ජාත්‍යන්තර දේශපාලනයේ වත්මන් අවධිය හැඳින්විය හැක්කේ අවිනිශ්චිතතාවයේ, බල තරඟයේ සහ ව්‍යූහාත්මක පරිවර්තනයක යුගයක් ලෙසය.
යුක්රේන යුද්ධය දිග්ගැස්සීම, ගාසා අර්බුදය හරහා ගෝලීය දේශපාලන ආතතීන් උත්සන්න වීම, ඇමරිකා-චීන තරඟය ඉන්දු-පැසිෆික් කලාපය පුරා පැතිරීම, ආර්ථික ජාතිකවාදය යළි මතුවීම සහ බලශක්ති-තාක්ෂණික ආරක්ෂාව පිළිබඳ නව තරඟය හේතුවෙන් ජාත්‍යන්තර පද්ධතිය ඉතා සංකීර්ණ වී ඇත. මෙවැනි පසුබිමක කුඩා රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ විදේශ සබඳතා කළමනාකරණය කිරීම පිළිබඳ සරල අභියෝගයකට නොව, ජාත්‍යන්තර පද්ධතිය තුළ තම ස්ථානය නැවත අර්ථකථනය කිරීම පිළිබඳ ව්‍යූහාත්මක අභියෝගයකටය.
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්ව ඇත්තේ ගෝලීයව එවැනි සංකීර්ණ දේශපාලන බල සබඳතා පරිසරයකය. එහි විදේශ ප්‍රතිපත්තිය විග්‍රහ කිරීමේදී කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එය තනි නායකයකුගේ මනෝමූලික ප්‍රක්ෂේපණයක් නොව, විවිධ ආයතනික සහ දේශපාලන භූමිකාවන් තුළින් ක්‍රියාත්මක වන සංකීර්ණ ව්‍යාපෘතියක් වීමය. ජනාධිපති අනුර කුමාර දිසානායක, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යන තිදෙනාගේ මැදිහත්වීම් එකට ගත් විට, ශ්‍රී ලංකාව සඳහා සාමකාමී, සමබර සහ ප්‍රජාතන්ත්‍රවාදී විදේශ ප්‍රතිපත්තියක “ත්‍රිමූර්තියක්” සෙමින් ගොඩනැගෙමින් පවතින බව පෙනේ.

මෙම ත්‍රිත්වයේ පළමු පුරුක වන ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝජනය කරන්නේ ව්‍යූහාත්මක යථාර්ථවාදයයි. කුඩා රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බල ව්‍යුහයන් නොසලකා කටයුතු කළ නොහැකි බව ඔහුගේ ප්‍රවේශයෙන් පැහැදිලි වේ. බලයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු විදේශ සංචාරය ඉන්දියාවට යොමු වීම දකුණු ආසියානු බල දේශපාලනයේ පවතින ප්‍රායෝගික යථාව පිළිගැනීමක් විය. ඉන්දියාව කලාපීය ප්‍රධාන බලවතා ලෙස පිළිගනිමින්, බලශක්ති සම්බන්ධතා, ආයෝජන, ඩිජිටල් ආර්ථික සහ සමුද්‍රීය සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාම ඒ තුළ කැපී පෙනේ. එහෙත් එම දිශානතිය චීනයෙන් ඈත්වීමක් නොවීය. චීනය සමඟ වරාය, යටිතල පහසුකම්, ආයෝජන සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සංවාද අඛණ්ඩව පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාව එක් බල කඳවුරකට සීමා නොවන බව පෙනේ. මෙම බලවතුන් සමඟ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය ස්ථාවරතාව පිළිබඳ සම්බන්ධතා පවත්වාගෙන යාම ද මෙම බහුදිශාත්මක ප්‍රවේශයේ කොටසකි.
මෙම ත්‍රිමූර්තියේ දෙවන නියෝජිතයා විදේශ අමාත්‍ය විජිත හේරත්ය. ඔහුගේ භූමිකාව මෙම උපායමාර්ගික දිශානතිය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියට පරිවර්තනය කිරීමයි. ඉන්දියාව, චීනය, ජපානය, ඇමරිකාව, යුරෝපානු සංගමය සහ රුසියාව සමඟ සබඳතා පවත්වාගෙන යාමේදී පෙනී යන්නේ ගැටුම්කාරී භාෂාවකට වඩා සංවාදය සහ ප්‍රායෝගික සහයෝගීතාව මත පදනම් වූ ප්‍රවේශයකි. ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආයෝජන ආකර්ෂණය සහ සංවර්ධන සහයෝගීතාවය යන ක්ෂේත්‍රවලදී මෙම රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය විශේෂයෙන් දෘශ්‍යමාන වේ. එය අතීතයේ දක්නට ලැබුණු දැඩි මතවාදී විදේශ ප්‍රතිපත්ති රටාවන්ට සාපේක්ෂව වෙනස් දිශාවකි.
