leader s

ගෙවෙන වසරේ අවසන් දින කිහිපය ලොව පුරා ජාත්‍යන්තර ගමනාන්ත රැසකට මෙන්ම ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයට ද අවාසනාවන්ත ලෙස බලපෑවේය.

දකුණු කොරියාවේ ජෙජු ගුවන් අනතුර

 

ඊයේ (29) දකුණු කොරියාවේ ම්යුවන් (Muan) ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිදුවූ අවාසනාවන්ත ගුවන් අනතුරින් දිවි ගලවා ගත හැකි වූයේ, ගුවන් සේවිකාවන් දෙදනකුට පමණි. ගුවන් යානයේ ගමන් කළ ඉතිරි 179 දෙනාම ජීවිතක්ෂයට පත්වූ බව කොරියානු බලධාරීහු ඊයේ සන්ධ්‍යාවේ තහවුරු කළහ.

තායිලන්ත අගනුවර බැංකොක් සිට, මගීන් 175 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනකු රැගෙන පියාසර කරමින් තිබූ, ජෙජු (Jeju Air) ගුවන් සේවයට අයත්, 7C2216 දරන යානය, ගුවන්තොටුපොළට හදිසි ගොඩ බැස්වීමක් සිදුකරමින් පැවති අවස්ථාවේ මෙම අනතුර සිදු විය. 

ගුවනේදී පක්ෂීන් ගැටී, ගොඩබස්වන රෝද අක්‍රීය වීමෙන් පසු, නියමුවා විසින් යානය රෝද රහිත හදිසි ගොඩ බැස්වීමකට (belly landing) යොමු කර තිබේ. එහි  අවසන් අදියර, එය ධාවන පථයෙන් ලිස්සා අසල තාප්පයක ගැටී ගිනිගෙන විනාශව ගියේය.

 


එම ගුවන් යානය අයත් ජෙජු ගුවන් සේවය 2005 දී ආරම්භ කරන ලද, අඩු වියදම් (budget) ගුවන් සේවයක් වේ. ජපානය, තායිලන්තය සහ ෆිලිපීනය වෙත ද එහි ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මකය. ඊට අමතරව එය දකුණු කොරියාවේ අභ්‍යන්තර මගී ගුවන් සේවා ද ක්‍රියාත්මක කරයි. 

දකුණු කොරියා ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දරුණුම ගුවන් අනතුර මෙය ය. අනතුරින් පසු ම්යුවන් ගුවන්තොටුපොළේ  සියලු ගුවන් මෙහෙයුම් තාවකාලිකව නතර කෙරිණි. ජෙජු (Jeju Air ) ගුවන් සේවය සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවගෙන් සමාව  අයැද සිටියේය. කාර්යමණ්ඩලය ඇතුළු ගුවන් මගීන් 179 දෙනකුට මරු කැඳවූ මෙම අනතුරට ප්‍රධාන හේතුව, ම්යුවන් ගුවන්තොටුපොළේ ඉදි කර තිබූ පැති බැම්මක් බව විදෙස් විශේෂඥයෝ පවසති.

එම පැති බැම්ම, අපරාධමය අරමුණින් ඉදි කළ එකක් සේ පෙනී යන්නේ යැයි, එක්සත් රාජධානියේ ගුවන් විශේෂඥයකු සහ හිටපු රාජකීය ගුවන් හමුදා නියමුවකු ද වන ඩේවිඩ් ලර්මෞන්ට් (David Learmount) අද පැවසීය. ගුවන් යානය ගොඩ බැස්වීමේ ප්‍රධාන ගියරද රහිතව, පැයට සැතපුම් 200ක හෙවත්, පැයට කිලෝ මීටර 321 ක වේගයෙන්, ගුවන් ධාවන පථයට හදිසි ගොඩ බැස්වීමක් සිදු කර  ඇති බවත්, ධාවන පථයෙන් ලිස්සා ඉවතට ඇදී යාමේදී ධාවන පථයට සිදුව ඇති හානිය ඉතා අවම බවත්, ඔහු කියා සිටියේය. 

