leader s

එක්සත් ජනපදය ගෙනා සටන් විරාම යෝජනාවට ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් එකඟතාව පල කර තිබේ.


ඉදිරි දින 60ක කාලය තුළ ලෙබනනයෙන් වරින් වර ඊශ්‍රායල හමුදා ඉවත් කෙරේ.

ලෙබනන සහ ඊශ්‍රායල දේශසීමාවේ, හිස්බුල්ලා ක්‍රියාන්විත, ඉදිකිරීම් සහ වෙනත් කටයුතු සිදු නොවන තැනට වග බලා ගැනීම පිණිස, ලෙබනන හමුදා සීරුවෙන් තැබේ.

එසේ  ක්‍රියාත්මක කෙරෙන්නේ, එක්සත් ජනපදයේ සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන් ගෙනා සටන් විරාම ගිවිසුමය.

ඊයේ (26) රැස් වූ ඊශ්‍රායල කැබිනට් ආරක්ෂක මණ්ඩලය, 10-1 ඡන්දයෙන් එම ගිවිසුම අනුමත කළේය. ඒ අනුව, ඊශ්‍රායල - ලෙබනන දේශසීමාවේ ඇවිළි යුද්ධය අදින් අවසන් කෙරේ.

 

 

 

ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම අනුමත කිරීමෙන් අනතුරුව, ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ලෙබනන භාරකාර අග්‍රාමාත්‍ය නජිබ් මිකාටි අමතා සුභ පැතුම්  එක්  කළේය. අද, එම කලාපයේ වේලාවෙන් අළුයම 4.00 සිට ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සියළු අවි ගැටුම් නතර කෙරේ.


නව සටන් විරාම ගිවිසුම තිරසර එකකැයි, ජනපති ජෝ බයිඩන් පවසයි. හිස්බුල්ලා හෝ ඊට සම්බන්ධ වෙනත් කිසිදු ත්‍රස්ත සංවිධානයකට ඉදිරියේදී ඊශ්‍රායලයේ ආරක්ෂාවට හානි දායී ආකාරයේ කිසිවක් සිදු කිරීමේ සියලු ඉඩ ප්‍රස්තා එමගින් සම්පූර්ණයෙන්ම අවුරා ඇතැයි, ඔහු කියා සිටී.

දේශ සීමා ආසන්නයේ ලෙබනන හමුදා ආරක්ෂාව තර කෙරේ. ඊට, ඊශ්‍රායල හමුදා සහයෝගය හිමිවේ. ඒ ආසන්නයේ කිසිදු හිස්බුල්ලා ඉදිකිරීමකට අවසර හිමි  නොවේ.

 

French President Emmanuel Macron speaks to the media ahead of a Weimar Triangle meeting to discuss the ongoing Ukraine crisis, in Berlin, Germany, February 8, 2022. REUTERS/Hannibal Hanschke/Poolප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්‍රොන්

ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්‍රොන්, එක්ස් (X) පණිවුඩයක් තබමින්, නව සටන් විරාම ගිවිසුමට සුබපැතුම් එක් කළේය. ඊශ්‍රායල, ලෙබනන සහ එක්සත් ජනපද බලධාරීන් විසින් එය සාක්ෂාත් කරගැනීමට දුන් සියලු සහයෝගයට ඔහු සිය හෘදයංගම ස්තුතිය පළ කළේය.

ඊශ්‍රායල හමුදා ලෙබනනයෙන් ඉවත් වීමත් සමග 5000 ක ලෙබනන හමුදා බලඇණියක් දකුණු ලෙබනනය වෙත පිටත් කෙර්.

