තායිලන්තයේ අගනුවර වන බැංකොක් නුවර සිය ගණනක් ගලවා ගැනීමේ සේවකයෝ කඩා වැටුණු ඉදි කරමින් පැවති මහල් 30කින් යුත්
ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින දිවි ගලවා ගත් කම්කරුවන් සොයමින් සිටියහ.
ඔවුන් උත්සහ කරන්නේ, එම කම්කරුවන් වෙත ළඟා වීමට ය.
සිද්ධිය වූ ස්ථානයේ සිට මඳක් දුරින් පිහිටි පාලමක් මත සිටගෙන, මා ඇතුළු වාර්තාකරුවන් පිරිසක් තට්ටු තුනක් පමණ උස කොන්ක්‍රීට් ගොඩවල් දෙස අවිශ්වාසයෙන් බලා සිටියහ.
ඇඹරී ගිය වයර් සහ කම්බි පිටතට නෙරා ඇත.
වෘත්තීය ගලවා ගැනීමේ සහ හමුදා කණ්ඩායම් පැමිණ එම ස්ථානය එළිය කිරීමට විදුලි පහන් සවි කළත්, දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු සොයා ගැනීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව පෙනේ.
මධ්‍යම මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක භූමිකම්පාවක් ඇති වූ අතර ඉන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් පරිමාණ ඒකක 6.4ක පසු කම්පනයක් ද ඇති වූයේ ගොඩනැගිලි බිමට සමතලා කරමින් සහ මහා මාර්ගවලට ද හානි කරමිනි.
නමුත් මියන්මාර දේශ සීමාවෙන් ඔබ්බට යමින් තායිලන්තයට ද එම කම්පන දැනිණි. ස්වභාවික ආපදාවන්ට මුහුණ දී පුරුදු නැති බැවින් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති අයුරු දක්නට ලැබිණි.
| භූ කම්පනය සිදුවන අවස්ථාවේ නුකුල් ඛෙමුතා සිටියේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ පස්වන මහලේ වැඩ කරමිනි.
කම්පන ආරම්භ වන මොහොතේ මා සිටියේ මගේ නිවසේ ය. එය මට පෙර නොවූ විරූ අත්දැකීමක් විය.
ජාතික විගණන කාර්යාලයට අයත් කඩා වැටුණු ගොඩනැගිල්ල, තායි බාට් බිලියන දෙකකට වඩා (ඩොලර් මිලියන 59ක්) වියදමින් වසර තුනක් තිස්සේ ඉදිවෙමින් පැවතිණි. දැන් එය සුන්බුන් බවට පත්ව ඇත.
කඩා වැටුණු අහස උසට නැගී තිබුණු ගොඩනැගිල්ල යට තවමත් සිරවී සිටින පුද්ගලයින් 100 දෙනෙකු පමණ බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටිති. මේ වන විට එය කඩා වැටුණු ස්ථානය වටා සුදු පැහැති කූඩාරම් ද ඉදිකර තිබේ.
තායි ආරක්ෂක අමාත්‍ය ෆුම්තම් වෙචාචායි වාර්තාකරුවන්ට පැවසුවේ 6 දෙනෙකු මිය ගිය බව තහවුරු වී ඇති බව ය. ආවරණය කර මළ සිරුරු දෙකක් කූඩාරම් වෙත ගෙන යනු මම දුටුවෙමි.
ගොඩනැගිල්ලට යාබද මාර්ගය ගිනි නිවන රථ, ගිලන් රථ සහ අනෙකුත් ගලවා ගැනීමේ වාහනවලින් පිරී ඇත. කුතුහලයට පත් සිවිල් වැසියෝ අප සිටින පාලම මතට පැමිණ, සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනීමට උත්සහ කරමින් ඒ දෙස බලා සිටියහ.
