leader s

“ජාතික සංවර්ධනය යනු ශීලාචාර, විනය ගරුක, පරාර්ථකාමී සමාජයක අතිකාල කිරීමට හෝ වෙනත් අතුරු රැකියා, ආදායම් මාර්ග සෙවීමට බල නොකෙරෙන,

ගෘහියික මූලික අවශ්‍යතා සඳහා වන වියදම අඩු නැතිව පියවා ගැනීමට පමණක් නොව, විවේකය පලදායි ලෙස ගත කිරීමටත් සෞන්දර්යාත්මක සංස්කෘතික භාවිතයක් සමග වන තෘප්තිමත් ජීවිතයක් වෙනුවෙනුත් ප්‍රමාණවත් අවම දෛනික වැටුපක් හෝ ආදායමක් සියලු වැඩිහිටි පුරවැසියනට සහතික කෙරෙන ආර්ථික ක්‍රියාවලියකි.” (ජාතික සංවර්ධනය සම්බන්ධ මගේ අර්ථ දැක්වීම)

 

 

තව අවුරුදු 25 ක දී හෝ අනුර කුමාරට විරුද්ධව තරග කරන්නට නම් ලොකු බලයක් ඇති කෙනෙක් දිව්‍ය ලෝකයෙන් එන්න ඕනෙ යැයි කියන්නේ, විපක්ෂය පරාජය කර අවසන් යැයිද, දැන් තියෙන්නේ විපක්ෂ දේශපාලනය විනාශ කිරීමේ කාර්ය යැයි කියන්නේද, “බලය” ලැබුණේ බන්දේසියේ තබා නොවේ යැයිද එනිසා බන්දේසියේ තියා “බලය” දෙන්නේ නැතැයිද, ආණ්ඩු බලය ගත්තද රජය ශක්තිමත් නැතැයිද එනිසා රජය ශක්තිමත් කළ යුතු යැයිද මාලිමා ආණ්ඩුවේ ජ.වි.පෙ නායකයින් දැන් කියන්නේ ඇයිදැයි තේරුම් ගත යුත්තේ ආණ්ඩු බලය ඔවුන්ට ලැබුණත් ඔවුන් ගත්තත් එය ජනතාව වෙනුවෙන් භාවිත කිරීමට මාස 20 ක් ගතවී හෝ නොහැකිව ඇති හෙයින් පමණක් නොව, ඒ මාස 20 ක කාලයේ වූ යෝධ දූෂණ වංචා වලටද වගකීමට සිදුව ඇති හෙයින්ය. 

රටේ ජනතාවගේ දෛනික ජීවන ප්‍රශ්න, ජනතාව මුහුණ දෙන සමාජීය අනාරක්ෂාව හා අවිනිශ්චිතය මේ නායකයින්ට එක්කෝ හරියාකාරව හඳුනා ගැනීමට නොහැක. නැතිනම් හඳුනා ගැනීමට වුවමනාවක් නැත. නාගරික මැදපංතික ජීවන රටාවට බලපාන්නාවූ වෙළඳපල ආර්ථික අර්බුදයෙන් ඔබ්බට ගිය බරපතල සමාජ පිරිහීමට විසඳුම් ඉදිරිපත් කිරීමේ දේශපාලන වගකීමක් නොමැති විට, ජාතික සංවර්ධන සැළසුම් හදන්නට නොහැක. 

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 මාර්තු මාසයේ ලංකාණ්ඩුව සමග ගිවිසුම් අත්සන් කරන විට මේ විවෘත වෙළඳපල ආර්ථිකය ඉතිරිකර ඇත්තේ අකර්මන්‍ය වූ පටිපාටික ප්‍රජාතන්ත්‍රවාදයක (Procedural Democracy ) “පාරිභෝගික ණයකාරයින්” බවට පත් කළ ජන සමාජයකි. මේ පාරිභෝගික ණයකාරයින් දැන් ජීවත් වන සමාජයේ පසුගිය දසකයක දෙකක පොලිස් දත්ත වාර්තා පිරික්සුවහොත් බිඳ වැටෙන රාජ්‍ය පාලනයක් සමග සියලු ආකාරයේ අපරාධ සීඝ්‍රයෙන් වැඩි වී ඇති බැව් දැකිය හැකිය. වාර්තාවී තිබූ ආකාරයට පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස 09 තුල පමණක් බාල වයස්කාර ස්ත්‍රී දූෂණ පැමිණිලි 168 ක් පොලිසියට ලැබී තිබිණ. ඉන් 22 කු ගැබ් ගෙන සිටියේ යැයිද සඳහන් විය. ඊට පෙර 2021 වසරේ ළමා හිංසන සම්බන්ධ පැමිණිලි 11,000 ක් ළමා ආරක්ෂක අධිකාරයට ලැබී තිබිණ. 2018 වසරේ ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 1,792 ක්ද 2019 දී 1,779 ක්ද විය. එවගේම 2019 දී ළමා ලිංගික අපරාධ 1,490 ක්ද වාර්තාවී තිබිණ. 

