කුලී නිවැසියන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් රට පුරා ක්‍රියාත්මක වන පරිදි අවම වසර දෙකක බදු කාලසීමාවක් හඳුන්වා දීමට යෝජනා
ඉදිකෙරෙන නව නිවාස 10කින් එකක් රජයේ නිවාස බවට පත්කිරීමේ දැවැන්ත සැලසුමක් රජය හමුවට
ඔස්ට්‍රේලියාවේ උග්‍ර වෙමින් පවතින නිවාස අර්බුදයට හා කුලී නිවාස ගැටලුවට තිරසර විසඳුමක් ලබාදීමේ අරමුණින්, එරට කුලී නිවැසියන් සඳහා අවම වශයෙන් වසර දෙකක බදු ගිවිසුම් කාලසීමාවක් නීතිගත කරන ලෙසත්, රජයේ නිවාස ඉදිකිරීමේ වේගය පස්ගුණයකින් ඉහළ නංවන ලෙසත් එරට ප්‍රමුඛතම වෘත්තීය සමිති එකමුතුව වන ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය (ACTU) ෆෙඩරල් රජයට යෝජනා කර තිබේ.
දැනට පවතින නීතිමය රාමුවට අනුව ප්‍රාන්ත සහ කලාප මට්ටමින් බදු කාලසීමා වෙනස් වන අතර, සම්මතයක් ලෙස පවතින්නේ මාස 12ක කාලසීමාවකි. එහෙත් රට පුරා ඒකාකාරී ලෙස වසර දෙකක අවම කාලසීමාවක් නියම කිරීම මඟින් නිවැසියන්ට ස්ථාවරත්වයක් සහ ඉදිරි සැලසුම් සකස් කරගැනීමට අවස්ථාවක් උදාවන බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති. අවශ්‍යතාවක් පවතින්නේ නම් ඊට වඩා කෙටි කාලසීමාවක් තෝරාගැනීමේ විකල්පය ද කුලී නිවැසියාට හිමිවිය යුතු බව එම යෝජනාවලියේ සඳහන් වේ.
නිවාස දහයකින් එකක් රජයේ නිවාස බවට පත්කිරීමේ ඉලක්කයක්

හිටපු අග්‍රාමාත්‍ය බොබ් හෝක්ගේ යුගයේ ක්‍රියාත්මක වූ ඉදිකිරීම් ආකෘතියක් යළි හඳුන්වා දිය යුතු බව පෙන්වා දෙන ACTU සංවිධානය, දැනට සෑම නව නිවාස 50කින් එකක් වන රජයේ නිවාස ඉදිකිරීමේ අනුපාතය, සෑම නිවාස 10කින් එකක් දක්වා ඉහළ නැංවිය යුතු බව අවධාරණය කරයි.
2026 'State of Housing' වාර්තාවට අනුව, පසුගිය වසර තුළ රජයේ නිවාස ඉදිකිරීම් සියයට 32කින් ඉහළ ගොස් තිබුණ ද, භාවිතයෙන් ඉවත්වීම් හේතුවෙන් සමස්ත රජයේ කුලී නිවාස ඒකක සංඛ්‍යාව 1,143කින් පහත වැටී තිබේ. සමස්ත නිවාස සංචිතයෙන් අවම වශයෙන් සියයට 6ක් හෝ රජයේ නිවාස බවට පත්කිරීම දීර්ඝකාලීන ඉලක්කය කරගත යුතු බව පෙන්වා දෙන ACTU සභාපතිනි මිෂෙල් ඕනීල්, රජයේ නිවාස ව්‍යාප්ත කිරීමෙන් කුලී වෙළෙඳපොළේ පීඩනය ලිහිල් වන අතර පෞද්ගලික කුලී වෙළෙඳපොළ ද වඩාත් තිරසර තත්ත්වයකට පත්වන බව ප්‍රකාශ කළාය.