විදේශ සබඳතා ක්‍රියාත්මක තලයේදී එකතුවන තෙවන නියෝජනය වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙම විදේශ ප්‍රතිපත්තියට වෙනස් නමුත් අතිශය වැදගත් මානයක් එක් කරයි. ඇය ජාත්‍යන්තරය හමුවේ පලකරන අදහස් සහ මැදිහත්වීම් තුළ බල දේශපාලනයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය, අධ්‍යාපනය, කාන්තා සහභාගීත්වය, තරුණ ප්‍රජාව, සමාජ සාධාරණත්වය සහ ආයතනික ප්‍රතිසංස්කරණ වැනි තේමා ප්‍රමුඛ වේ. එමඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කරන්නේ ණය සහ ආධාර පසුපස යන රාජ්‍යයක ප්‍රතිරූපයක් නොව, ප්‍රතිසංස්කරණ සහ වගවිය හැකි accountability පාලනයක් සඳහා කැපවූ රාජ්‍යයක ප්‍රතිරූපයකි.
කෙසේ වෙතත්, මෙම ත්‍රිමූර්තියේ ක්‍රියාකාරිත්වය විග්‍රහ කිරීමේදී එය සාර්ථකත්වය පිළිබඳ කතාවක් ලෙස සරලව ප්‍රකාශ කිරීම ඉක්මන් නිගමනයක් විය හැකිය. සැබවින්ම පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ අතීතයට සාපේක්ෂව වැඩි සමබරතාවයක් සහ සංවාදශීලීභාවයක් ඇති කිරීමට උත්සාහයක් ගනිමින් පවතින බවය. එහෙත් එම උත්සාහය තවමත් පරීක්ෂාවට ලක්වෙමින් පවතින ව්‍යාපෘතියකි.

ඉන්දියාව සමඟ බලශක්ති සම්බන්ධතා energy connectivity ව්‍යාපෘති, චීනය සමඟ යටිතල පහසුකම් සහ ආයෝජන සබඳතා, ඇමරිකාව සහ බටහිර මූල්‍ය ආයතන සමඟ IMF-කේන්ද්‍රීය ආර්ථික සම්බන්ධතා සහ ඉන්දු-පැසිෆික් කලාපයේ උත්සන්න වන බල තරඟය හමුවේ මෙම සමබරතාවය පවත්වාගෙන යාම සරල කාර්යයක් නොවේ. විශේෂයෙන් ඉන්දියාව සහ චීනය අතර තරඟය තවදුරටත් උත්සන්න වුවහොත්, 'සියලු දෙනා සමඟ මිත්‍රත්වය' පවත්වාගෙන යාම පිළිබඳව ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව පවත්වාගෙන යා හැකිද යන්න විවෘත ප්‍රශ්නයකි.
කෙසේ වෙතත්, මෙම විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අප විසින් අවධානය යොමු කළ යුත්තේ රාජ්‍යයේ නිල නායකත්වය පිළිබඳ පමණක් නොවේ. ජාතික ජන බලවේගය යනු සාම්ප්‍රදායික අර්ථයෙන් පුද්ගල කේන්ද්‍රීය දේශපාලන ව්‍යාපෘතියක් නොව, ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් පුළුල් දේශපාලන සන්ධානයකි. එබැවින් එහි විදේශ ප්‍රතිපත්තිය අවබෝධ කර ගැනීමේදී ආණ්ඩුවේ නිල ප්‍රකාශයන්ට අමතරව, එහි මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සංස්කෘතිය සහ සංවිධානමය බලපෑමද සැලකිල්ලට ගත යුතුය.
