*“පැරණි හෙජමොනිය බිඳ දැමූ ආණ්ඩුව නැවතත් ‘පිරිසිදු අපි සහ කළු විපක්ෂය’ යන සරල ද්විත්වයට කොටු නොවී, තමන්ව ද ප්‍රශ්න කළ හැකි සැබෑ බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීමේ ඓතිහාසික අභියෝගය”
*“ජනතාව සංවිධානය කිරීම ආණ්ඩුවට පක්ෂපාතී බලකායක් හැදීම පමණක් ද? නැතහොත් බලයේ සීමා මතක් කරමින් ආණ්ඩුව ද පාලනය කළ හැකි සැබෑ ‘මහජන බලයක්’ නිර්මාණය කිරීම ද?”
ජාතික ජන බලවේගය මේ දිනවල රට පුරා පවත්වන රැස්වීම් මාලාව හුදෙක් ආණ්ඩුවේ වසර දෙකක කාර්යසාධනය ජනතාවට පැහැදිලි කිරීමේ ප්‍රචාරක වැඩසටහනක් ලෙස පමණක් කියවා ගැනීම ප්‍රමාණවත් නොවේ. එය ඊට වඩා ගැඹුරු දේශපාලන අර්ථයක් දරයි. විශේෂයෙන්ම ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසු පරිපාලනය, රාජ්‍ය යන්ත්‍රණය, ආර්ථික කළමනාකරණය සහ ජාතික හා ජාත්‍යන්තර බලවේග සමඟ ගනුදෙනු කිරීම වෙත විශාල අවධානයක් යොමු කිරීමට සිදුවූ ජාජබය, නැවතත් “ජනතාව අතර දේශපාලනය” සක්‍රීය කිරීමට උත්සාහ කරන බව මෙයින් පෙනේ.

මෙය වැදගත් වන්නේ ජාජබයේ මුල් ශක්තිය රාජ්‍ය පරිපාලනය තුළ නොව, මහජන සංවිධානය තුළ පැවති බැවිනි. එය සාම්ප්‍රදායික රාජ්‍ය පක්ෂයක් ලෙස නොව, දීර්ඝ කාලයක් විපක්ෂයේ සිටි සමාජ–දේශපාලන ව්‍යාපාරයක් ලෙස බලයට පැමිණියේය. එහි දේශපාලන ප්‍රාග්ධනය වූයේ රාජ්‍ය යන්ත්‍රණය නොව, ජනතාව අතර ගොඩනගා තිබූ විශ්වාසය, විරෝධය සහ සංවිධාන ජාලයයි.
එහෙත් බලයට පැමිණි පසු පරස්පරතාවක් මතු විය. ව්‍යාපාරයක් ලෙස ජනතාව සංවිධානය කිරීම සහ ආණ්ඩුවක් ලෙස රාජ්‍යය පවත්වාගෙන යාම එකම දෙයක් නොවේ. රාජ්‍ය පරිපාලනයේ වේගය, ආයතනික නීති, නිලධාරී පද්ධතිය, ජාත්‍යන්තර මූල්‍ය ආයතන, විදේශ සබඳතා, ආර්ථික අර්බුදයේ සීමා සහ පවතින රාජ්‍ය ව්‍යුහය සමඟ ගනුදෙනු කිරීමට සිදුවීමෙන් ජාජබයට තම මුල් දේශපාලන ශක්තිය වූ “ජනතාව අතර දේශපාලනය” තරමක් පසුපසට දැමීමට සිදුවිය.
එබැවින් අද සිදුවන්නේ එක්තරා අර්ථයකින් ආණ්ඩුව පරිපාලනයෙන් නැවත දේශපාලනයට පැමිණීමකි. නමුත් මෙහිදී අසනු ලැබිය යුතු වැදගත් ප්‍රශ්නය වන්නේ: එය කවර ආකාරයේ දේශපාලනයක් ද යන්න යි.
රාජ්‍යය පාලනය කිරීම සහ ජනතාව සංවිධානය කිරීම
ආණ්ඩුවක් පවත්වාගෙන යාම සහ දේශපාලන ව්‍යාපාරයක් පවත්වාගෙන යාම අතර මූලික වෙනසක් තිබේ. ආණ්ඩුව අයවැය සකස් කළ යුතුය. බදු එකතු කළ යුතුය. නීතිය ක්‍රියාත්මක කළ යුතුය. රාජ්‍ය සේවය පවත්වාගෙන යා යුතුය. ජාත්‍යන්තර ආයතන සමඟ සාකච්ඡා කළ යුතුය. ආර්ථික වර්ධනය ඇති කළ යුතුය.
