leader s

*ප්‍රභූ විචාරකයන් පහත් කොට සැලකූ ජනප්‍රිය ‘පල්ප් ප්‍රබන්ධවල’ (Pulp Fiction) සැබෑ සමාජ-මානව විද්‍යාත්මක වටිනාකම.


*ත්‍රිරෝද රථයේ සිට ඩිජිටල් තිරය දක්වා: පොදු ජනයාගේ රසවින්දනය විවරණය කරන අලුත්ම සාහිත්‍ය කතිකාව.

සාහිත්‍යය යනු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හෝ ප්‍රභූ විචාරක ආයතනවල මිනුම්දණ්ඩකට පමණක් සීමා වූවක් නොවේ. පොදු ජන විනෝදාස්වාදය, භීතිය සහ අපේක්ෂාවන් කරපින්නා ගත් 'නිර්ප්‍රභූ සාහිත්‍යය' මෙරට කියවීම් සංස්කෘතිය පෝෂණය කිරීමට කළ බලපෑම සුළුපටු නොවේ. අභාවප්‍රාප්ත ඩීමන් ආනන්දයන්ගේ පුරෝගාමී මෙහෙවර සිහිපත් කරමින්, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් විසින් සම්පාදනය කළ මෙම විමර්ශනාත්මක ලිපියෙන් සාකච්ඡාවට බඳුන් වන්නේ එම නිර්ප්‍රභූ සාහිත්‍යය යළි ගොඩනැඟීමේ සමාජමය හා සංස්කෘතික අවශ්‍යතාවයි.


නිර්ප්‍රභූ යන වදන සමාජ හා විශේෂයෙන් දේශපාලන කරළියේ නිතර භාවිතා වන්නකි. නමුත් අප රටේ සාහිත්‍යය පිළිබඳ සාකච්ඡාවේදී “උසස් සාහිත්‍යය”, “විදග්ධ සාහිත්‍යය”, “ජනප්‍රිය සාහිත්‍යය” වැනි වර්ගීකරණ නිතර හමු වුව ද, එහි නිර්ප්‍රභූ නම් වර්ගීකරණයක් ඉස්මතු වී නැත. එහෙත් ලෝක සාහිත්‍ය කතිකාවතේදී නිර්ප්‍රභූ සාහිත්‍යය යන වදන වරින් වර සංවාදයට ලක් වනු පෙනේ. එසේ වුව ද මෙවැනි වර්ගීකරණ කිසිවිටෙකත් සම්පූර්ණයෙන් ස්ථාවර හෝ සර්වකාලීන නැත. එක් යුගයක හෝ සමාජයක “පහත්” හෝ “ජනප්‍රිය” යැයි බැහැර කළ කෘතියක් තවත් යුගයක සාහිත්‍ය ඉතිහාසය, සමාජ, මානව විද්‍යාව හෝ සංස්කෘතික අධ්‍යයනය සඳහා වැදගත් මූලාශ්‍රයක් බවට පත්විය හැකිය. එබැවින් නිර්ප්‍රභූ සාහිත්‍යය යනු සාහිත්‍යමය වටිනාකමක් නොමැති පහත් පෙළේ ලේඛන ප්‍රවර්ගයක් ලෙස හඳුනාගැනීම වෙනුවට, සාහිත්‍යයේ බලය, රසිකත්වය, වෙළෙඳපොළ සහ සමාජ පන්තීන් අතර පවතින මනුෂ්‍ය (හෝ අන්‍යෝන්‍ය) සම්බන්ධතාවක් ලෙස විමසා බැලීම වඩාත් ප්‍රයෝජනවත් ය.

“නිර්ප්‍රභූ” යන යෙදුමෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ සාහිත්‍ය විචාරයේ සාම්ප්‍රදායික ප්‍රභූ රුචි, විශ්වවිද්‍යාලීය අධ්‍යයන සම්ප්‍රදායන් හෝ සාහිත්‍ය ආයතන විසින් මධ්‍යගත කරනු ලබන කෘතිවලට පරිබාහිරව පවතින ජනප්‍රිය සාහිත්‍ය ප්‍රවාහයන් ය. මෙයට ත්‍රාසජනක කතා, රහස් පරීක්ෂක කතා, ආදර කතා, වික්‍රමාන්විත කතා, විද්‍යා ප්‍රබන්ධ, ගුප්ත කතා, අපරාධ කතා, ඓතිහාසික ජනප්‍රිය නවකතා ආදිය ඇතුළත් විය හැකි ය.

