වසර ගණනාවකට වසා දමන ඓතිහාසික උද්‍යානයෙන් පැළ 500ක් ජනතාව අතට
ශාක රැකගන්න නිවෙස්වලට දෙන අමුතුම සම්මුඛ පරීක්ෂණය
ලන්ඩන් නගරයේ අළු පැහැති දැවැන්ත කොන්ක්‍රීට් ගොඩනැඟිලි අතර පිහිටි ඓතිහාසික බාබිකන් ශාකාගාරය, පසුගිය ඉරිදා පෙර නොවූ විරූ ආකාරයේ අමුතුම තෝතැන්නක් බවට පත්විය. මීට පෙර මියගිය දෙවැනි එළිසබෙත් රැජින පවා "නූතන ලෝකයේ පුදුමයක්" ලෙස හැඳින්වූ මෙම සංකීර්ණය ඉදිරියේදී දැවැන්ත නවීකරණයකට මුහුණ දීමට නියමිතය. වසර කිහිපයක් පුරා ක්‍රියාත්මක වන මෙම සංවර්ධන ව්‍යාපෘතියට පෙර, එහි ඇති දුර්ලභ නිවර්තන ශාක ආරක්ෂා කර ගැනීම උදෙසා ඒවා නගරවාසී ජනතාව අතර බෙදා දීමට සංවිධායකයෝ පියවර ගත්හ.

ශාකයකට අලුත් අයිතිකරුවෙක් තෝරාගන්නා හැටි
මෙම පියවර සාමාන්‍යයෙන් පැළයක් මිලදී ගැනීමක් හෝ නිකම්ම බෙදාහැරීමක් වූයේ නැත. ශාකයක් නිවසට රැගෙන යාමට අපේක්ෂා කළ සිය ගණනක් වන ලන්ඩන් වැසියන්ට ඒ වෙනුවෙන් විශේෂ ක්‍රියාදාමයකට මුහුණ දීමට සිදුවිය. තමන් බාරගන්නා පැළය නිවසේ තබන්නේ කොතැනදැයි පෙන්වීමට සටහනක් හෝ චිත්‍රයක් ඇඳ පෙන්වීමටත්, එම පැළයට ආදරණීය නමක් තැබීමටත් පැමිණි අයට උපදෙස් ලැබිණි. තමන් ගන්නා පැළයේ මව් ශාකය උද්‍යානය තුළින්ම පෞද්ගලිකව සොයා බලා හඳුනා ගැනීමටද ඔවුන්ට ඉඩකඩ සලසා තිබුණි.
පැළය රැගෙන යාමට පෙර, ඒ ඒ ශාකයට අවශ්‍ය ජල ප්‍රමාණය, ආලෝකය සහ පරිසරයේ පැවතිය යුතු තෙතමනය පිළිබඳ සම්පූර්ණ උපදෙස් ඇතුළත් විස්තර පත්‍රිකාවක්ද එක් එක් පුද්ගලයාට ලබාදීමට පාලනාධිකාරිය පියවර ගත්තේය.
ලොවෙන් නැතිවී යන ශාක වර්ග රැකගැනීමේ අරමුණ

ලෝකයේ වඩාත්ම තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ කිහිපයක් ද ඇතුළුව ප්‍රභේද 800කට අධික සංඛ්‍යාවක් රැකබලා ගන්නා මෙම ස්ථානයෙන්, මෙලෙස කප්පාදු කර සකසා ගත් පැළ 500ක් බෙදා හැරිණි. මේ අතර ස්විස් චීස් (Swiss cheese), ස්පයිඩර් ප්ලාන්ට් මෙන්ම මෙක්සිකෝවට ආවේණික දුර්ලභ 'පර්පල් හාට්' (Purple heart) වැනි ප්‍රභේද රැසක් විය.
මෙම කටයුත්ත සංවිධානය කිරීමට දායක වූ 'වේවර්ඩ් ප්ලාන්ට්ස්' (Wayward Plants) ආයතනයේ සම-නිර්මාතෘ හීතර් රින්ග් සඳහන් කළේ, "මේ ගස්වැල් හරිම ආකර්ෂණීයයි. නගරයේ මිනිස්සු මේ විදිහට එකතු වෙලා ඒවට ආදරෙන් සලකන එක ඇත්තටම හරිම සුවිශේෂී දෙයක්" යනුවෙනි.
බාබිකන් නිවාස සංකීර්ණයේම පදිංචිකාරියක වන ලීඩියා ගෝල්ඩ්බර්ග් තමන් රැගෙන ආ ස්වීඩන් අයිවි පැළයට 'නිකෝ' යනුවෙන් නම් තබා තිබුණි. ඇය පැවසුවේ, "අලුත්වැඩියාවන්ට අවුරුදු කිහිපයක් ගතවෙයි තමයි, හැබැයි වැඩ ඉවර වුණාම මේක කොච්චර ලස්සනට තියේවිද" යනුවෙනි.
වැඩිදුර තොරතුරු සඳහා:
Reuters වාර්තාව: London 'plant parents' adopt a piece of historic Barbican urban jungle







