පුරුෂ කේන්ද්‍රීය පාරිශුද්ධ ප්‍රේමයේ අල්තාරය ගීතයෙන් ඔසවා තැබූ නන්දාගේ රොමාන්තික ලෝකයෙන් මිදී, සැබෑ මිනිස් ආශාවන් හඳුනාගත් අයුරු.
නන්දා මාලිනියගේ විරෝධාකල්ප හා ප්‍රේම ගීත අපේ පරම්පරාවේ සංස්කෘතික ජීවිතය හැඩගැස්වූ ආකාරය පිළිබඳ චින්තන ධර්මදාසගෙන් ස්වයං-විවේචනාත්මක ආවර්ජනයක්.
(නන්දා මාලිනිය තමන්ට දැනුනු විදිහ ගැන බොහෝ දෙනෙක් රසවත් දේ ලියනවා. මට ලියන්නට ඇති දේ තරමක් වෙනස්. ඒ හින්දම එය නොලිවිය යුතුදැයි කීපවරක්ම කල්පනා කළා. නමුත් ඇයට අගෞරවයක් නොවේවා යන ප්‍රාර්ථනය ඇතුව එය ලියා තබන්න සිතුවා)
නන්දා මාලිනිය තරම් මගේ ජීවිතේ ප්‍රේමයට බලපෑම් සහගත වූ කාන්තාවක් තවත් නැතුව ඇති. සෑම ප්‍රේමයකම අහස නිර්මාණය වුනේ ඇගේ ගීතවලින් කියන්න පුළුවන්. වැදගත්ම දේ වෙන්නෙ ඇය නිර්මාණය කලේ අහස බවයි. ඇගේ නිර්මාණවලින් ප්‍රේමයේ පොලොව නිර්මාණය වුනේ නෑ. (කලාකාරිනියක් මේ සියල්ලක් කළ යුතු යැයි නියමයක් නැහැ)
නන්දා ගැයුවේ සුනිලුන් විසින් ලියූ ආදර ගීත. ඒ ගීතවල තිබුනේ බොහෝ විට කාන්තාවක් අතින් පුරුෂයෙන් වර්ණනා නොවන තරම් ඉහලින් තැබූ ප්‍රේමයේ අල්තාරය. ‘ඔබයි රම්‍ය සඳ කිරණ’ හෝ ‘අහස සේ ඔබ අනන්තයි’ හෝ ‘ඔබ තනිකඩ කුරුළු රජෙකි’ වැනි ගීත අරන් බලන්න. ඒ ගීතවල ප්‍රේමයේදී පුරුෂයා ඉහලින් තබන තරම් වෙනත් කිසිම ගීතයක අපිට ඇසෙනවාද මට සැකයි. ඒ සිංදු අපිට කියන පෙම්වතියන් හොයමින් අපි රස්තියාදු ගැහුවා. ප්‍රේමය තුල අපිව ඒ තරම් විශාලව දකින ගැහැණුන් මුනගැසෙන තුරු පාරමිතා පිරුවා.
පිරිමි ආශාවන්ගේ අල්තාරය සහ සිහිනමය ප්‍රේමයේ රස්තියාදුව
නන්දාගේ විරෝධාකල්ප ගීතවලින් උද්දීපනය නොලැබූ කෙනෙක් අපේ පරම්පරාවල නැතුව ඇති. අපි හැමෝටම උවමනා වුනේ යදමින් බැඳ විලංගු ලා රැගෙන යන පුතා බවට පත්වෙන්න. ඒක බලයට, ආධිපත්‍යයට එරෙහි විරෝධයක් මිස දේශපාලන මතවාදී විරෝධයක් නෙමෙයි. කවර හෝ ආකාරයෙන් බලවත් වන ආණ්ඩුවකට එරෙහිව නැගී සිටීමේ අදටත් මා තුල පවතින අරාජිකවාදී නැඹුරුව නන්දාගේ ගීතවලින් ආස්වාදයක් ලැබුවා.
සුනිල්-නන්දා සුසංයෝගයේ පිවිතුරුවාදයට එරෙහිව නැගී සිටීම
පස්සෙ දවසක නන්දාගේ ගීත ගැන පේරාදෙනි සරසවියෙ පැවැත්වුනු සාකච්ඡාවකදි මම නන්දා විසින් ගැයූ, සුනිලුන් විසින් ලියූ රොමාන්තිකවාදයට එරෙහි වුනා. කඩමණ්ඩියේ දොළ අයිනේ විතරක්ද ආදරය පවතින්නෙ, නගරයේ කොන්ක්‍රීට් කනු අතරේ පවතින ආදරය ගීතයක නොගැයෙන්නේ ඇයිද කියල මම ප්‍රශ්න කළා. විය යුතු පරිද්දෙන්ම එදත් මම හොඳවැයින් අහගත්තා.
පසුකාලෙක මම නන්දාගේ ගීතවලට විරුද්ධ වුනා. ප්‍රේමය නම් රාගයෙන් තොර යැයි සම්මතයක් පැනවූ තැන පටන් සියලු ආදර ගීතවල සැඟවුනු පිරිමි ආශාව දකින්න පටන් ගත්තා. නන්දාගේ ප්‍රේමයේ යුගය අවසන් කිරීම තමයි මම හිතන්නෙ මම සිහිනමය ප්‍රේමයෙන් සැබෑ ප්‍රේමයට අවතීර්ණ වුනු යුගය. දිව්‍යමයභාවයට පමුනුවන්නේ නැතුව ආශාවන්ගෙන් කිළිටි වුනු, දෝෂ සහිත, අඩුපාඩු සහිත, අලංකාර රහිත සාමාන්‍යබවෙහි ප්‍රේමය මම දකින්න උත්සාහ කළා. නන්දාගේ ප්‍රේමය විසින් පිටුදකින රාගය නැවත කැඳවන්න වෑයම් කළා.
සුරුවමක් වෙනුවට සංස්කෘතික පදනමක් ලෙස සාකච්ඡාවට ගත යුතු නන්දා
මං හිතන්නෙ මගේ සමස්ත සංස්කෘතික ජීවිතයම ගොඩනැගෙන්නෙ නන්දා සහ සුනිලුන් විසින් නිර්මාණය කළ රොමාන්තික පිවිතුරුවාදී ලෝකයට එරෙහිව. ඒ කියන්නෙ ඒ ගීත තුලින් සහ සංස්කෘතික කතිකාව තුලින් මා තුලම නිර්මාණය කළ ප්‍රේමයේ ආකෘතීන්ට එරෙහිව.
ඉතින් නන්දා මට විශාල වන්නේ ඒ නිසයි. ඇය විසින් නිරූපණය කළ ආශාවේ ස්වරූපය කවරේද? ඇය විසින් ගායනා කළ ගීත පිටුපස තෘප්තිමත්වන පිරිමි ආශාව කුමක්ද? නන්දා මාලිනිය විසින් නිර්මාණය කළ අපගේ ප්‍රේම කතා තුල අපි අත්විඳපු යතාර්ථය කුමක්ද? මං හිතන්නෙ නන්දා මාලිනිය අපේ සමාජයේ සංස්කෘතික පදනමක් විදිහට සාකච්ඡාවට ගත යුතුයි කියලයි. ඒ වෙනුවට ඇය සුරුවමක් බවට පත් නොවිය යුතුයි.
මගේ අතීත ප්‍රේමය සදා නිවී සැනසෙනු දැකීම මගේ පැතුමයි
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)