එම අවස්ථාවේ, ගුවන් නියමුවන් විසින් අනුගමනය කරන ලද පිළිවෙත, එවැනි අවස්ථාවක ගත හැකි හොඳම පියවර බවද ඔහු පෙන්වා දුන්නේය. හදිසි ගොඩ බැස්වීමේ අවසන් අදියර වන විටත්, යානයට අවම හානි පමණක් සිදුව තිබූ අතර, කිසි ගින්නක් නොවූ බවත්, එය සම්පූර්ණයෙන් ගිනිගෙන, ජීවිත සියල්ල විනාශ වූයේ තාප්පයේ ගැටීමෙන් පසුව බවත්, ඔහු ප්‍රකාශ කළේය.  

 



ප්‍රශ්නගත පැති බැම්ම මත ම්යුවන් ගුවන්තොටුපොළ වෙත ප්‍රවේශ වන යානාවන්ට මග පෙන්වීම සඳහා ඇන්ටෙනා (localizer antenna) සවි කර තිබේ. සාමාන්‍යයෙන්, ඒවා ස්ථාපිත කෙරෙන්නේ, ගුවන් ධාවන පථයට සමාන්තර උසකින් වුවත්, ම්යුවන් ගුවන්තොටුපොළ විසින් එම ඇන්ටෙනා සවි කර ඇත්තේ, පස් ගොඩල්ලක් මත ඉදි කළ කොන්ක්‍රීට් ව්‍යුහයක් මත බවත්, එම අනතුර පිලිබඳ විමර්ශකයෝ පවසති. 

එය අයුතු ඉදි කිරීමක් බව ඩේවිඩ් පැවසීය. එම මාර්ග දර්ශක ඇන්ටෙනා කිසිවිට, එවැනි ඝන සහ ස්ථාවර ඉදිකිරීමක්  මත සවි කළයුතු උපකරණ නොවන බව ඔහු ප්‍රකාශ කළේය. ගුවන් තොටුපොළේ එම අනවශ්‍ය තාප්පයට අනෙක් පස ඇත්තේ විසල් තැනිතලා භූමියක් බවත්, තාප්පය නොතිබී නම්, ධාවන පථයෙන් ලිස්සා ඉවත ඇදී ගිය ගුවන් යානයට  වේගය පහව යනතෙක් එසේ ඇදී  ගොස් ආරක්‍ෂිත නැවතුමකට එළැඹීමට තරම් ඉඩක් එහි පැවති  බවත්, ඩේවිඩ් පෙන්වා දුන්නේය. එසේ වූයේ  නම්, සියල්ලන්ගේම ජීවිත අනතුරින් ආරක්ෂා වන බවද ඔහු කියා සිටියේය. ලොව කිසිදු ගුවන් තොටුපොළක, ගුවන් ධාවන පථයට මීටර 200ක් පමණ ඉතා සමීපයේ, එවැනි ඉදිකිරීමක් තමා කිසි දින දැක නැතැයි, ඔහු ප්‍රකාශ කළේය.

000 36RP9LA

 

ඊයේ අනතුරට පත් බොයිං 737 වර්ගයේම ගුවන් යානා පදවන යුක්‍රේන ගුවන් නියමුවකු වන ඩෙනිස් දැවිදොව් (Dennis Davydov) ද ඩේවිඩ් ගේ ප්‍රකාශ තහවුරු කළේය. එම පැති බැම්ම, ගුවන් යානය විනාශවීමට ප්‍රධාන හේතුව බව ඔහුද කියා සිටියේය. මාර්ග දර්ශක ඇන්ටෙනා සවි කළ එම ඉදි කිරීම අනවශ්‍ය ලෙස, විශාලව ඉදි කර ඇති බවත්, එය කවුරුන් විසින් සැලසුම් කරන ලද්දක්දැයි විමසිය යුතු බවත්, ගුවන් ධාවන පථය කෙළවර එවැනි ඉදිකිරීමක අවශ්‍යතාව කුමක්දැයි නොවැටහෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. 

