leader s

යුද ගැටුම් පවතින ගාසා තීරයේ ජීවත්වන ශ්‍රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රීකාසා

බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින්, ඇය සහ පවුලේ සාමාජිකයින් තවදුරටත් නිවසේ රැඳී සිටින බවත්, ඊශ්‍රායල් හමුදාව දැනුම් දුන් පරිදි දකුණුදිග ගාසා තීරයට පිටව නොගියබවත් පැවසුවා ය.

"දැන් පිටවෙලා යන්න කියලා දවස් ගාණක් වෙනවා. ඒත් එහෙම ගිය අයටත් බෝම්බ ගහල තියෙනවා. මමයි මහත්තයයි තීරණය කළා මෙහෙමම ඉන්නවා කියලා ගෙදරට වෙලා."

"දැන් සතියකට වැඩි වෙනවා කරන්ට් එක නැතිව. ෆ්‍රිජ් එකේ චීස් වගේ දේවල් තියාගන්න බැහැ නරක් වෙනවා. මෙහෙ රොටි තමයි හදන් කන්නේ චීස් එක්ක."

"දැන් කඩවල්වල කන්න ගන්න දේවල් මොකුත් නැහැ. ඔක්කොම හිස්. අද වාහනෙකින් රොටි ගෙනල්ලා බෙදලා දුන්නා අපි ඉන්න බිල්ඩිමේ ගෙවල්වලට. තක්කාලි වගයක් තිබ්බා. ඒකෙන් සෝස් වගේ හදලා රොටි එක්ක ළමයින්ට කන්න දුන්නේ. හරි අමාරු යි ජිවිතේ ඉස්සරහට අරන් යන්න," ඇය ඔවුන් පත්ව සිටින තත්ත්වය ගැන එලෙස අදහස් පළකර සිටියා ය.

sertdftදකුණු ගාසාහි වෙසෙන ජනතාව ජලය ලබා ගැනීමට එක්රැස්ව සිටින අයුරු


ඊශ්‍රායලය සහ හමාස් සංවිධානයේ යුද ගැටුම් හේතුවෙන් මේ වන විට එම කලාපයේ රැකියාවන්හි නිරතවන ලාංකිකයින් වෙත දැඩි අවධානයක් යොමුවී තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසි සිංහල සේවයට ප්‍රකාශ කළ පරිදි, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් රටවල් හතරක තානාපතිවරුන් සමග සම්බන්ධ වෙමින් පවතින තත්ත්වය පිළිබඳව කරුණු සොයා බලමින් සිටියි.

"විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් නිතරම පවතින තත්ත්වය ගැන විමසිලිමත්ව සිටිනවා. විශේෂයෙන් ඊශ්‍රායලය, ලෙබනනය, ජෝදානය සහ ඊජිප්තුවේ පිහිටි ලංකාවේ තානාපතිවරුන් සමග සම්බන්ධ වෙලා කරුණු සොයා බලනවා," ඔහු පැවසුවේ ය.

cfy56යුද ගැටුම් පවතින ගාසා තීරයේ ජීවත්වන ජනතාව

 

'අතුරුදන්වූ ලාංකිකයාගේ නම තිබේදැ යි බලා සිටිනවා'

ඔක්තෝබර් හත්වැනිදා ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් අතුරුදන්වූ එක් ලාංකිකයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නොමැති බව ද තානාපතිවරයා පවසා සිටියේ ය.

"අපට තවම ඔහු ගැන නිසි තොරතුරක් නැහැ. හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නායකයෙක් පවසා තිබෙනවා ඔවුන්ගේ භාරයේ සිටින ප්‍රාණඇපකරුවන්ගේ නම් ලැයිස්තුවක් නිල වශයෙන් නිකුත් කරනවා කියලා. අපි බලන් ඉන්නවා අපේ අතුරුදන්වූ ලාංකිකයාගේ නම ඒ ලයිස්තුවේ තියේවි කියලා. එහෙම නොමැති වුණොත් අපට වෙන ක්‍රියාමාර්ග ගන්න වෙනවා ඔහුට කුමක් ද සිදුවුණේ කියලා සොයා දැන ගන්න," තානාපතිවරයා පැවසීය.

මේ අතර ජිවිතක්ෂයට පත්වූ ලාංකික සාත්තු සේවිකාවක් වන අනුලා ජයතිලකගේ දේහය හඳුනාගැනීමට පැමිණෙන ලෙස එරට බලධාරීන් විසින් තමන්ට දැනුම් දෙනු ඇතැ යි තානාපතිවරයා පවසා සිටියේය.

