තේ බොහෝවිට අවසන් ස්ටන්සාවේ දෙවැනි සහ සිව්වැනි පේලී අතර එළිවැට සාම්‍යය පවත්වා ගනු පිණිස බව පෙනෙන්ට තිබේ.
කවියෙහි සමෝධානයික නිමේෂයේ එන, අතිශය වර්ණවත්, සිත් ඇදගන්නා පෙනුමක් ඇති ‘හෙද මල් පඳුරු’ සියවස් පුරා සංඛේතවත් කරන්නේ සවාසනාව, නිරෝගී සුව, සෞභාග්‍යය මෙන්ම රැකවරණයයි. මියගිය දියණියකගේ සොහොන් කොත මත පවා තාත්තකුගේ පැතුම් වරනැඟෙනයුරු බරසාරව පවසන්නට මහා කවියකුට හැකි බව වික්තෝරිඋගෝ අපට ප්‍රත්‍යක්ෂ කරවයි.

කවියෙහි එන හරිත හොලී බරපතලම සංඛේතය බවට පත්වෙයි. බටහිර ක්‍රිස්තු භක්තිකයන් හොලි ශාඛය නත්තලෙහි සංඛේත ශාකය බවට පත් කරගෙන ඇත. එසේ නමුදු එයින් සැබෑ ලෙසම සංඛේතවත් වන්නේ ජේසුස් නම් ක්‍රිස්තුවරයාගේ කුරිසිපත් වීමට අදලා සංසිද්ධියේ හිස පැළැන්දූ කටු ඔටුන්නයි. හොලි පත්‍රය වනාහි කෘත්‍රීමකර නොහොත් ප්ලාස්ටික් ශාඛ පත්‍රයක ඇඟවුම් දෙන සජීවි පත්‍රයකි. දිදුළන පත්‍රයන්හි රමනීය හැඩය ගෙන දෙන නැමුම් කලාප වල අග්ගිසි කටුබර ය. කොළපත්‍ර ගහන කොළ අතු බූසි අතරින් පතර ඉතා කුඩා ඇඹිල්ල වන් පෙනුම් ඇති දිදුළන රතුපැහැයෙන් යුතු ‘හොලි පල’ දක්නට වෙයි. කටු ඔටුන්නට කොළ සංඛේතවත් කරන අතරෙහිම මෙම රතු පැහැ කුඩා ගෙඩි කටු ඇණුන් ක්‍රිස්තුවරයාගේ හිසින් ගලා ගිය රුධිරය සඛේතවත් කරයි. කවියා දියණියගේ සොහොනෙහි රැඳවීමට රැගෙන යන්නේ මෙකී වේදනාවේ සංඛේත පද්ධතියක් වන්නා සේම හිම සමයෙහි පවා කොළ පත්‍ර දරාගෙන සිටින හොලි ශාඛය සදාකාලික ජීවිතය පිළිබඳ බරපතළ රූපකයක්ව වොරැඳෙයි.

ඉදින්, ‘දොමා, දෙ ලෝබ්’ අප හදවත් මත බරපතළ ලෙස ප්‍රක්ෂේපණය කර පෙන්වන්නේ මතුපිටින් සරලව පෙනෙන්නේ මුදු, ආත්මීයභාවම පදනම් කරගත් කවියකට මරණය අබියස පවා මොන තරම් ගැඹුරු දේ කළ හැකිදැයි යන්න නොවේ ද? දියණියගේ මරණය පිළිබඳ අප මහා කවියා දැන ගන්නේ දින පහකට පසුව ය. කැෆේ අවන්හලක පත්තරක් බලමින් සිටිය දී අහම්බෙන් මෙන් දියණියගේ මළගම ගැන ලියැවුණු විශේෂාංග සටහන ඔහුගේ ඇස ගැටිණ. එ විට සැප්තැම්බර් 9වැනිදාට උදාවී තිබිණ. එය දැන ගත් මොහොතේ මේ මහා කවියාගේ මුවින් පිටවුණු වැකියක් ඇත. මෙබඳු ය.
‘’මගේ හදවතින් හරි අඩක් මියගිහින් ඉවරයි’’
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
www.wediwardena.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )








