සුප්‍රසිද්ධ ඇමරිකානු ගායන ශිල්පිනියක, ගීත රචිකාවක සංගීතඥවරියක, කතුවරියක සහ රංගන ශිල්පිනියක වන අමන්දා පාමර්,

2013 ජූනි මාසයේ එංගලන්තයේ සමර් සෙට් ප්‍රාන්තයේ ග්ලැස්ටන්බරි (Glastonbury) හි පැවැත්වුණු වාර්ෂික සංගීත උළදේදී ගීතයක් ගායනා කරමින් සිටියදී ඇගේ තනපට අස්සෙන් හදිස්සියේ වම් පියයුර එලියට පැන්නා. ඇගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම ගැන වාර්තා කළ ඩේලි මේල් ටැබ්ලොයිඩ් පුවත්පතේ සම්පූර්ණ අවධානය යොමුවී තිබුණේ මේ පියයුර ගැන කතාකරන්නයි.

ඊට ටික දවසකට පස්සේ ලන්ඩලයේ පැවැත්වුණු සංගීත වැඩසටහනකදී ඇය වේදිකාවට ආවේ කිමෝනාවක් ඇඳගෙන ශාලාවේ රැස්ව සිටි මාධ්‍යකරුවන් අතර ඩේලිමේල් වාර්තාකරුවන් ඉන්වාදැයි අසා තමාගේ ආරම්භක ගීතය ඔවුන් වෙනුවෙන් ගායනා කරන බව කියා සිටියා. ගීතය ඇය නම් කර තිබුනේ 'ඩේලිමේල්' (පත්තරේට) ලියුමක්, (A letter to Daily Mail) කියලා හුදකලාව ඕගනය වයමින් ඇය ගායනය මෙසේ ආරම්භ කළා. (මෙහි පිළිවෙලින් දක්වන්නේ ඒ ගීතය තෝරාගත් ඛණ්ඩ කිහිපයක රළු පරිවර්තනයක්. ලක්ෂාන්ත අතුකෝරලට දුන්නා නම්, මේක ගීතයක් වගේම පරිවර්තනය කරයි. මම ගත්තේ එහි අදහස)

ඩියර් ඩේලිමේල්, 
ග්ලැස්ටන්බරි ෆෙස්ටිවල් එකේ මගේ පෙනී සිටීමක් ගැන ඔබේ කාරුණික සඳහනකට ලඟදි මගේ අවධානය යොමු වුනා.
මම ඒ වේදිකාවේ ගීත ගායනයද ඇතුළුව තව බොහෝ දේ කරමින් සිටියා
එහෙත් ඔබ ඒ සියල්ල නොසලකා හැර, මගේ 'තනය' පිළිබඳ විශේෂාංග සමාලෝචනයක් පළ කළා

(ප්‍රේක්ෂකාගාරය සිනහ වෙනවා. ඇයද සිනහමුසු මුහුණින් සෞම්‍ය ලයාන්විත හඬකින් ගායනා කරනවා)

ඩියර් ඩේලිමේල්,
(ගූගල් හි) 'සර්ච් එන්ජින්' කියා දෙයක් තියෙනවා
එය භාවිතා කරන්න !
ඔබ තනපුඩු ගූගල් කරා නම්, ඔබ පළකළ
(මගේ තනපුඩුවල) ඡායාරූප කිසිසේත්ම සුවිශේෂී නොවන බව ඔබට පෙනී යනු ඇති
ඒ විතරක් නෙවෙයි, ඔබ කියනවා මගේ පියයුර
මගේ බ්‍රා එකෙන් පැන්නේ හරියට දුවන හොරෙක් වගේ කියලා
මගේ පියයුර දුර්ලභ බ්‍රිතාන්‍ය හිරු එළිය විඳීමට උත්සහ නොකල බව ඔබ දන්නේ කොහොමද?