නමුත් දේශපාලන ව්‍යාපාරය ජනතාවගේ අභිලාසයන් සංවිධානය කරයි. විශ්වාසයන් නිර්මාණය කරයි. සමාජ ගැටලු දේශපාලන ප්‍රශ්න බවට පරිවර්තනය කරයි. “අපි කවුද?” සහ “අපට විරුද්ධ කවුද?” යන ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් සාමූහික අනන්‍යතාවක් නිර්මාණය කරයි. ඒ අර්ථයෙන්, ජාජබය අද නැවත උත්සාහ කරන්නේ ආණ්ඩුවක් ලෙස පමණක් නොව, දේශපාලන ව්‍යාපාරයක් ලෙසද ජීවමාන වීමටය. මෙය දේශපාලනික වශයෙන් තේරුම්ගත හැකි හා අවශ්‍ය පියවරකි. එහෙත් මෙහි ඇති අවදානම වන්නේ පක්ෂය සහ රාජ්‍යය අතර සීමාව මැකී යාමයි.
මහජනතාව සංවිධානය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍යය. නමුත් ආණ්ඩුවේ පක්ෂ සංවිධාන යාන්ත්‍රණය සහ රාජ්‍ය යාන්ත්‍රණය එකිනෙක සමඟ මිශ්‍ර වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් විය හැකිය. එබැවින් “ජනතාව අතර දේශපාලනය” නැවත සක්‍රීය කිරීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයක් වන්නේ එය ජනතාවගේ ස්වාධීන දේශපාලන සහභාගීත්වයක් බවට පත් වුවහොත් පමණි; ආණ්ඩුවේ ජනප්‍රියත්වය තහවුරු කිරීමේ යාන්ත්‍රණයක් බවට පත්වුවහොත් නොවේ.
“කළු දේශපාලනය” නව දේශපාලන පසමිතුරා ලෙස
ජනාධිපතිවරයාගේ මෑත දේශපාලන කථනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ “කළු ආර්ථිකය”, “කළු දේශපාලනය”, “පාතාලය” සහ අනෙකුත් අවරසික බලවේග එක් පැත්තකටත්, “පොදු ජනතාව” සහ “පොදු යහපත” අනෙක් පැත්තටත් තැබීමයි. මෙය අලුත් දේශපාලන භාෂාවක් නොවේ. එහෙත් ජාජබය බලයට පැමිණීමෙන් පසු එය නව ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් තිබේ.
මැතිවරණයට පෙර එය “දූෂිත ප්‍රභූවරුන්ට එරෙහි ජනතා බලය” ලෙස පෙනීසිටින ලදි. දැන් එය “කළු බලවේගවලට එරෙහි පිරිසිදු ආණ්ඩුව ” ලෙස පරිවර්තනය වෙමින් පවතී. මෙය ග්‍රාම්ස්චියානු අර්ථයෙන් හෙජමොනික අරගලයක් ලෙස කියවිය හැකිය.

රාජපක්ෂ යුගයේ පැවති දේශපාලන තත්ත්වය වූයේ විශේෂ පවුල් දේශපාලන ව්‍යාපෘතියක් ජාතික සහ පොදු අභිලාසයක් ලෙස ඉදිරිපත් කිරීමයි. 2022 අර්බුදය සහ එයින් පසුව ඇති වූ දේශපාලන පෙරළිය එම හෙජමොනිය බිඳ දැමීය.
ජාජබයේ ඉතිහාසමය ජයග්‍රහණය වූයේ එම පැරණි “පොදු” බව ප්‍රශ්න කිරීමයි. එහෙත් මෙහිදී අප හදුනාගත යුතු තවත් පියවරක් තිබේ. එනම්, පැරණි හෙජමොනිය බිඳ දැමූ පසු, නව හෙජමොනිය ගොඩනැගෙන්නේ කෙසේද?
පැරණි හෙජමොනියේ සිට නව හෙජමොනියක් දක්වා
“රාජපක්ෂලා හොරු” යන අදහස සමාජයේ බලවත් දේශපාලන අදහසක් බවට පත්වීම එක්තරා නිර්-හෙජමොනිකකරණයකි. එයින් කියවෙන්නේ “ජාතිය”, “රට”, “ජාතික ආරක්ෂාව” වැනි විශ්වීය වචන යටතේ ක්‍රියාත්මක වූ විශේෂ දේශපාලන ව්‍යාපෘතියක් නැවත විශේෂ පවුල් බල ව්‍යාපෘතියක් ලෙස දැකීමට සමාජය පුරුදු වීමයි.