සටන් විරාමයට සහාය පළ  කරන අතර, ඕනෑම මොහොතක සිදුවිය හැකි හිස්බුල්ලා තර්ජන කෙරෙහි, 'තවත්නම්' කිනම් ආකාරයේ හෝ සමාවක් නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.

images 62ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු

සටන් විරාම ගිවිසුමට, ඊශ්‍රායල සන්ධාන රජය තුළින් අග්‍රාමාත්‍ය නෙතන්යාහු වෙත, යම් විරෝධතා ද පැන නැගුණේ නැත්තේම නොවේ. එහෙත්, නව සටන් විරාමය ඔස්සේ, ඉරානයෙන් එල්ල විය හැකි තර්ජන පිලිබඳ පැහැදිලි නිර්වචනයක් ඇති කර ගැනීමේ පහසුව උදාවන බව, අග්‍රාමාත්‍යවරයා අදහස් කරයි. එපමණක් නොව, සටන් විරාමය, හමාස් සංවිධානය හුදෙකලා කිරීමක්  ද බව ඔහු පවසයි.


ඊශ්‍රායලය සතු අවි සංචිත ඉදිරිය වෙනුවෙන් යාවත්කාලීන කිරීමට සහ යුද්ධයේ නියැලි එරට හමුදාවන්ට ඉසිඹු ලෑමට ද මෙය කදිම අවස්තාවකැයි, ඔහු කියා සිටී.  

" අප විසින් සටන් විරාමය පූර්ණ වශයෙන් බලගනවනවා. එපමණක් නොව, අනෙක් පාර්ශ්වය විසින් එය උල්ලංඝනය කෙරෙන සැණින්, අනුකම්පා විරහිතව ඊට  ප්‍රතිචාර දක්වනවා. සියල්ල සමගින් ජයග්‍රහණය තෙක් අඛණ්ඩව කටයුතු කරනවා" යි, අග්‍රාමාත්‍ය නෙතන්යාහු දැඩි ස්වරයෙන් පැවසීය. හිස්බුල්ලා සංවිධානය මේ වන විට, බොහෝ සෙයින් අඩපණව ඇතැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඊශ්‍රයල හමුදා විසින් හිස්බුල්ලා සංවිධානය තවත්  දශක ගණනාවක් ආපස්සට රැගෙන ගොස් තිබේ. එහි ඉහළ පෙළ සියලු නායකත්වය ද ලොවින් තුරන් කර දැමිණි.   හිස්බුල්ලා රොකට් සහ මිසයිල සංචිත, නිෂ්පාදනාගාර ඇතුළු ගබඩා බොහොමයක් ද ඊශ්‍රායල ගුවන් සහ මිසයිල ප්‍රහාර හමුවේ සුන්නද්ධූලි බවට පත්විය.

 

2023 05 10T202241Z 288333524 RC2SV0A7AKQD RTRMADP 3 ISRAEL PALESTINIANS VIOLENCE 1024x683හිස්බුල්ලා රොකට් සහ මිසයිල සංචිත, නිෂ්පාදනාගාර ඇතුළු ගබඩා බොහොමයක් ද ඊශ්‍රායල ගුවන් සහ මිසයිල ප්‍රහාර හමුවේ සුන්නද්ධූලි බවට පත්විය.

සටන් විරාමය ස්ථාපිත වීමත් සමග, ඊශ්‍රායලයට ඉමහත් තර්ජනයක් ගෙනා දේශසීමාවේ පිහිටි සියලු හිස්බුල්ලා ඉදිකිරීම් ඉවත් කිරීමට ද එම සංවිධානයට සිදු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සහ ලෙබනන හමුදා එක්ව කලාපයේ නව ආරක්ෂක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට වන එක්සත් ජනපද යෝජනාවක් ද වේ. සටන් විරාමය උල්ලංඝනය වීම් පිළිබඳව සියුම්ව නිරීක්ෂණය කිරීම එහි අරමුණයි. එක්සත් ජනපද සන්නද්ධ හමුදා ඊට එක්  නොවනු ඇතැයි පැවසේ.

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ ධුර කාලය ලබන ජනවාරි මස අවසන් වේ. සිය පරිපාලන කලසීමාව තුළ ගාසාහි සටන් විරාමයක් පිණිස සහ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම පිළිබඳව ද කටයුතු කරමින් සිටින බව ඔහු කියා සිටී. ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර ද්වීපාර්ශ්වීය සබඳතා තරකිරීමේ අදහසක් ඇතැයි ද ඔහු  පවසයි.

