“බුදු දහම රටකට, භූමියකට, ජාතියකට, වර්ගයකට අයිතිවාසිකම් කිව හැකි දර්ශනයක් නොවේ. එය විශ්ව දර්ශනයකි. එය මනුෂ්‍ය වර්ගයාටත් එහා යන විශ්වය දාර්ශනිකව කියවීමකි.

එනිසා බුදුන්ගේ ධර්මයට අනුව, ‘සිංහල-බෞද්ධ’ යැයි රටක් තිබිය නොහැක. අනෙක දියුණු ලෝකයේ රටවල් ආගම් ලෙස හෝ භාෂාව අනුව නම් කෙරෙන්නේද නැත. බුදුන් වහන්සේ භික්ෂුව යැයි කීවේ තණ්හාව, රාගය සහ මෝහය පාලනය කර ගැනීමේ උත්සාහයක නිරත වන ගිහි දිවියෙන් ඉවත්වූ අයට ය. සංඝයා යැයි අප කියන්නේ අවම තරමින් එක් මාර්ග පලයක් හෝ ලබා ගත් භික්ෂුවකට ය. චීවරධාරීන් යැයි කියන්නේ ඒ කිසිවක් නොදන්නා, සිවුර බලයක් ලෙස යොදා ගෙන බුදු දහම විනාශ කරන වුන්ටය.”

පසුගිය 15 වන දින මංගල සමරවීර මාතර පොලීසියට කැඳවා තිබූයේ, මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ යැයි ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තිබූ පැමිණිලි දෙකකට ප්‍රකාශයක් ලබා ගැනීමටය. 

ඔහු පොලීසියට කළ දීර්ග ප්‍රකාශය ඉතාම කෙටියෙන් මෙහි සටහන් කළහොත් එය ඉහතින් දැක්වූ සම්පිණ්ඩය වැන්නකි.

 ඔහු පොලීසියට කළ එම ප්‍රකාශයෙන් කියා ඇත්තේ බුදු දහම රැක ගැනීම වෙනුවෙන් ඔහු චීවරධාරීන්ට එරෙහිව දිගටම කරුණු ඉදිරිපත් කරන බවය.

වීඩියෝ 


ඔහුගේ මේ අර්ථ දැක්වීම සමග මට කිසිදු ගැටළුවක්, වෙනස් මතයක් හෝ වාදයක් ඇත්තේ නැත. මේ සංවාදය ඉදිරියට ගෙන යාමේදී මංගලට සහාය වීමටද මම මැලි නොවෙමි. 

''ඔහුගේ මේ අර්ථ දැක්වීම සමග මට කිසිදු ගැටළුවක්, වෙනස් මතයක් හෝ වාදයක් ඇත්තේ නැත. මේ සංවාදය ඉදිරියට ගෙන යාමේදී මංගලට සහාය වීමටද මම මැලි නොවෙමි.'' 

“අතීත කතනය” Vs “ඉතිහාසය” :

එහෙත් මගේ සහාය මා තීන්දු කරන්නේ ප්‍රසිද්ධ දේශපාලන මැදිහත්වීමක් ලෙස නොවේ. 

මා එය තීන්දු කරන්නේ විද්වත් ශාස්ත්‍රීය කතිතාවන් සඳහාවන මණ්ඩපයන්හි තාර්කික දායකත්වයන් වෙනුවෙනි.

ඒ සඳහා මට හේතු දැක්වීමක් ඇත. 

මේ රටේ “සිංහල බෞද්ධ” ඉතිහාසය ගොඩ නගා ඇති “අතීත කතනය” එකකි. 

මේ රට ජනාවාසවීම හා එහි වාර්ගික ව්‍යාප්තියත් සංස්කෘතික වර්ධනය හා පරිනාමයත් කියවන “ඉතිහාසය” යනු තවකකි. 

මේ කතනයන් එකිනෙකට වෙනස් වේදිකාවල දිග හැර ගනු ලබන, එකිනෙකට වෙනස් අභ්‍යාසයන්ය.

“ඉතිහාසය” ලෙස දිග හැර ගන්නා ඓතිහාසික කතනය පාදක කරගනු ලබන්නේ පුරාවිද්‍යාත්මක සාධක, පැරණි ලිපි ලේඛන, ලෙන් සටහන් හා ශිලා ලේඛන, පැරණි සංචාරක සටහන් වැනි නිශ්චිතව උපුටා දැක්විය හැකි ඓතිහාසික සාක්ෂි සමූහයන් සමගින්ය. 

ඒවා ප්‍රශ්න කළ හැක. සනාථ කළ හැක. අනාථ කළ හැක. ඒවාට එළෙසින්ම අලුත් සොයා ගැනීම් සමගින් අලුත් අර්ථ දැක්වීම්ද ලබා දිය හැක. ඉතිහාසය කියවීම එබැවින් ශාස්ත්‍රාලීය අභ්‍යාසයකි.

“සිංහල බෞද්ධ” අතීත කතනය !