එහෙත් නව ආණ්ඩුව දැන් ඉදිරිපත් කරන “පිරිසිදු ජනතාව vs කළු බලවේග” යන ව්‍යුහයද හෙජමොනික ක්‍රියාවලියකි. මෙහිදී “පොදු ජනතාව” යනු කවුද? “කළු බලවේග” යනු කවුද?
කවුරුන් විසින් එම සීමාව තීරණය කරන්නේද?
යම් දේශපාලන පක්ෂයක් තමන් “පොදු ජනතාව” ලෙසත්, විරුද්ධ පාර්ශ්වය “කළු බලවේග” ලෙසත් අර්ථ දක්වන විට, දේශපාලන අවකාශය නැවතත් සරලව අපි vs ඔවුන් ලෙස බෙදීමකට ගමන් කරයි. එය බලවත් දේශපාලන උපක්‍රමයකි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් එය අවදානම් සහගතය.
නීතිය ක්‍රියාත්මක කිරීම සහ “අපේ” සදාචාරය
දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ දෙයක් නොවේ. එයට පටහැනිව, නීතිය ඉදිරියේ සමානත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කොන්දේසියකි. එබැවින් පැරණි දේශපාලන බලවතුන් සම්බන්ධයෙන් විමර්ශන හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම “දේශපාලන පළිගැනීමක්” යැයි පූර්ව නිගමනයකට පැමිණීමද වැරදිය. එහෙත් අනෙක් අතට, යමෙකුට එරෙහි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමම ඔහු වැරදිකරුවෙකු බවට පත් නොකරයි.

මෙහිදී විධිමත් ක්‍රියාවලිය “due process” යන මූලධර්මය අතිශය වැදගත් වේ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සැබෑ ශක්තිය වන්නේ තමන්ගේ විරුද්ධවාදීන්ට පවා සාධාරණ ක්‍රියාවලියක් තුලින් යුක්තිය ලද හැකි වීමයි. එබැවින් ප්‍රශ්නය විය යුත්තේ “නාමල් රාජපක්ෂට නීතිය ක්‍රියාත්මක කළ යුතුද?” යන්න පමණක් නොවේ.
ප්‍රශ්නය විය යුත්තේ: නීතිය සියලු දෙනාට එකසේ ක්‍රියාත්මක වන්නේද? විමර්ශනය ස්වාධීනද?
නඩු ක්‍රියාවලිය සාධාරණද? විනිශ්චයට පෙර දේශපාලන වරදකරු බවට පත්කිරීමක් සිදුවන්නේද?යන්නයි. ඒවාට “ඔව්” යන පිළිතුර ලැබේ නම් නීතියේ ආධිපත්‍යය ශක්තිමත් වේ. “අපේ අය” සහ “උන්ගේ අය” අනුව නීතිය වෙනස් වන්නේ නම්, පැරණි දේශපාලන සංස්කෘතියේම නව අනුවාදයක් බිහි වේ.
“ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම” : විපක්ෂ ආඛ්‍යානය
මෙතැනදී විපක්ෂය ද තමන්ගේම දේශපාලන ප්‍රතිවිරෝධතාවකට මුහුණ දෙයි. පැරණි බල ව්‍යුහයන් ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයක් “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම” යන භාෂාවෙන් ඉදිරිපත් කළ හැකිය. “තනි පක්ෂ රාජ්‍යයක්”, “ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීම”, “due process උල්ලංඝනය” වැනි වචන ඒ සඳහා භාවිත කළ හැකිය. මේ සියලු චෝදනා ස්වයංක්‍රීයව අසත්‍ය යැයි කිව නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ විවේචනය අවශ්‍යය.
නමුත් ප්‍රශ්නය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය පැරණි වරප්‍රසාද ආරක්ෂා කිරීමේ ආවරණයක් බවට පත් නොවීමයි. එසේම අනෙක් පැත්තෙන්, දූෂණයට එරෙහි සටන යන නාමයෙන් විවේචනයේ අයිතිය, විරුද්ධත්වයේ අයිතිය සහ නීතිමය ආරක්ෂාවන් අඩු කිරීමද ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. එබැවින් දෙපාර්ශ්වයම එකම ප්‍රශ්නයකට මුහුණ දෙයි. එනම් පැරණි බලය ආරක්ෂා නොකර, නව බලයටද සීමා පනවන්නේ කෙසේද?