මෙහිදී විශේෂ අවධානයට ලක්වන්නේ ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා ය. දශක ගණනාවක් තිස්සේ පක්ෂයේ සංවිධාන නායකත්වය දැරූ ඔහු, ජවිපෙහි මතවාදී අඛණ්ඩතාව නියෝජනය කරන ප්‍රධාන චරිතයකි. මාක්ස්-ලෙනින්වාදී සම්ප්‍රදායකින් පැමිණෙන මෙම දේශපාලන බලවේගය ඓතිහාසික වශයෙන් අධිරාජ්‍යවාදය, නව යටත්විජිතවාදය සහ ගෝලීය ධනවාදී ව්‍යුහයන් පිළිබඳ සැකසහිත සහ විවේචනාත්මක ස්ථාවරයක් දරා ඇත. එහෙත් ජාජබය බලයට පත්වීමට පෙර වසර කිහිපය තුළ මෙන්ම බලයට පත්වීමෙන් පසුවද ජවිපෙ නායකත්වය විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන්, ජාත්‍යන්තර සංවිධාන සහ විදේශ ආයෝජක ප්‍රජාව සමඟ සංවාදයකට අවතීර්ණ වීම තුළින් වැදගත් පරිවර්තනයක් දක්නට ලැබුණි.

විශේෂයෙන්ම ඉන්දියාව, චීනය සහ බටහිර රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡා මෙන්ම ජවිපෙ නායකයන්ගේ විදේශ සංචාර මගින් ද පෙන්වා දෙන්නේ අතීතයේ විරෝධතා දේශපාලනය ක්‍රියාත්මක කළ පක්ෂයක් හා ව්‍යාපාරයක් ක්‍රමයෙන් පාලන වගකීම් භාරගත් දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය වෙමින් සිටින බවයි. මේ අර්ථයෙන් ටිල්වින් සිල්වාගේ භූමිකාව නිල විදේශ ප්‍රතිපත්ති තීරණ ගැනීම තුළ නොපෙනුනද, පක්ෂය තුළ ජාත්‍යන්තර පද්ධතිය පිළිබඳ අවබෝධය හැඩගැස්වීමේ අභ්‍යන්තර බලපෑමක් ලෙස සැලකිය හැකිය.
එහෙත් මෙහිදී වැදගත් ප්‍රශ්නයක් මතුවේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ව්‍යූහාත්මක යථාර්ථවාදය, විජිත හේරත්ගේ ප්‍රායෝගික රාජ්‍යතාන්ත්‍රිකත්වය සහ හරිනි අමරසූරියගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඛ්‍යානය අතර ඇති සමබරතාවය, ජවිපෙහි ඓතිහාසික වාමාංශික සංවේදීතාවන් සමඟ දිගුකාලීනව ගැළපෙන්නේ කෙසේද යන්න තවමත් විවෘත ප්‍රශ්නයකි. පක්ෂයක් ලෙස ජවිපෙහි මතවාදී උරුමය සහ ආණ්ඩුවක් ලෙස ජාජබයට මුහුණ දීමට සිදුවන භූදේශපාලනික යථාර්ථයන් අතර යම් ආතතියක් ඇති වීම ස්වාභාවිකය.
එහෙත් මේ දක්වා පෙනී යන්නේ ජවිපෙ නායකත්වය ද සීතල යුද යුගයේ පැවති ද්විධ්‍රැවීය ලෝක දැක්මෙන් යම් දුරකට ඉවත්ව, කුඩා රාජ්‍යයක ප්‍රායෝගික අවශ්‍යතා මත පදනම් වූ විදේශ ප්‍රතිපත්තියක් පිළිගැනීමේ දිශාවකට ගමන් කරමින් සිටින බවයි. එබැවින් වත්මන් විදේශ ප්‍රතිපත්තිය අවබෝධ කර ගැනීමේදී අනුර-විජිත-හරිනි ත්‍රිමූර්තියට අමතරව, එම ත්‍රිමූර්තියට පසුබිම් දේශපාලන බලය සපයන ජනතා විමුක්ති පෙරමුණේ සංවිධානමය බලපෑමද සැලකිල්ලට ගත යුතුය.