“සිංහල බෞද්ධ” අතීත කතනය මේ රටට ඇති “උරුමය” පිළිබඳව ගොඩ නගා ගන්නා “විශ්වාසය” පිළිබඳ කතාවකි. විශ්වාස” මත ඉදිරිපත් කරන අර්ථකතන හා නිගමන සංවාද වලට යටත් වන්නේ නැත.''

“සිංහල බෞද්ධ” අතීත කතනය එවැන්නක් නොවේ. එය මේ රටට ඇති “උරුමය” පිළිබඳව ගොඩ නගා ගන්නා “විශ්වාසය” පිළිබඳ කතාවකි. 

ඒ වෙනුවෙන් එකතු කරන්නා වූ තොරතුරු, ප්‍රබන්ධ, ජන කතා සහ ඒ මත නිර්මාණය කෙරෙන ඓතිහාසික අර්ථ කතන සමූහයන්ගේ කියමනකි.

“සිංහල බෞද්ධ” අතීත කතනය පිළිබඳව, සංවාද කළ නොහැක. 

“විශ්වාස” මත ඉදිරිපත් කරන අර්ථකතන හා නිගමන සංවාද වලට යටත් වන්නේ නැත. 

එවැනි සංවාද ඇණ හිටින්නේ “හොඳයි බුදුන් ලංකාවට වැඩියා කියන්න සාක්ෂි නැත්තං, වැඩියෙ නැහැයි කියන්න සාක්ෂි ඉදිරිපත් කරන්නකො” වැනි මහප්‍රාණ අභියෝග හමුවෙහිය. 

විශ්වාස පිළිබඳ වාද විවාද කෙළවර කළ නොහැක්කේ එබැවිනි. 

මා “සිංහල බෞද්ධ” අතීත කතනය සමග පැටලෙන්නට නොයන්නේ එනිසා ය.

මංගල අත ගසා ඇති කතිකාව වර්තමාන දේශපාලනයට වැදගත්ය. එහෙත් එය චීවරධාරීන් ඔවුන්ගේ දේශපාලනය සඳහා යොදා ගන්නා, විශ්වාසය මත පමණක්ම රඳවා ඇති තර්කයකට හසු නොවන “සිංහල බෞද්ධ” අතීත කතනයට එරෙහිව සමාජගත කළ නොහැකිය. 

''මංගල අත ගසා ඇති කතිකාව වර්තමාන දේශපාලනයට වැදගත්ය. එහෙත් එය චීවරධාරීන් ඔවුන්ගේ දේශපාලනය සඳහා යොදා ගන්නා, විශ්වාසය මත පමණක්ම රඳවා ඇති තර්කයකට හසු නොවන “සිංහල බෞද්ධ” අතීත කතනයට එරෙහිව සමාජගත කළ නොහැකිය. ''

ඒ කතිකාව පටන් ගන්නේ කෙසේද ?

සාමාන්‍ය ජන සමාජයේ ඇත්තේ “සිංහල බෞද්ධ” අතීත කතනය පිළිබඳ කතාව හෙයින්, මංගල උත්සාහ කරන විද්වත් ඓතිහාසික කතනය එලෙස ප්‍රසිද්ධ වේදිකාවේ දිග හැරගත නොහැක.

එසේ නම් මංගලගේ ඒ කතිකාව පටන් ගන්නේ කෙසේද යන්නට උත්තර තිබිය යුතුය. 

ඒ කතිකාව ආරම්භ කළ යුත්තේ මංගල කියන චීවරධාරීන් ඉලක්ක කරගෙන නොවේ. ඒ වෙනුවට චීවරධාරීන් ආමන්ත්‍රණය කරන බහුතර සිංහල-බෞද්ධ ග්‍රාමීය ජනතාව ඉලක්ක කරගෙන ය. 

''ඒ කතිකාව ආරම්භ කළ යුත්තේ මංගල කියන චීවරධාරීන් ඉලක්ක කරගෙන නොවේ. ඒ වෙනුවට චීවරධාරීන් ආමන්ත්‍රණය කරන බහුතර සිංහල-බෞද්ධ ග්‍රාමීය ජනතාව ඉලක්ක කරගෙන ය. ''

සිංහල-බෞද්ධ ග්‍රාමීය ජනතාවගෙන් ඇසිය යුත්තේ,

#  “මේ ගෞතම බුදුන්ගේ දේශය යැයි කියන ලංකාවේ, නිදහසින් පසු අවුරුදු 72 ක් කොළඹ ඒකීය සිංහල බෞද්ධ රාජ්‍ය ආරක්ෂා කරන්න කියා පරම්පරා 03 ක් ඡන්දය ලබා දී, වර්තමාන සිංහල-බෞද්ධ තරුණ තරුණියන්ට තමන්ගේ ආච්චිලා සීයලාට වඩා හොඳ, ඊට වඩා සාධාරණ, ඊට වඩා නම්බුකාර ජීවිතයක් ලැබී තිබේද?” යන්නය. 