ප්‍රභූ මතවාදයෙන් ඔබ්බට ගිය සාහිත්‍යයක සැබෑ අරුත

එහෙත් “නිර්ප්‍රභූ” යන්නෙන් “අධ්‍යාපනයෙන් පහත්”, “බුද්ධිමය වශයෙන් දුර්වල” හෝ “කලාත්මකව අසාර්ථක” යන අදහස් අනිවාර්යයෙන්ම අදහස් නොවේ. මෙහි වැදගත් කරුණ වන්නේ යම් කෘතියක් සාහිත්‍ය සංස්කෘතියේ කුමන අවකාශයක නිෂ්පාදනය වීද, කවුරුන් එය කියවූයේද, කුමන ආකාරයෙන් එය අලෙවි වූයේද සහ විචාරක ආයතන එයට ලබාදුන් පිළිගැනීම කුමක්ද යන්නයි. නමුත් අද බොහෝ දෙනකු මෙම නිර්ප්‍රභූ සාහිත්‍යය යනු සමාජයේ නිර්ධන පන්තිකයන්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික සේම මනෝමය විෂය පථයන් ආවරණය කෙරෙන සාහිත්‍ය ප්‍රවර්ගයක් සේ දකිති. එහෙත් ඒ නිර්වචනය එතරම් ව්‍යක්ත හෝ සාධාරණ නොවේ. නිර්ප්‍රභූ සාහිත්‍යය යනු ඕනෑම සමාජයක නිර්ප්‍රභූන් ලෙස නම් කළ හැකි සමාජමය ස්ථරයට පහසුවෙන් ගෝචර කරගත හැකි සාහිත්‍යයකි.

නූතන මුද්‍රණ තාක්ෂණය දියුණු හා ව්‍යාප්ත වීමත් සමඟ විශාල පාඨක පිරිසක් සඳහා ලියන ලද සාහිත්‍යයට විශාල වෙළෙඳපොළක් බිහි විය. දහනව වැනි සියවසේ යුරෝපයේ පුවත්පත්, සඟරා, අඩු මිල පොත් සහ අඛණ්ඩ කතා මාලා මඟින් සාමාන්‍ය ජනතාව අතර කියවීමේ සංස්කෘතිය වේගයෙන් පැතිර ගියේය.

ෂර්ලොක් හෝම්ස්ගේ සිට පල්ප් ප්‍රබන්ධ දක්වා ලෝක ප්‍රවණතාව

 


මෙම පසුබිම තුළ රහස් පරීක්ෂක කතා, ගොතික් කතා, ත්‍රාසජනක කතා සහ වික්‍රමාන්විත ප්‍රබන්ධ ජනප්‍රිය විය. එඩ්ගා ඇලන් පෝගේ රහස් පරීක්ෂක කතා, ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතා, බ්‍රෑම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා, රොබට් ලුවිස් ස්ටීවන්සන්ගේ ට්‍රෙෂර් අයිලන්ඩ්  වැනි කෘති ජනප්‍රිය සංස්කෘතිය සමඟ ගැඹුරින් සම්බන්ධ වූ සාහිත්‍ය නිර්මාණ ලෙස දැක්විය හැකිය.

විසිවන සියවසේදී මෙම ප්‍රවණතාව තවත් පුළුල් විය. මිල අඩු පල්ප් කඩදාසිවලින් මුද්‍රණය කෙරුණු, කියවා අනෙකකුට ලබා දෙන පොත් හරහා අපරාධ, රහස් පරීක්ෂණ, බටහිර වීර කතා, යුද කතා, විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක හා ආදර කතා විශාල පාඨක පිරිසක් අතර ජනප්‍රිය විය.


මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ ජනප්‍රියත්වය සහ සාහිත්‍යමය වටිනාකම එකිනෙකට සම්පූර්ණයෙන් විරුද්ධ ප්‍රවර්ග නොවන බවයි. කෘතියක් විශාල පාඨක පිරිසක් අතර ජනප්‍රිය වීම නිසාම එය කලාත්මකව අසාර්ථක යැයි නිගමනය කළ නොහැකිය. ඒ හා සමානව, සීමිත ප්‍රභූ පාඨක පිරිසක් අතර පිළිගැනීමක් තිබීම නිසාම කෘතියක් උසස් යැයි තීරණය කළ නොහැකිය. මෙම උභතෝකෝටිකය අප ඉතා හොඳින් වටහා ගත යුතුය.

සංස්කෘතික අධිකාරියට අභියෝග කරන පොදු පාඨක රුචිය

සාහිත්‍යයේ ප්‍රභූ–නිර්ප්‍රභූ බෙදීම පිළිබඳ කතිකාව සමාජයේ සංස්කෘතික අධිකාරිය පිළිබඳ සාකච්ඡාවක්ද වේ. කුමන කෘති “මහා සාහිත්‍යය” ලෙස පාසල් හා විශ්වවිද්‍යාලවල ඉගැන්විය යුතුද, කුමන කෘති සම්මාන සඳහා සලකා බැලිය යුතුද, කුමන කෘති විචාරයට ලක් කළ යුතුද, කුමන කෘති නොතකා හැරිය යුතුද යන්න අදටත් තීරණය කරන්නේ සාහිත්‍ය ආයතන, විචාරකයන්, ප්‍රකාශකයන් සහ සංස්කෘතික බල කණ්ඩායම් වශයෙන් පෙනී සිටින සීමිත පිරිසක් විසිනි. නමුත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථිකය තුළ මෙම අධිපති මතවාදයේ "පිපිරුම් සළකුණු" ඉස්මතු වී තිබේ.

එමෙන්ම පොදු පාඨක රුචිය එම ආකෘතිකරණයෙන් බැහැරව තවත් ආකාරයකින් ක්‍රියා කරන බව ද අතිශයින් පැහැදිලිය. පාඨකයා තම දෛනික ජීවිතයේ ආතතියෙන් මිදීමට, විනෝද වීමට, භීතිය අත්විඳීමට, ආදරය හා වික්‍රමය පරිකල්පනය කිරීමට හෝ සරලව කතාවක් රසවිඳීමට පොතක් තෝරාගත හැකිය. ඒ නිසා ජනප්‍රිය සාහිත්‍යය යනු පාඨකයාගේ සමාජ හා මානසික අවශ්‍යතා පිළිබඳ සාක්ෂියක් ද වේ. එහෙත් ඒ සඳහා අතිශයින් යෝග්‍ය පල්ප් ප්‍රබන්ධ මේ වන විට නොමැති වීම බරපතල අඩුවකි.

සිංහල සාහිත්‍යයේද මෙවැනි ප්‍රවණතා සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් පෙන්නුම් කෙරේ. පුවත්පත් හා සඟරා සංස්කෘතිය ව්‍යාප්ත වීමත් සමඟ අඛණ්ඩ නවකතා, රහස් පරීක්ෂක කතා, ආදර කතා, වික්‍රමාන්විත කතා සහ ත්‍රාසජනක කතා සඳහා විශාල පාඨක පිරිසක් බිහි විය.

විශේෂයෙන් විසිවන සියවසේ මැද භාගයෙන් පසු සිංහල පල්ප් ප්‍රබන්ධ සඳහා වෙනම වෙළෙඳපොළක් නිර්මාණය විය. නගරයේ පොත් සාප්පු නොවන තේ සිල්ලර කඩ ආදිය මඟින් එම පොත් සාමාන්‍ය පාඨකයන් වෙත සම්ප්‍රේෂණය විය. නගරයේ මෙන්ම ගමේද නිර්ප්‍රභූ පිරිස් මෙම සාහිත්‍යයට සම්බන්ධ වීමෙන් සිංහල පාඨක පරාසය අතිශයින් පුළුල් විය. ඒ කාලයේ අද මෙන් ලක්ෂ දහයකට අධික කුලී ත්‍රිරෝද රථ වී නම්, ඒවායේ රියැදුරු මහතුන්ගේ මානසික විඩාව සන්සිඳුවන හොඳම මාධ්‍යය ද මෙම පල්ප් ප්‍රබන්ධම වනු නියතය. එමෙන්ම ඒවා ඔවුන් වෙතින් මගී ජනතාව වෙත ද සම්ප්‍රේෂණය වීමෙන් ශ්‍රී ලංකාවේ පාඨක පරාසය පුළුල් ලෙසින් ව්‍යාප්ත විය හැකිව තිබිණ. මෙය අදටත් උපාය මාර්ගිකව අත්හදා බැලීමේ බැරිකමක් නැත.


