leader s

*රන්මැණිකා වෙනුවෙන් හඬා වැටුණු ගැමුණු කුමරුගේ අහිමි ප්‍රේමය සහ ඉතිහාසයෙන් අතුගා දැමූ රාජකීය පරපුරේ කුමන්ත්‍රණය.


*අනුරාධපුරය යනු තපස් ආශ්‍රමයක් නොව රතී දේවාල හා කාම සුඛය අගය කළ විවෘත විශ්ව පුරවරයක් බව මතු කළ අයුරු.


ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ඉතිහාස ආඛ්‍යානය විසින් ගොඩනගා ඇති රණකාමී සහ පටු ආගමික රාමුව ප්‍රශ්න කරමින්, හෙළ ශිෂ්ටාචාරයේ සැබෑ මානවීය, සරාගී සහ විවෘත ලෝක දැක්ම යළි මතුකර ගැනීමේ අතිශය විප්ලවීය අදහස් සමුදායක් ප්‍රවීණ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මෙහෙයවන සුප්‍රීම් TV රුපවාහිනීයේ  ‘මචං’ වැඩසටහන ඔස්සේ ප්‍රකට ලේඛක හා පර්යේෂක සුජිත් අක්කරවත්ත විසින් අනාවරණය කරනු ලැබීය.

වසර තිහක පමණ දීර්ඝ පර්යේෂණයකින් පසු තමන් විසින් එළිදැක්වූ ‘තනි යහනේ දුටු ගැමුණු’, නා නා පාසාණ්ඩය’ සහ දෙවන වරට මුද්‍රණය වූ ‘සිවගිරියෙන් සීගිරිය’ යන කෘති ත්‍රිත්වය කේන්ද්‍ර කරගනිමින් අදහස් දැක්වූ ඔහු, වත්මන් සමාජය ඉතිහාසය දෙස බලන්නේ ඔළුවෙන් හිටගෙන බවත්, මහාවංශය හරිහැටි නොකියවූ සමාජයක පටු චූලවංශික ආකල්ප විසින් අපේ සැබෑ ශිෂ්ටාචාරික මූලයන් වළලා දමා ඇති බවත් පෙන්වා දුන්නේය.

රණකාමී මුහුණුවර යට සැඟවුණු දුටුගැමුණුගේ ‘තනියහන’ සහ ශෝකාන්තය

 

WhatsApp Image 2026 09 26 at 12.38.27 PM
ලංකා ඉතිහාසයේ යුදකාමී වීරයෙකු ලෙස පමණක් හුවාදක්වන දුටුගැමුණු මහරජු යනු සැබැවින්ම ඉමහත් ශෝකාන්තයකට මැදි වූ, අතිශය ප්‍රේමණීය මානවවාදී චරිතයක් බව ‘තනියහනේ දුටුගැමුණු’ කෘතිය පාදක කරගනිමින් සුජිත් අක්කරවත්ත පැහැදිලි කරයි. කොත්මලේ ගල්තලාවේදී තනිව අහස දෙස බලා හඬා වැටුණු ගැමුණු කුමරුගේ හදවතේ තෙරපුණු සැබෑ ප්‍රේමය වූ රන්මැණිකා අගබිසව කරගැනීමට හෝ තම පුත් සාලියට රාජ්‍යත්වය උරුම කරදීමට දේශපාලන කුමන්ත්‍රණ හා කුලවාදී බලවේග ඉඩ නොදුන් අයුරු මෙහිදී විග්‍රහ විය.

අවසානයේ තමන්ට අහිමි වූ ස්වර්ණමාලී නම් ප්‍රේමවන්තිය වෙනුවෙන් ස්වර්ණමාලී මහා සෑය ඉදිකරමින් තම අහිමි ප්‍රේමයට උපහාර පිදූ ගැමුණු රජු, තම සතුරා වූ එළාර රජුට පවා සොහොන් ගොඩනගා ගරුබුහුමන් දැක්වූයේ ජාතිවාදය වෙනුවට සද්ධර්ම මූලික මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන බවත්, රජුගේ මරණයෙන් පසු රාජකීය උරුමය සද්ධාතිස්ස කුමරුගේ පෙළපතට පවරා ගැමුණු රජුගේ මුළු පරපුරම ඉතිහාසයෙන් අතුගා දැමූ කුමන්ත්‍රණකාරී යථාර්ථය බොහෝ දෙනා නොදන්නා බවත් ඔහු අවධාරණය කළේය.


‘නානාපාෂාණ්ඩය’ සහ අනුරාධපුරයේ විවෘත සරාගී සංස්කෘතිය

WhatsApp Image 2026 09 26 at 12.38.27 PM 1
පුරාණ අනුරාධපුරය යනු හුදු තපස් රකින ආශ්‍රමයක් නොව, සරාගය මෙන්ම විරාගයද එකසේ බදා වැළඳගත් ලෝකයේ වඩාත්ම නිදහස් සහ විවෘත අගනගරයක් බව ‘නානාපාෂාණ්ඩය’ කෘතිය විග්‍රහ කරමින් ඔහු පෙන්වා දෙයි. බුදුදහම පැමිණීමටත් පෙර සිටම මැවුම්කාර දෙවියෙකු ප්‍රතික්ෂේප කරමින් ස්වභාවධර්මය, මානව සිරුර සහ කාම සුඛය ගෞරවයෙන් පිළිගත් ‘නානාපාෂාණ්ඩික’ දාර්ශනික නිකේතන අනුරාධපුරය පුරා පැවති අතර, පණ්ඩුකාභය රජු නගරය මධ්‍යයේම රතී දේවාල ඉදිකරමින් පුරවැසියන්ගේ විනෝදාස්වාදයට සහ ලිංගික නිදහසට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් බව සිහිපත් කෙරිණි. ග්‍රීසිය, රෝමය, පර්සියාව, අරාබිය සහ චීනය වැනි පෙර-අපරදිග සියලු ජාතීන් සහ වෙළඳුන් සමඟ මුහුන් වෙමින්, කිසිදු ආගමික හෝ ජාතිවාදී පීඩනයකින් තොරව විවිධ ජාන හා සංස්කෘතීන් මුසු වූ සැබෑ ‘විශ්ව පුරවරයක්’ ලෙස අනුරාධපුරය වැජඹුණු ආකාරය මෙහිදී නිරාවරණය කෙරිණි.