අනුලා ජයතිලකගේ දේහය හඳුනාගැනීම සඳහා තානාපති කාර්යාලයේ සේවයේ නිරත නිලධාරිනියන් දෙදෙනෙකුගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව තානාපති බණ්ඩාර වැඩිදුරටත් පැවසුවේ ය.

anula jaya

අනුලා ජයතිලක මහත්මිය

 

"මියගිය අනුලා ජයතිලක මහත්මියගේ දියණිය තමන්ගේ මවගේ ජායාරූප කිහිපයක්ම අපට එවා තිබුණා. ඇත්තටම අපටත් ලොකු කණගාටුදායක සිදුවීමක් මේක.

ඊශ්‍රායල් බලධාරීන් අද හෝ හෙට දිනයේ දී ඇයගේ දේහය පරික්ෂා කර හඳුනාගන්න එන්න කියා අපට දැනුම් දෙයි. ඒ සඳහා අපේ තානාපති කාර්යාලයේ කාන්තා නිලධාරිනියන් දෙදෙනෙක් සූදානම් කර තිබෙනවා. මොකද සිරුරේ සලකුණු පරික්ෂා කිරීම් සිදුකරන්න අවශ්‍යයි හඳුනා ගැනීමේ දී."

"ඒ වගේම වීඩියෝ ඇමතුමක් අරගෙන ලංකාවේ ඉන්න අනුලා මහත්මියගේ දුව සහ ඇයගේ ඥාතීන්ට ද දේහය පරික්ෂා කරලා හඳුනාගන්න අවස්ථාව ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව හඳුනාගැනීම්වලින් අනතුරුව ඉතිරි කටයුතු සිදුකරන්න පියවර ගන්නවා," තානාපතිවරයා පැවසීය.


ලෙබනනයේ වෙසෙන ලාංකිකයින්ට විශේෂ උපදෙසක්

ඊශ්‍රායලයේ එක් දේශසිමා මායිමක් වන ලෙබනනයේ ද ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සේවයේ නියුතුව සිටින අතර ඔවුන්ට ද, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ උපදේශයක් නිකුත් කරනු ලැබීය.

දකුණුදිග ලෙබනනයේ සේවයේ නියුතු ලාංකිකයින් වේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු බේරූට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දෙන්නැ යි මෙසේ දන්වනු ලැබුණි.

දකුණුදිග ලෙබනනයේ ලාංකික ශ්‍රමිකයින්ට එවැනි දැනුම්දීමක් සිදුකිරීමට හේතුව කුමක්දැ යි බීබීසී සිංහල සේවය බේරූට්හි ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීරගෙන් විමසූකල පූර්ව ආරක්‍ෂිත පියවරක් ලෙස එවැනි උපදේශයක් නිකුත් කළබව ඔහු පවසා සිටියේ ය.

"දකුණුදිග ලෙබනනයේ දේශසීමාව පිහිටා තිබෙන්නේ ඊශ්‍රායලයට මායිම්ව. පසුගිය දින කිහිපයේ දී ඒ ප්‍රදේශය ආශ්‍රිතව යම් යම් ගැටුම් ඇතිවී තිබුණා. නමුත් බොහෝ සිවිල් වැසියන් දැනටමත් එම ප්‍රදේශවලින් ඉවත්වෙලා කියලා දැන ගන්න ලැබී තිබෙනවා.

"ඉතින් අපේ ලංකාවේ ශ්‍රමිකයින් ඒ කලාපයේ ඉන්නව නම් හෝ හිටිය නම් ඔවුන් ගැන අප තොරතුරු එක්රැස් කරනවා. ඒ, යම් හදිසි අවස්ථාවක් ඇතිවුණොත් ඔවුන් සියලු දෙනා එක් තැනකට එකතු කරලා ආරක්ෂිතව ඉවත්කර ගන්න අවශ්‍ය පියවර ගන්න මේ තොරතුරු අපට වැදගත් වනවා," තානාපතිවරයා පැවසීය.

ලාංකිකයින් කොපමණ පිරිසක් ලෙබනනයේ සිටිනවා ද?

"අපිට මේ වසරේ මුල දී ලැබුණු දත්ත අනුව ලාංකිකයින් 7,500ක් - 7,700ක පමණ පිරිසක් ලෙබනන්වල සිටින බවට දත්ත වාර්තා තිබෙනවා.

"ලංකාවේ ශ්‍රමිකයින් බොහෝ අය සේවය කරන්නේ බේරූට් වගේම මධ්‍යම සහ උතුරු ලෙබනන් ආශ්‍රිතව යි. මෙහෙ ජන ජීවිතය සාමාන්‍ය විදිහට සිදුවනවා. ඒ නිසා අනිසි බියක් ඇතිකර ගන්න අවශ්‍ය නැහැ. ඕනෑම අවස්ථාවක දී අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සූදානමින් සිටිනවා," ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය.

(BBC සිංහල සේවය)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්