"ආණ්ඩු මාරුවකින් ඔබ්බට ගිය සැබෑ 'System Change' එකක් යනු පාලකයන් වෙනස් කිරීම නොව, පැරණි බලය හා වරප්‍රසාද නැවත නිෂ්පාදනය නොවන ආයතනික හා සමාජීය පරිවර්තනයක් ගොඩනැගීමයි."
"පුද්ගලයන් පරාජය කළද පද්ධතියේ අවශේෂ ඉතිරි වේද? නව පාලනය හමුවේ බල ව්‍යුහය, පංති සම්බන්ධතා සහ 'අරගලයේ' නොනිමි දේශපාලන ප්‍රශ්නාවලිය පිළිබඳ විසංයෝජනීය කියවීමක්."
2022 අරගලයෙන් පසුව ශ්‍රී ලංකා දේශපාලනයේ වඩාත්ම ප්‍රබල දේශපාලන සංඥාවක් බවට පත්වූයේ “System Change” යන්නයි. එය ආණ්ඩුවක් වෙනස් කිරීමේ සරල ඉල්ලීමකට වඩා ගැඹුරු දේශපාලන අර්ථයක් රැගෙන ආවේය. අරගලයේ “ගෝටා ගෝ හෝම්” යන ප්‍රකාශය මතුපිටින් එක් පුද්ගලයකුගේ ඉවත්වීම ඉල්ලා සිටියද, එහි යටිපෙළෙහි තිබුණේ පුද්ගලයකුට එරෙහි විරෝධයකට වඩා දශක ගණනාවක් පුරා ගොඩනැගුණු රාජ්‍ය බලය, දේශපාලන අනුග්‍රහය, පංති සම්බන්ධතා, ආර්ථික වරප්‍රසාද, පවුල් දේශපාලනය සහ ආයතනික දුර්වලතාවයන්ගෙන් සමන්විත සමස්ත පාලන තර්කයට එරෙහි විරෝධයකි. එබැවින් 2024 දී ජාතික ජන බලවේගය බලයට පැමිණීම එම “System Change” ඉල්ලීමට යම් ආකාරයක ආයතනික ප්‍රතිචාරයක් ලෙස කියවිය හැකි වුවත්, එතැනින්ම ප්‍රශ්නය අවසන් නොවේ. ඇත්ත වශයෙන්ම එතැනින් ආරම්භ වන්නේ ඊට වඩා අසීරු ප්‍රශ්නයකි. එනම්, ආණ්ඩුව වෙනස් කළ පසු පැරණි බල ව්‍යුහය වෙනස් වී තිබේද? එසේත් නැත්නම් වෙනස් වී ඇත්තේ බලයේ සිටින පිරිස පමණක්ද?
මෙම ප්‍රශ්නයට පිළිතුර සෙවීමට නම් සාම්ප්‍රදායික ආණ්ඩු–විපක්ෂ දේශපාලනය පිළිබඳ විග්‍රහයන් ප්‍රමාණවත් නොවේ. මන්ද 'පරණ පාලකයන්' යන්නත් 'පරණ පංතිය' යන්නත් එකම දෙයක් නොවන බැවිනි. එක් පක්ෂයක් මැතිවරණයකින් පරාජය වීමෙන් එම පක්ෂය නියෝජනය කළ සමාජ, ආර්ථික සහ ආයතනික බල සම්බන්ධතා අතුරුදහන් නොවේ. ඒවා නව ආකාරවලින් ප්‍රතිසංවිධානය වී නැවත මතුවිය හැකිය. විසංයෝජනීය දේශපාලනය තුළ එය මූලික පාඩමක් ලෙස සැලකියහැකිය. පැරණි ව්‍යුහයක් බිඳ දැමූ පසු එහි අවශේෂ නව ව්‍යුහය තුළම දිගටම පැවතිය හැකිය.
