leader s

හුදු දේශපාලන වාසි-අවාසි පදනම් කරගත් විරෝධතාවලින් ඔබ්බට ගොස් අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය උදෙසා සංශෝධන ගෙන ඒමට විපක්ෂය සහ නීතිඥ සංගමය සතු වගකීම.


සාමාන්‍ය ආයු කාලය ඉහළ යාමත් සමඟ වෘත්තිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අවශ්‍යතාව සහ 22 වැනි සංශෝධනය නිවැරදි දිශානතියකට ගැනීම


ශ්‍රී ලංකා නීති සංගමය, නිදහස් නීතිඥයින්ගේ සංගමය, සමගි ජන බලවේගය ඇතුළු සංවිධාන හා පුද්ගලයින් වෙන් වෙන්ව 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් 06 ක් දැනට ගොනුකර ඇත. මාලිමා ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කතාවට දෙමසකට වැඩි කාලයක් ගතවී ඇත. පසුගිය සති කිහිපයේ ඊට එරෙහිව තර්ක ගණනාවක් විපක්ෂය හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මතු කළහ. ඒ හැමකින්ම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන අනු ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට 22 වන ව්‍යවස්ථා සංශෝධනය හරස් වන බවකි. 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අවදානමක් ඇති විය හැකි බවකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට අනුව යෝජිත 22 වන සංශෝධනය ව්‍යවවස්ථාවට පටහැනි වන හෙයින් එය සම්මත කර බලාත්මක කිරීමට, පාර්ලිමේන්තුවේ 2/3 ක වැඩි ඡන්දයකට අමතරව ජනතාව විසින් ජනමත විචාරණයකින්ද එය සම්මත කළ යුතුය.

 



ජනමත විචාරණයකින් ලැබෙන්නේ වයස් සීමා සංශෝධනයේ හරි වැරැද්ද සම්බන්ධ උත්තරයක් නොවේ. ජනමත විචාරණයකින් ලැබෙන්නේ ඡන්දදායකයාගේ ඊට ඇති කැමැත්ත හෝ අකමැත්ත පිළිබඳව වන ප්‍රකාශනය වේ. බොහෝ විට ඊට බලපාන්නේ ආණ්ඩුව ගැන ඇති කලකිරීම, විශ්වාස භංගත්වය හා විරෝධය වේ. මෙයද අවධාරණය කළ යුත්තකි. “බහුතර”යැයි ලැබෙන “කැමැත්ත - අකමැත්ත” ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන නමුත් ඒ උත්තර අනිවාර්යෙන් “නිවැරදි” උත්තර නොවේ. අපේ රටේ බහුතර තීන්දු හැම විටම වැරදි තීන්දු විය. මාස ගණනාවකට පස්සෙ “මොනවා කරන්නද? අපිත් රැවටුනා” යැයි කියන උගත් නාගරික මැදපංතියද හවුල්වන ජනමත විචාරණයකදී උත්තරය නිවැරදි විය හැකි යැයි අනුමාන කිරීමටද නොහැක.

මේ සංශෝධනයෙහි වැදගත් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර 02 කින් දීර්ග කිරීමත් අධිකරණ සංවිධාන පනත සංශෝධනයෙන් අධිකරණ පද්ධතියෙහි සෙසු විනිසුරුවන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාවද අවුරුදු 62 දක්වා ඉහළ දැමීමත් ය. එවගේම අගවිනිසුරු ධූර කාලය උපරිම වසර 06 ට සීමා කෙරෙන්නේය. අභියාචනාධිකරණයේ විනිසුරු සංඛ්‍යාව 24 දක්වා 05 කින් වැඩි කෙරෙන්නේය.

එහෙත් විපක්ෂය හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මතු කරන තර්ක අනුව අධිකරණයේ ස්වාධීනත්වය එම සංශෝධන මගින් සීමා කෙරෙන අතර, ව්‍යවස්ථාමය බලය බෙදීම අභියෝගයට ලක් කෙරෙන්නේය. එවගේම, ඇතැම් වගන්ති අර්ථ දැක්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පරස්පර ඇතැයිද එනිසා 22 වන ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයක් මගින් අනුමත විය යුතු යැයිද කියති.