මීට අමතරව, රජයේ නිවාස නඩත්තු වියදම් සඳහා පනවා ඇති භාණ්ඩ හා සේවා බද්ද (GST) ඉවත් කිරීම සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කුලී ආධාර (Commonwealth Rent Assistance) ක්‍රමවේදය සමාලෝචනය කිරීම ද ඔවුන්ගේ යෝජනාවලියට ඇතුළත් ය.
රජයේ ස්ථාවරය සහ ආර්ථික විග්‍රහයන්
නිවාස අමාත්‍ය ක්ලෙයාර් ඕනීල්
මෙම යෝජනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිවාස අමාත්‍ය ක්ලෙයාර් ඕනීල් සඳහන් කළේ, මේවා මේ මොහොතේ රජයේ නිල ප්‍රතිපත්තියක් නොවුණ ද, කුලී නිවැසියන්ගේ තත්ත්වය යහපත් කිරීම සඳහා වන සාකච්ඡාවට ඉතා වැදගත් යෝජනා ලෙස රජය ඒවා සලකා බලන බවයි. පසුගිය වසර 40ක කාලය තුළ නිවාස පද්ධතියේ පැවති ගැටලුවල පීඩනය වර්තමානයේ කුලී නිවැසියන් මත දැඩිව පැටවී ඇති බව ද අමාත්‍යවරිය පිළිගත්තාය.
මේ අතර, පසුගිය අයවැයෙන් ප්‍රකාශයට පත්කළ බදු වෙනස්කම් හේතුවෙන් ඇතැම් පාර්ශ්ව කුලී ගාස්තු ඉහළ දැමීමට උත්සාහ කරන බවට වාර්තා පළ වුවද, අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පාර්ලිමේන්තුවේදී තහවුරු කළේ අයවැය දිනට පෙර දේපළ හිමි කරගත් පුද්ගලයන්ගේ නිවාස බදු ප්‍රතිලාභ (Negative Gearing) සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු කර නොමැති බවයි. එමෙන්ම නව යෝජනා මඟින් නිවාස හිමියන් ආයෝජනවලින් ඉවත් වීමේ අවදානමක් නොමැති බවත්, ඇතැම් වෘත්තීය නිවාස හිමියන් අසාධාරණ ලෙස කුලී ගාස්තු ඉහළ නැංවීමට බදු සංශෝධන මුවාවක් කරගැනීම නොකළ යුත්තක් බවත් වෘත්තීය සමිති නායකයෝ වැඩිදුරටත් සඳහන් කරති.
නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මොඩියුලර් ඉදිකිරීම්
නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඵලදායිතාව සහ වේගය ඉහළ නැංවීම සඳහා කර්මාන්තශාලා ආශ්‍රිත 'මොඩියුලර්' (Modular construction) ක්‍රමවේදය යොදාගැනීම කෙරෙහි ද වෘත්තීය සමිතිවල අවධානය යොමුව තිබේ. ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් උසස් නිවාස ඉදිකිරීම තුළින් නඩත්තු වියදම් අවම වන බැවින්, ඕනෑම ආදායම් මට්ටමක පසුවන ජනතාවට වඩාත් පහසු සහ සෞඛ්‍යාරක්ෂිත ජීවන පරිසරයක් හිමිවන බව ඔවුහු පෙන්වා දෙති.
විපක්ෂයේ නිවාස කටයුතු පිළිබඳ ප්‍රකාශක ඇන්ඩෲ බ්‍රැග් පෙන්වා දෙන්නේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා ජාතික ඉදිකිරීම් නීති සංග්‍රහය (National Construction Code) සරල කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය ද යොමුව ඇති අතර, 2023 වසරේ ජාතික කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ 'A Better Deal For Renters' එකඟතාව හරහා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ACTU සංවිධානයේ අපේක්ෂාව වී තිබේ.
මුලාශ්‍රය :
ABC News වාර්තාව: Unions push for two-year rental lease minimum and massive new public housing build