පැරණි පාලකයන් සහ පැරණි පංතිය

ශ්‍රී ලංකාවේ පැරණි දේශපාලන පංතිය පිළිබඳ සාකච්ඡාව බොහෝවිට පවුල් කිහිපයක්, පක්ෂ කිහිපයක් හෝ දේශපාලන නායකයන් කිහිපදෙනෙකු වටා සීමා වේ. රාජපක්ෂ පවුල, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ වෙනත් පක්ෂවල නායකත්වය එහි දෘශ්‍යමාන මුහුණුවර විය. නමුත් පංතිය යනු පුද්ගලයන්ගේ ලැයිස්තුවක් නොවේ. පංතිය යනු සම්පත්, ප්‍රාග්ධනය, දේශපාලන ප්‍රවේශය, රාජ්‍ය ආයතන සමඟ ඇති සම්බන්ධතා සහ තීරණ ගැනීමේ හැකියාව ආදී සංඝටක සහිත සමාජ බල සම්බන්ධතාවකි.
එබැවින් 'රාජපක්ෂලා පරාජය වී ඇත' යන ප්‍රකාශය සත්‍යයක් වුවද, 'රාජපක්ෂවාදය පරාජය වී ඇත' යන ප්‍රකාශය ඊට වඩා බරපතළ ප්‍රකාශයකි. රාජපක්ෂවාදය පුද්ගලයන් කිහිපදෙනෙකුගේ දේශපාලන ශෛලියක් පමණක් නොව, ජාතිකවාදය, රාජ්‍ය මධ්‍යගතභාවය, දේශපාලන අනුග්‍රහය, ආර්ථික බල සම්බන්ධතා සහ ජනතාව හා රාජ්‍යය අතර ගොඩනැගුණු පාරිභෝගික/වරදුන දේශපාලන සම්බන්ධතාවයකි. එවැනි බල සම්බන්ධතා මැතිවරණ ප්‍රතිඵලයකින් එකවර අතුරුදහන් නොවේ.
විසංයෝජනීයව කියවනවිට, යම් ව්‍යුහයක් බිඳ දැමූ විට එහි අවශේෂය (trace) අතුරුදහන් නොවේ. පැරණි අර්ථය නව අර්ථය තුළම ජීවත් වේ. එබැවින් “පැරණි පද්ධතිය ඉවරයි” යන ප්‍රකාශයම සැකයට ලක් කළ යුතුය. සමහරවිට පද්ධතිය අවසන් නොවී, එය තමන්ගේ භාෂාව, ආයතන සහ බල සම්බන්ධතා වෙනස් කරමින් නව අවස්ථාවකට අනුවර්තනය වී තිබිය හැකිය.
බලය ඇත්තේ ආණ්ඩුවට පමණක් ද?
බලය යනු ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව තුළ රාශිභූතවී ඇති වස්තුවක් නොවේ. බලය සමාජය පුරා සංසරණය වේ. නීතිය, පරිපාලනය, අධ්‍යාපනය, මාධ්‍ය, ආර්ථිකය, දැනුම, භාෂාව සහ දෛනික සමාජ සම්බන්ධතා තුළ බලය ක්‍රියාත්මක වේ. ඒ අනුව නව ආණ්ඩුවක් බලයට පැමිණීම බලය මාරුවීමකට power transfer හේතු විය හැකි නමුත් එය අනිවාර්යයෙන්ම බලය පරිවර්තනයක් power transformation පිලිබද අනිවාර්යතාවයක් නොවේ.
මෙය වර්තමාන NPP ආණ්ඩුවේ දේශපාලන අභියෝගය තේරුම් ගැනීමට ඉතා වැදගත්ය. පැරණි පාලකයන් ඉවත් කිරීමෙන් පසුව නව පාලකයන්ට පැරණි රාජ්‍ය යන්ත්‍රයම භාවිත කිරීමට සිදුවේ. පැරණි නීති, පැරණි නිලධාරි ව්‍යුහය, පැරණි පරිපාලන සංස්කෘතිය, පැරණි ආර්ථික සීමාවන් සහ පැරණි ආයතනික සම්බන්ධතා ඔවුන් ඉදිරියේ පවතී. එබැවින් විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් රාජ්‍ය බලය අත්පත් කරගත් විට මුහුණ දෙන්නේ ඉතා පැරණි දේශපාලන ගැටලුවකටය: බලය වෙනස් කිරීමට පැමිණි බලවේගයම බලයේ ස්වභාවයට අනුගත වීමේ අවදානමට ලක් වේ.
පංතිය විතැන්කිරීමේ ප්‍රශ්නය

මෙහිදී මාක්ස්ගේ පංති විග්‍රහය නැවත කියවිය යුතුය. පංතිය යනු ධනය ඇති අය සහ ධනය නැති අය අතර සරල බෙදීමක් නොවේ. එය නිෂ්පාදන මාධ්‍ය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ රාජ්‍යය අතර ඇති සම්බන්ධතාවයකි. නමුත් ශ්‍රී ලංකාව වැනි සමාජයක පංතිය ජාතිය, කුලය, ප්‍රදේශය, භාෂාව සහ රාජ්‍ය බලය සමඟ සංකීර්ණ ලෙස බැඳී පවතී.
ඒ නිසා 'පැරණි පංතිය එලවීම' යන සරල විප්ලවීය වාක්‍යය පවා විසංයෝජනය කළ යුතුය. පංතියක් පුද්ගලයන්ගේ ලැයිස්තුවක් ලෙස හඳුනාගෙන ඔවුන් වෙනස් කළ හැකි වුවද, පංති සම්බන්ධතා එසේ වෙනස් කළ නොහැක. නව පංතියක් පැරණි සම්පත් බෙදාහැරීමේ රටාව තුළම බලයට පැමිණියහොත්, පරණ බල සම්බන්ධතාවය නව නාමයකින් නැවත ප්‍රතිනිශ්පාදනය විය හැකිය.
ග්‍රාම්ස්චි සිය හෙජමොනිය පිළිබඳව විග්‍රජයේ දී දක්වන ලෙසම යම් පංතියක් බලය පවත්වාගෙන යන්නේ බලහත්කාරයෙන් පමණක් නොව, යම් සමාජ කණ්ඩායමක ලෝක දැක්ම 'සාමාන්‍ය බුද්ධිය' common sense බවට පත් කිරීමෙනි. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ දේශපාලකයා යනු අනුග්‍රහය ලබාදෙන පුද්ගලයකු බවත්, රාජ්‍යය යනු වරප්‍රසාද බෙදාදෙන ස්ථානයක් බවත්, සංවර්ධනය යනු විශාල ව්‍යාපෘති සහ මහා පරිමාණ භෞතික ඉදිකිරීම් බවත් පිළිගැනීමක් ගොඩනැගී තිබේ නම්, පක්ෂ වෙනස් වීමෙන් පමණක් එම “common sense” එක වෙනස් නොවේ. ඒ නිසා සැබෑ System Change එකක් යනු පාලකයන් වෙනස් කිරීම පමණක් නොව, පාලනය පිළිබඳ සමාජයේම පොදු අවබෝධය වෙනස් කිරීමකි.

2022 අරගලය මෙහිදී තීරණාත්මක දේශපාලන සිදුවීමකි. එය එක් ආණ්ඩුවකට එරෙහි විරෝධයක් පමණක් නොවීය. විවිධ පංති, වෘත්තීන්, පරම්පරා සහ දේශපාලන අදහස් සහිත මිනිසුන් එකම දේශපාලන අවකාශයකට පැමිණියහ. “ගෝටා ගෝ හෝම්” යන්න ඔවුන්ගේ විවිධ ඉල්ලීම් එකම දේශපාලන සංඥාවක් යටතට ගෙන ආවේය.
Gota Go Home යන්න එක් විශේෂ ඉල්ලීමකට සීමා නොවී විවිධ සමාජ ඉල්ලීම් එකට බැඳ තැබූ හිස් සංඥාකරණයක් “empty signifier” බවට පත්විය - හිස් සංඥාවක ගැටලුව එයයි. එය විවිධ අර්ථයන් සඳහා විවෘතය. ඒ නිසා ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසුව එම සංඥාව තුළ තිබූ විවිධ දේශපාලන අර්ථයන් කුමන නව දේශපාලන ව්‍යාපෘතියකට එකතු වන්නේද යන්න තීරණය කළ යුතුය.
