leader s

22 වැනි සංශෝධනයට එරෙහි විපක්ෂයේ ඝෝෂාව පිටුපස ඇති සැබෑ උවමනාව සහ ලාංකේය පක්ෂ දේශපාලනය වෙළාගත් වැඩවසම් කුල-ආගමික බෙදීම් පිළිබඳ විග්‍රහයක්.


අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති පක්ෂවලින් රටට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටීමේ පරස්පරය සහ මාලිමාවේ මැතිවරණ පොරොන්දු හා යථාර්ථය අතර පරතරය.


මේ දිනවල ජනතාව වෙනුවෙන් “ජනතා පරමාධිපත්‍යය” සහ “ප්‍රජාතන්ත්‍රවාදය” බේරා ගැනීමට විපක්ෂයේ හැමෝම පුදුමාකාර උනන්දුවකින් මාලිමා ආණ්ඩුවේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙති. ජයවර්ධන ජනාධිපති මෙන් පාර්ලිමේන්තු මැතිවරණය කල් තැබීමට සූදානම් වීමක් ලෙස ජනාධිපති අනුර කුමාර 22 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන්නේ යැයි විපක්ෂයේ හුදකලා නායකයින් දෙපළක් කීහ. 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ඔවුන්ගේ විරෝධය රැගෙන මේ රටේ ජනතාව වෙත යාමට කතා නොකරන විට, ඔවුන්ට අවශ්‍යව ඇත්තේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් නොව, ආණ්ඩු මාරුවක් යැයි මට සිතේ.

මේ සියලු චෝදනා, අනතුරු ඇඟවීම්, ප්‍රසිද්ධ ප්‍රකාශ කොළඹ නාගරික මැදපංතියෙන් ඔබ්බට “කාන්දු වන” ප්‍රමාණයක් හැරුණු විට ඒවායේ සාමාන්‍ය ජනයා සමග කෙරෙන දේශපාලනයක් නැත. මෙතෙක් ඉතිහාසයේ හැම කාරණාවක් සම්බන්ධයෙන්ම සිදුවූයේත් සිදුවන්නේත් එයම ය. දේශපාලන නායකයින් සිතා සිටින්නේ, හරියාකාර ප්‍රශ්නයක් අසන්නට විෂය හරිහැටි නොදන්නා, ආන්දෝලනාත්මක උපුටන සඳහා ප්‍රශ්න අසන්නට තරග වදින මාධ්‍යවේදීන්ට ගැලපෙන “මුල්ලේරියානු” ප්‍රකාශයක් කිරීමෙන්, සමාජය හමුවේ ඔවුන්ගේ දේශපාලන වගකීම සම්පූර්ණ වන්නේ යැයි කියා ය.

opo230

 

මෙහි ඇති ඛේදවාචකය නම් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍ය ගැන කතා කරන, ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් දේශපාලන පක්ෂ කිසිවක් ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතවන ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන නොවීම ය. ඔවුන් තවමත් අවුරුදු 90 ට වැඩි කාලයක් රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ සිටම නඩත්තු කර ගෙන පැමිණෙන ජාතිය, කුලය, ආගම කර තියා ගෙන ඉන්නා වැඩවසම්වාදී දේශපාලකයින්ය. සිංහල-බෞද්ධ සමාජයේ පන්සල් සතු බලපෑම, දිගු ඉතිහාසයක් ඇති සංස්කෘතික බලපෑමකි. එය කතෝලික ක්‍රිස්තියානි ජන සමාජයේ ආගමික ආයතනවල, සංවිධානවල මෙන් සරළ නැත. සිංහල-බෞද්ධ සමාජයේ කුලය ආශ්‍රිතව පමණක් නොව, උඩරට පහත රට යැයි බෙදීම් සංඝ සමාජයේද ඇත. දකුණේ කුල ධූරාවලියටත් වඩා පීඩාකාරී වූ උතුරේ හින්දු කෝවිල් පදනම්ව තිබූ කුල පැවැත්ම 1960 දසකයේ දෙවන අර්ධයේදී ශන්මුගදාසන්ගේ චීන කොමියුනිස්ට් පක්ෂයේ පුරෝගාමිත්වයෙන් දියත්වූ “හරිජන” ව්‍යාපාරයේ බලපෑමෙන් බොහෝ දුරට ලිහිල්ව ඇත. එහෙත් කුලය, ආගම තවමත් උතුරේත් දකුණේත් දේශපාලන පක්ෂ විසින් මැතිවරණ වෙනුවෙන් නඩත්තු කෙරෙන්නකි.