ආර්ථිකය සැළකූ විට ඉකුත් ජුනි අවසානය වන තෙක් ගෙවුනු අවුරුදු 03 ක කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශ සමග ප්‍රතිව්‍යුහගත කළ ණය ප්‍රමාණයට අමතරව තවත් ඩොලර බිලියන 02 ට වැඩියෙන් ජනාධිපති වික්‍රමසිංහ යටතේත් ජනාධිපති අනුර කුමාර යටතේත් ආණ්ඩු ණය ගෙන ඇත. ඉදිරියේදී තව ණය ගැනීමට සිදුවනු ඇත. අවශ්‍ය විදේශ විනිමය ඉපැයීමේ කිසිදු සැළැසුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටවත් මේ මාලිමා ආණ්ඩුවටවත් නැති හෙයිනි. 

තොමස් පිකෙටි

අවුරුදු 50 ට ආසන්න කාලයක් විවෘත වෙළඳපල ආර්ථිකය සමග පැමිණි මේ ගමන ජාතික සංවර්ධනයක් වෙත ගමන් යෑමක් නොවුනි. මෙය හැම අතින්ම ඇති-නැති පරතරය වැඩි කෙරෙන ගමනකි. දුප්පත්කම වගා කෙරෙන ආදායම් හා වත්කම් බෙදී යාමේ පරතරය විශාල කෙරෙන්නකි. ඉතිහාසය පුරා සමාජ-ආර්ථික “විෂමතාව” නඩත්තු කෙරුණේ, ඒ වෙනුවෙන් නිෂ්පාදනය කෙරුණු “මතවාද” සමගින් යැයි ප්‍රංශ ආර්ථික විද්‍යාඥ තොමස් පිකෙටි පවසන්නේ එනිසා වෙනි.

 

විසඳුම් නොමැති මාලිමා ආණ්ඩුව විසදුම් ගෙනෙන තෙක් බලා සිට ඉදිරි වසර 02 ද අපතේ නොහැර අප “ජාතික සංවර්ධන” සැළසුමක් හදා ගැනීමේ අනාගත ගමන් යා යුතුව ඇත.

 

දුප්පත්කම තුරන් කිරීම, යහපත් සමාජයක මනුස්සකම වගා කර ගැනීම පිළිබඳ කතාවකි. එයට අඛණ්ඩ ජාතික සංවර්ධන ක්‍රියාවලියක් හරහා ස්ථාවර විසඳුම් අවශ්‍ය වන අතර, කෙටි කාලීන සංක්‍රමණික විසඳුම් කිහිපයක්ද අවශ්‍ය වේ.

 daridra thawaya

 

1.දරිද්‍රතා රේඛාව තීන්දු කළ යුත්තේ වාර්ෂික ඒක පුද්ගල ආදායමෙන් සියයට 50 ක් ලෙස ය.

 

2. සමාජ සුභ සාධනය තීන්දු කළ යුත්තේ පාසල් අධ්‍යාපනය, පාසල් ගමනා ගමනය, ප්‍රජා සෞඛ්‍ය සේවාව සමග පවුල් සෞඛ්‍ය සඳහාවන අවකාශ අනුවය. ඒ සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට වග කියන්නාවූ ස්වාධීන සුභසාධන මණ්ඩලයක් ලෙස ස්ථාපිත කළ යුතුය.