පොළොන්නරුවෙන් පසු කඩාවැටීම සහ වික්ටෝරියානු ව්‍යාජ සදාචාරය

කාලිංග මාඝගේ ආක්‍රමණයත් සමඟ මහාවංශික විද්වතුන් ඝාතනය වී, පුස්තකාල ගිනි තබා අළු දූලි කිරීමෙන් පසු ලාංකේය ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය නිමාවට පත්වූ බව පෙන්වා දෙන සුජිත් අක්කරවත්ත, දඹදෙණිය, යාපහුව සහ කුරුණෑගල ඔස්සේ කෝට්ටේ දක්වා රාජධානි පසුබැසීමත් සමඟ එම මහා සංස්කෘතිය හකුළා ගැනීමට සිදුවූ බව පවසයි. දඹදෙණි කතිකාවතෙන් පසු බ්‍රාහ්මණ බලපෑම් සහ පීතෘමූලික ආගමික තහංචි සමාජගත වූ අතර, අනතුරුව පැමිණි බටහිර යටත්විජිතවාදය සහ විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය වික්ටෝරියානු කෲර සදාචාරය විසින් ලාංකේය ජනතාවගේ සහජ සරාගී නිදහස සහ ශරීර විමුක්තිය මුළුමනින්ම යටපත් කර දැමීය.

අතීතයේ ගැහැනුන් හා පිරිමින් නිදහසේ ඇඳුම් අඳිමින්, රාජ්‍ය මැදිහත්වීමකින් තොරව ස්වකීය ආදරය හා විවාහය තීන්දු කරමින් ජීවත් වූ සමාජය වෙනුවට, ලිංගිකත්වය සහ කාමභෝගී ජීවිතය වරදක් ලෙස දකින කුහක මධ්‍යම පාන්තික සදාචාරයක් අද වන විට බෞද්ධකම හෝ සිංහලකම ලෙස වරදවා වටහාගෙන ඇති බව ඔහු විවේචනය කළේය.

මහාවංශික දැක්මෙන් ඈත්වී චූලවංශික පටුබවක සිරවූ වර්තමානය

මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු මේ රටේ කිසිදු දැවැන්ත ලෝක දැක්මක් සහිත නායකයෙකු බිහි නොවූ බවත්, ඒ වෙනුවට පුටු පෙරළා ගන්නා, කුලල් කාගන්නා දුබල කුඩා නායකයන් පිරිසක් පමණක් බිහිවීම ලක්දිව පරිහානියට මූලික හේතුව වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
 
 විජය කුමරු පැමිණීමට පෙර පැවති ශිෂ්ටාචාරික මූලයන් පවා පැහැදිලිව සඳහන් කරන මහාවංශය වෙනුවට, අපේ සමාජය අද ඉතිහාසය කියවන්නේ වෛරය, බිය සහ පටු බෙදීම් පිරුණු චූලවංශික මනෝභාවයකින් බවත්, රුවන්වැලි සෑය නමින් හඳුන්වන ස්වර්ණමාලී නම් සාමාන්‍ය ස්ත්‍රිය හෝ කණ්ඩුල ඇත් රජුට නම දුන් කණ්ඩුල නම් වැදි මිනිසා වැනි සැබෑ පොදු ජනයාගේ දායකත්වය නූතන ඉතිහාස කතිකාවෙන් මඟහැරී ඇති බවත් ඔහු සඳහන් කළේය.

එමනිසා අතීතයට ශාප කරමින් හෝ ව්‍යාජ දේශප්‍රේමයක සිරවෙමින් සිටිනවා වෙනුවට, අනුරාධපුර සහ සීගිරි යුගවල පැවති විවෘත, සරාගී, බහුවිධ හා ශික්ෂිත මහා සම්ප්‍රදාය යළි අවබෝධ කරගනිමින් ඉදිරි අනාගතයට මුහුණ දීම සමස්ත ජාතියේම පැවැත්මට අත්‍යවශ්‍ය බව ඔහු අවසාන වශයෙන් පෙන්වා දුන්නේය.
 
WhatsApp Image 2026 09 26 at 12.38.28 PM

වීඩියෝව නරඹන්න :

ඉතිහාසඥයකු හා ප්‍රවීන සාහිත්‍යවේදී සුජිත් අක්කරවත්ත සමග සිදුකළ සම්පුර්ණ වැඩසටහන මතු දැක්වෙන සබැඳියෙන් නරඹන්න

තනියහනේ තනිවුණු දුටුගැමුණුගේ ආදර කතා | මචං (MACHAN)


'ගරාජ් ප්‍රඩක්ෂන්' වෙතින් නිෂ්පාදය කෙරෙන  'මචං (MACHAN) |  '' වැඩසටහන සතියේ සෑම බදාදා දිනකම රාත්‍රී 9.30ට TV සුප්‍රීම් රුපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන අතර ඊට සමගාමිව ඩයලොග් TV (12)  හා පියෝ TV (122) නාලිකා ඔස්සේ විකාශය වේ,

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්