මැතිවරණ දේශපාලනයට ගොඩ වූ පසු සමසමාජ-කොමියුනිස්ට් පක්ෂද ඒ වැඩවසම්වාදී පසුගාමිත්වයට අවනත විය. ඡන්ද ගොඩවල් එකතු කර ගැනීමේ පහසු පිළිවෙතක් ලෙස සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වැඩවසම්වාදී කුල බැඳීම් යොදා ගනිති. ඔවුන්ගේ ආසන සංවිධායකයින් පත් කරන්නේ ආසනයේ ජාතිය, කුලය, ආගම සළකා බැලීමෙනි. අදටත් කොළඹ නගරයද ඇතුළු සමස්ථ දිස්ත්‍රික්කයේ බෞද්ධ වහුම්පුර හා දුරාව, කතෝලික-ක්‍රිස්තියානි දුරාව හා කරාව සහ ඉස්ලාම් ලබ්ධිකයින් සඳහා සංවිධායකවරුන් ලෙස වැඩි ඉඩක් ඇති මැතිවරණ ආසන ඇත. ඒවායේ වෙළඳ ප්‍රජාවද කුල සංවිධාන නඩත්තු කරති. කොළඹ ගැන කියූ පසු වැඩවසම් ප්‍රජා ව්‍යුහ සහිත ආසන ගැන කිව නොහැකි දිස්ත්‍රික්කයක් මේ රටේ හතර දිග් බාගයේම ඉතිරි වන්නේ නැත.

පාර්ලිමේන්තු මැතිවරණ වලදී ආසන සඳහා වූ සෘජු නියෝජනය අහෝසිකර, දිස්ත්‍රික්ක සඳහා අනුපාත ඡන්ද ක්‍රමයට මන්ත්‍රීවරුන් පත්කර ගැනීමේදී කුල ගොනුවීම් සඳහා අලුත් ඉඩක් ලැබිණ. එතෙක් පාර්ලිමේන්තු නියෝජනයක් නොලැබුණු ඇතැම් කුල සඳහා දිස්ත්‍රික්කයේ විසිර ඉන්නා තම කුල ප්‍රජාව එකතුකර ගැනීමට මනාප ඡන්ද ක්‍රමය වාසියක් විය. ඒ මත සාම්ප්‍රදායික පක්ෂයකින් මන්ත්‍රීවරයෙකු පත්කර ගත හැකි විය. එවැනි ප්‍රාථමික, පසුගාමී, වැඩවසම් සමාජ සංස්කෘතියක් කර පින්නා ගෙන මැතිවරණ මගින් ආණ්ඩු පිහිටුවන්නට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අවශ්‍ය නොවේ.  

වැඩවසම් කුල දේශපාලනය සහ අභාවයට ගිය පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය

අද එසේ වූවත් සක්‍රීය සාමාජිකත්වයක් සමගින් පක්ෂ පැවති කාලයක් අතීතයේ විය. ‘50-60 දසක වන විටද විශේෂයෙන් සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සතු ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මක් තිබිණ. එකල ඔවුන්ගේ දිස්ත්‍රික් සහ ද්වි-වාර්ෂික ජාතික නියෝජිත සමුළු පවත්වනු ලැබූ සජීවී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් විය.

n373gW6B8kPzpQ0Z 04
නිදහස් ලංකාවේ පළමු පාර්ලිමේන්තුව වෙනුවෙන් 1947 දී පැවති මැතිවරණයේදී වෙන් වෙන්ව තරග වැදුණු සමසමාජ පක්ෂය හා බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය 1948 දී ලංකා සමසමාජ පක්ෂය ලෙස ඒකාබද්ධ වූයේ ඒ වෙනුවෙන් කැඳවනු ලැබූ විශේෂ නියෝජිත සම්මේලනයේ සාමාජික ඡන්ද අනුවය. 1956 අප්‍රේල් මැතිවරණය වෙනුවෙන් “එ.ජා.ප විරෝධී” පෙරමුණක් සඳහා බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රී.ල.නි.ප) සමග විප්ලවකාරී සමසමාජ පක්ෂය සන්ධානගත වූයේ පක්ෂ නායක පිලිප් ගුණවර්ධන 1955 දෙසැම්බරයේ පැවති ඔහුගේ පක්ෂ සමුළුවෙහි සාමාජික ඡන්දයෙන් යෝජනා සම්මත කර ගැනීමෙනි. එය මහජන එක්සත් පෙරමුණ ලෙස බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් පිලිප් පක්ෂයේ එකඟත්වය ලබා ගත්තේය.