 

3. ජාතික අවම මාසික වැටුප ප්‍රකාශිත ඒක පුද්ගල ආදායමෙන් අඩක් වශයෙන් තීන්දු කළ යුතුය.

 chennai

එවගේම “ජාතික සංවර්ධන සැළසුම” ගැන කතිකාවට පදනම් විය යුතු මූලික සිද්ධාන්තයක් ඇත. එය මෙලෙසින් කැටි කරමි. අපගේ ජාතික වෙළඳපල ඉතා සීමිත වෙළඳපලකි. එය තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ වෙළඳපලටද වඩා කුඩා වූවකි. එවැන්නක් මත පමණක් අපගේ ජාතික සංවර්ධනය සම්පූර්ණ කළ නොහැක. එබැවින් අපගේ ජාතික සංවර්ධනය දෘෂ්ඨිමය වශයෙන් කලාපීය යොමුවක් ඇතිව සැළසුම් කළ යුතු වන්නේය. ඒ වෙනුවෙන් “සාක් සංවිධානය” යළි ප්‍රතිසංවිධානය කර ගැනීමේ දේශපාලන වගකීම ලංකාණ්ඩුව බාර ගත යුතුය.

එළෙසින් වන කලාපීය දෘෂ්ඨියෙහි ජාතික සංවර්ධන පදනම ලෙස,


●  ග්‍රාමීය ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් ලෙස සැළසුම්කර ඒ වෙනුවෙන් ආයෝජන යොමු කිරීම
●  ආනයන හා අපනයන වෙළඳාම සමාජීය අවශ්‍යතා වෙනුවෙන් නියාමනය කිරීම
●  අපනයන නිෂ්පාදන ශක්‍යතාවක් ඇති දේශීය සමාගම් වලට විදේශීය වෙළඳපලට ඇතුළු විය හැකි ආකාරයේ විශේෂ සහන ලබාදීම
●  විධිමත් අධ්‍යාපනය, සෞඛ්‍ය හා මගී ප්‍රවාහනය ආණ්ඩු සතු ප්‍රධාන සමාජ වගකීම් ලෙස බාර ගනිමින් ඒ සඳහා ජාතික ප්‍රතිපත්තීන් තීන්දු කෙරෙන ධවල පත්‍රිකා සමාජ කතිකාවකට තැබීම.

  

එවගේම මානුෂීය, කාර්යක්ෂම ආණ්ඩු පාලනයකට නව රාජ්‍ය ව්‍යුහයක් අත්‍යාවශ්‍ය වන්නේ ය. එය තල තුනක බල බෙදීමක් ලෙස සංවිධානය කළ හැකිය. ඒවා “ජන සහභාගි” ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ආයතන ලෙස ව්‍යවස්ථාගත කළ යුතුය. ඒ සඳහා,

 

election 260522

 

● පහළ තලයේ පළාත් පාලන ආයතන, බහුතර ඡන්දයෙන් ඡන්ද කෝට්ඨාශ සඳහා සෘජු නියෝජිතයින් පත් කෙරෙන ආයතන විය යුතුය.


● පළාත් පාලන ආයතනවල වාර්ෂික අයවැය, පළාත් පාලන ආයතනය විසින් සම්මත කර ගැනීමට පෙර වරිපනම් බදු ගෙවන්නන්ගේ ඡන්දයෙන් අනුමත කරගත යුතුය. එයට සංශෝධන ඉදිරිපත් කිරීමේ බලයක් වරිපනම් බදු ගෙවන්නන්ට තිබිය යුතුය.


● පළාත් පාලන ආයතනයේ සෑම අඩ වසරකම කාර්ය සාධන වාර්තාව ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

 

පළාත් සභාද ජන සහභාගි නියෝජන ආයතන ලෙස ඉහත අයුරින්ම එවැනිම වගකීම් සමග ස්ථාපිත කළ යුතුය.


● පළාත් සංවර්ධන සැළැස්මට සංශෝධන ඉදිරිපත් කිරීමේ අයිතිය පළාතේ ඡන්දදායකයාට ඇත්තේ එම සංශෝධන සඳහා ඔහුගේ හෝ ඇයගේ දිස්ත්‍රික්කයෙන් ඡන්දදායකයින් අවම දාහක් අත්සන් කරන්නේ නම් පමණක් විය යුතුය.


● එළෙසින් සංශෝධනය වන හෝ නොවන පළාත් සංවර්ධන සැළසුම පළාතේ මත විමසුමකින් සම්මත කළ යුතුය.


● වසරක් පාසා පළාත් සභාවෙහි කාර්ය සාධන වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කළ යුතුය.  

