leader s

සාෆි නැවතත් කරළියට ඇවිල්ලා. වඳ සැත්කම් චෝදනාව ඔප්පු කරන්න බැරි වුණා. වර්ගවාදයේ සහ ආගම්වාදයේ වින්දිතයෙකු ලෙස සාෆි අද

බෞතිස්ම ලබා තිබෙනවා. අද ඔහු වීරයෙකු වෙලා. දැන් චෝදනාව එල්ල වී තිබෙන්නේ සමස්ත සිංහල සහ බෞද්ධ සංහතියටමයි. මේකට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ජයසුමනගේ අමනකමයි.


මේ ගැටලුව ඉස්මතු වෙන කොට ජයසුමන තමයි ඒක අතට ගත්තේ. ඔහු පැන පැන මාධ්‍ය සාකච්ඡා තිය තිය සාෆිට චෝදනා කළා. ඒක අමු මෝඩකමක්. මම ඔහුට කීවේ එවැනි අපරාධයක් සිදු වී තිබෙනවා නම් ඔහු පළමුව කළ යුත්තේ එයට අදාළ සියලු සාක්ෂි ක්‍රමානුකූලව රැස් කර කිසිවෙකුට නොබිඳිය හැකි සේ චෝදනා ගොනු කරන ලෙසයි. ඒ වගේම මා ඔහුට කීවා කවුරු හෝ කියන දෙයක් ඇහුණු ගමන් දුවගෙන ගිහිල්ලා ඒක මාධ්‍ය ඉදිරියේ කියන්න එපා කියලා. මොකද එතකොට ප්‍රතිවාදියා කලින්ම දැන ගන්නවා ඒ තොරතුර අප සතුව තිබෙනවා කියා. එවිට ඔහු සූදානම් වෙනවා එය බිඳ දමන්න.

මේ සියල්ලම මා ජයසුමනට කී බව ඔහුට මතක ඇති. නමුත් ඔහු ඒවා කණකට ගත්තේ නැහැ. කොහොමත් අපේ බොහෝ නායකයන්ට මම කියපුවා ඇත්ත කියලා තේරුණේ ඔක්කොම වුණාට පස්සේ. එතකොට ප්‍රමාද වැඩියි.

  

 

  අද සාෆි දිනලා. ජයසුමන පැරදිලා. ජයසුමන විතරක් නොවෙයි ඔහුගේ ඊනියා ජාතිකත්ව කල්ලියම හත්පොළේ ගාගෙන අජූවක් වෙලා. ඒ විතරක් නම් කමක් නැහැ. ඒකෙන් මුළු සිංහල බෞද්ධ සමාජයම ජාතිවාදීන් සහ ආගම්වාදීන් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු වෙලා.

 


මේකම තමයි ජයසුමනයි එයාගේ අධ්‍යාත්මික ශාස්තෘවරයයි රජරට වකුගඩු රෝගය අර්බුදයට කළේත්. එම සාහසික අපරාධයට වගකිය යුත්තේ කෘත්‍රිම කෘෂි රසායන මාෆියාව බවට විද්‍යාත්මකව ඔප්පු වෙලා තිබියදීත් ඒකට දෙයියෙක්ගේ කතාවක් දාලා ඒක මුළුමනින්ම කෑවා. අද ඒ මාෆියාව දිනුම්. ලංකාවේ ගොවියන් අනුකම්පා සහගත ලෙස පරාදයි. මේ රටේ දරුවන්ට වසවිස නැතුව කන්න දෙන්න හැදුව ගෝඨාභය ගෙදර. මතු කිසිදාක කිසිම නායකයෙක් ඕකට අතක් තියන්නේ නැහැ. මව්බිමේ පස ජලය සතා සීපාවා පවා සදහටම ඒ විසෙන් පිරෙනවා.

මෙන්න මේක තමයි ඔය ඊනියා ජාතිකත්ව මතවාදය විසින් ලංකාවේ බෞද්ධ සිංහල සමාජය ගෙනත් තිබෙන තැන. මොවුන්ම තමයි කිව්වේ මහාවංශය බොරුය කියා. මහාවංශයේම එන අමනුෂ්‍ය යක්ෂයන් මිනිසුන් කරලා මහා විකාරයක් කළා. ඒකම තමයි එදා ජී ජී පොන්නම්බලම්ට ඕන වුණේ. අද ඒ මතවාදය ලංකාවේ බරපතල ලෙස ඔඩු දුවා තිබෙනවා. හෙළ යක්ඛ පුත්තු ටික අන්තිමට සිංහලයේ ඉතිහාසයත් විකෘති කරලා, බුද්ධ චරිතයත් විකෘති කරලා, ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයටත් විශාල අනතුරක් ඇති කරලා

 

 මම ඔබට කියන්නේ මේ යථාර්ථය ගැන සාධාරණව කල්පනා කරන්න. මේක ජයසුමනගේ වරදක් නොවෙයි. මේක ඔවුන් අන්ධ භක්තියෙන් අදහන විකාර දෘෂ්ටිවාදයේ වරදක්. ජයසුමනව නම් කිසිම දේශපාලන පක්ෂයකට ගන්න එකක් නැහැ. ඔහුගේ කලබලකාරී උද්දච්ච මෝඩකම නිසා වෙච්ච හරිය හොඳටම ඇති. සැබැවින්ම ඔහු මෙරට සිංහල බෞද්ධ ජනතාවට කළ හානියට ජාතියෙන් සමාව ගත යුතුයි.


මේ වැරදි මාවතෙන්, මෝඩයන්ගේ මාවතෙන්, අහංකාරයන්ගේ මාවතෙන් අප දැන්වත් මිදිය යුතුයි. වසර පනහකට වඩා මේ මිත්‍යා දෘෂ්ටිය විසින් බෞද්ධ සිංහලයා ආපස්සට ගෙන ගියා. ඔය “මගේ ලෝක” මුගේ ලෝක අරූගේ ලෝක හදාගෙන බොරු අමරා වික්ෂේප කතා නොකියා පුරාවිද්‍යාත්මකව, ජාන විද්‍යාත්මකව, මානව විද්‍යාත්මකව සහ වාග් විද්‍යාත්මකව ඔප්පු වෙන මහාවංශයෙන් කියවෙන ඉතිහාසය අනුව අප කවුරුද යන්න දැන ගෙන,  බටහිර පෙරදිග වශයෙන් දැනුම බෙදා කරන ද්වේශ සහගත දිසා වන්දනාවෙන් මිදී, බුද්ධ භාෂිත ධර්මය මත පදනම්ව විද්‍යාවෙන් නැගී සිටිය යුතුයි.

ධර්මය ඔබට මග වේවා!

eranda. ginige
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024 මැයි 23



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්