ඒ සමග, ‘56 අප්‍රේල් මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ තෝරාගත් දකුණේ ආසන ගණනාවක් සඳහා ලංකා සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය සමග “නිතරග ගිවිසුම්” අත්සන් කළේය. ඇතැම් මැතිවරණ ආසන තරග නොකිරීමෙන් එ.ජා.පය පරාජය කළ හැකි මහජන එක්සත් පෙරමුණු අපේක්ෂකයාට වාසියක් ලබා දීමේ “නිතරග ගිවිසුම්” සඳහා සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ඔවුන්ගේ පක්ෂ මධ්‍යම කාරක සභා සහ දේශපාලන මණ්ඩල අනුමැතිය ලබා ගත්හ.  

සභාග තීන්දු සාමාජික ඡන්දයෙන් ගත් වාමාංශික අතීතය

එවැනි ප්‍රතිපත්තිමය දේශපාලන තීන්දු ගැනීමේදී පක්ෂයේ සාමාජිකත්වය වෙත ඒ වගකීම පූර්ණ වශයෙන් බාර කෙරුණු අවස්ථාවක් වූයේ සමසමාජ පක්ෂය, බණ්ඩාරනායක අගමැතිනියගේ ‘60 ජුලි ආණ්ඩුවට හවුල් වීමේදීය. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට හවුල් වන්නට ඇන්.ඇම් තම යෝජනාව පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ විට, ඊට විකල්ප වූ තවත් යෝජනා දෙකක් ඉදිරිපත් විය. එකක් මැතිනියගේ ශ්‍රී.ල.නි.ප ආණ්ඩුව සමග කිසිදු හවුලක් අවශ්‍ය නැතැයි වූ යෝජනාවය. අනෙක ඇමති ධූර වගකීම් බාර නොගෙන ආණ්ඩුවට සහාය දීමේ යෝජනාව විය. ඒ යෝජනා තුනම මාස 03 ක් පුරා සියලු පක්ෂ ශාඛාවල සාකච්ඡා කිරීමෙන් පසු 1964 ජුනි මාසයේ කොළඹ නව නගර ශාලවේ පැවති විශේෂ නියෝජිත සමුළුවක බහුතර සාමාජික ඡන්දයෙන් සභාග ආණ්ඩුවක් වෙනුවෙන් හවුල් වන්නට තීන්දු විය.

ඉන්පසු ‘70 දසකය පසුවන විට වාමාංශික පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් අත හැරුණු, නායකත්ව තීන්දු අවසන් තීන්දු ලෙස පිළිගැනීමේ ආධිපත්‍යධාරී සම්ප්‍රදායන් තහවුරු විය. එතැන් සිට සර්වජන ඡන්දය ලැබුණු 1931 සිට අවුරුදු සියයකට ආසන්න කාලයක් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන එන කුල ධූරාවලි අගයන පක්ෂ දේශපාලනයක් හැර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සම්ප්‍රදායක් ගොඩ නගා ගත් පක්ෂ ඉතිරිව නැත. ඒ අර්ථයෙන් ජ.වි.පෙද එසේ ය. ඔවුන්ගේ පාක්ෂිකත්වය සක්‍රීය වන්නේ නායකත්ව ළණුව දිගෑලි කෙරෙන තරමටය. ජ.වි.පෙ “කේඩර්ගත” පක්ෂයක් යැයි කියනු ලබන්නේ එනිසාය.

අධ්‍යාපන ප්‍රතිපාදන සහ 22 වැනි සංශෝධනය: ජවිපෙ සාමාජිකයන්ට ප්‍රශ්න කළ හැකිද?

 

MATHAWADA 20250908
ජ.වි.පෙහි ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගැනීම පහසු වන්නට මෙය සටහන් කර තබන්නට සිතුවෙමි. ඉකුත් 2024 වසරේ මැතිවරණ දෙකෙහිදී මාලිමාවේ නමින් ඔවුන් ඉදිරිපත් කළ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” මැයෙන් වූ මැතිවරණ ප්‍රකාශනයෙහි අධ්‍යාපනයට අදාලව “ශිෂ්ඨ සම්පන්න පුරවැසියෙක් - දියුණු මානව සම්පතක්” යැයි 12 වන පිටුවේ තබා ඇති සටහනෙහි “.....අධ්‍යාපන ක්ෂේත්‍රයට රාජ්‍ය ආයෝජන ඉහළ දමන අතර, දළ ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා දැනට වෙන්කරනු ලබන ප්‍රමාණය ක්‍රමයෙන් 6% දක්වා වැඩිකිරීම අපගේ අපේක්ෂාවයි” යනුවෙන් සඳහන් කෙරෙන ප්‍රතිපත්තිමය පොරොන්දුවක් ඇත.