දේශපාලන වාසි තකා හොරගල් ඇහිලීම සහ ආයු කාලය ඉහළ යාමේ යථාර්ථය

ජනාධිපතිගේ පැත්තේත් විපක්ෂය පැත්තේත් ඇත්තේ විවෘතව නොකියන දේශපාලන වාසි අවාසි සම්බන්ධ කතා ය. අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර 02 කින් දීර්ග කිරීම, ඉහළ අධිකරණ පද්ධතියෙහි විනිසුරුවරුන් ගැන ජනාධිපති තබන්නාවූ විශ්වාසය ඔහුගේ දේශපාලනයට අදාල වන්නක් යැයි විපක්ෂයේ අනුමානය වන්නේය. විපක්ෂය ඊට එරෙහි වන්නේද එවැනි සේවා දීර්ගයක් ඔවුන්ගේ දේශපාලනයට අවාසි විය හැකි යැයි වන අනුමානය මත යැයි ජනාධිපතිගේ පැත්තෙන්ද නොකියා කියවෙන්නකි. හොරකම් කළ අය මේ අධිකරණයට බියවී ඇතැයි මාලිමා ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන් නගන චෝදනාවෙන් යම් පමණකට ඇඟවෙන්නේ, දේශපාලන වශයෙන් අධිකරණය යොදා ගැනීමේ උනන්දුවක් මාලිමා ආණ්ඩුවේ ඇතැයි කීමකි.

එවැනි හොරගල් ඇහිලීම් දෙපාර්ශවයේම තිබියදී විනිසුරුවරුන්ගේ පමණක් නොව, සියලු වෘත්තීන්හි විශ්‍රාම යෑමේ වයස් මට්ටම තව ඉහළ දැමිය හැකි යුගයකට ලොවම පැමිණ ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු දසක දෙකක පමණ කාලයේ මානව ශිෂ්ඨාචාරයේ පුදුමාකාර විද්‍යා හා තාක්ෂණික දියුණුවක් ලැබූ යුගයක් අපි පසු කළෙමු. සාමාන්‍ය ජීවිතයෙහි එය අත් දකින්නේ වෛද්‍ය ප්‍රතිකාර, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සහ පිළිවෙත් විසින් ලබාදෙන නිරෝගී ජීවිත ඇසුරෙන් සහ ගමනා ගමන පහසුකම් සමගින්ය. ඒවායේ පලයක් ලෙස උපතේදී ගණන් හැදූ සාමාන්‍ය ආයු කාලය මේ වනවිට අවුරුදු 25 කින් පමණ වැඩිවී ඇත. 1950 දී සාමාන්‍ය ලාංකීය ආයු කාලය අවුරුදු 52 ක් වූවකි. වසර 2000 දී එය අවුරුදු 71 ක් වූ අතර 2020 දී එය අවුරුදු 77 ක් විය. එබැවින් අවුරුදු 60 න් විශ්‍රාම යා යුතු වූ 50 දසකය දැන් ඇත්තටම අහෝසි වූ යුගයකි.

වර්තමානයේ අත්දැකීම් හා අලුත් දැනුම සමග වඩාත් පරිනත වෘත්තිකයින් හැදෙන්නේ වයස අවුරුදු 50 - 55 පසු වන විටය. ඔවුන්ගේ හොඳම කාලය වයස අවුරුදු 60 පසුවන විටය. එබැවින් අපගේ ජාතික විශ්‍රාම යෑමේ වයස් මට්ටම අවුරුදු 70 ක් කළ යුතුව තිබුණේ මේ නව සිය වසෙහිදී ය. විනිසුරුවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, මූල්‍ය කලමනාකාරිත්වයෙහි ඉහළ නිලධාරීන් වැනි විශේෂ ක්ෂේත්‍රවල විශ්‍රාම යෑම, අවුරුදු 72 ක් කළ හැක. එවිට මතුවන ගැටළුව වන්නේ එවැනි සේවාවන්හි පහළ මට්ටමේ වෘත්තිකයින්ගේ උසස්වීම් සම්බන්ධ ගැටළුව ය. ඊට එක විසඳුමක් වනුයේ බලය විමධ්‍යගත කිරීම ය. නිදසුනක් ලෙස, සමථ මණ්ඩල මහේස්ත්‍රාත්වරයෙකුගේ සභාපතිත්වයෙන් වන මණ්ඩලයක් ලෙස නවීකරණය කළ හැක. සෑම පළාතකම අභියාචනාධිකරණ පිහිටුවිය හැක.