සිංහල පල්ප් කලාව සහ මාරක කතා චක්‍රවර්තී ඩීමන් ආනන්ද

dm2

රහස් පරීක්ෂක සහ අද්භූත කතා පොත් දහසකටත් වැඩි ගණනක් ලියා පළ කොට මාරක කතා චක්‍රවර්තී ලෙස පොදු ජන අභිධානය හිමිකරගත් ඩීමන් ආනන්දගේ කතා ප්‍රවාහය මෙහිදී විශේෂ අවධානයක් ලැබිය යුතු ය. මරණය, අපරාධය, අභිරහස, අනතුර සහ පරීක්ෂණය වටා ගොඩනැඟුණු ඔහුගේ කතා විශාල ජනප්‍රියත්වයක් ලබාගත් අතර, එවැනි කෘති සඳහා ප්‍රධාන ධාරාවේ සාහිත්‍ය විචාරය තුළ කිසිදු අගැයුමක් නොලැබීමද සිංහල සාහිත්‍යයේ ප්‍රභූ–නිර්ප්‍රභූ පරස්පරය සම්බන්ධ කදිම නිදසුනකි.


නමුත් එවැනි ජනප්‍රිය කෘති නොසලකා හැරීමෙන් එක්තරා යුගයක පාඨකයාගේ සිතුම් පැතුම්, භීතීන්, අපේක්ෂා සහ විනෝදාස්වාද අවශ්‍යතා පිළිබඳ වැදගත් සාක්ෂිද අහිමි වන බව අප පිළිගත යුතුය.

මුද්‍රිත පිටුවෙන් ඩිජිටල් තිරයට විතැන් වූ නව ආඛ්‍යානය

අද වන විට නිර්ප්‍රභූ හෝ ජනප්‍රිය සාහිත්‍යයේ ස්වරූපය නවීන තාක්ෂණය මත පදනම් ව පැරණි පල්ප් ප්‍රබන්ධ සීමාවන් ඉක්මවා ගޮස් තිබේ. මුද්‍රිත පොත තවදුරටත් එකම මාධ්‍යය නොවේ. සමාජ මාධ්‍ය, ඊ-පොත්, වෙබ් නවකතා, බ්ලොග්, මාර්ගගත කතා, යූටියුබ් කතා කියවීම් සහ විවිධ ඩිජිටල් වේදිකා සාහිත්‍ය නිෂ්පාදනය හා පරිභෝජනය වෙනස් කර ඇත. එමෙන්ම ඩිජිටල්කරණයට ලක් වූ වත්මන් නිර්ප්‍රභූ සාහිත්‍යයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එහි වේගවත් නිෂ්පාදනය සහ ක්ෂණික පාඨක ප්‍රතිචාරයයි. “ලයික්”, “ෂෙයාර්”, “කොමෙන්ට්” සහ කියවීම් සංඛ්‍යාව වැනි දේ පවා කෘතියක ජනප්‍රියත්වය මැනීමට භාවිත වන පරිසරයක් නිර්මාණය වී තිබේ.

වත්මන් සිංහල ජනප්‍රිය සාහිත්‍යයේ ත්‍රාසජනක, අපරාධ, රහස් පරීක්ෂක සහ ආදර කතා පරිවර්තන හා ස්වතන්ත්‍ර ලෙස තවමත් ප්‍රබල ස්ථානයක් ගනී. ඒවාට අමතරව ෆැන්ටසි, විද්‍යා ප්‍රබන්ධ, අද්භූත කතා සහ අන්තර්ජාලය ආශ්‍රිත නව ආඛ්‍යානද වර්ධනය වෙමින් පවතී. මෙම කෘති බොහෝවිට සරල භාෂාව, වේගවත් සිදුවීම්, කුතුහලය, කෙටි පරිච්ඡේද සහ පාඨකයා ඊළඟ කොටස කියවීමට පොළඹවන අවසානයක් භාවිත කරයි. මෙය සාහිත්‍යමය දුර්වලතාවක් ලෙස නොව, වේගවත් පාඨක අවධානය රඳවා ගැනීමේ නව ආඛ්‍යාන ක්‍රමයක් ලෙසද අධ්‍යයනය කළ හැකිය.