මැතිවරණ වලට සීමා නොවන ජන සහභාගි ප්‍රජාතන්ත්‍රවාදයක් සහතික කෙරුණු පළාත් පාලන හා පළාත් සභා සමග අද මෙන් විශාල පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ නැත. පළාත් සංවර්ධනය ජනතා අභිමතය ඇතිව පළාත් ආයතන වෙත පැවරෙන හෙයින්, පාර්ලිමේන්තුවට ඉතිරි වන්නේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය, ආරක්ෂක හා විදේශ කටයුතු වැනි සීමිත වගකීම් කිහිපයක් පමණි. ඒ සඳහා මන්ත්‍රීවරුන් 225 ක පාර්ලිමේන්තුවක් නඩත්තු කිරීම, මහජන මුදල් නාස්තියකි. 

haryan pranthya

 

හර්යානා ප්‍රාන්තයේ ජනගහනය අපට වඩා මඳක් වැඩි මිලියන 25 කි. දිස්ත්‍රික්ක 22 කි. ඔවුන් ලොක් සභාවට තෝරා පත්කර යවන්නේ මන්ත්‍රීවරුන් 10 ක් පමණි. රාජ්‍ය සභාවට 05 කි. එයට හේතුව, ප්‍රාන්ත සංවර්ධන හා පරිපාලන කාර්යන් භාර කෙරෙන මන්ත්‍රීවරුන් 90 කින් සැදුම් ලත් ප්‍රාන්ත ආණ්ඩුවක් තිබීමය.

 

ජන සහභාගි නියෝජන සමග ප්‍රාදේශීය හා පළාත් සංවර්ධන වගකීම් ඇති පළාත් පාලන හා පළාත් සභා අප පිහිටුවන්නේ නම්, නව පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 125 ක් සිටීම ප්‍රමාණවත් ය. 

එවැනි ආණ්ඩු පාලන ව්‍යුහයක් සඳහා අනිවාර්යයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය විය යුතුය. එය කුඩා විශේෂඥ කණ්ඩායමකින් කෙටුම්පත් කර සම්මත කරන්නක් නොවිය යුතුය. පළමු සටහන කෙටුම්පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන විද්වත් කමිටුවක් පත් කළ යුතුය. එහිදී අප පැමිණිය යුතු මූලික ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇත. සියලු පුරවැසියනට සුරක්ෂිත ශිෂ්ට ජීවිතයක් වෙනුවෙන් “ජාතික සංවර්ධනය” හා “පරිසර සුරක්ෂාව” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මූලික අයිතීන් ලෙස කෙටුම්පත් විය යුතුය. 

vote 240914

 

එය කෙටුම්පත් කිරීම සඳහා තෙමසක පමණ කාලයක් තීන්දු කළ යුතුය. අනතුරුව එම කෙටුම්පත තෙමසක කාලයක් විවෘත සමාජ සංවාදයට තැබිය යුතුය. එම කාලය තුල පුද්ගලයින්ට සහ සමාජයේ ඕනෑම කණ්ඩායමකට, සංවිධානයකට සංශෝධන ඉදිරිපත් කළ හැකිය. කෙටුම්පත වැඩි දියුණු කිරීම සඳහා එවැනි සංශෝධන පාදක කරගත යුත්තේ ඡන්දදායකයින් 5,000 ගේ අත්සනින් ඉදිරිපත් කෙරෙන්නේ නම් පමණි. අනතුරුව දෙවන කෙටුම්පතද සමාජ කතිකාවට තැබිය යුතුය. එයටද තෙමසක පමණ කාලයක් තිබිය යුතුය. එම කාලය අවසානයේ ඡන්දදායකයින් 50,000 ගේ අත්සනින් ඉදිරිපත් වන සංශෝධන පමණක් අවසන් කෙටුම්පත සඳහා බාරගත යුතුය. අවසන් කෙටුම්පත අනිවාර්යෙන් ජනමත විමසුමකින් සම්මත විය යුතුය.

 

මෙය ඊළග මැතිවරණයට පෙර ඉදිරි වසර 02 ක තුල සාක්ෂාත් කර ගැනීම සඳහා සමාජ කතිකාවකට ඉදිරිපත් කරන්නකි.

 

(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

2026 ජුලි 21

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්