නව සටන් විරාම ගිවිසුමට එළැඹෙන්නට 'ඔන්න මෙන්න' කියා තිබියදී පවා ඊශ්‍රායලය, හිස්බුල්ලා සංවිධානයේ මර්මස්ථාන සොයා ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඉන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව, පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. එම ප්‍රහාර මගින් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සතු මූල්‍ය කළමනාකරණ පද්ධතිය විනාශ කළ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ. ඔවුන් සතු මූල්‍ය හුවමාරු කාර්යාලයක්ද ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශයට පත්විය.

ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පැය  කිහිපයකට මත්තෙන්, ඊයේ, බීරුත් හි ඇතැම් ප්‍රදේශ වෙතින් වහා ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදා සිවිල් වැසියන්ටද දැනුම්  දුන්හ. හිස්බුල්ලා සන්නද්ධ සටන්කරුවෝද ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කළහ.

afa1693d7bba2d512b132e8aee5187c5564c3451

සටන් විරාමය නිවේදනය කිරීමට තත්පර කිහිපයකට පෙර, ඊශ්‍රායල හමුදා ලෙබනනයේ සිය ගම්මානයන් 'බාගෙට බාගයක්ම' වැනසූ බව දකුණු ලෙබනනයේ ඛාකෙයාත් අල් ස්නව්බාර් (Qaaqaiyat al-Snawbar) හි නිවුන් දැරියන් දෙදනකුගේ මවක වන ආලියා ඊබ්‍රහිම් පැවසීය. "දෙවියන්ගේ කැමැත්ත. දැන් අපට ආපසු අපේ ගමට යන්න පුළුවන්. ඊශ්‍රායලය සටන් විරාමය කඩන්නේ නැතිවෙයි කියල මම හිතනවා," ඇය කියා සිටී.


ඊශ්‍රායලයේ චැනල් 12 රූපවාහිනී නාලිකාව එහි කළ සංගණනයකදී, ඊට සහභාගී වූ ඊශ්‍රායල වැසියන්ගෙන් 37%ක් සටන් විරාමයට පක්ෂපාතව ඡන්දය ප්‍රකාශ කළ බවත්, 32%ක් ඊට විරෝධය පළ  කළ බවත් වාර්තා කළේය.

යුද්ධයත් සමග දකුණු ලෙබනනයෙන් පලා ගිය එරට වැසියන්, සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමග අනිවාර්යයෙන්ම යළි සිය ගම් බිම් කරා කැඳවිය යුතු බව ලෙබනන රජය සහ හිස්බුල්ලා සංවිධානය අවධාරණය කර සිටී.

නවතම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කළ පමණින්, සිය පදිංචි ප්‍රදේශ හැර ගිය ඊශ්‍රායල ජනතාව, උතුරේ, එම ගම්  බිම් කරා යළි පැමිණෙතැයි සහතික කොට පැවසිය නොහැකි යයි, නෙතන්යාහු රජයේ දක්ෂිණාංශික සභිකයකු වන, එරට ආරක්ෂක අමාත්‍ය අයිතමාර් බෙන් ගිවර් පවසයි.

 ලෙබනන හමුදාවට, හිස්බුල්ලා සංවිධානය අතික්‍රමණය කිරීමේ කිසිදු හැකියාවක් නැතැයිද ඔහු ප්‍රකාශ කරයි.

"අපේ හමුදා ලෙබනනයෙන් ඉවත් වීමට නම්, එහි අපේම ආරක්ෂක තීරයක් අපට අත්‍යවශ්‍යයි," ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටී.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

සබැඳි පුවත :
ඊශ්‍රායල-හිස්බුල්ලා තීරණාත්මක සටන් විරාමය තව ටිකකින්  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්