මූලික ගැටලුවලට විසඳුම් නොලැබීමෙන් බිය සහ අවදානම වැඩි වූ බවට රබ්බිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
වෛරී අපරාධ ඉහළ යද්දී ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කිරීමට රජය සහ පොලිසිය පියවර ගනී
පසුගිය වසරේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් වසරකට ආසන්න කාලයක් ගතව තිබියදීත්, බ්‍රිතාන්‍යයේ යුදෙව් ප්‍රජාව පෙරටත් වඩා දැඩි අනාරක්ෂිතභාවයකින් සහ අවදානමකින් පසුවන බව මැන්චෙස්ටර්හි හීටන් පාක් (Heaton Park) සිනගෝගයේ ප්‍රධාන පූජක ඩැනියෙල් වෝකර් (Rabbi Daniel Walker) ප්‍රකාශ කරයි.
වසර 2025 ඔක්තෝබර් 02 වන දින යුදෙව් දින දර්ශනයේ ශුද්ධ වූ ‘යොම් කිපූර්’ (Yom Kippur) දිනයේදී මැන්චෙස්ටර් සිනගෝගයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලැබීය. එම ඛේදවාචකයට වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිත විශේෂ සැමරුම් වැඩසටහනට පෙර අදහස් දක්වමින් රබ්බි වෝකර් පෙන්වා දෙන්නේ, ප්‍රහාරයෙන් පසුව පැවති තත්ත්වයට වඩා වර්තමානයේ සමාජීය වශයෙන් යුදෙව් ප්‍රජාව මුහුණ දෙන අභියෝග සංකීර්ණ වී ඇති බවයි.
සිනගෝගයේ ප්‍රධාන පූජක ඩැනියෙල් වෝකර්
අනන්‍යතාව සඟවා ජීවත්වීමට සිදුවීමේ අභියෝගය
ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී දොරගුළු දමා සිනගෝගය ආරක්ෂා කිරීමට මැදිහත් වූ යෝනි ෆින්ලේ (Yoni Finlay) සඳහන් කරන්නේ, වර්තමානයේ ආරක්ෂක වැටවල් සහ මුර සංචාර ඉහළ දමා තිබුණද සැබෑ සුරක්ෂිත බවක් ජනතාවට නොදැනෙන බවයි.
ප්‍රජා වැඩසටහන් සංවිධානය කිරීමේදී ආරක්ෂක හේතූන් මත පෝස්ටර්වල හෝ නිවේදනවල ලිපිනයන් පවා සඳහන් නොකිරීමට සිදුව ඇති බව පෙන්වා දෙන ඔහු, බොහෝ පාර්ශ්වයන්ට සිය අනන්‍යතාව සඟවාගෙන කටයුතු කිරීමට සිදුව ඇති බවත්, පාසල් හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවා මරණීය තර්ජන එල්ල වන අවස්ථා වාර්තා වන බවත් වැඩිදුරටත් අනාවරණය කළේය.
එම ප්‍රහාරයේදී සිනගෝගය තුළට ඇතුළුවීමට උත්සාහ කළ ප්‍රහාරකයාගෙන් බැතිමතුන් බේරාගැනීමට ක්‍රියා කළ මෙල්වින් ක්‍රැවිට්ස් (Melvin Cravitz) සහ ඒඩ්‍රියන් ඩෝල්බි (Adrian Daulby) යන පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත් වූ අතර, ආරක්ෂක නිලධාරියෙකු වූ බර්නාඩ් අග්යේමන්ග් (Bernard Agyemang) ඇතුළු පිරිසක් බරපතළ ශාරීරික හා මානසික කම්පනයන්ට (PTSD) ලක්ව තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.
සංඛ්‍යාලේඛන පෙන්වන වෛරී ප්‍රචණ්ඩත්වයේ වර්ධනය
බ්‍රිතාන්‍ය තොරතුරු දැනගැනීමේ පනත (FOI) යටතේ එංගලන්තයේ සහ වේල්සයේ පොලිස් බලප්‍රදේශ 33ක් ආශ්‍රිතව සිදුකළ දත්ත විශ්ලේෂණයකට අනුව, 2022 වසරට සාපේක්ෂව යුදෙව් විරෝධී ප්‍රචණ්ඩකාරී වෛරී අපරාධ (Hate Crimes) ප්‍රමාණය තුනෙන් දෙකකින් පමණ ඉහළ ගොස් තිබේ.
එමෙන්ම දේපළ හානි කිරීම් සහ ගිනි තැබීමේ සිදුවීම්ද දෙගුණයකින් පමණ වැඩි වී ඇති අතර, මැන්චෙස්ටර් ප්‍රදේශයේ පමණක් 2026 වසරේ මුල් මාස හත තුළ යුදෙව් විරෝධී සිදුවීම් 150ක් වාර්තා වී ඇත. ලන්ඩන් නුවර සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඇතුළු ලොව විවිධ ප්‍රදේශවල මෑත මාසවලදී යුදෙව් ජනතාව ඉලක්ක කර සිදුවූ ප්‍රහාරයන් හේතුවෙන් මෙම බිය තවදුරටත් තීව්‍ර වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
"ගැටලුවේ මූලයට විසඳුම් සෙවිය යුතුයි"

මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වන රබ්බි ඩැනියෙල් වෝකර් අවධාරණය කරන්නේ, ආරක්ෂාව තර කිරීම අගය කළ යුතු වුවද සමාජය තුළ වර්ධනය වන ගැටලුවේ මූලික හේතුවලට තවමත් නිසි විසඳුම් ලැබී නොමැති බවයි. රෝග ලක්ෂණවලට පමණක් ප්‍රතිකාර කිරීම වෙනුවට වෛරී සහගත ආකල්පවල මූලයන් හඳුනාගෙන ඒවාට ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු පවසයි.
මේ අතර රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් ප්‍රජාවන් පිළිබඳ කැබිනට් අමාත්‍ය ඇන්ජෙලා රේනර් (Angela Rayner) ප්‍රකාශ කර ඇත්තේ, කිසිදු පුරවැසියෙකුට තම ආගම ඇදහීමට හෝ නිදහසේ ජීවත්වීමට බියක් ඇතිවන ආකාරයේ වෛරී පරිසරයක් ගොඩනැගීමට රජය ඉඩ නොතබන බවයි. යුදෙව් විරෝධය සම්පූර්ණයෙන්ම මැඩපවත්වා සියලු ජනතාවට බියෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සහතික කරන බවද ඇය අවධාරණය කළාය.
හීටන් පාක් සිනගෝගයේ පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන රබ්බි එෆ්‍රායිම් මිර්විස් (Chief Rabbi Ephraim Mirvis), මැන්චෙස්ටර් නගරාධිපතිනි බෙව් ක්‍රේග් (Bev Craig) සහ ග්‍රේටර් මැන්චෙස්ටර් පොලිස්පති ශ්‍රීමත් ස්ටීවන් වොට්සන් (Sir Stephen Watson) ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත අතර, උත්සව සමය වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂක සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබේ.
වැඩිදුර කියවීම සඳහා:
BBC News - Jewish community in harder position than immediately after synagogue attack







