කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රට වසා දැමීමට සිදුවීමත් සමග මහා මැතිවරණය පැවැත්වීම, පාර්ලිමේන්තුව කැදවීම, මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම සහ ජනාධිපතිවරයාගේ වගකීම පිළිබදව නීතිමය ගැටළු

සාකච්ඡාවට ලක්ව ඇත. අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා මෙම සාකච්ඡාවට එක් වෙමින් ඉතා වැදගත් තීරණාත්මක ප්‍රශ්න පහක් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානයට ලක් කර ඇති මෙම ලිපිය 'කොලම්බු ටෙලිග්‍රාෆ්' වෙබ් පුවත් මාධ්‍යයෙහි පළ කර ඇත. 

නීතිමය වශයෙන් පවතින කරුණු පෙන්වා දෙමින් සම්පාදනය කර ඇති එම ලිපිය විද්වත් ජනතාවගේ අවධානයට ලක්විය යුතු ලිපියක් ලෙස අප දකින හෙයින් බහුතර ජනතාවගේ දැනුවත්භාවය පිණිස එම ලිපිය මෙසේ පරිවර්තනය කර ඉදිරිපත් කරමු.

මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්න පහක් !


2020 ජුනි 20 වැනි දින මහා මැතිවරණය පවත්වනු ලබන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ එම තීරනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් ප්‍රතිපාදනයන් වැරදි සහගත ආකාරයෙන් අර්ථ නිරූපනය කරමින් දේශපාලනඥයන්, ජනමාධ්‍යවේදීන් සහ දේශපාලනයේ යෙදෙන නීතිඥවරුන් පිළිගෙන තහවුරු කිරීමට කටයුතු කර ඇත. 

මා කියන දේ වැරදිසහගත වීමට ඉඩක් නොමැති බව මම නොකියමි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාල ප්‍රතිපාදන, දේශපාලන අදහස් තවරා ගන්නා ලද දෘෂ්ටියකින් ඒ දෙස බලන තැනැත්තන් හැර අන් සියළුම දෙනාට ඒවායේ අර්ථය ඉතා පැහැදිලි ආකාරයෙන් තේරුම් යන පරිදී නිරවුල්ව සදහන්ව ඇති බව ප්‍රකාශ කරමි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතියයි:


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු අපගේ උත්තරීතර නීතියයි. ඉන් අදහස් කරන්නේ රටේ බලපවත්නා අනිකුත් සෑම නීතියක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට යටත්ව තේරුම්ගත යුතු බවයි. කිසිදු ව්‍යවස්ථාදායක, විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටපත් කළ නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසියම් තැනැත්තෙකුට හෝ ආයතනයක පවරා දී ඇති කිසිදු බලයක් අන් කිසිදු තැනැත්තෙකු හෝ ආයතනයක් විසින් භාවිතා කළ නොහැකිය.

''කිසිදු ව්‍යවස්ථාදායක, විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටපත් කළ නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසියම් තැනැත්තෙකුට හෝ ආයතනයක පවරා දී ඇති කිසිදු බලයක් අන් කිසිදු තැනැත්තෙකු හෝ ආයතනයක් විසින් භාවිතා කළ නොහැකිය.''


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම:

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල විධිවිධාන තුනක් ඇත. 

# ඉන් පළමුවැන්න නම්, පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකක යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම ය. එවැනි යෝජනාවක් ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කළ හැකිය. 

# දෙවැනි අවස්ථාව නම්, පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන්වීමට ඉතිරිව පවතින මාස හයක කාලය ඇතුලත දී පමණක් ජනාධිපතිවරයාගේ අභිමතය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය. 

# තුන්වැනි අවස්ථාව නම් පාර්ලිමේන්තුවේ වසර පහක නිල කාලය අවසන්වීමේ අවසන්වීම ය. කාලය අවසන්වීමත් සමගම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය සේ සැළකෙන්නේය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) ව්‍යවස්ථාව දක්වන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවයි. එසේම එවැනි ප්‍රකාශනයක (අ) ඊලග පාර්ලිමේන්තුව සදහා මහා මැතිවරණය පවත්වන දිනය හෝ දිනයන් සහ (ආ) විසුරුවා හැරීමේ ප්‍රකාශනය නිකුත් කළ දිනයේ සිට මාස තුනක කාලයක් නොඉක්මවන දිනයක නව පාර්ලිමේන්තුව කැදවිය යුතු දිනය නියම කර තිබිය යුතුය. 

