leader s

'මේ ආණ්ඩුවත් අනිත් ආණ්ඩු වගේමයි' යන ප්‍රකාශය අද මෙරට දේශපාලන සංවාදය තුළ අපට බහුලව ඇසෙන අදහසක් බව පෙනෙයි.

විශේෂයෙන්ම ඇතැම් වාමාංශික කණ්ඩායම් ඉදිරිපත් කරන තර්කය වන්නේ, රාජ්‍යය යනු ධනවාදී සමාජයක පංති බලය පවත්වාගෙන යන යන්ත්‍රණයක් බැවින්, එය පාලනය කරන දේශපාලන පක්ෂය කුමක් වුවද අවසානයේ එම ව්‍යුහයම පවත්වාගෙන යන බවයි. ඒ අනුව, ජාතික ජන බලවේග ආණ්ඩුව ද පෙර පැවති ආණ්ඩුවලින් මූලික වශයෙන් වෙනස් නොවන බවට ඔවුන් තර්ක කරයි.

මෙම තර්කය තුළ වැදගත් දේශපාලන සත්‍යයක් ඇත. කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණයෙන්ම හිස් අවකාශයකින් ආරම්භ නොවේ. සෑම ආණ්ඩුවක්ම පවතින්නේ පවතින ආර්ථික ව්‍යුහයන්, රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර බැඳීම් සහ සමාජ බල සම්බන්ධතා තුළය. එහෙත් එම සත්‍යය හරහා පමණක්ම දකිමින් සියලු ආණ්ඩු එකමය යන නිගමනයට පැමිණීම දේශපාලනයේ සංකීර්ණතාවය නොසලකා හැරීමකි.

මෙහිදී මෙම ගැටලුව ලිහාගැනීමට අපට විසංයෝජනය (deconstruction) පිළිබඳ සංකල්පය යොදාගත හැකිය. ජැක් ඩෙරිඩා පෙන්වා දුන්නේ, යම් ප්‍රකාශයක් ස්ථිර සත්‍යයක් ලෙස ඉදිරිපත් කළ විට එහි අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා විමසා බැලිය යුතු බවයි. 'වෙනසක් නැත' යන ප්‍රකාශයද එවැනි එකකි. එය පෙනෙන තරම් සරල නොවේ. 'සියලු ආණ්ඩු එකයි' යැයි පවසන විට, ඒවා එකම වන්නේ කුමන අර්ථයෙන්ද යන්න විමසිය යුතුය.

එකම රාජ්‍ය ව්‍යුහයක් තුළ පවතින ආණ්ඩු අතර දේශපාලනික වෙනස්කම් තිබිය හැකිය. 1977 ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව, 1994 චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව, 2005 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව, 2015 යහපාලන ආණ්ඩුව සහ 2024 ජාතික ජන බලවේග ආණ්ඩුව එකම රාජ්‍යය පාලනය කළද, ඒවායේ දේශපාලන භාෂාව, බලය භාවිත කිරීමේ ආකාරය, ආර්ථික ප්‍රමුඛතා සහ ජනතාව සමඟ ගොඩනගාගත් සම්බන්ධතාව එකිනෙකට වෙනස් විය.

ලෝක දේශපාලනයේද මෙවැනි උදාහරණ දැකිය හැකිය. එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් දෙදෙනාම එකම ව්‍යවස්ථාව සහිත එකම රාජ්‍යය පාලනය කළහ. එහෙත් සංක්‍රමණය, දේශගුණික ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍ය ආයතන පිළිබඳ ඔවුන්ගේ ප්‍රවේශයන් වෙනස් විය. එබැවින් එකම රාජ්‍යය පාලනය කිරීමෙන් පමණක් ආණ්ඩු එකම බවට පත් නොවේ.

ආණ්ඩුවක වෙනස මැනිය යුත්තේ එය පවත්වාගෙන යන දේශපාලන සංස්කෘතිය මගිනි. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ දිගු කලක් තිස්සේ දේශපාලන අනුග්‍රහ ජාල (patronage politics) ප්‍රබල විය. රාජ්‍ය රැකියා, පත්වීම්, සංවර්ධන ව්‍යාපෘති සහ රාජ්‍ය සම්පත් බෙදාහැරීම බොහෝ විට දේශපාලන සම්බන්ධතා සමඟ බැඳී තිබූ බවට විවේචන පැවතුණි. මේ තුළ පුරවැසියා රාජ්‍යයේ අයිතිකරුවෙකු ලෙස නොව, දේශපාලන බලවතුන්ගෙන් සේවා ලබාගන්නා අනුග්‍රහ ලබන්නෙකු ලෙස සැලකුණු බවට චෝදනා එල්ල විය.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ මූලික දේශපාලන පොරොන්දුවක් වූයේ මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමයි. රාජ්‍යය යනු පක්ෂයක හෝ පුද්ගල කණ්ඩායමක සම්පතක් නොව, ජනතාවට අයත් පොදු ආයතනයක් බවට පත් කිරීම එහි ප්‍රධාන අවධාරණයකි. දේශපාලන නායකයන්ගේ වරප්‍රසාද අවම කිරීම, රාජ්‍ය වියදම් පාලනය, මහජන මුදල් භාවිතයේ විනිවිදභාවය සහ සරල දේශපාලන ප්‍රතිරූපයක් ගොඩනැගීම මෙම වෙනස පෙන්වීමට භාවිත කළ උදාහරණ වේ.

