leader s

"ඩී.එස්. නිදහස් ලංකාවේ සැලසුම්කරුවා නම්, පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාවේ නූතනත්වය නිර්මාණය කළ රැඩිකල් නියමුවා ජේ.ආර්. ය!"


හැමදේම රජයෙන් දෙන තෙක් බලා සිටි පොදුජන මනස උඩුයටිකුරු කරමින්, අද අප ජීවත් වන ලෝකය තැනූ නායකයාගේ 120 වැනි ජන්ම දිනයට ආවර්ජනයක්...

අද ජේආර් ජයවර්ධනගේ 120 වන ජන්ම දිනය සැමරෙන බව දැක්කා. ජේආර් කියන්නෙ මම ලංකාවෙ වඩාත්ම ගරු කරන දේශපාලන නායකයා කියලා කට ඇරලා කියන්න පුළුවන්. ඩී එස් සේනානායක කියන්නෙ නිදහස් ශ්‍රී ලංකාවෙ සැලසුම්කරුවා නම් ජේආර් කියන්නෙ පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාවෙ නූතනත්වයේ සැලසුම්කරුවා කියන්න පුළුවන් (architect of post-colonial Sri Lanka's modernisation).

ජේආර් ගැන බොහෝ නරක වාමාංශික පිරිස් වෙතින් අපිට අහන්න ලැබෙනවා. ඇත්තටම ඒ කියවෙන දුර්ගුණ මගිනුත් ජේආර් කියන විශාල පෞර්ෂය තව තවත් ලොකු වෙනවා කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා ඒ දුර්ගුණ ගැන කතා කිරීමට වාමාංශිකයන්ට ඉඩ තියලා මම ‍ජේආර්ගෙ සුවිශේෂත්වය ධනාත්මකව සළකුනු කරන්න කැමතියි.

ජේආර්ගෙ ලංකාවට ‘පෙර ලංකාව’ පැවතුනෙ පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වය සහ පාලනය, ආනයන සීමා, විනිමය පාලනය, මිළ පාලනය, ආනයන ආදේශක සහ දැඩි ලෙස පාලනය කරන ලද පුද්ගලික අංශයක් මතයි.

සංවෘත ආර්ථිකය උඩුයටිකුරු කළ 77 විප්ලවය

77 මේ සියල්ල ‍ජේආර් නැමැති විප්ලවවාදියා  විසින් කණපිට හැරෙව්වා. නිදහස් වෙළඳපොල ආර්ථිකය හඳුන්වාදුන්නා. විනිමය පාලන ක්‍රම වෙනස් කළා. පුද්ගලික සහ විදේශ ආයෝජන දිරිමත් කළා. වෙළඳ පොල ආර්ථිකය මත සම්පත් කළමනාකරණයකට යොමු වුනා. IMF එක කියන විදිහට‍ ජේආර් විසින් ඊට පෙර පැවති ‍දශක දෙකේ ආර්ථික ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කළා.

අද අපි ජීවත් වන ලංකා‍ව, එනම් පුද්ගලික ව්‍යාපාර, ආනයන අපනයන ආර්ථිකය, විදෙස් ආයෝජන, නිදහස් වෙළඳපොල, සංචාරක කර්මාන්තය සහ ගෝලීය ආර්ථිකය සමග බැඳීම යනාදියෙහි නිර්මාර්තෘ වන්නේ ජේආර්.

වෙළඳපොළට මුදාහැර නිකම් නොසිටි රාජ්‍ය ආයෝජනයේ පිබිදීම

ගොඩක් අය හිතන විදිහට ජේආර් ආර්ථිකය විවෘත කරලා වෙළඳපොලට ක්‍රියාත්මක වෙන්න ඉඩ ඇරලා බලන් හිටියෙ නෑ. මං හිතන්නෙ ජේආර්ගෙ ගොඩක් අය කතා නොකරන කොටස පවතින්නෙ මෙතන. ජේආර් රජය යටතේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාවට නැගුනා.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය කඩිනම් කළා. නිවාස ඉදිකිරීම්, අපනයන සැකසුම්, රාජ්‍ය ආයෝජන, කෘෂිකාර්මික සංවර්ධන සහ බලශක්ති උත්පාදන ආදී අංශ රැසකට ජේආර් රජය මැදිහත් වුනා.

මේ නිසා ජේආර් රජය අපිට කියවන්න වෙන්නෙ, වෙළඳපොල ආර්ථිකය සමග විශාල රාජ්‍ය ආයෝජනයක්, යටිතල සංවර්ධනයක්, මානව සම්පත් සංවර්ධනයක් සහ ගෝලීය සහයෝගීතාවයක් වර්ධනය කළ යුගයක් විදිහටයි.

කඩිනම් මහවැලි ව්‍යාපාරය කියන්නෙම ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘතියක්. ඒක වාර්මාර්ග ව්‍යාපෘතියක් විතරක් නෙමෙයි. කෘෂිකර්මය, ජලවිදුලිය, ජනාවාස ඇති කිරීම, රැකියා උත්පාදනය, ප්‍රාදේශීය සංවර්ධනය, යටිතල සංවර්ධනය ආදී ක්ෂේත්‍ර රැසක මහා පිබිදීමක්.