“මහජන බලය” යනු කුමක්ද?
මෙහිදී ජාජබයේ “මහජන බලය” පිළිබඳ අදහස ඉතා වැදගත්ය. මහජන බලය යනු මැතිවරණයකදී ඡන්දය දීම පමණක් නොවේ. එය සංවිධානය වීම, සාකච්ඡා කිරීම, විවේචනය කිරීම, බලය පරීක්ෂා කිරීම සහ අවශ්‍ය විට ආණ්ඩුවට එරෙහිව පවා සිටීමේ හැකියාවයි.
එබැවින් ජාජබය නැවත ජනතාව සංවිධානය කරන්නේ නම් එය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තියකි. නමුත් මෙහි විශාල පරස්පරතාවක් තිබේ.

ආණ්ඩුවට පක්ෂව ජනතාව සංවිධානය කිරීම සහ ආණ්ඩුව පරීක්ෂා කිරීමට ජනතාව සංවිධානය කිරීම එකම දෙයක් නොවේ. සැබෑ “මහජන බලය” යනු ආණ්ඩුවට සහාය දෙන ජනතාව පමණක් නොවේ. ආණ්ඩුව විවේචනය කරන ජනතාවද මහජනතාවය. ආණ්ඩුවට ඡන්දය දුන් අයද මහජනතාවය. ආණ්ඩුවට ඡන්දය නොදුන් අයද මහජනතාවය. ඒ නිසා “ජනතාව අප සමඟයි” යන්න ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන සත්‍යයක් නොවේ. ජනතාව සෑම විටම බහුත්වයකි.
ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශය
ප්‍රජාතන්ත්‍රවාදය යනු “හොඳ මිනිසුන් බලයට පත් කිරීම” පමණක් නොවේ. එසේ නම් සෑම මැතිවරණයකදීම ජනතාව “හොඳම” පක්ෂය තෝරාගත යුතු අතර, ඉන් පසුව එම පක්ෂයට සම්පූර්ණ නිදහස ලබාදිය හැකිය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය එසේ ක්‍රියා නොකරයි.
ප්‍රජාතන්ත්‍රවාදය යනු බලයට පැමිණෙන අය හොඳ වුවද, ඔවුන්ට බලයේ සීමා මතක් කරවන ආයතන සහ සමාජ බලවේග පවත්වාගෙන යාමයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශය වන්නේ: බලය ලබාගැනීම පමණක් නොව බලය සීමා කිරීමය. ජනතාව සංවිධානය කිරීම පමණක් නොව ජනතාවට විරුද්ධ වීමට ඇති අයිතියද පිළිගැනීමය. නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් නොව නීතිය යටතේ තමන්ටද වගකීමට සිදුවන බව පිළිගැනීමය. ජයග්‍රහණය කිරීම පමණක් නොව පරාජය වීමට සූදානම් වීමය. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාම ගැඹුරු පරමාදර්ශයයි.
නව හෙජමොනියක්ද? නව ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක්ද?
ජාජබයට අද තිබෙන ඉතිහාසමය අවස්ථාව මෙයයි. එයට අවශ්‍ය නම් පැරණි රාජපක්ෂ හෙජමොනිය වෙනුවට “පිරිසිදු අපි – කළු විපක්ෂය” යන නව හෙජමොනියක් ගොඩනැගිය හැකිය. එහිදී ආණ්ඩුව පිරිසිදුය. විපක්ෂය පැරණිය. ආණ්ඩුව ජනතාවයි. විවේචකයා පැරණි බලයේ නියෝජිතයෙකි. ආණ්ඩුවේ නීතිය යහපත්ය. ආණ්ඩුවට එරෙහි ප්‍රතිරෝධය සැක සහිතය. මෙය දේශපාලනිකව ඉතා බලවත් ආඛ්‍යානයකි. නමුත් එමඟින් දිගුකාලීනව ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ගොඩනැගෙන්නේ නැත.
අනෙක් විකල්පය වන්නේ, පැරණි හෙජමොනිය බිඳ දැමීමෙන් පසු, කිසිදු නව පක්ෂයකට සම්පූර්ණ හෙජමොනික බලයක් නොලැබෙන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ගොඩනැගීමයි. එය වඩා දුෂ්කර මාර්ගයකි.