ගෝසා කිරීම වෙනුවට විපක්ෂය ඉදිරිපත් කළ යුතු විකල්ප යෝජනා 04

 

උපරිමාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංකල්ප පත්‍රීකාවට කැබිනට්  අනුමැතිය
කුමන හේතුවක් නිසා හෝ ජනාධිපති අනුර කුමාර විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එවැනි සංවාදයකට ගත හැකි අයුරු විවෘත කර ඇත. එය එළෙසින් සාකච්ඡාවකට ගැනීමේ වගකීම එනමුත් විපක්ෂය භාර ගෙන නැත. වෘත්තිකයින් හා ඔවුන්ගේ සංවිධාන ඒ වගකීම අතහැර ඇත. අවශ්‍ය නම් ඔවුන්ට වැදගත් සංවාදයකට තවමත් ඉඩ ඇත. කළ යුත්තේ 22 වන සංශෝධනයට ඔවුන්ගේ සංශෝධනයක් ඉදිරිපත් කිරීමය. ඊට ඇතුළත් කළ යුතු මූලික කාරණා විය යුත්තේ යැයි මා යෝජනා කරන්නේ,

1) දැනට සේවයේ ඉන්නා සහ මේ 2026 වසර අවසානයට පෙර විශ්‍රාම යෑමට නියමිත විනිසුරුවන්ට මෙම සංශෝධන අදාල නොවන බවටත්

2) අග විනිසුරු පත් කිරීමට සහ විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධ දැනට ජනාධිපති සතු ව්‍යවස්ථාමය බලය අහෝසිකර, අධිකරණ සේවා කොමිසම් සභාවේ නාම යෝජනා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කමිටුවකින් අනුමත කර පත් කිරීමටත්

3) ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර 02 කින් දීර්ග කිරීමත් අධිකරණ සංවිධාන පනත සංශෝධනයෙන් අධිකරණ පද්ධතියෙහි සෙසු විනිසුරුවන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා ඉහළ දැමීම 2027 ජනවාරි 01 වන දින සිට බලාත්මක කිරීමටත්

4) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන අනු ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට හරස් වන සහ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අවදානමක් ඇති විය හැකි යැයි විපක්ෂය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මතු කරන 22 වන සංශෝධනයේ වගන්ති ඉවත් කිරීමට හෝ ඒවා නිවැරදි ලෙස සංශෝධනය කිරීමටත්, අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කිරීමය. ඒ වගකීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහායද ඇතිව විපක්ෂ නායකත්වය භාර ගත යුත්තකි.

හුදු විරෝධයකින් හා චෝදනා මගින් 22 වන සංශෝධනය පරාජය කළ නොහැක. පරාජය කිරීමට අවශ්‍යයද නැත. අවශ්‍ය වන්නේ, ලැබුණු අවස්ථාවෙන් අධිකරණයේ ස්වාධීනත්වය තව වටයකින් ශක්තිමත් කර ගැනීමට මැදිහත්වීමකි. එවැනි මැදිහත්වීමකට විශේෂයෙන් විපක්ෂය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් නොවන්නේ නම් ඔවුන්ගේ විවේචන, විරෝධතා සතු කිසිදු වැදගත්කමක් නැති සහ සමාජ වගකීමක්ද නොමැති ප්‍රදර්ශනවාදී ගෝසා ලෙස ඉවත දැමීමට සිදුවන්නේය. එවගේම, එවැනි සංශෝධන සළකා බැලීමට ජනාධිපති අනුර කුමාර සහ ඔහුගේ මාලිමා ආණ්ඩුව සූදානම් නොවන්නේ නම්, ඔවුන් ඉන් කියන්නේ 22 වන සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නොව, ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ගෙනෙනු ලබන්නක් යැයි කියාය.


(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2026 අගෝස්තු 19 වන දින


whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්