"අභිසාරී" නැතහොත් "අභිසාරිකාව" යන වචනය බිඳී එන්නේ සංස්කෘත භාෂාවේ 'අභි + සෘ' යන ධාතුවෙන්. එහි සෘජු අර්ථය වන්නේ "යම් කෙනෙක් හෝ යම් ස්ථානයක් ඉලක්ක කරගෙන ඒ දෙසට පෙරට ගමන් කරන" යන්නයි.
පැරණි භාරතීය සහ සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ, තමන් ආදරය කරන පුරුෂයා (පෙම්වතා) හමුවීම සඳහා රහසිගතව, පෙරසුදානමට අනුව රාත්‍රියේ පිටත්ව යන කාන්තාව හැඳින්වූයේ "අභිසාරිකාව" නමිනුයි. කළුවර රැයක කළු වස්ත්‍ර ඇඳ රහසින් යන කාන්තාව 'තමස්‍යාභිසාරිකා' ලෙසත්, හඳ එළිය ඇති රැයක සුදු වස්ත්‍ර ඇඳ යන කාන්තාව 'ඡ්‍යොත්ස්නාභිසාරිකා' ලෙසත් හඳුන්වා තිබෙනවා.

කාලයත් සමඟ සමාජීය වෙනස්වීම් නිසා, මෙම වචනයේ මුල් සාහිත්‍යමය අර්ථය පටු වී, රාත්‍රී කාලයේ රහසිගතව පුරුෂයන් සොයා යන කාන්තාව 'ගණිකාව' හැඳින්වීම සඳහා භාවිත වන්නට වුණා. සෘජු වචන භාවිතය අශිෂ්ට යැයි සැලකූ සමාජයක, වඩාත් වක්‍ර සහ ශිෂ්ට වචනයක් ලෙස "අභිසාරිකාව" යන්න සමාජගත වුණා.
කැමරා කෝණ සහ "අභිසාරී රේඛා" (Converging Lines in Photography)
ඡායාරූපකරණයේදී Converging Lines (අභිසාරී රේඛා) කියන්නේ රූපරාමුවක ඈතට යද්දී එකිනෙකට ලං වෙලා, අවසානයේදී එකම ලක්ෂ්‍යයකදී එකතු වන බවක් පෙනෙන්නට තිබෙන රේඛාවලටයි. මගේ ඡායාරූප මාලාව තුළ මා මේ තාක්ෂණය බහුලව භාවිතා කළා. මින් මම බලාපොරොත්තු වූයේ ද්විමාණ රූපයකට සැබෑ ගැඹුරක් (Depth) සහ ත්‍රිමාණ ස්වභාවයක් ලබා දීමයි.

තවද රේඛා ඔස්සේ බලන්නාගේ ඇස නිතැතින්ම මගේ ප්‍රධාන වස්තුව වෙතට ඇදගෙන යාම, පටු වීදි, දුම්රිය පීලි සහ නෙළුම් කුළුණ වැනි නාගරික සංකේත හරහා චරිතයේ ජීවිතය සිරවී ඇති පටු අවකාශය සහ ඇය ගමන් කරන ඉලක්කය (Vanishing Point) දෘශ්‍යමාන කිරීමයි.

මෙහි ඇති ඡායාරූප හුදු වීදි ඡායාරූප (Street Snaps) නොවෙයි. මේවා ඉහළ සිනමාත්මක ගුණයකින් යුත් story telling එකක් ලෙසයි මා නිර්මාණය කළේ. මෙහිදී රූපරාමුවල සංයුතිය (Composition) වඩාත් ස්වභාවික සහ ආකර්ෂණීය කිරීමට මම ගතික සමමිතිය (Dynamic Symmetry) මනාව භාවිතා කළා. රූපරාමුවේ ඇති ප්‍රධාන රේඛා සහ කෝණ ජ්‍යාමිතික රටාවකට අනුව ගළපමින්, වස්තූන් අතර මනා තුලනයක් (Balance) සහ චලනයක් (Movement) මින් බිහි කිරීමට අවශ්‍ය වුණා.

මෙහිදී රාත්‍රී නගරයේ කෘතිම ආලෝක ප්‍රභව (Ambient street lights, neon signs) ඉතා සූක්ෂ්ම ලෙස පාලනය කරමින් Low-key / High-contrast සහ Chiaroscuro (ආලෝකය සහ අඳුර අතර දැඩි වෙනස) ආලෝකකරණ රටාවන් භාවිතා කළා. එමඟින් චරිතයේ මුහුණේ හැඟීම්, තනිකම, රහසිගත බව සහ ඇය මුහුණ දෙන ජීවන අරගලයේ බරපතලකම සිනමාරූපීව තීව්‍ර කිරීමට මට හැකි වුණා.
ප්‍රදර්ශනය "පාර අයිනේ" තැබීමේ ඇත්ත කතාව
ප්‍රදර්ශනය ගැලරියකින් පිටත, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තැබීම පිටුපස මගේ පැහැදිලි කලාත්මක සහ සමාජීය අරමුණක් තිබුණා.
මගේ පින්තූරවල ඉන්නේ මේ වීදිවල, මේ දුම්රිය පීලි අසල ජීවත් වන, ගැවසෙන මිනිසුන් ගේ ජීවිතයයි. ඔවුන්ගේ ජීවිත සුදු බිත්ති සහ AC ඇති සුඛෝපභෝගී ගැලරියක් ඇතුළේ හිර කරලා ප්‍රදර්ශනය කරනවාට වඩා, ඒවා පණ ගැහෙන්නේ මේ වීදියේදීමයි.
සාමාන්‍යයෙන් කලාගාරවලට යන්නේ සීමිත පිරිසක් විතරයි. නමුත් පාර අයිනේ ප්‍රදර්ශනය තැබීමෙන් පදිකයන්ට, ත්‍රිරෝද රථ රියදුරන්ට, සාමාන්‍ය කම්කරු ජනතාවට සහ දුම්රිය මඟීන්ට මේ කලාව නොමිලේම රසවිඳීමේ අයිතියක් ලබාදෙන්න අවශ්‍යවුනා.

ප්‍රදර්ශනය අතරතුර පාවහන් රහිත, නාගරික ශ්‍රමිකයෙක් මගේ ප්‍රදර්ශන පුවරුවක් ඉදිරිපිට නැවතී, ඡායාරූපය දෙස ඉතා ඕනෑකමින් බලා සිටිමින් ඇඟිල්ල දිගු කර එය තේරුම් ගැනීමට උත්සාහ කළ මොහොතක් මගේ මිත්‍රයෙක්ගේ කැමරාවේ සටහන් වුණා. ඒ මිනිසාගේ ඇස්වල තිබූ කුතුහලය සහ බද්ධ වීම (Engagement) මට ගැලරියකදී ලැබෙන ඕනෑම සම්භාව්‍ය විචාරයකට වඩා වටිනවා.
"ජූලි 24දා සිට දිවයින පුරා සිනමා ශාලාවල" තිරගත වීමට නියමිත අභිසාරී සිනමා නිර්මාණය වෙනුවෙන් කළ මේ ඡායාරූප ප්‍රදර්ශනය, සාම්ප්‍රදායික රාමුවෙන් මිදුණු අපූරු ප්‍රවර්ධනයක් මෙන්ම ස්වාධීන කලාත්මක අත්හදා බැලීමක්.



(සටහන | දේවා ජයවර්ධන )
Dewa Jayawardhana
Professional Photographer Of '' STUDIO COLORS ''