නිර්ප්‍රභූ සාහිත්‍යයේ වැදගත්කම විනෝදාස්වාදයට පමණක් සීමා නොවේ. එය සමාජයක ජනප්‍රිය පරිකල්පනය හඳුනා ගැනීමට වැදගත් මාර්ගයකි. සමාජ මානව විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක නිර්ණායකයන් ඔස්සේද ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ පහසු අවකාශයක් පවතී.

මිනිසුන් භය වන්නේ කුමකටද, ඔවුන් වීරයෙකු ලෙස සලකන්නේ කාවද, කුමන ආදර සම්බන්ධතා ඔවුන් ආකර්ෂණය කරයිද, අපරාධකරුවෙකු, පොලිස් නිලධාරියෙකු, රහස් පරීක්ෂකයෙකු හෝ සාමාන්‍ය පුද්ගලයෙකු පිළිබඳ ඔවුන්ගේ පරිකල්පනය කුමක්ද, කාන්තාව, පුරුෂයා, පවුල, ගම, නගරය සහ නවීනත්වය පිළිබඳ ජනප්‍රිය අදහස් මොනවාද?

මෙවැනි සමාජයීය ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේදී ජනප්‍රිය නිර්ප්‍රභූ සාහිත්‍යය වැදගත් සංස්කෘතික මිනුම් දණ්ඩක් බවට පත්වේ. නිර්ප්‍රභූ සාහිත්‍යය පිළිබඳ ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ “පහත් සාහිත්‍යය” යන ලේබලයයි. සාහිත්‍යයේ කලාත්මක ගුණාත්මකභාවය පිළිබඳ විචාරය අවශ්‍ය වුවද, පාඨක ජනප්‍රියත්වය පමණක් මත කෘතියක් බැහැර කිරීම සමාජයේ විශාල කියවීම් සංස්කෘතියක් නොසලකා හැරීමකි.

 

Jedraszak Mumbai book

එමෙන්ම ජනප්‍රිය වූ සෑම කෘතියක්ම විශිෂ්ට සාහිත්‍යයක් යැයිද පැවසිය නොහැකිය. ජනප්‍රියත්වය යනු වෙනම නිර්ණායකයකි; භාෂා නිර්මාණශීලීත්වය, චරිත නිරූපණය, ආඛ්‍යාන ව්‍යුහය, සමාජ අවබෝධය සහ කලාත්මක ගැඹුර යනු වෙනත් නිර්ණායකයෝය. ඒ නිසා නිර්ප්‍රභූ සාහිත්‍යය අධ්‍යයනය කළ යුත්තේ එය “උසස්” ද “පහත්” ද යන එකම ප්‍රශ්නය මත නොව, එය සමාජය තුළ කුමන කාර්යයක් ඉටු කරන්නේද යන ප්‍රශ්නය මතය.

ලෝක සාහිත්‍ය ඉතිහාසය පෙන්වා දෙන්නේ ප්‍රභූ සාහිත්‍යය සහ ජනප්‍රිය සාහිත්‍යය අතර සීමාව ස්ථිර එකක් නොවන බවයි. අද ලෝක සාහිත්‍යයේ සම්භාව්‍ය කෘති ලෙස සලකන ඇතැම් නිර්මාණ තම කාලයේදී විශාල ජනප්‍රියත්වයක් ලැබූ කෘති වූ අතර, තවත් කෘති පසුකාලීන විචාරය මඟින් නැවත සොයාගෙන තිබේ.