එහිදී ආණ්ඩුවට තමන්ගේම ආධාරකරුවන්ට පමණක් නොව විවේචකයන්ටද ඉඩ දීමට සිදුවේ. විපක්ෂයටද පැරණි බල ව්‍යුහයන්ගෙන් දුරස් වී නව විශ්වාසයක් ගොඩනැගීමට සිදුවේ. මාධ්‍යයට දෙපාර්ශ්වයම ප්‍රශ්න කිරීමට සිදුවේ. සිවිල් සමාජයට ආණ්ඩුවට එරෙහි වීම පමණක් නොව, පැරණි බලය ආරක්ෂා කිරීමෙන් වැළකීමට ද සිදුවේ.
ආණ්ඩුවේ සැබෑ ඓතිහාසික පරීක්ෂණය

වත්මන් ආණ්ඩුව නිසැකවම ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික නිර්මාණයකි. පැරණි පක්ෂ පද්ධතියේ බිඳවැටීම, 2022 ආර්ථික අර්බුදය, අරගලය, රාජපක්ෂ හෙජමොනියේ බිඳවැටීම සහ ජාජබයේ බලයට පැමිණීම එකිනෙක සම්බන්ධ වූ විශාල පරිවර්තනයක කොටස්ය. එබැවින් අද ජාජබය නැවත ජනතාව අතරට යාම වැදගත්ය. එහෙත් එහි සාර්ථකත්වය මැනිය යුත්තේ රැස්වීම්වලට පැමිණෙන ජන සංඛ්‍යාවෙන් පමණක් නොවේ.
සැබෑ ප්‍රශ්නය වන්නේ, ආණ්ඩුවට සහාය දීමට පමණක් ජනතාව සංවිධානය කරනවාද නැතහොත් ජනතාවට ආණ්ඩුව ප්‍රශ්න කිරීමටත්, විවේචනය කිරීමටත්, අවශ්‍ය විට ආණ්ඩුව පරාජය කිරීමටත් හැකි දේශපාලන බලයක් බවට සංවිධානය කරනවාද?
පළමු ආකෘතිය වන්නේ ජනප්‍රිය ආණ්ඩුවක් ගොඩනැගීමයි. දෙවන ආකෘතිය වන්නේ ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීමයි. මේ දෙක එකක් නොවේ. එබැවින් ජාජබයේ ඓතිහාසික පරීක්ෂණය රාජපක්ෂ හෙජමොනිය අවසන් කිරීම පමණක් නොවේ. එය ඊටත් වඩා දුෂ්කර කාර්යයක් ඉදිරියේ තබා ඇත.
තමන්ට පෙර තිබූ “අපි vs ඔවුන්” දේශපාලනය පරාජය කර බලයට පැමිණි පක්ෂයක්, බලයට පැමිණි පසු නැවතත් “අපි සහ කළු විපක්ෂය” යන නව ද්විත්වයක් ගොඩනොනගා, බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනගන්නේ කෙසේද? ඒ ප්‍රශ්නයට පිළිතුර ලැබෙන්නේ රැලිවලින් නොවේ.
එය තීරණය වන්නේ නීතිය තමන්ගේ විරුද්ධවාදීන්ට පමණක් නොව තමන්ටද එකසේ ක්‍රියාත්මක කරන විටය; විවේචනයට ඉඩ දෙන විටය; විපක්ෂය දේශපාලනිකව නීත්‍යානුකූල බලවේගයක් ලෙස පිළිගන්නා විටය; රාජ්‍යය පක්ෂයෙන් වෙන් කරන විටය; සහ අවසානයේ, තමන්ගේම බලය සීමා කිරීමට කැමති වන විටය.
මන්ද, ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන ජයග්‍රහණය වන්නේ “අපි බලයට පැමිණීම” නොව, “අපි බලයේ සිටියත් අපව ද පාලනය කළ හැකි ව්‍යුහයක් ගොඩනැගීම” යි. එබැවින් ජාජබයේ ඉදිරි දේශපාලන ගමන “පරිපාලනයෙන් දේශපාලනයට” පමණක් නොව, තවත් ගැඹුරු වෙනසකට මාරුවිය යුතුය: එනම් “මහජනතාව අප සමඟයි” යන දේශපාලනයෙන්, “මහජනතාවට අපවද ප්‍රශ්න කළ හැකිය” යන ප්‍රජාතන්ත්‍රවාදය වෙතය.

(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)