අරගලයේ ඉල්ලීම ආණ්ඩු මාරුවකට පමණක් සීමා වූයේ නම්, System Change යන්න අවසානයේ ආණ්ඩු මාරුවක් බවට පත්වේ. නමුත් එහි සැබෑ අර්ථය රාජ්‍යය, ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය නැවත නිර්මාණය කිරීම නම්, එය තවමත් අවසන් නොවූ ව්‍යාපෘතියකි.
NPP සහ System Change : පරස්පරතාව
NPP බලයට පැමිණියේ පැරණි දේශපාලන පන්තියට එරෙහි ජනවරමක් සමඟය. එහෙත් බලයට පැමිණි මොහොතේ සිට එය විරෝධතා ව්‍යාපාරයක් ලෙස පැවැතීම ට නොහැකි අතර, එය රාජ්‍යය පාලනය කරන ආණ්ඩුවක් බවට පත්විය. මෙය එහි දේශපාලන ඉතිහාසයේ විශාලතම පරස්පරතාවයි.
විරෝධතා ව්‍යාපාරයකට 'රාජ්‍යය වෙනස් කළ යුතුය' යැයි පැවසීම පහසුය. නමුත් රාජ්‍යය පවත්වාගෙන යන විට එම රාජ්‍යය වෙනස් කිරීම ඉතා සංකීර්ණය. ආර්ථික අර්බුදය, IMF වැඩසටහන, රාජ්‍ය ණය, ජාත්‍යන්තර සබඳතා සහ පරිපාලන යථාර්ථයන් නව ආණ්ඩුවේ විප්ලවීය පරිකල්පනය සීමා කරයි.
එබැවින් NPPට අද මුහුණදීමට සිදුවන සැබෑ පරීක්ෂණය 'පැරණි දේශපාලකයන් පරාජය කළාද?' යන්න නොවේ. එය 'පැරණි දේශපාලන තර්කය නැවත නිෂ්පාදනය නොකර රාජ්‍යය පාලනය කළ හැකිද?' යන්නයි.
මෙහිදී 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මතුවන විවාදයද වැදගත් වේ. ව්‍යවස්ථාමය ආයතන, අධිකරණයේ ස්වාධීනත්වය සහ බලය වෙන් කිරීම පිළිබඳ ප්‍රශ්න මතු වන විට, System Change හි සැබෑ අර්ථය නැවත මතුවේ. හොඳ පාලකයන් බලයට ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන අරමුණ නොවේ. වඩා වැදගත් වන්නේ ඕනෑම පාලකයකුට තම කැමැත්ත අනුව රාජ්‍ය ආයතන හැසිරවිය නොහැකි ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීමයි. System Change යනු “හොඳ මිනිසුන්” බලයට ගෙන ඒම නොව, “නරක මිනිසුන්ට” වුවත් රාජ්‍යය අනිසි ලෙස භාවිත කළ නොහැකි ආයතන නිර්මාණය කිරීම බව අවධාරණය කල යුතුය.
පළාත් සභා සහ “එක රටක්”
පළාත් සභා පිළිබඳ අර්බුදයද මෙම System Change සාකච්ඡාවෙන් වෙන් කළ නොහැක. පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යාම තාක්ෂණික මැතිවරණ ගැටලුවක් ලෙස පමණක් දැකීම ප්‍රමාණවත් නොවේ. එය රාජ්‍ය බලය කොතැනට බෙදාහැරිය යුතුද යන මූලික දේශපාලන ප්‍රශ්නයකි. පලාත් සභා පැවැතීම වැදගත් වන්නේ ඇයි. එයට හේතුව “එක රටක්” යනු “එකම ආකාරයේ රටක්” නොවන නිසාය. මන්ද එක්සත්කම සහ Unity සහ ඒකමිතිකත්වය Uniformity යනු එකම දෙයක් නොවේ.