එවැනි බැම්මක් සැබෑ ලෙසින්ම ඉදිකළ යුතුව තිබුණේ, අනතුරට පත් ගුවන් යානයක් ඇදී හෝ පෙරලී ගොස් අවට ප්‍රදේශයේ පිහිටි ජනාවාස හෝ වෙනත් ගොඩනැගිලි ආදිය වෙත හානි සිදුවියහැකි යැයි පැහැදිලිව තීරණය කෙරෙන තැනක් මිස, ගුවන් තොටුපොළේ එය ඉදිකෙරුණු ස්ථානයේ නොවන බවද ඔහු යූ ටියුබ් නාලිකාවක  ප්‍රකාශයක් කරමින් පැවසීය. ම්යුවන් ගුවන් තොටුපොළ කෙළවර තවත් වැටක් ද  පවතින අතර ජනාවාස පිහිටියේ ධාවන පථයට බොහෝ දුරින් බවද ඔහු කියා  සිටී. එබැවින්, ගුවන් යානය ගැටුණු තාප්පය එහි නොපැවතියද, ධාවන පථයෙන් ලිස්සා ගිය ගුවන් යානය, ගුවන් තොටුපොළ කෙළවරට ඇදී නොගොස් නතරවීමට තරම් ප්‍රමාණවත් අවකාශයක්, එම අනවශ්‍ය ඉදිකිරීම නොවන්නට එහි පැවති බවද ඔහු අවධාරණය කළේය. 

එයාර් කැනඩා එක්ස්ප්‍රස් ගුවන් අනතුර

 

70167acc5f528e80b822d71bf1810455 
ඊයේ එයාර් කැනඩා එක්ස්ප්‍රස්  (Air Canada Express) ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක්, එරට, නෝවා ස්කෝශියා  (Nova Scotia)  හි හැලිෆැක්ස් ස්ටෑන්ඩ්ෆීල්ඩ්  (Halifax Stanfield ) ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බෑමේදී අනතුරට ලක් විය. එම අනතුර සිදුව ඇත්තේ ද, ගොඩ බැස්වීමේ  ගියරය හරි හැටි ක්‍රියාත්මක නොවීමෙන් බවට සැක කෙරේ.

මගීන් 73 දෙනකු රැගෙන නිව්ෆවුන්ලන්ඩ් හි ශාන්ත ජෝන් සිට පැමිණි AC2259 දරන එම ගුවන් යානය පී.ඒ.එල්. ගුවන් සේවයට අයත් (PAL Airlines ) ඩි හැවිලන්ඩ් DHC-8-402 (De Havilland DHC-8-402) වර්ගයේ එකක් බව  සී.එන්.එන්. පුවත් සේවය පැවසීය. අනතුරින් ගුවන් යානයේ ගමන්ගත් සියල්ලෝ දිවි බේරා ගත්හ.

ගුවන් යානය ධාවන පථය ස්පර්ශ කිරීමත් සමග එය ලිස්සා පිටතට ඇදී ගිය බවත්, යානය වම් පසින් ගින්නක් හටගෙන තිබෙනු දුටු බවත්, මගීහු පැවසූහ. ගුවන් යානය ආරක්‍ෂිත නැවතුමකට පැමිණි වහාම, මගීන් සියලු දෙනා සහ කාර්ය මණ්ඩලය, බස් රථයක් මගින්  ඉන් පිටතට රැගෙන යාමට පියවර ගැනිණි. 

යේමනයේ සනා ගුවන්තොටුපොළ ප්‍රහාරය

 



නත්තල් දිනට පසු දින එනම් 26 දා, ඊශ්‍රායල හමුදා යේමනයේ සනා (Sanaa) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගුවනින්, අතිශය දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය.

එම අවස්ථාවේ, සිය ගමනාන්තය වෙත පිටත්වීමට ගුවන් යානයකට ගොඩ වීමේ අපේක්ෂාවෙන්, එහි පැමිණ සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තෙද්‍රොස් අධනොම් ගෙබ්‍රෙයේසස් (Tedros Adhanom Ghebreyesus) ඇතුළු දූත පිරිස ඉන් බේරුනේ යන්තමිනි. 