ජේආර්ගෙ සොමිය තිබුනෙ ඊලග මැතිවරණය ජයග්‍රහණය කිරීමේ නෙමෙයි. එයාට තිබුනා මේ රටේ නව සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ සොමියක්. ඒක අද බොහෝ දේශපාලකයන්ට නැති දෙයක්. රට පිළිබඳ විසල් දැක්මක්, පොදු ජන මනස ඉක්මවා යන පරිකල්පනයක්. ජේආර්ට ඒක තිබුන.

රට ඇතුලට හැරුණු ලංකාවෙ එතෙක් පැවති දෘෂ්ටිය වෙනුවට රටෙන් එලියට යොමු වුණු දෘෂ්ටියකට, රාමුවකට මාරු කලේ ජේආර් විසිනුයි.

ජේආර්ගෙ වෙළඳපොලවාදය ගැන කතා කරන ගොඩක් අය ජේආර් විසින් ආරම්භ කළ සමාජ සුබසාධන ව්‍යාපෘතීන් දකින්නෙ නෑ. පාසැල් පොත් නොමිලේ ලබාදීම, මහපොල ශිෂ්‍යත්ව, ග්‍රාමීය ණය ව්‍යාපෘති, නිවාස යෝජනා ක්‍රම, සුවිසල් යටිතල් පහසුකම් සංවර්ධන ආයෝජන ආදී  සියල්ල ජේආර් රජය යටතේ ආරම්භ වුනා. මෙතනදි පාසැල් පොත් නොමිලේ ලබාදීම සහ ශිෂ්‍යත්ව ක්‍රම හදුන්වාදීම විශේෂයෙන් සළකුනු කරන්න අවශ්‍යයි. ඒ ජනතාවට වෙළඳපොල ආර්ථිකය තුල අවස්ථා උත්පාදනය කිරීම වෙනුවෙන් ඇති කළ ඒවායි.

විධායක ජනාධිපති ක්‍රමය සහ පොදුජන පරිකල්පනයේ රැඩිකල් වෙනස

ජේආර් ලංකාවෙ දේශපාලන සැකැස්මත් ප්‍රතිනිර්මාණය කළා. එයා විධායක ජනාධිපතික්‍රමය මේ රටට හඳුන්වා දුන්නා. ඒක නැති කරනවා යැයි බෙරිහන් දෙමින් පැමිනි අනුර කුමාර දිසානයකවත් අද ඒක නැති කරන්න උනන්දුවක් නෑ. ඒ තරමට ඒ හඳුන්වාදීම ප්‍රබලයි. අවශ්‍යයි. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය වුනේම පාර්ලිමේන්තුවේ අස්ථාවරත්වය මත රටේ ක්‍රියාත්මක වන දැවැන්ත, දීර්ඝ කාලීන වැඩසටහන් බිඳ නොවැටීම පිණිසයි. අද විධායක ක්‍රමය ගැන නොයෙකුත් චෝදනා තියෙන්න පුළුවන්. ඒවා ගැන අපිට කතා කිරීමටවත් සදාචාරයක් පවතින්නෙ කවුරුන් හෝ සුද්දවන්තයෙක් එය අහෝසි කළාට පසුවයි.

ජේආර් අතින් සිදුවුනු වැදගත්ම දේ කියලා මම දකින්නෙ මේ රටේ පොදුජන පරිකල්පනයේ රැඩිකල් වෙනසක් ඇති කිරීමයි. එතෙක් පැවැතුනු ‘රජය විසින් සියල්ල ලබා දෙයි’ කියන පොදු මානසිකත්වය වෙනුවට ‘රජය විසින් කරන්නේ ජනතාවට නිෂ්පාදන දියුණු කරගත හැකි අවස්ථා නිර්මාණය කිරීමයි’ කියන පරිකල්පනය ඇති කලේ ජේආර් විසින්.

ජේආර් කියන්නෙ අමුතු පිහිටීමක්. ආර්ථිකව ලිබරල් නමුත් දේශපාලනිකව මධ්‍යගතවාදයක්. එයාගෙ විශ්වාසය වුනේ ආර්ථික නිදහස සමග ශක්තිමත් රාජ්‍යයක් කියන එක. රජය විසින් යටිතලය සකස් කරන අතර පුද්ගලික අංශය විසින් ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාම තමයි ජේආර් දර්ශනය වුනේ.

ඉතින් ජේආර් කියන්නෙ අපි කොයිතරම් මගහරින්න උත්සාහ කළත් නැවත නැවතත් මුනගැහෙන රැඩිකල් නායකත්වයක්. වෙන විදිහකින් කිව්වොත් අද ඉන්න අපිව නිර්මාණය කළ සැලසුම්කරුවා වන්නේ ඔහුයි.

ජේආර් නාමය තව බොහෝ කලක් දනන් තුඩ තුඩ රැදෙන්න දීර්ඝායු වේවා!

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්