(තියෙන්නේ මගේ අවධාරණයන්) ගීත රචනාවේ නැහැ. ප්‍රේක්ෂකාගාරය ටිකෙන් ටික උණුසුම් වෙනවා. එහෙත් ඇගේ ස්වරය බොහොම හික්මුණු එකක්

ඩියර් ඩේලි මේල්,
ඔබ වගේ ටැබ්ලොයිඩ් පත්තර කරන වැඩ ගැන මට කණගාටුයි. ගැහැණුන්ගේ පෙනුම අවතක්සේරු කිරීම කෙරෙහි ඔබ දක්වන අවධානය , අපගේ මිනිස් වර්ගය නෂ්ටාවශේෂ කරනවා. නමුත් (පත්තර) පඩංගුව පඩංගුවක්ම තමයි. එය ඈතින්ම තිබුනාවේ. මට කාවවත් වාරණය කරන්න ඕනේ නැහැ.
(තම සිරුර දෙස බලමින්) Oh!no.. අයියෝ....)
මගේ මුලු ඇඟම මේ කිමෝනාවෙන් මිදෙන්නට උත්සාහ කරන බවක් පෙනෙනවා.

(මේ අවස්ථාවේ පොරවාගෙන සිටින කිමෝනාව ගලවා විසිකරමින්, ප්‍රේක්ෂකාගාරයේ ඉදිරියේදී ඇය සම්පූරුණයෙන් නිරුවත් වෙනවා. ඇගේ මේ අනපේක්ෂිත ක්‍රියාවෙන් කම්පනය වන ප්‍රේක්ෂකයන් තම ඇස් අදහාගත නොහැකිව හූල්ලනවා. තමාව දක්වමින් හූල්ලන ප්‍රේක්ෂකයන්ට ඇය කියනවා, 'මේ නිකම්ම නිකම් හෙලුවැලි ගැහැනු ඇඟක් විතරයි' කියලා. එහෙම කියලා උද්වේගකර ස්වරයකින් ඇය දිගටම ගායනවා කරනවා)

ඩියර් ඩේලිමේල්,
තොපි ගැහැණුන්ට ද්වේශකරන වුන් ගොඩක්
මට මේ (උබලා පත්තරවල පෙන්වන) ලා ගැට, මෆින් මුදුණු දැකලා දැන් ඇතිවෙලා.
ප්‍රවෘත්ති වටිනාකමක් තියෙන ප* යවල්(Cocks)කෝ?
Lggy හරි Jagger හරි Bowie හරි 'ටොප්ලස්' වුනොත් ඒක පුංචි ප්‍රවෘත්ති රැලිත්තකටවත් හේතු නොවේවි
ස්ත්‍රීවාදී බයිලා වැඩකට නැති ලිංග-බේද බයිලා බ්ලා බ්ලා
(මම දන්නවා උඔලා මෙහෙම කියන බව)
ඔහොමයි ගෝඩ් නිපල්ස් (Oh my God nipples!) අනේ මගේ දෙයියනේ! තනපුඩු!

(මේ වෙනකොට ඇගේ වචන හැසිරවීම පිහිපාරවල් වගේ ප්‍රචණ්ඩයි එහෙත්, ඇය ගයන්නේ සන්සුන්ව.)

ඩියර් ඩේලි මේල්,
උඔ මේ රාත්‍රිය ගැන කවදාවත් ලියන්නේ නැහැ
මම ඒක දන්නවා
මොකද මම කෙලින්ම උඹව ආමන්ත්‍රණය කළ නිසා.
මම මාවම, සටන් කිරීමට තරම් ජොලියක් නැති එකියක බවට පත්කර ගත් නිසා.
එත් ඉන්ටනෙට් එකට පින්සිද්ධවෙන්න මුලු ලෝකයම මගේ මේ අනුශාසනාව රස විඳීවි. 

සමර් සෙට් ප්‍රාන්තයේ ග්ලැස්ටන්බරි (Glastonbury) හි පැවැත්වුණු වාර්ෂික සංගීත උළදේදී ගීතයක් ගායනා කරමින්...

2013.07.13 ලන්ඩනයේදී 'ඩේලිමේල්' (පත්තරේට) ලියුමක්, ඕගනය වයමින් ඇය ගායනා කරන අයුරු

 

ස්ත්‍රීන් හෙලා දකින ටැබ්ලොයිඩ් සංස්කෘතියට එරෙහිව....

text 5 4ඩේලිමේල් අමතමින් ඇය එල්ල කළ ප්‍රහාරය එම පුවත්පතට විතරක්ම නෙවෙයි සමස්ථ ටැබ්ලොයිඩ් මාධ්‍ය භාවිතාවටමයි. ස්ත්‍රීන් හෙලා දකින ටැබ්ලොයිඩ් සංස්කෘතියටයි. ඇය මේ ගීතය යලි කවදාවත් ගායනා කළේ නැහැ. එය සුවිශේෂයෙන්ම එදා එම සංදර්ශනයට පැමිණ සිටින ප්‍රේක්ෂකයන් වීඳි ඒකෝචිත (One-off) අත්දැකීමක්.