ඒ ආකාරයෙන්ම, පාර්ලිමේන්තුවේ පූර්ණ නිල කාලය අවසන්විමත් සමග පාර්ලිමේන්තුව විසිර ගිය අවස්ථාවක ජනාධිපතිවරයා වහාම (අ)  ඊලග පාර්ලිමේන්තුව සදහා මහා මැතිවරණය පවත්වන දිනය හෝ දිනයන් සහ (ආ) විසිර ගිය දිනයේ සිට මාස තුනක කාලයක් නොඉක්මවන දිනයක නව පාර්ලිමේන්තුව කැදවිය යුතු දිනය නියම කර ප්‍රකාශයට පත් කළ යුතුය.

ඒ අනුව, මහා මැතිවරණයක් පැවැත්වීමේ දිනය හෝ දිනයන් නියම කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය, නැත්නම් ජනාධිපතිවරයාට පමණ ය.  ජනාධිපතිවරයා සතු එම බලය අන් කිසිවෙකු විසින් හෝ අන් කවර ආයතනයක් විසින් හෝ භාවිතා කළ නොහැකිය. 


''මහා මැතිවරණයක් පැවැත්වීමේ දිනය හෝ දිනයන් නියම කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය, නැත්නම් ජනාධිපතිවරයාට පමණ ය.  ජනාධිපතිවරයා සතු එම බලය අන් කිසිවෙකු විසින් හෝ අන් කවර ආයතනයක් විසින් හෝ භාවිතා කළ නොහැකිය. ''

ජනාධිපතිවරයාගේ එම බලය වෙනත් කිසිවෙකුට හෝ ආයතනයක් වෙත හෝ පවරාදීමට ජනාධිපතිවරයාට බලයක් ද නැත. ඒ ආකාරයටම පැහැදිලි වන කරුණ නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් හෝ විසිර ගිය පසුව නව පාර්ලිමේන්තුව එසේ විසුරුවා හරින ලද දිනයේ සිට හෝ විසිර ගිය දිනයේ සිට මාස තුනක් නොඉක්මවන කාලය තුළ නියම කරන ලද කිසියම් දිනයක ජනාධිපතිවරයා විසින් කැදවිය යුතුය. 

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉතා පැහැදිලි ලෙසම දක්වන්නේ පාර්ලිමේන්තුවක් නොමැතිව රට පාලනය කළ හැකි උපරිම කාලය මාස තුනක් පමණක් ම වන බව යි.


''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉතා පැහැදිලි ලෙසම දක්වන්නේ පාර්ලිමේන්තුවක් නොමැතිව රට පාලනය කළ හැකි උපරිම කාලය මාස තුනක් පමණක් ම වන බව යි.''

මැතිවරණ කොමිෂන් සභාව:

Election Commission 2020.04.21                                    වත්මන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනා 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇති අතර එය සභාපතිවරයකු සහ තවත් සාමාජිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත ය. මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් වන අතර එහි පරමාර්ථය වන්නේ “නිදහස් සහ සාධාරන මැතිවරණ පැවැත්වීම” ය. එහි වගකීම වන්නේ “මැතිවරණ පැවැත්වීමට අදාල සියළු නීතීන් බලාත්මක කරවීම” ය. 

පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට අදාල ව බලාත්මකව පවතින නීතිය වන්නේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත ය. එම පනත මගින්, ඡන්දදායකයන් ලියා පදිංචි කිරීම, ඡන්දාපේක්ෂකයන්ගේ නාම යෝජනා භාර ගැනීම, මහා මැතිවරණයට අදාල තේරීම්භාර නිලධාරීන් පත් කිරීම සහ අනිකුත් කාර්ය මණ්ඩල පත් කිරීම, දේශපාලන පක්ෂ පිළිගැනීම සහ ඡන්ද සලකුණු ලබාදීම යනාදී කාරණාවන්ට අදාල නීතිමය ප්‍රතිපාදන පනවා ඇත.

2020 මාර්තු 02 වැනි දින නිකුත් කරන ලද ප්‍රකාශනය:

2020 මාර්තු 02 වැනි දින ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) ව්‍යවස්ථාව යටතේ තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, පවතින පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන්විමට මාස හයක කාලයක් ඉතිරිව තිබිය දී, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශනයක් නිකුත් කරන ලදී.  

එම ප්‍රකාශනය මගින්ම මහා මැතිවරණය පැවැත්වීමේ දිනය අප්‍රේල් මස 25 වැනි දිනය ලෙසත්, නව පාර්ලිමේන්තුව කැදවීමේ දිනය මැයි මස 14 වැනි දිනය ලෙසත් නියම කර තිබුණි. 