එබැවින් නිර්ප්‍රභූ සාහිත්‍යය යනු ප්‍රබුද්ධ සාහිත්‍යයේ රොඩු බොඩු ලෙස පමණක් සලකා බැහැර කළ යුතු ප්‍රවාහයක් නොවේ. එය ජනතාව කියවන දේ, ඔවුන් සිතන දේ, ඔවුන්ගේ බිය, ආශා, විනෝදාස්වාද අවශ්‍යතා සහ සමාජ පරිකල්පනය පිළිබඳ වැදගත් සාක්ෂියකි. වත්මන් සිංහල සාහිත්‍යය සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට නම් සම්භාව්‍ය හා ප්‍රභූ සාහිත්‍යය සමඟම මේ ජනප්‍රිය හා නිර්ප්‍රභූ සාහිත්‍ය ප්‍රවාහයද විවෘත මනසකින් අධ්‍යයනය කළ යුතුය.

අවසානයේදී වැදගත් වන්නේ කෘතියක් “ප්‍රභූ” ද “නිර්ප්‍රභූ” ද යන්නට වඩා, එය නිර්මාණය වූ සමාජය, එය කියවූ ජනතාව සහ එය ගොඩනැඟූ සංස්කෘතික පරිකල්පනය කුමක්ද යන්න තේරුම් ගැනීමයි. එම අර්ථයෙන් නිර්ප්‍රභූ සාහිත්‍යය යනු සාහිත්‍යයේ පර්යන්තයක් පමණක් නොව, සමාජය කියවිය හැකි තවත් එක් වැදගත් කවුළුවකි.


ඩීමන් ආනන්දයන්ට උපහාරයක්: පැරණි මත ගැන අලුත් දැනුමක්


thilak book
මෙවන් පසුබිමක් යටතේ ශ්‍රී ලාංකික ජන සමාජයේ ජන විශ්වාස පිළිබඳ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන තිලක් සේනාසිංහයන් සිය නවතම කෘතිය වන “පැරණි මත ගැන අලුත් දැනුමක්” කෘතිය ශ්‍රී ලාංකික නිර්ප්‍රභූ සාහිත්‍යය සඳහා පූර්වගාමී මෙහෙවරක් කළ අභාවප්‍රාප්ත ඩීමන් ආනන්දයන්ගේ නමට පිළිගැන්වීමට කටයුතු යොදා ඇත. එහිදී මෙම සැප්තැම්බර් 27 වන ඉරුදින ප.ව. 2.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේ ඇති එළිමහන් කලියේදී ඩීමන් ආනන්දයන්ගේ එකම දියණිය වන වරුණි ෂර්මිලා ආනන්ද වෙත එම පළමු පිටපත පිළිගැන්වීම නිර්ප්‍රභූ සාහිත්‍යය පිළිබඳ සමාජ කතිකාව සම්බන්ධ තවත් එක් සාධනීය පියවරක් බව අපගේ වැටහීමය.

Praneeth Abayasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)


සබැඳි ලිපි :

'පොත් ගඟේ යද්දි තාත්තා හිනාවුණා' - ඩීමන් ආනන්දගේ දියණිය හඬ අවදි කරයි

ලෝක සාහිත්‍යයේ 'පල්ප්' මුද්‍රාව ශ්‍රී ලංකාවේ තැබූ අසමාන ගත්කතුවර ඩීමන් ආනන්ද | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

'පණ පිටින් මිහිදන් කළ ‘මාරක කතා චක්‍රවර්ති’ ඩීමන් ආනන්ද යළි කියවමු! | තිලක් සේනාසිංහ

ඩීමන් ආනන්ද ලියූ මළවුන් පිබිදෙන කතා සහ සර්ප දෂ්ටනවලදී පණ හැංගුණු කතා | තිලක් සේනාසිංහ


WhatsApp Image 2026 09 26 at 10.25.16 AM

වීඩියෝව නරඹන්න : තිබුණොත් තක්කෙටම හරියන නිධන් ලකුණු?

ශ්‍රී ලාංකික ජන සමාජයේ ජන විශ්වාස පිළිබඳ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන තිලක් සේනාසිංහයන් සිය නවතම කෘතිය වන “පැරණි මත ගැන අලුත් දැනුමක්” කෘතිය සම්බන්ධයෙන් ''නෙත් නිව්ස් '' යු ටියුබ් නාලිකාව සමග සිදුකළ සංවාදය මෙම සබැඳියෙන් නරඹන්න.
 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්