ඉරානයේ සහය හිමි මැදපෙරදිග කලාපයේ සටන්කාමීන් දහස් ගණනක් ඊශ්‍රායලයට එරෙහිව යුද වැදීමට සූදානම් වෙතැයි වාර්තා වේ.
ඊශ්‍රායල - පලස්තීන ගැටුම, දරුණු යුද තත්වයක් තෙක් වර්ධනය වුවහොත්, සටන්කාමී කණ්ඩායම් ලෙබනනයේදී, ඊශ්‍රායලයට එරෙහිව හිස්බුල්ලා සටන්කරුවන් හා සම්බන්ධ වීමට සූදානම්ව සිටිති.
ඉකුත් ඔක්තෝම්බර් 07 දින දකුණු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ත්‍රස්ත ප්‍රහාරයත් සමග, උතුරු ඊශ්‍රායලය හා ලෙබනනයේ දේශසීමා අතර දිනපතා වෙඩි හුවමාරු සිදු වෙයි.
පසුගිය දා, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ලෙබනනයේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා හමුදා අණදෙන නිලධාරියෙකු මරණයට පත්විය. ඊට පිළිතුරු ලෙස, හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය.
ලෙබනන් දේශසීමා වෙතින් හිස්බුල්ලා සටන්කරුවන් ඉවත් නොකරන්නේ නම්, ලෙබනනයට දැඩි ප්‍රහාර දියත් කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබේ.
ඉකුත් දස වසර ඇතුළත, ඉරානයේ සහාය ලද, ලෙබනන්, ඉරාක, ඇෆ්ඝනිස්ථාන සහ පාකිස්ථාන කැරලිකරුවෝ, සිරියානු ජනපති බෂාර් අසාද් ට සහය පල කරනුවස්, 13 අවුරුදු යුද ගැටුමකට එක් වූහ. එපරිදිම, මෙවර ඊශ්‍රායලයට එරෙහිව සටන් කිරීමට ඔවුන් සූදානමින් සිටින බව ඔවුහු පවසති.
හිස්බුල්ලා සංවිධානයට සහය පල කිරීමට මෑතකදී, ඉරාක, සිරියානු, යේමන සහ කලාපයේ තවත් රටවල හමුදා නායකයින් විසින්, සන්නද්ධ සටන්කරුවන් දස දහස් ගණනක් පිටත් කර හැරීමට සූදානමින් සිටි බව හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා පවසයි. එම පිරිස මේ වන විට, 100,000 ඉක්මවා ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.
වත්මන් ගැටුම්කාරී තත්වයට මුහුණ දීමට මුදා හැර ඇත්තේ, හිස්බුල්ලා සංවිධානය සතු හමුදා බලකායන්ගෙන් ඉතා සුළු කොටසක් පමණක් බවද ඔහු පවසයි.
එහෙත්, ඉදිරියේ ඇතිවිය හැකි දරුණු යුදමය වාතාවරණයක් හමුවේ, මෙම තත්වය මුළුමනින්ම වෙනස්වනු ඇතැයි ඔහු අවධාරණය කරයි.
ඉදිරි සන්නද්ධ යුද ගැටුමක දී, ඉරාන, ඉරාක, යේමන, ඇෆ්ඝනිඨාන, සහ පාකිස්තාන සටන් කාමීන් හිස්බුල්ලා සංවිධානය සමග එකතුවනු ඇතැයි ඔහු මීට පෙර 2017 දී ද ප්‍රකාශ කර තිබිණි.
(සටහන: හර්ෂ උදයකාන්ත)
(AP ඇසුරිණි )
මූලාශ්‍රය :
Thousands of Iran-backed fighters offer to join Hezbollah in its fight against Israel