අර්ථ නිරූපන ආඥා පනතට අනුව, ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ප්‍රකාශනයක් සංශෝධනය කිරීමට, වෙනස් කිරීමට, අහෝසි කිරීමට හෝ අවලංගු කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත.

 ඒ අනුව, විසුරුවා හැරීමට අදාල ප්‍රකාශනයේ දින සිට මාස තුනක කාල සීමාව ඇතුලත සිදු කළ යුතුය යන සීමාවට යටත්ව තමා විසින් ප්‍රකාශනයක් මගින් නියම කරන ලද මහා මැතිවරණය පැවැත්වීමේ දිනය සහ නව පාර්ලිමේන්තුව රැස්වීමේ දිනය යන දින දෙකම හෝ ඉන් එක් දිනයක් හෝ ජනාධිපතිවරයා විසින්ම පසුව නිකුත් කරන ලද ප්‍රකාශනයක් මගින් කවර අවස්ථාවක හෝ වෙනස් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත (ජුනි 02 දිනයට පෙර වූ දිනයන්).  

නමුත් ජනාධිපතිවරයා මේ දක්වා එවැනි ප්‍රකාශනයක් නිකුත් කිරීමට කටයුතු කර නැත. Gotabaya text05

මහා මැතිවරණය සදහා වන නව දිනය : 
''එසේ කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණ ය. ''


මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහා මැතිවරණය සදහා නව දිනයක් නියම කිරීම සදහා පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තිය යටතේ කටයුතු කරන බව පෙන්වා දෙමින්  නව මැතිවරණ දිනය ලෙස 2020 ජුනි මස 20 වැනි දිනය නියම කර ඇත. 

ඒම නියම කිරීම, මහා මැතිවරණය සදහා ජනාධිපතිවරයාට දිනයක් නියම කිරීම පිණිස වූ බලය යටතේ නියම කරන ලද දිනය අභිබවනය කිරීමකි. කොමිෂන් සභාව විසින් එසේ දින නියම කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයට ඇති බලතල තමන් වෙත පවරා ගැනීමත් සිදු කර ඇතිවා පමණක් නොව ඇත්ත වශයෙන්ම 70(5) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ප්‍රකාශනය සංශෝධනය හෝ වෙනස් කිරීම හෝ සිදු කර ඇත. නමුත් එසේ කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණ ය. 

එම බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ කොමිෂන් සභාව වෙත හෝ අන් යම් තැනැත්තෙකු වෙත පවරා දී නැත.
 
මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කර ඇති බව කියන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තිය සදහන් කරන්නේ හදිසි හෝ අනපේක්ෂිත නැත්නම් පූර්වේක්ෂනය කළ නොහැකි වූ කිසියම් තත්වයක් හේතුවෙන් කිසියම් වූ හෝ මැතිවරණ දිස්ත්‍රික්කයක නිශ්චිත දිනයේ දී මැතිවරණය පැවැත්වීමට නොහැකි වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියෝගයක් මගින් එවැනි දිස්ත්‍රික්කයක මැතිවරණය පැවැත්වීම සදහා වෙනත් දිනයක් නියම කළ හැකිය. 

මැතිවරණ පනතේ මෙම කොටසින් අදහස් කරන්නේ, ජනාධිපතිවරයා විසින් නියම කරන ලද මහා මැතිවරණ දිනය කරා ලගා වෙත්ම, දැඩි වර්ෂාව, දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්තව පැතිරෙන ගංවතුර වැනි හදිසි සහ අනපේක්ෂිත සිදුවිම් හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ මැතිවරණය පැවැත්වීම ප්‍රායෝගික නොවන බව පෙනී යන තත්වයක් ය. 

එවැනි අවස්ථාවක දී කොමිෂන් සභාවට වෙනත් දිනයක් එම දිස්ත්‍රික්කයේ මැතිවරණය පැවැත්වීම සදහා නියම කළ හැකිය. මෙය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දී ඇති ඉතා සීමිත බලයකි. 

එම බලය අදාල කර ගත හැක්කේ එම පීඩාවට පත්ව ඇති දිස්ත්‍රික්කය සදහා පමණි. මෙම බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) වගන්තියෙන් ජනාධිපතිවරයාට ලබා දී ඇති බලය අභිබවනය කිරීම සදහා යොදා ගත නොහැකිය.
 
මැතිවරණ කොමිෂන් සභාව වෙත ප්‍රශ්න පහක්!