කෙසේවෙතත් මෙම වෙනස්කම් සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇති බව තවමත් තීරණය කළ නොහැක. එහෙත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම යනු නීති වෙනස් කිරීම පමණක් නොව, ජනතාව දේශපාලනය දෙස බලන ආකාරය වෙනස් කිරීමද වේ.

ආණ්ඩුවක ස්වභාවය තීරණය කරන තවත් වැදගත් කරුණක් වන්නේ බලය භාවිත කරන ආකාරයයි. ශ්‍රී ලංකාවේ පෙර ආණ්ඩු සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන දේශපාලනීකරණය කිරීම, විවේචකයන්ට බලපෑම් කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන බලපෑම් ඇතිවීම පිළිබඳ විවේචන පැවතුණි.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රකාශිත ස්ථාවරය වූයේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීම, දූෂණයට එරෙහි වීම සහ රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමයි. එහෙත් දේශපාලන විශ්ලේෂණයේදී වැදගත් වන්නේ ප්‍රකාශ පමණක් නොව, ඒවා ආයතනික ක්‍රියාමාර්ග බවට පත්වන්නේද යන්නයි.

රාජ්‍යය හා පුරවැසියා අතර සම්බන්ධතාවය ද ආණ්ඩුවක වෙනස මැනීමට වැදගත් දර්ශකයකි. පැරණි දේශපාලන සංස්කෘතිය තුළ බොහෝ පුරවැසියන්ට රාජ්‍ය සේවාවන් ලබාගැනීමට දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය වූ බවට අදහස් පැවතුණි. නව ප්‍රජාතන්ත්‍රවාදී අදහස වන්නේ පුරවැසියා දේශපාලන අනුග්‍රහයක් නොව, නීතියෙන් සහ ආයතනික ක්‍රමවේදයෙන් සේවාවන් ලබාගත යුතු බවයි.

උදාහරණයක් ලෙස, රාජ්‍ය සේවාවක් ලබාගැනීමට මන්ත්‍රීවරයෙකුගේ නිර්දේශයක් අවශ්‍ය නොවී, විධිමත් පරිපාලන ක්‍රමයක් තුළින් එය ලබාගත හැකි වීම, දේශපාලන සංස්කෘතියේ සැබෑ වෙනසක් වනු ඇත.

මෙහිදී වාමාංශික විවේචනයටද පිළිතුරු දිය යුතුය. විප්ලවයක් සිදු නොවූ බැවින් කිසිදු වෙනසක් නැත යන තර්කය තුළ සම්පූර්ණ වෙනස හෝ කිසිදු වෙනසක් නැත යන වෙනස්කම් සම්බන්ධ ද්විත්ව  පක්ෂයක් නිර්මාණය වේ. නමුත් ඉතිහාසයේ බොහෝ දේශපාලන පරිවර්තන සිදුවන්නේ ක්‍රමිකවය. ග්‍රැම්ෂි පෙන්වා දුන් පරිදි දේශපාලන වෙනස යනු බලය අල්ලා ගැනීම පමණක් නොව, නව සමාජ සම්මුතියක් සහ නව දේශපාලන සාමාන්‍යයක් (common sense) ගොඩනැගීමකි.

 

ඒ අනුව, ජාතික ජන බලවේග ආණ්ඩුව විනිශ්චය කළ යුත්තේ එය පරිපූර්ණද අපරිපුර්ණද යන්න මත නොවේ. කිසිදු ආණ්ඩුවක් පරිපූර්ණ නොවේ. සැබෑ ප්‍රශ්නය වන්නේ, එය පෙර පැවති දේශපාලන පුරුදු, බලය භාවිත කිරීමේ ක්‍රම සහ රාජ්‍ය–පුරවැසි සම්බන්ධතාවය තුළ නව දිශාවක් විවෘත කරන්නේද යන්නයි.

එබැවින් 'මේ ආණ්ඩුවත් අනිත් ආණ්ඩු වගේමයි' යන ප්‍රකාශය දේශපාලනිකව ආකර්ෂණීය වුවද, එය විසංයෝජනය කළ යුතු සරලීකරණයකි. වෙනස යනු සෑම පැරණි ව්‍යුහයක්ම එකවර විනාශ කිරීම නොවේ. වෙනස යනු බලය භාවිත කරන ආකාරයේ, රාජ්‍යය පිළිබඳ ජනතා විශ්වාසයේ සහ පුරවැසියාගේ දේශපාලන ස්ථානයේ සිදුවන පරිවර්තනයකි.


ඒ අර්ථයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව විවේචනයට විවෘත විය යුතුය; එහෙත් එය පෙර සියලු ආණ්ඩු සමඟ සම්පූර්ණයෙන් සමාන යැයි පැවසීම, දේශපාලනයේ ඇති සංකීර්ණ වෙනස්කම් නොපෙනෙන තත්ත්වයකට පත් කිරීමකි.

Athulasiri Samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්