විශාල දොඹකරයක් ඇතුළු බර යන්ත්‍රෝපකරණ පැමිණීමට පටන් ගෙන තිබේ. අතුරුදන් වූවන් සෙවීම ආරම්භ කිරීමට පෙර සුන්බුන් ඉවත් කිරීමට ඒවා අවශ්‍ය බව ගලවා ගැනීමේ කණ්ඩායම් පවසති.
| කලබලකාරී තත්ත්වය අතරතුර දුරකතනය අස්ථාන ගත වූ නිසා ඇඩිසෝන් කම්ෆසෝන්ට තවමත් ඔහුගේ පවුලේ අය සමග කතා කිරීමට නොහැකි වී ඇත
ගොඩනැගිල්ල කඩා වැටී පැයකටත් අඩු කාලයකට පසු මා එහි ගිය අතර, ඉදිකිරීම් කම්කරුවන් දූවිලිවලින් වැසී ගොස්, දිවි ගලවා ගත් ආකාරය පිළිබඳව මවිතයට පත් වී සිටිනු මම දුටුවෙමි.
ඇඩිසෝන් කම්ෆසෝන්ට හයවන මහලේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය පහළට ගෙන එමින් සිටියදී හදිසියේ ම භූ කම්පනය දැනෙන්නට විය. 18 හැවිරිදි මෙම තරුණයා ඉහළින් වූ පඩිපෙළ දෙස බැලූ විට දුටුවේ දොඹකරයක් සෙලවෙනු අයුරු ය.
ඔහු මා හා මෙසේ පැවසීය: "මට තේරුණා මොකක් හරි නරකක් වෙන්න යන්නේ කියලා. මම දිව්වා. විනාඩියයි ගියේ බිල්ඩිම කඩාගෙන වටෙන්න. එක පාරට ම දුමකින් පිරිලා ගිහින් කිසි දෙයක් පේන්නේ නැතුව ගියා. මට හුස්ම ගන්න පවා බැරි වුණා. මට මාස්ක් එකක් තිබ්බේ නැහැ.
කලබලාකරී තත්ත්වය තුළ ඔහුගේ දුරකතනය නැති වූ නිසා ඔහු තවමත් තම පවුලේ අය සමග කතා කර නැත. ඔහු පැවසුවේ, තම ජීවිතයේ මෙවැනි දෙයක් කිසි දා අත්විඳ නැති බව ය.
ඉදිකිරීම් කම්කරුවන් මා හා පැවසුවේ, තායි සහ බුරුම ජාතිකයින් එහි වැඩ කරමින් සිටි බව ය.
30 හැවිරිදි නුකුල් ඛෙමුතා පස්වන මහලේ වැඩ කරමින් සිටියදී ඔහුට කම්පන දැනිණි. ඔහු ඉහළට බැලූ විට ගොඩනැගිල්ල කඩා වැටෙන ආකාරය සහ සිදුරු සෑදී ඇති ආකාරය දුටුවේ ය.
ඔහුගේ සගයෙකු නාන කාමරය භාවිත කිරීම සඳහා දහවන මහලට ගිය බව ත්, ඔහු සිටින ස්ථානය පිළිබඳ ආරංචි ලැබෙන තෙක් ඔවුන් තවමත් බලා සිටින බව ත් ඔහු පැවසීය. ඔහු මා හා මෙසේ ද පැවසීය: ""අපි හැමෝම 'දුවන්න' කියලා කෑ ගහලා, අත් අල්ලගෙන එකට දුවන්න කියලා කිව්වා."
මම ඔවුන් සමග කතා කරන විට, ඔවුන් සිටියේ එහි වාඩි වී සන්සුන් වීමට දුම් පානය කරමිනි. ඔවුන්ගේ මුහුණුවල දුක් බරිත බවක් නිරීක්ෂණය විය. දිවි ගලවා ගත් කිසිවෙකුට වෛද්‍ය ආධාර ලැබී නොතිබිණි, මන්ද සියලු අවධානය තවමත් සිරවී සිටින අය කෙරෙහි යොමු වී තිබුණු බැවිනි.
(සටහන | පනිසා අයේමොචා)
බීබීසී තායි පුවත් සේවය, බැංකොක්
අතිරේක වාර්තාකරණය ලන්ඩනයේ සිටින රේචල් හේගන්
උපුටා ගැනීම - BBC සිංහල සේවය
සබැඳි ලිපි:
මියන්මාර් - තායිලන්ත භූ කම්පනය: මියන්මාරයේ මරණ ගණන 1,000 ඉක්මවයි
මියන්මාර් - තායිලන්ත භූකම්පනය ගැන අප මෙතෙක් දන්නා දේ