# නිදහසින් පසු “අවුරු 72 ක් ආරක්ෂා කරගත් සිංහල-බෞද්ධ දේශයෙහි, බහුතර සිංහල-බෞද්ධ ග්‍රාමීය ජනතාවට ලැබී ඇති වාසි ප්‍රයෝජන මොනවාද?” යන්නය.


VesakFlowers 2572104k
 “සිංහල බෞද්ධ” අතීත කතනය පිළිබඳ කතාව අප අලුතින් සමාජය හමුවේ තැබිය යුත්තේ සිංහල-බෞද්ධ බහුතර ග්‍රාමීය ජනතාවගේ “සංවර්ධනය” පිළිබඳ කතාව ලෙසින්ය.

 “සිංහල බෞද්ධ” අතීත කතනය පිළිබඳ කතාව අප අලුතින් සමාජය හමුවේ තැබිය යුත්තේ සිංහල-බෞද්ධ බහුතර ග්‍රාමීය ජනතාවගේ “සංවර්ධනය” පිළිබඳ කතාව ලෙසින්ය.

 ගමේ තරුණන් දෙවරක්ම සිංහල-බෞද්ධ රාජ්‍යයට විරුද්ධව සන්නද්ධ කැරළි ගැසුවේ ඇයිදැයි ඇසීමෙනි. 

ගම අත හැර තරුණ තරුණියන් තොග පිටින් නගරවල රැකියා සොයමින් “ලොකු කට්ටක්” කන්නේ ඇයි දැයි ඇසීමෙනි. 

මසකට රුපියල් විසි දාහක්, විසිපන් දාහක් හොයන්න අපනයන නිෂ්පාදන කම්හල්වල වහල්කම් කරන්නේ මන්දැයි ඇසීමෙනි. 

ගල් ගසා මරන්නේ යැයි, ඇණ ගසන්නේ යැයි, ලිංගික අතවර හා ශාරීරික හිංසන කරන්නේ යැයි නොකඩවා වාර්තා වන මැද පෙරදිග මුස්ලිම් රටවල ඩොලර 150 ක ගෘහ සේවයට ගමේ මුස්ලිම් විරෝධයට හවුල් වන සිංහල-බෞද්ධයින් තම බිරිඳ, සොයුරිය, මව යවන්නේ මන්දැයි ඇසීමෙනි. 

මත්ද්‍රව්‍ය අලෙවියට, හොරාට කැලෑ කපන, වැලි ගොඩදාන කොන්තරාත්කරුවන්ට තුට්ටු දෙකේ දවසේ ආදායම් වෙනුවෙන් සිංහල-බෞද්ධයින් ලෙස හවුල් වන්නේ මන්දැයි ඇසීමෙනි.

 මේ “ගෞතම බුදුන්ගේ දේශය” නඩත්තු කළ යුත්තේ එවැනි දේ වෙනුවෙන් දැයි ඇසීමෙනි.

සිංහල-බෞද්ධ සමාජය සමග ඉදිරියට ගෙන යා යුත්තේ එවැනි සංවාදයකි. 

සිංහල-බෞද්ධ ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් නිදහස් ලංකාවේ මෙතෙක් ඉතිහාසයෙහි සිංහල-බෞද්ධ බහුතරයට ලැබුණු කිසිදු වැදගත් සංවර්ධනයක්, කිසිදු සමාජ ආර්ථික වාසියක් නැතැයි කීමෙනි. 

එය, “මේ සිංහල-බෞද්ධ රාජ්‍යයක් නොවේ” යැයි කීමට වඩා ජනතාවට සමීප කතාවකි. 

ජනතාවට තේරුම් ගැනීමට පහසු කතාවකි. 

එය ඔවුන්ගේ සිංහල-බෞද්ධ රාජ්‍ය ඔවුන් ලවා ප්‍රශ්න කිරීමට ලක් කෙරෙන්නකි. එය චීවරධාරීන්ට ඇතුලු වීමට අපහසු කතිකාවකි.
''එය ඔවුන්ගේ සිංහල-බෞද්ධ රාජ්‍ය ඔවුන් ලවා ප්‍රශ්න කිරීමට ලක් කෙරෙන්නකි. එය චීවරධාරීන්ට ඇතුලු වීමට අපහසු කතිකාවකි.''

එනිසා චීවරධාරීන් හා වාද කිරීමට වඩා, චීවරධාරීන් අතහැර දමා, සිංහල-බෞද්ධයින් සමග හදා ගන්නා සංවාදය වඩා වැදගත් වන්නකි. 

“මංගලගේ සූත්‍රය” විය යුත්තේ එය ය. 

අතීත උරුමයට ඇති අයිතිය සමග නතරව ඉන්නා සිංහල-බෞද්ධයා, වර්තමාන යතාර්ථයෙහි අවදි කරවීම ය.


Kusal Perera j(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2020 සැප්තැම්බර 17

subscribeYT

නවතම පුවත්