විවිධ භාෂා, ජාතීන්, ආගම් සහ ප්‍රදේශ සහිත රාජ්‍යයක එකමුතුකම නිර්මාණය කළ හැක්කේ වෙනස්කම් මකා දැමීමෙන් නොව, ඒවාට දේශපාලන නියෝජනයක් ලබාදීමෙනි. එබැවින් පළාත් සභා, බලය බෙදාහැරීම සහ 13 වන සංශෝධනය පිළිබඳ ප්‍රශ්නය අවසානයේ බලය 'බෙදීමද?' 'ඒකීයභාවය ද' යන ද්විත්වයට සීමා කළ නොහැක. සැබෑ ප්‍රශ්නය වන්නේ එකමුතු රාජ්‍යයක් තුළ විවිධත්වයට කොතරම් දේශපාලන අවකාශයක් ලබාදිය හැකිද? යන්නයි.
සංහිඳියාව: අනෙකා පිළිගැනීමෙන් ඔබ්බට

සංහිඳියාව පිළිබඳ සාකච්ඡාවද මේ නිසා නව ආකාරයකින් කියවිය යුතුය. සංහිඳියාව යනු “දෙමළ ප්‍රශ්නය” විසඳීම පමණක් නොවේ. එය “ජනතාව වන අපි” we the people යන දේශපාලන ප්‍රජාව නැවත නිර්වචනය කිරීමේ ව්‍යාපෘතියකි.
ජාතිය? පුරවැසියා? බහුතරය? සුළුතරය? කාගේ රාජ්‍යය භාෂාවද? ජාතික ඉතිහාසයද? රාජ්‍යයේ අභිලාසය? මේ සියල්ල ස්වභාවිකව ලබාදුන් දේවල් නොවේ. ඒවා දේශපාලනික වශයෙන් නිර්මාණය වූ සීමාය. ඒවා ප්‍රතිසංයෝජනය reconsruct කලහැකිය. ඒ නිසා සංහිඳියාව යනු 'අනෙකාට ඉඩක් ලබාදීම' නොව, “අපි” යන ප්‍රජාවම නැවත නිර්මාණය කිරීමකි.
විපක්ෂයේ අභියෝගය
මේ සියල්ල අතර විපක්ෂයද විසංයෝජනයකට මුහුණ දී සිටී. NPP පරාජය කිරීම සඳහා SJB, UNP, SLPP හෝ වෙනත් බලවේග එකතු වීම පමණක් ප්‍රමාණවත් නොවේ. පරණ පක්ෂවල එකතුවක් නව දේශපාලන විකල්පයක් බවට පත්වන්නේ නැත. විපක්ෂයට ඇති සැබෑ අභියෝගය NPPට එරෙහි ජනතා අසතුට එකතු කිරීම හා වර්ධනය කිරීම නොව, එම අසතුට නව දේශපාලන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කිරීමයි.
එහිදී 'පරණ දේශපාලනයට එරෙහි නව දේශපාලනය' යන NPP යේම දේශපාලන භාෂාව විපක්ෂයට උරුම කරගත නොහැක. එයට තමන්ගේම නව අර්ථයක් නිර්මාණය කිරීමට සිදුවේ. නැතහොත් විපක්ෂය යනු අවසානයේ “NPP නොවන සියල්ල” යන ඍණාත්මක අනන්‍යතාවයට පමණක් සීමා වනු ඇත. සමහරවිට දේශපාලනයකට ආණ්ඩුවක් පරාජය කළ හැකි වුවද, පද්ධතියක් වෙනස් කළ නොහැක.
වෙනස් කළ යුත්තේ පංතියද, බල ව්‍යුහයද?