"අප සනා ගුවන් තොටුපොළින් ගුවන් යානයට පිවිසීමට කටයුතු කරමින් සිටි මොහොතක, ගුවන් තොටුපොළ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයට ලක් වුණා. ගුවන් තොටුපොළේ අප සිටි තැනට මීටර කිහිපයකට එපිටින් පිහිටි ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය, පිටවීමේ පර්යන්තය සහ ගුවන් යානා ධාවන පථය ද එම ප්‍රහාරවලින් විනාශ වනු අප දුටුවා. අප කිසිවකුටත් අනතුරක් නැහැ," යි ඔහු එහි සිට ප්‍රකාශ කළේය. 

ඊශ්‍රායලය විසින් එල්ල කළ එම ප්‍රහාරයෙන්, තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ගුවන් තොටුපොළට ප්‍රහාර එල්ල වන අවස්ථාවේ ජීවිතාශාව අත්හළ බව ගෙබ්‍රෙයේසස් ප්‍රකාශ කළේය. එය මරණාසන්න අත්දැකීමක් බව ද ඔහු පැවසීය. එම ඊශ්‍රායල ගුවන් බෝම්බ ප්‍රහාරය කන් බිහිරි කරවනසුළු, අතිශය බිහිසුණු ප්‍රහාරයක් බවත්, දින කිහිපයකට පසුව තවමත් එහි දෝංකාරය දෙසවන "රැව් පිළිරැව්" දෙන බවත් ඔහු කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තෙද්‍රොස් අධනොම් ගෙබ්‍රෙයේසස්

 

මුල් ප්‍රහාරයත් සමගම, ගුවන්තොටුපොළ දැවැන්ත ප්‍රහාරයකට ලක්වන බව වැටහී ගියැයි ඔහු පැවසීය. එහි සිටි මගීන් ඇතුළු සියළු දෙනා හිස් ලූ ලූ අත පලා ගිය  බවත්, "එක පිට එක" එල්ල කළ බෝම්බ ප්‍රහාර හතරෙන් එකක් තමා ඇතුළු පිරිස අසුන්ගෙන සිටි පිටත්වීමේ පර්යන්තයට ඉතා ආසන්නයේ, බිම  පතිත වී පුපුරා ගිය බවත්, ගෙබ්‍රෙයේසස් කීවේය. 

"කිසිවකුට මුවා වීමට සෙවණක් හෝ අන් පිළිසරණක් තිබුණේ නැහැ. සියල්ල එසැනින් විනාශව ගියා. අප සියළු දෙනා අනාරක්ෂිත නිරාවරණයකට පත් වුණා. ඕනෑම දෙයක් සිදු වීමට ඉඩ හැර බලා සිටිනවා මිස කළ හැකි අන් කිසිවක් තිබුණේ  නැහැ," යි ඔහු පැවසීය. 

එරට අත්අඩංගුවේ සිටින එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මුදා ගැනීම සහ යේමනයේ මානුෂීය තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගෙබ්‍රෙයේසස් එරට සංචාරයක නිරතව සිටියේය. නත්තල් නිවාඩුවේ තමා ඇතුළු දූත පිරිස ගිය කාර්යය පිලිබඳ සාකච්ඡා සාර්ථක වෙමින් පැවති පසුබිමෙක, ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වූ බව ඔහු  ප්‍රකාශ කර සිටියේය. 

 



"අපි මේ ගහන්න පටන්ගත්තා විතරයි. තොපි අන්න ඒක හොඳින් මතක තියා ගනිල්ලා," එදින ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ගුගුළේය. 

ජපාන ගුවන් සේවයට එල්ල වූ සයිබර් ප්‍රහාරය 

 


මෙම 26  වැනිදා, ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල විය. ඒ හේතුවෙන් එදින,  එම ගුවන් සේවයට  අයත් දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් බොහොමයක් ප්‍රමාද කිරීමට සිදු විය. 