මෙම පසුබිමට සමාන්තරව, ශ්‍රී ලංකාවේ දේශපාලන සංවාදය තුළ වත්මන් විදේශ ප්‍රතිපත්තියට පටහැනි ජාතිකවාදී ආඛ්‍යාන දෙකක් දක්නට ලැබේ. එක් පසෙකින් ජාතිකවාදී දක්ෂිණාංශය බටහිර ලිබරල් සාරධර්ම, මානව හිමිකම් සංවාද සහ ජාත්‍යන්තර ආයතන ආදිය රාජ්‍යයේ ස්වෛරීත්වයට තර්ජනයක් ලෙස දකියි. අනෙක් පසෙකින් ජාතිකවාදී වාමාංශයේ ඇතැම් කොටස් තවමත් ලෝක දේශපාලනය සීතල යුද යුගයේ බටහිර-විරෝධී රාමුව තුළ අර්ථකථනය කරමින්, ශ්‍රී ලංකාව ද සිය ප්‍රතිපත්තිය නැගී එන බලවේග (උදා- BRICS) මත පදනම්ව සැකසිය යුතු බවට තර්ක කරයි.
එහෙත් මෙම ආඛ්‍යානය තුළ සංකල්පීය සීමාවන් පවතී. BRICS යනු ඒකාබද්ධ භූදේශපාලනික හෝ ආරක්ෂක කඳවුරක් නොව, එකිනෙකට වෙනස් උපායමාර්ගික අවශ්‍යතා ඇති රටවල් සමූහයකි. උදාහරණයක් ලෙස ඉන්දියාව සහ චීනය අතර බරපතළ භූමිය හා බලය පිළිබඳ තරඟයක් පවතින අතර, රුසියාව සහ බ්‍රසීලය අතර පවතින දේශපාලන-ආර්ථික ප්‍රමුඛතා සැලකිය යුතු ලෙස වෙනස් වේ. එබැවින් BRICS යනු බටහිර ලෝකයට සරල විකල්ප 'කඳවුරක්' ලෙස දැකීම දේශපාලනික සරලීකරණයකි.

ඊට අමතරව, වර්තමාන ගෝලීය ආර්ථික පද්ධතිය තුළ ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයකට 'බටහිරට එරෙහිව' හෝ 'නැගෙනහිරට පක්ෂව' ආදී ලෙස යන ද්විත්ව ප්‍රතිපාර්ශවීය binary opposition තේරීමක් ප්‍රායෝගික නොවේ. අපනයන වෙළඳපොළ, විදේශ ආයෝජන, ණය ප්‍රතිව්‍යුහගතකරණය, සංචාරක ආදායම සහ විදේශ රැකියා යන සියල්ල විවිධ බල මධ්‍යස්ථාන සමඟ ගැඹුරින් බැඳී ඇත. එවැනි පසුබිමක එක් කඳවුරකට අධික ලෙස නැඹුරු වීම උපායමාර්ගික අවකාශය සීමා කිරීමක් විය හැකිය.
මේ අනුව, වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ සමස්ත විග්‍රහයකදී එය දැඩි ප්‍රශංසාවකට ලක්කිරීම හෝ නාස්ථිකව විවේචනය කිරීම වෙනුවට, එම ප්‍රතිපත්තිය ඵපරීක්ෂාවට ලක්වෙමින් පවතින උපායමාර්ගික ව්‍යාපෘතියක් ලෙස තේරුම් ගත යුතුය. අනුර කුමාර දිසානායකගේ උපායමාර්ගික යථාර්ථවාදය, විජිත හේරත්ගේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රායෝගිකත්වය සහ හරිනි අමරසූරියගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඛ්‍යානය අතර යම් අභ්‍යන්තර අනුකූලතාවක් පෙනී යන නමුත්, එය තවමත් සම්පූර්ණ විදේශ ප්‍රතිපත්ති මූලධර්මයක් ලෙස ස්ථාපිත වී නැත.
වත්මන් විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශය වනාහි අතීතයේ දක්නට ලැබුණු ආකාරයේ ජාතිකවාදී සතුරුකම් හෝ එක් බල කඳවුරක් මත අධිකව යැපීම ආදියෙන් වෙනස්ව, කුඩා රාජ්‍යයක ව්‍යූහාත්මක සීමාවන් පිළිගනිමින් බහුදිශාත්මක සහ සංවාදශීලී විදේශ ප්‍රතිපත්තියක් ගොඩනැගීමට උත්සාහ කිරීමකි. එහි අවසාන සාර්ථකත්වය තීරණය වන්නේ දේශපාලන අභිලාෂයන්ට වඩා ගෝලීය බල ව්‍යුහයන් සමඟ ගනුදෙනු කිරීමේ ප්‍රායෝගික හැකියාව මතය.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)







