සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීවගේ ඝාතනයේ සැකකරුවකු බවට සැලකෙන නීතිඥ වෙස්ගත් කමාන්ඩෝ සමිඳු සහ මේ වන විටත් පොලිසියට වසන් වී සිටින ගිනි අවිය අධිකරණය වෙත රැගෙන ආ බවට සැකකෙරෙන කාන්තාව දිවුලපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට ගොස් භාණ්ඩ මිලදී ගන්නා අයුරු සීසීටිවි කැමරාවක සටහන් වී තිබේ.
ගනේමුල්ල සංජීව ඝාතනයට දින දෙකකට ඉහත දී එනම් 17 වෙනි දින දහවල් 2.17 ට පමණ එම වෙළඳසැලට පැමිණෙන ඔවුන් දෙදෙනා කුඩා භාණ්ඩ කීපයක් මිලදී ගැනීමෙන් අනතුරුව කිරි බෝතල් දෙකක්ද පානය කරන අයුරු එහි සටහන් වේ.
ඉෂාරා සහ කමාන්ඩෝ සමිඳු කඩුවෙල ලැගුම්හලක...
මේ අතර සැකකාර කාන්තාව සහ මේවන විට අත්අඩංගුවට ගෙන සිටින කමාන්ඩෝ සමිඳු පසුගිය 18 වැනිදා දිවුලපිටිය ලැගුම්හලක සිට මිනුවන්ගොඩ දූනගහ ප්‍රදේශයට ගොස් රාජ්‍ය බැංකුවකින් රුපියල් 50,000 මුදලක් ලබා ගෙන ඇති අතර අනතුරුව කුලී රථ යෙදවුමක් හරහා වාහනයක් වෙන් කරවාගෙන තිබෙන බව ද අනාවරණය කරගෙන ඇත.
අනතුරුව සැකකාර ඉෂාරා සෙව්වන්දි සහ කමාන්ඩෝ සමිඳු කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත පැමිණ ඇති බව ද සී.සී.ටී.වි දර්ශන ඔස්සේ කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත.
එම කුලී රථ රියැදුරු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
රියැදුරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ සැකකාර කාන්තාව බැංකුවට ගිය අවස්ථාවේ වෙඩික්කරු ලෙස කටයුතු කළ කමාන්ඩෝ සමිඳු රථයේ සිට ඇති අතර ඔහු තමාට දුම්වැටියක්ද ලබා දුන් බවයි.
ඉෂාරා සෙව්වන්දි සහ කමාන්ඩෝ සමිඳු එම කුලී රථ රියැදුරු සමග සුහදව කතාබස් කර ඇති අතර ඉෂාරා සෙව්වන්දිගේ මිතුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීම සඳහා කඩුවෙලට යන බව ඔවුන් පවසා ඇත.
එමෙන්ම මෙම ඝාතනය මෙහෙයවූ අපරාධ කල්ලි නායක කෙසෙල්බද්දර පද්මේ ගනේමුල්ලේ සංජීව ඝාතනයෙන් පසුව දැනට අත්අඩංගුවේ සිටින ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරාගේ ගිණුමකට රුපියල් ලක්ෂයක මුදලක් බැර කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු අනාවරණය කර ගෙන තිබේ.
ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණයේදී ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබුණු බවට මීට පෙර වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන්ද සැකකාර ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා දැනුවත්ව සිට ඇති බවද අනාවරණය වී ඇත.
අපරාධ නඩු විධාන සංග්‍රහය පොතේ පිටපතක ගිනි අවියක හැඩයට පිටු කපා ඒ තුළ ගනේමුල්ලේ සංජීව ඝාතනයට යොදා ගත් ගිනි අවිය සඟවාගෙන අධිකරණ පරිශ්‍රයට රැගෙන ආ අතර අදාළ ගිනි අවිය එලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය පොතේ පිටපතක සඟවා ඇත්තේ මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා බවටද කරුණු අනාවරණය වී තිබේ.
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදී ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනා නිසා ඉෂාර සෙව්වන්දිගේ මව සහ සොහොයුරා පසුගිය 24 වැනිදා අත්අඩංගුවට ගත් අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබිය.
සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණයෙන් අවසර අයද සිටි අතර එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන සැකකරුවන් මාර්තු මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.
'මහ මොළකාරිය' අතුරුදහන් වී දින 10ක්
ගනේමුල්ල සංජීව ඝාතනය සැලසුම් කිරීමේ මහ මොළකාරිය ලෙස ඇතැම් මාධ්‍ය විසින් අතිශෝක්තියට නංවා ඇති 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි, ඝාතනය සිද්ධියෙන් පසුව මතුගම ප්‍රදේශයට පළා ගොස් ඇති අතර ඊට පෙර ඇය කලුතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් රුපියල් ලක්ෂ 05ක් වටිනා රන් ආභරණ මිලදී ගෙන ඇති බවටද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මේවන විට ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කෙරෙන අතර ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට විමර්ශන නිලධාරින් සමත් වී ඇත.
මේවනවිට සංජීවගේ ඝාතනයට අදට හරියටම දින දහයකි. මීගමුව, කටු වැල්ලේගම පාර, අංක 243 හි පදිංචිව සිටි පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට මෙන්ම බුද්ධි අංශවල මෙතෙක් අසමත් වී ඇත.
(මුලාශ්‍ර - lankadeepa + hirunews)