ප්‍රහාරයෙන් ගුවන් සේවයට අයත් අභ්‍යන්තර සහ බාහිර තොරතුරු පද්ධති සියල්ල  බාධාවට ලක්විය. එදින ජපාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානා ප්‍රවේශපත් අලෙවියද අවලංගු කිරීමට සිදු විය.

ඇමෙරිකානු ගුවන් සේවයේ පරිගණක දෝෂය

ඉකුත් සතිය ආරම්භයේ, ඇමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානා සියල්ලද පැයක කාලයකට සියළු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත්තේය. එහි පරිගණක ජාල දෘඩාංග පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එම පියවර ගත් බව ගුවන් සේවා බලධාරීහු ප්‍රකාශ කළහ. ඉන්, නත්තල් සංචාර වල යෙදීමට අපේක්ෂාවෙන් පසු වූ දහස් ගණන් ගුවන් මගීන්ට බාධා සිදු විය.

කසකස්ථාන ගුවන් අනතුර

 

කසකස්ථාන යානය වැටුණේ රුසියානු වෙඩි තැබීමෙන් - අසර්බයිජාන ජනපතිගෙන් චෝදනා

 

මගීන් 62ක් සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනකු රැගත් ගුවන් යානයක් නත්තල් දා කසකස්තානයේ අක්තාවු (Aktau) නගරබද පෙදෙසකට කඩා වැටුණේය.  අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 29 දෙනකුගේ දිවි ගැලවිණි. 

අසර්බයිජාන් ගුවන් සේවයට (Azerbaijan Airlines) අයත් J2-8243 නම්,  එම මගී ජෙට්  යානය  නියමිත ගුවන් පථයේ ගුවන් සැතපුම් සිය ගණනක් පසුකර පැමිණ,  කැස්පියන් මුහුදේ ප්‍රතිවිරුද්ධ දිශාවේ පිහිටි වෙරළ තීරයට කඩා වැටීමෙන්, එම අවාසනාවන්ත ගුවන් අනතුර සිදු විය.

අනතුර සිදුවන අවස්ථාවේ, දකුණු රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් ද එල්ල වෙමින් තිබිණි. ඒ එහෙතුවෙන්, අවට ගුවන් තොටුපොළ  කිහිපයක්ම වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. අනතුරට පත් ගුවන් යානයේ ගමන් මාර්ගයට ආසන්නතම රුසියානු ගුවන් තොටුපොළ ද, ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් උදෑසන සිට වසා තැබීමට රුසියානු ගුවන් බලධාරීන් විසින් පියවර ගැනිණි.

ගුවන් යානය බාකු (Baku) සිට දකුණු රුසියා කාලාපයේ චෙච්නියා අගනුවර වන ග්‍රොස්නි (Grozny) වෙත පියාසර කරමින් පැවති අතර, කිලෝ මීටර 3 කට නුදුරින් පිහිටි අක්තාවු වෙත හදිසි ගොඩ බැස්වීමකට සූදානමින් පසුවූ  බව අසර්බයිජාන් ගුවන් සේවය පැවසීය. ගුවන් යානයේ ඇන්ජින් මත පියාසර පක්ෂීන් ගැටීමෙන්  අනතුරුව, යානය හදිසි ගොඩ බැස්වීමකට සූදානමින්, කසකස්තානයේ අක්තාවු ගුවන් තොටුපොළ වෙත යොමු කරන බව ප්‍රධාන ගුවන් නියමුවා විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව, අහසේ පියාසර කළ පක්ෂීන් එහි ගැටීමෙන් (bird strike) අනතුර සිදුවී ඇතැයි, මුලදී පැවසිණ.

එහෙත්, රුසියානු හමුදා, අත්වැරදීමකින් භූමියේ සිට සිදු කළ වෙඩි තැබීමකින් ගුවන් යානය අනතුරට පත් වූ බව, අසර්බයිජාන ජනපති ඉල්හම් අලියෙව් (Ilham Aliyev) ඊයේ (29) චෝදනා කළේය.