මෙරටේ පුරවැසියකු වශයෙන් ද, සහ ලියා පදිංචි ඡන්දදායකයකු වශයෙන් ද මතු දැක්වෙන ප්‍රශ්න මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර පිළිතුරු ලබා ගැනීම යෝග්‍ය යැයි මම සිතමි:

1. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව ජනාධිපතිවරයා විසින් මාර්තු 02 වැනි දින ප්‍රකාශනයක් නිකුත් කිරිමට දින හතරකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා වෛරසය ජාත්‍යන්තර වශයෙන් සැළකිලිමත් විය යුතු හදිසි මහජන සෞඛ්‍යමය තත්වයක් බව නිවේදනය කර තිබුණි.  මාර්තු 16 වැනි දින, කොමිෂන් සභාව නාම යෝජනා භාර ගැනීම ආරම්භ කරන අවස්ථාවට දින පහකට පෙර, කොවිඩ්-19 වෛරසය නව ගෝලීය වසංගතයක් ලෙස සළකන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. කොමිෂන් සභාව මෙම නිවේදන දෙකම මැතිවරණය පැවැත්වීම කෙරෙහී බලපාන අනපේක්ෂිත තත්වයක් ලෙස නොසැලකූ බව පෙනෙන්නට ඇති බැවින් පාර්ලිමේන්තු පනතේ 24(3) වගන්තිය ප්‍රකාරව කටයුතු කිරීමට කොමිෂන් සභාවට පසුව හේතු වූ හේතු වූ අනපේක්ෂිත තත්වයන් මොනවාද?
 
2. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව හදිසි තත්වයක් උද්ගතව ඇති බව සහ ඒ යටතේ පාර්ලිමේන්තුව කලින් වූ දිනයක රැස්කිරීම අවශ්‍ය බවට ජනාධිපතිවරයා සෑහීමට පත් වන්නේ නම් විසුරුවා හරිනු ලැබ ඇති පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) යටතේ නිකුත් කරනු ලබන ප්‍රකාශනයක් මගින් නැවත කැදවිය හැකි බවත්, එසේ කැදවන ලද පාර්ලිමේන්තුව හදිසි තත්වය අවසන් වු වහාම හෝ මහා මැතිවරණය අවසන් වූ වහාම විසිර ගිය සේ සැළකෙන බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුවත්ව සිටින බවට සැකයක් නැත. එසේම එවැනි හදිසි තත්වයක් උද්ගතව ඇති බව ජනාධිපතිවරයා විසින් සළකා නැති හෙයින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) ව්‍යවස්ථාව යටතේ ක්‍රියා කර නැති බව පෙනී යයි.  එසේ නම්, තමන්ට මහා මැතිවරණ පනතේ 24(3) යටතේ ක්‍රියා කිරීමට තමන් ට හැකි බව කොමිෂන් සභාවට විශ්වාස කිරීමට හේතු වූ හදිසි තත්වය කුමක්ද?
 
3. කිසියම් වූ මැතිවරණ දිස්ත්‍රික්කයක හදිසි තත්වයක් හෝ අනපේක්ෂිත තත්වයන් හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ මැතිවරණය පැවැත්වීම කල් දැමීමට සාමාන්‍ය නීතියක් මගින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දී ඇති බලය මහා මැතිවරණයක දින නියම කිරීම දක්වා පුළුල් කර ගැනීමට සහ එමගින් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති බලයක් අත්පත් කර ගැනීමට තමන්ට හැකියාව ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව දැඩි විශ්වාසයකින් පසුවේද?
 
4. මැතිවරණ දිනය ජුනි 20 වශයෙන් නියම කරන ලද පසුව නව පාර්ලිමේන්තුව රැස්විය යුතු දිනය ලෙස මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරනු ලබන දිනය කුමක්ද? එවැනි දිනයක් නියම කරන්නේ නම් ඒ කවර බලයක් යටතේද? ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ප්‍රකාශනයක් මගින් නව පාර්ලිමේන්තුව රැස් වන දිනය මැයි මස 14 වශයෙන් නියම කර ඇති බවත්, ඒ වෙනුවට වෙනත් දිනයක් නියම කරන්නේ නම් ජනාධිපතිවරයා විසින් එසේ නියම කළ යුතු දිනය ජුනි 02 දිනට ප්‍රථම වූ දිනයක් විය යුතු ය යන්නත් පිළිබදව මැතිවරණ කොමිෂන් සභාව අවබෝධයෙන් සිටින බවට සැකයක් නැත.
 