ආරම්භක ප්‍රශ්නය වෙත අපට නැවත පැමිණිය හැකිය. දැන් වෙනස් කළ හැක්කේ පැරණි බල ව්‍යුහයද, පංතියද? වියහැකිභාවය ඉහලම වන්නේ කුමක්ද? විසංයෝජනීය ආකාරයකින් පිළිතුර වන්නේ මේ දෙක එකිනෙකින් වෙන් කළ නොහැකි බවයි. පංතිය බල සම්බන්ධතාවලින් වෙන් කළ නොහැක. බල ව්‍යුහය පංති සම්බන්ධතාවලින් වෙන් කළ නොහැක. එහෙත් ඒ දෙක පමණක් වෙනස් කිරීමද ප්‍රමාණවත් නොවේ. මන්ද බලය ආර්ථික පංතිය තුළ පමණක් නොව, ජාතිය, භාෂාව, ලිංගිකත්වය, දැනුම, භූගෝලීය ස්ථානය සහ ආයතනික බලය තුළද ක්‍රියාත්මක වන බැවිනි. එබැවින් System Change යනු පරණ පංතියක් ඉවත් කර නව පංතියක් ස්ථාපිත කිරීමක් පමණක් නොවේ. එය බලය නිෂ්පාදනය වන ආකාරය ද වෙනස් කිරීමකි; පරණ දේශපාලන සන්ධාන වෙනුවට නව සමාජ සන්ධාන නිර්මාණය කිරීමය; පරණ අනුග්‍රාහක දේශපාලනය වෙනුවට පුරවැසි අයිතිවාසිකම් මත පදනම් වූ රාජ්‍යයක් ගොඩනැගීමය; පුද්ගල බලය වෙනුවට ආයතනික බලය ස්ථාපිත කිරීමය; මධ්‍යගත රාජ්‍යය වෙනුවට බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මාණය කිරීමය; බහුතරවාදී ජාතිකත්වය වෙනුවට බහුත්ව පුරවැසිභාවයක් ගොඩනැගීමය.
System Change: අවසන් නොවන ප්‍රශ්නය
ශ්‍රී ලංකාව අද සිටින්නේ ආණ්ඩු මාරුවකින් පසුව ඇතිවන සාමාන්‍ය දේශපාලන අවස්ථාවක නොවේ. 2022 අර්බුදය පැරණි දේශපාලන සම්මුතියේ නීත්‍යානුකූලත්වය ප්‍රශ්නයට ලක් කළේය. 2024 ජනවරම එයට නව දේශපාලන පිළිතුරක් ලබා දුන්නේය. නමුත් එම පිළිතුරේ අවසාන අර්ථය තවමත් තීරණය වී නැත.
ඒ නිසා අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය 'ඊළඟට බලය ගන්නේ කවුද?' යන්න නොවේ. ඊටත් වඩා ගැඹුරු ප්‍රශ්නය වන්නේ මින්මතුවට 'බලයට පැමිණෙන ඕනෑම කෙනෙකුට අතීතයේ. පැවති ආකාරයට බලය භාවිත කළ නොහැකි දේශපාලන හා ආයතනික ව්‍යුහයක් අපට නිර්මාණය කළ හැකිද' යන්නයි.
පැරණි ව්‍යුහය සම්පූර්ණයෙන් මකා දැමීම දුෂ්කර වියහැකිය. එහි නටබුන් “traces” නව ව්‍යුහය තුළ පවතී. එබැවින් සැබෑ System Change එක යනු පැරණි දේ සියල්ල විනාශ කිරීම නොව, පැරණි බලය නැවත නැවත නිෂ්පාදනය වීමට හේතු වන කොන්දේසි වෙනස් කිරීමයි.
ඒ අර්ථයෙන් 2022 අරගලය තවමත් අවසන් වී නැත. 2024 මැතිවරණ ජයග්‍රහණයද එහි අවසානය නොවේ. NPP ආණ්ඩුවේ සාර්ථකත්වයද, විපක්ෂයේ අනාගතයද තීරණය වන්නේ එකම ප්‍රශ්නයක් මතය. එනම්, පැරණි පාලකයන් වෙනුවට නව පාලකයන් ගෙන ඒමට හැකිද යන්න නොව, පැරණි බලය නැවත නිෂ්පාදනය නොවන නව දේශපාලන අවකාශයක් නිර්මාණය කළ හැකිද යන්නයි. එම තත්ත්වය තුළ සමහරවිට System Change යන්න මැතිවරණ සටන් පාඨයකින් ඔබ්බට ගොස්, ශ්‍රී ලංකාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ගිවිසුමක් බවට පත්වනු ඇත.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)







