ඇමෙරිකානු ඇකඩමියේ අනුමැතිය ලද ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුවේ සාමාජිකයින් නවදෙනාගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.
2027 වසරේ පැවැත්වෙන 99 වන ඔස්කාර් සම්මාන උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන නිල නිර්මාණය තෝරාගැනීම සඳහා පත්කළ ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයින් නම් කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ සිනමා කලා හා විද්‍යා ඇකඩමියේ (AMPAS) පූර්ණ අනුමැතිය යටතේ වසර හයක කාලයක් සඳහා මෙම ස්වාධීන කමිටුව බලගන්වා ඇත.
දේශීය සිනමා ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීය ඉසව් නියෝජනය කරන ප්‍රවීණයන් 9 දෙනෙකුගෙන් මෙම නිල මණ්ඩලය සමන්විත වේ.
නිල තේරීම් කමිටුවේ ප්‍රවීණ සාමාජිකයෝ
* ජාත්‍යන්තර නිර්ණායක සපුරාලමින් මෙවර තේරීම් ක්‍රියාවලිය මෙහෙයවනු ලබන සාමාජිකයින් මෙසේය:
* සුදත් මහදිවුල්වැව (සභාපති) - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, නිෂ්පාදක, ජාත්‍යන්තර ජූරි සභික සහ වත්මන් ජාතික චිත්‍රපට සංස්ථා සභාපති
* උදිත ලක්මාල් කහඳවආරච්චි (ලේකම්) - සිනමා නිෂ්පාදන කළමනාකරු, සිනමා මාධ්‍යවේදී සහ උළෙල සම්බන්ධීකාරක
* අසෝක හඳගම - ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, තිර රචක සහ ජූරි සභික
* රවින්ද්‍ර ගුරුගේ - ප්‍රවීණ සංස්කරණ ශිල්පී, චිත්‍රපට නිෂ්පාදක සහ සිනමා අධ්‍යාපනඥ
* අරුණ ගුණරත්න - ජ්‍යෙෂ්ඨ සිනමා විචාරක, මාධ්‍යවේදී සහ සිනමා අධ්‍යාපනඥ
* ලක්ෂ්මන් ජෝසප් ද සේරම් - සම්මානනීය සිනමා සංගීත අධ්‍යක්ෂ
* මහින්දපාල - ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ, ග්‍රන්ථ කර්තෘ සහ සිනමා කථිකාචාර්ය
* විසාකේස චන්ද්‍රසේකරම් - සම්මානනීය සිනමා අධ්‍යක්ෂ, තිර රචක සහ නීතිවේදී
* අනෝමා රාජකරුණා - ජාත්‍යන්තර සිනමා උළෙල අධ්‍යක්ෂිකා, භාරකාරිණී සහ වාර්තා චිත්‍රපට නිර්මාණකාරිණී
ආචාරධර්ම ආරක්ෂා කරමින් පිරිසක් ඉවත් වෙයි
මෙම කමිටුව සඳහා තවත් ප්‍රවීණ සිනමාවේදීන් පස්දෙනෙකුට අමෙරිකානු ඇකඩමියේ අනුමැතිය හිමිව තිබිණි.
කෙසේ වෙතත්, තම නිර්මාණ තරගකාරීත්වයට ඉදිරිපත් වීම නිසා ඇතිවිය හැකි ළබැඳියාවන් පිළිබඳ ගැටුම (Conflict of Interest) වළක්වා ගැනීමට මෙන්ම සෞඛ්‍ය සහ කාර්යබහුලත්වය හේතුවෙන් ඔවුහු මෙවර තේරීම් කටයුතුවලින් ඉවත්ව සිටිති.
එලෙස අනුමැතිය ලත් සිනමාවේදීන් වන්නේ ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, සංජීව පුෂ්පකුමාර, චන්න දේශප්‍රිය සහ ඈෂ්ලි රත්නවිභූෂණ ය.
මෙවර ශ්‍රී ලංකාවේ නිල නියෝජනය | 'රිවර්ස්ටන්'
ලෝක සිනමාවේ කිරුළ බඳු ඔස්කාර් සම්මාන උළෙලේ ‘හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය’ කාණ්ඩය සඳහා සෑම රටකටම ඉදිරිපත් කළ හැක්කේ එක් නිල නිර්මාණයක් පමණි.
ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා කිහිපයකදී පමණක් චිත්‍රපට යොමු කර තිබුණද, රාජ්‍ය මැදිහත්වීමෙන් ස්වාධීන වෘත්තීය කමිටුවක් හරහා නිල නිර්දේශයක් සිදුකිරීම මෙරට සිනමා ඉතිහාසයේ සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස සැලකේ.
මෙවර ශ්‍රී ලංකාවේ නිල නියෝජනය ලෙස තේරී පත්ව ඇති 'රිවර්ස්ටන්' (Riverstone) චිත්‍රපටය ඉදිරි වටවලදී ඔස්කාර් නිර්දේශිත නාමාවලියට (Nominations) ඇතුළත් කරගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රවර්ධන කටයුතු ඉදිරියේදී ආරම්භ වීමට නියමිතය.
වැඩිදුර කියවීම සඳහා:
The Academy of Motion Picture Arts and Sciences (AMPAS) - Official Website