5. ජනාධිපතිවරයා විසින් මාර්තු මස 02 වැනි දින නිකුත් කරන ලද ප්‍රකාශනය එම දිනයේ සිට මාස තුනක කාලයක් ඉකුත් වීමත් එම ප්‍රකාශයේන වලංගු කාලය අවසන් වන බව කොමිෂන් සභාව නොදන්නේද? මාස තුනක කාලය අවසන්වීමත් සමග එම අවසන් වන දිනයෙන් ඔබ්බට එම ප්‍රකාශනය බලරහිත ය.  පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නොමැත්තේ නම්, සහ ජුනි 02 දිනය වන විට පාර්ලිමේන්තුව රැස් වී නොමැති නම් එහි ක්ෂණික ප්‍රතිපලය වන්නේ මාර්තු 02 වැනි දින නිකුත් කරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශනය බලරහිත සහ අක්‍රීය බවට පත්වීම ය. එය එසේ වීමට විශේෂ හේතුවක් වන්නේ 2015 දී පත් වූ පාර්ලිමේන්තුවේ නිල කාලය සැප්තැම්බර් 01 දින දක්වා පවතින හෙයිනි. එහෙයින්. පාර්ලිමේන්තුව ජුනි 20 දක්වා බලාත්මකව පවතින්නේ නම්, කොමිෂන් සභාව විසින් මහා මැතිවරණයක් පවත්වන්නේ කෙසේද? නව පාර්ලිමේන්තුවක් තෝරා ගැනීමට පෙර පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය.
 
නිගමන:

Nahal j text0501- ජනාධිපතිවරයා විසින් මාර්තු 02 වැනි දින නිකුත් කරන ලද ප්‍රකාශනයට අනුකූලව සිදු වූ එකම ක්‍රියාව නම් මැතිවරණ දිස්ත්‍රික්ක 22 සදහා මැතිවරණ කොමිෂම විසින් නාම යෝජනා පත්‍ර භාර ගැනීම පමණි.  පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ වල කැමැත්ත වන්නේ එසේ භාර දෙන ලද නාම යෝජනා පත්‍ර එසේම තබා ගැනීම නම් සහ මෙම වසරේ මහා මැතිවරණය පවත්වනු ලබන කවර අවස්ථාවක හෝ නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය නැවත සිදු කිරීම තමන්ට අවශ්‍ය නොවන්නේ නම් පාර්ලිමේන්තු මැතිවරණ පනත සදහා ඉදිරිපත් කරනු ලබන සරළ සංශෝධනයකින් එම අරමුණ ඉටු කර ගත හැකිය.
 
02 - ගෝලීය වසංගත තත්වයට තුළ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සදහාම ඡන්ද කටයුතු මෙහෙයවීම ප්‍රඥා ගෝචර නැත. 

03 - එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම කැදවමින් ද, පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ලඝු ලේඛකයන්, හැන්සාඩ් වාර්තාකරුවන්, සහාය කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක නිලධාරීන් ද කැදවිමට සිදුවන තත්වයක් තුළ සමාජ දුරස්ථකරණය ද ප්‍රායෝගික වශයෙන් සාර්ථක නොවන්නේය. 

මෙහිදී එක්සත් රාජධානිය මේ සම්බන්ධයෙන් යොදා ගෙන ඇති විධිවිධානය නම් විවිධ පක්ෂ නියෝජනය කරමින් සුළු මහජන නියෝජිතයන් සංඛ්‍යාවක් පමණක් පාර්ලිමේන්තුවට ඇතුළුවීම සහ අනිකුත් මන්ත්‍රීවරුන් වීඩියෝ කොන්ෆරන්සින් ක්‍රමය මගින් පාර්ලිමේන්තු කටයුතු සදහා සහභාගී වීමට අවස්ථාව සැළසීම ය. මෙම විකල්පය අප ද සළකා බැලීම සුදුසු ය. 

04 - කෙසේ වූවත්, අද රටේ පවතින තත්වය සැළකිල්ලට ගන්නා විට වඩාත් යෝග්‍ය වන්නේ අත්‍යාවශ්‍ය කාර්යයන් සපුරාලිමෙන් පසුව පාර්ලිමේන්තුව ඉදිරි මාස දෙකක පමණ කාලයක් දක්වා වාරාවසාන කිරීම ය.
 
(ආචාර්ය නිහාල් ජයවික්‍රම විසින් රචනා කරන ලද ලිපියේ පරිවර්තනය නිතිඥ ධනංජය තිලකරත්න විසිනි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්