මේ ප්‍රතිපත්තිය, හරිනි අමරසූරිය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිනියක් ලෙස දැඩිව පෙනී සිටි ප්‍රතිපත්තිමය ඉල්ලීමක් වූවාය. මාලිමා ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිනිය ලෙස ඇයගේ 2025 අධ්‍යාපන වැය ශීර්ෂය වන්නේ රුපියල් බිලියන 271 කි. එය ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වන බිලියන 442 න් සියයට 61 ක් පමණි. වාර්ෂික දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 03.5 කි. ඉකුත් 2024 වසරට වඩා වැඩියෙන් 2025 දී ලබාදී ඇත්තේ සියයට 01.2 කි. අධ්‍යාපනය සඳහා ලොව අඩුවෙන්ම වියදම් කරන රටවල් අතුරෙන් 03 වන රට අප ය. මෙවර 2026 වසර සඳහා වන වෙන් කිරීම රුපියල් බිලියන 07.04 කි. එය වාර්ෂික දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 02.04 කි. ඒ අනුව “ක්‍රමයෙන් 6% දක්වා වැඩිකිරීම” කෙසේ වෙතත් 2026 වසර සඳහා වෙන් කිරීම ඉකුත් වසරට වඩා සියයට 01.1 කින් අඩු කෙරුණකි.

ජාතික වැදගත්කමක් ඇති සහ අධ්‍යාපනය සඳහා වැය කිරීම් “ක්‍රමයෙන් 6% දක්වා වැඩිකිරීමට” දෙනු ලැබූ පොරොන්දුව අතහැර දැමීම ගැන ජ.වි.පෙ පාක්ෂිකයින්ට තම නායකයින්ගෙන් ප්‍රශ්න කළ හැකිද? එසේ ප්‍රශ්න කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ජ.වි.පෙහි තිබේද? අප දන්නා ජ.වි.පෙහි එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.

 

6 56yu5
එවගේම, ඡන්ද සඳහා ඉදිරිපත් කළ එම මැතිවරණ ප්‍රකාශනයෙහි පිටු 14-15 හි අධ්‍යාපන සංවර්ධනය සඳහාවන “ක්‍රියා මාර්ග” ලේඛනය පිරික්සූ විට පෙනෙන්නේ එහි සඳහන් කිසිවක් ආරම්භ කර නැති වගකි. අවුරුද්දකුත් මාස 09 ක ආණ්ඩු පාලනයෙන් එම “ක්‍රියා මාර්ග” ලේඛණයෙහි සඳහන් පියවර අතුරෙන් ඉටුකර ඇත්තේ මොනවාදැයි ප්‍රශ්න කිරීමේ නිදහසක් ජ.වි.පෙ සාමාජිකත්වයට නැත.

මේ දිනවල ඉමහත් ආන්දෝලනයකට තුඩුදී ඇති 22 වන සංශෝධනය සම්පාදනය විය යුතුව තිබුණේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යැයි වන මාලිමා මැතිවරණ ප්‍රකාශනයෙහි “නීතිය මත පාලනයක් - සමප්‍රවේශී අධිකරණ පද්ධතියක්” මැයෙන් අධිකරණ ක්ෂේත්‍රය සඳහාවන යෝජිත ක්‍රියා මාර්ග අතුරෙන් පළමුවැන්න වන “නීති විශේෂඥ කමිටුවක් මගින් පවතින නීති සමාලෝචනය කොට, අවශ්‍ය නීති යාවත් කිරීම” (පිටුව/200) යටතේය. එහෙත් අවුරුද්දකුත් මාස 09 ක කාලයේ එවැනි නීති විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට හෝ යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය එවැනි කමිටුවක නිර්දේශයක් අනුව ඉදිරිපත් කෙරෙන්නක් යැයි හෝ කොතැනකවත් සඳහන් වන්නේ නැත.

“කියූ දේ නොකරන හා නොකරන දේ කියන” ජ.වි.පෙ නායකත්වයෙන් යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය නීති විශේෂඥ කමිටුවකින් කෙටුම්පත් කළේදැයි ප්‍රශ්න කළ හැකි නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදයක් ඔවුන්ගේ සාමාජිකත්වය සතු නොවේ. එවැනි ප්‍රශ්න කිරීමක් පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් හෝ කෙරුණු බවට වාර්තා නැත. තමන්ට නැති ප්‍රජාතන්ත්‍රවාදයක් ජ.වි.පෙට තියේදැයි ප්‍රශ්න කිරීමට විපක්ෂයේ කිසිවකුටද නොහැක.

මේ අයියලාගේ “ප්‍රජාතන්ත්‍රවාදය” මට මාර ප්‍රශ්නයක් යැයි කියුවේ, පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් භාවිත කිරීමේ අගය ගැන නොදන්නා, ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති පක්ෂවල නායකයින් ජනතාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කිරීම ගැනය.

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2026 අගෝස්තු 22 වන දින

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්