 



එදින රුසියානු හමුදා යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමේ මෙහෙයුමක නිරතව සිටි අවස්ථාවේ සිදු වූ එම ගුවන් අනතුර සම්බන්ධයෙන්, රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්, අසර්බයිජාන ජනපති අලියෙව්ගෙන් සමාව ඇයද සිටියේය. රුසියානු හමුදා වෙඩි තැබීමකින්, ගුවන් යානය බිම හෙළූ බවට ක්‍රෙම්ලිනය මෙතෙක් තහවුරු කර නැතත්, එය අපරාධමය සිදුවීමක් සේ සලකා විමර්ශන ආරම්භ කර තිබේ. 

යානයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ හටගත් දෝෂයක් සමග, එය දකුණු රුසියාවේ ග්‍රොස්නි නුවරට ලඟාවෙමින් පැවති අවස්ථාවෙක, අත්වැරදීමකින්, එය රුසියානු හමුදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇතැයි, අසර්බයිජාන ජනපති ඊයේ එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පැවසීය. අනතුර සිදු වූ අවස්ථාවේ, එය පක්ෂීන් ගැටීම නිසා හෝ, ඇතුලත වූ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් හෝ සිදු වූ බවට රුසියාව බොරු චෝදනා නැගුවද, සත්‍යවශයෙන්ම සිදුවූයේ, යානය රුසියානු හමුදා වෙඩි ප්‍රහාරයට ලක්ව  කඩා වැටීම බවත්, දැන්වත් වරද පිළිගෙන, වගකිවයුත්තන් සොයා දඬුවම් කරන ලෙසත් අසර්බයිජාන ජනපතිවරයා ප්‍රකාශ කළේය. රුසියාවේ සමීප මිතුරකු වන අසර්බයිජාන ජනපති, සුප්‍රකට රුසියානු විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපන හැදෑරුවකු ද වේ.  

 

cfy5y6g
අනතුර සම්බන්ධයෙන් රුසියාව, මේ වන විටත්, සිවිල් සහ හමුදා විශේෂඥයින්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ. 

මගීන් 29 දෙනකුගේ ජීවිත බේරා ගනිමින්, එම අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවන් දෙදෙනාට අසර්බයිජාන රාජ්‍ය ගෞරව පිරිනමා ඇත. 

ස්විස් යානයක් අවදානමක  

 

swissair
මේ අතර, ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානයක් ඉකුත් 24 දා ඔස්ට්‍රියාවේ ග්‍රාස් (Graz) ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්වීමක් සිදු කළේය. එයාර් බස් A220-300 වර්ගයට අයත් LX1885 දරන එම යානය, මගීන් 74 දෙනකු රැගෙන රොමේනියාවේ බුකරෙස්ට් සිට සුරිච් ගුවන් තොටුපොළ වෙත පියාසර කරමින් පැවතිණ.   

ගුවන් යානය තුළ හදිසි ගින්නක් හට ගෙන ඇති බවට කාර්යමණ්ඩලය විසින් දන්වා සිටීමෙන් අනතුරුව ගුවන් නියමුවන් විසින් එම පියවර ගැනිණි. ගුවන් යානයේ ඇන්ජින් දෝෂයක් මත ගින්න හට ගෙන තිබේ. 

අවදානමෙන් යානයේ සිටි කිසිවකුටත් අනතුරක් සිදු නොවීය. 

(Reuters / CNN ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)


සබැඳි පුවත් :

අසර්බයිජාන ගුවන් යානය බිම හෙළීම ගැන පුටින් සමාව ඉල්ලයි

'සනා ගුවන්තොට ප්‍රහාරය මරණාසන්න අත්දැකීමක්' - ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී

දකුණු කොරියාවේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු මරුට

අසර්බයිජාන ගුවන් යානය බිම හෙළීමට රුසියාව වගකිව යුතු බව ඇමෙරිකාව කියයි

දකුණු රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් අතරේ අසර්බයිජාන මගී ගුවන් යානයක් කඩා වැටේ

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්