ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡා දෙවන දිනටත් කටාර් රාජ්‍යයේ අගනුවර දෝහා (Doha) හිදී අද පැවැත්වේ.
නව සටන් විරාමයක් පිලිබඳ සාකච්ඡා ඊයේ (15) ආරම්භ විය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ඇරඹි මෙම සාකච්ඡා සඳහා, හමාස් සංවිධානය සහභාගී වී නැතැයි වාර්තා වේ. සාකච්ඡා ප්‍රතිඵල ධනාත්මක බව ඊට සහභාගී වූ එක්සත් ජනපද නිලධාරියකු පැවසූ බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය වාර්තා කරයි.
ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම්
මේ අතර, ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක ය.
උතුරු ගාසා තීරයේ ජෙබාලියා (Jabalia) ප්‍රදේශයට ඊයේ රාත්‍රී එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 06 දෙනකු මරණයට පත්විය.
ගාසා හි රෆා (Rafah) සහ ඛාන් යුනිස් (Khan Younis) නගර ඉකුත් සති කිහිපය තුළ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශයට පත්වී තිබේ.
ගාසා හි රෆා (Rafah) සහ ඛාන් යුනිස් (Khan Younis) නගර ඉකුත් සති කිහිපය තුළ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර
දිනෙන් දින උග්‍රවන ඊශ්‍රායල හමුදා ප්‍රහාර, සටන් විරාම සාකච්ඡා ප්‍රවර්ධනයට බාධාවක් බව හමාස් දේශපාලන අංශ සාමාජික හොසාම් බද්‍රාන් (Hossam Badran) පවසයි.
මීට ඉහත සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණි මූලික ගිවිසුමට අනුව පූර්ණ කාලීන සටන් විරාමයක් උදෙසා නව සාකච්ඡා යොමු විය යුතු බව ඔහු ප්‍රකාශ කරයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් මුළුමනින්ම ඉවත් කර ගැනීම, අවතැන් වූ පලස්තීන වැසියන්ට යලි පදිංචි ප්‍රදේශ කරා පැමිණීමේ අවස්ථා උදා කරදීම, සහ ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව සාර්ථක කර ගැනීම පිලිබඳ කරුණු මීට ඉහත පැවති සාකච්ඡාවන්හිදී හමාස් සංවිධානය විසින් අවධාරණය කර තිබිණි.
අද පැවැත්වෙන සටන් විරාම සාකච්ඡාවලින් පසුව දෝහා හි හමාස් නියෝජිතයින් සමග මැදහත් පාර්ශ්ව විසින් සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජනපද ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසයි.
ගාසාහි ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වන විට 40,000 ක ට අධික පලස්තීනුවන් පිරිසක් මරණයට පත් වී තිබේ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත )
මූලාශ්‍ර :
Gaza ceasefire negotiations extend to another day as death toll exceeds 40,000