ලංකාවේ නම් ජාතික පත්තරයි, ටැබ්ලොයිඩ් පත්තරයි, ජාතික නාලිකායි කියලා බෙදුනු මාධ්‍ය භාවිතාවක් නැහැ. කුණු රසය මතු කිරීමට එකිනෙකා අතර ඇති තරඟය හැරෙන්නට මේ ඔක්කොම එකයි. 

OPLකියලා කෙටියෙන් හඳුන්වන, කීර්තිමත් ලක්සම්බර්ග් ෆිල්හාර්මනික් වාද්‍ය වෘන්දයේ (Orchestre philharmonique du luxembourg) පසුබිම් වාදනයට දහස් සංඛ්‍යාත සික්ෂිත ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ සංයමයෙන් රොක් ගීත ගායනා කළ චිත්‍රාල් සෝමපාල, බැංකුවක කට්ටියක් සංවිධානය කළ සම්පත් නයිට් කියන පාටි එකක සිංදු කියන්න ගිහින් දෙකේ කොලයට වැටුණු වීඩියෝවක් සහ ඒ ආශ්‍රිතව මුහුණු පොතේ ගොඩනැගුණු සංවාද කියවද්දී, අමන්දා පාමර්ගේ ඉහත අත්දැකීම මතක් වුනේ.

ඒ සිද්ධියයි චිත්‍රාල්ගේ සිදුවීමයි කියන්නේ අහසට පොළව වගේ වෙනස් දෙකක්. ඒත් තමන්ව හෑල්ලුවට සහ අවමානයට ලක්කරමින් කළ පාදඩ මාධ්‍ය භාවිතාවකට එරෙහිව ඇය දැක්වූ ප්‍රතිචාරයත්, බීල සිහිය විකල්වූ ඕඩියන්ස් එකක් ඉදිරියේ චිත්‍රාල් හැසිරුන හැටිත් ඒ වගේම අසහට පොළව වගෙයි.

පාමර්ගේ ප්‍රතිචාරය ඒ මාධ්‍යය සංස්කෘතියටම එල්ල කළ මාරාන්තික කිනිසි පහරක්. එත් තමන් මුහුණ දුන් ඒ මොහොත කලමනාකරණය කරගන්න චිත්‍රාල්ට හික්මීමක් තිබුණේ නැහ. චිත්‍රාල්ද ඒ ඕඩියන්ස් එකේ මට්ටමටම සැහැල්ලු වුණා. අමන්දා තම ගීතයේ පාවිච්චි කරන යෙදුම්, චිත්‍රාල් ආවේගයෙන් කෑ ගසන වචන වලට වඩා කුණුහරුප කියලා කෙනෙකුට පෙනෙන්නට පුලුවන්.

එහෙත් ඒ කුණුහරුප ඈ සන්ධර්භගත කරන විලාසය නිසයි ඒවා සමස්ත ටැබ්ලොයිඩ් මාධ්‍ය අධිරාජ්‍යයට එල්ල කළ ප්‍රචණ්ඩ ප්‍රහාරයක් වෙන්නේ.

මියුසික් දන්න දහස් ගණන් සෙනඟ ඉස්සරහ ලෝකයේ කීර්තිමත් වාද්‍ය වෘන්දයක් එක්ක ගීත ගයන්න හික්මීමක් විනයක් තියෙන චිත්‍රාල්ට, සීයක දෙසීයක විතර පාටි ක්‍රවුඩ් එකක අඩංතේට්ටම් මැද්දේ තමන්ගේ ආවේගය පාලනය කරන්න බැරිවීම තේරුම් ගන්න වෙන්නේ මේ භූමියේ වරදක් විදිහටද, එහෙම නැත්නම් සියලු ශුද්ධ වූ දේ වාෂ්ප වන භූමියක චිත්‍රාල් විතරක් 'රොක්' එකක් වගේ පවතී කියලා හිතන එක අපේ වරදක්ද? ඩියර් චිත්‍රාල් ! ටිකක් කල්පනා කරලා බලපන්. 

(අශෝක හඳගම - අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්