ප්‍රවාහන හා පරිගණක දෝෂ නිසා ශ්‍රී ලංකා පිළට පැය 24ක දුෂ්කර ගමනක්; ඉන්දීය ක්‍රීඩකයන්ට කෑමත් නෑ!
ආරම්භයටත් පෙරම සංවිධාන ශක්තිය බිඳවැටෙයි; බස් රථවලට පාර වැරදී පාපන්දු තරගයත් ප්‍රමාද වෙයි!
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම පිණිස අයිචි-නගෝයා නගරයට පැමිණි අවස්ථාවේ එහි පුළුල්ව ව්‍යාප්තව තිබූ ප්‍රවාහන ප්‍රමාදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල ක්‍රීඩකයින් හා නිලධාරීන් ඊයේ අතරමංව සිටි බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා නියෝජිත පිරිසට පැය 24කට වැඩි කාලයක් ගුවන් තොටුපල අසල රස්තියාදු වීමට සිදුව තිබෙනවා.
ක්‍රීඩා උළෙල ආරම්භ වීමටත් පෙර එහි සැලසුම් සංවිධානය මෙසේ කඩා වැටීම නිසා මේ උළෙල බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට සත්කාරක රටට තිබෙන හැකියාව පිළිබඳව බොහෝ දෙනාගේ සැලකිල්ල යොමුව තිබෙනවා.
තරගවලට මුහුණ දීමේ අභියෝගයට වඩා ඉන් පිටත තිබෙන මේ කරදර විඳ දරා සිටීම ඉතාමත් අසීරු බව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවසනවා.
Chubu Centrair ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නගෝයා නගරයට ඇතුළු වූ විවිධ රටවල සහ කලාපවල බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ නිලධාරීන්ට ඔවුන්ගේ ප්‍රවාහනය ප්‍රමාද වීම නිසා ඒ අසල පිහිටි Aichi Sky Expo (ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාව) ස්ථානයේ රැඳී සිටීමට සිදුවුණා.
බොහෝ රටවල කණ්ඩායම් නගෝයා නගරයට පැමිණීමෙන් පසුව මඟ බලා සිටියේ වාහන පැමිණ ඔවුන්ව ඔවුන්ට නිල වශයෙන් වෙන්කර තිබෙන නැවතීමේ ස්ථාන කරා ගෙන යනතුරුයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකුගේ තොරතුරු සොයා ගැනීමට පරිගණක ක්‍රමවේදය අසමත් වීම නිසා ඔවුන්ට කලින් පිළියෙළ කර තිබූ ‘ෂට්ල්’ බස් රථවලට ගොඩවීමට නොහැකි වුණා. මේ ප්‍රශ්නයට නිල පැහැදිලි කිරීමක් ලබා දී තිබුණේ නැහැ.
ජාතික කණ්ඩායම් කිහිපයක් ඇතුළු චීන නියෝජිත පිරිසක් නගෝයා ගුවන් තොටුපලට ගොඩබැස්සේ ජපන් වේලාවෙන් පස්වරු 12.15 ට පමණ. ඔවුන් සමහරෙකුගේ විස්තර පරිගණක ක්‍රමවේදයෙන් සොයාගත නොහැකි වීම හේතුවෙන් ඔවුන්ට ෂට්ල් බස් රථවලට ගොඩවීමට නොහැකි වූ බව චීන මාධ්‍ය වාර්තා කරනවා.
නවාතැන් අර්බුදයට අමතරව ඉන්දියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආහාර හිඟයකට ද මුහුණ දෙමින් සිටින බව පැවසෙනවා.
පද්ධතියේ පරිගණක දෝෂයෙන් රටවල් ගණනාවක් මහමඟ

පරිගණක කටයුතු අවුල් වීම රටවල් හා කලාප ගණනාවකම නියෝජිතයින්ට බලපා තිබෙනවා. චීනයේ ජිම්නාස්ටික්ස් කණ්ඩායමේ සාමාජිකයින් 21 දෙනාගෙන් පරිගණකයෙන් සොයා ගැනීමට හැකිව තිබුණේ දෙදෙනෙකුගේ විස්තර පමණයි. මේ හේතුවෙන් මුළු කණ්ඩායම ට ම අතරමං වීමට සිදුවුණා.
ඉතාමත් වෙහෙසට පත්ව සිටි ක්‍රීඩකයින් ගුවන් තොටුපලට පිටතින් පිහිටි අයිචි ස්කයි එක්ස්පෝ ස්ථානයේ පැය ගණන් බලා සිටියා. බොහෝ චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම කාලය පුහුණුවීම සඳහා යොදා ගත්තේ උණුසුම්ව සිටීම සඳහා යෝගා පැදුරු එලා ගනිමින්.
“පිටත්වන නියම වෙලාවක් ගැන කිසිම කෙනෙක් අපට කීවේ නැහැ. කාර්ය මණ්ඩලය හා ස්වේච්ඡා සේවකයින්ට පවා පැහැදිලි පිළිතුරක් දීමට පුළුවන්කමක් තිබුණේ නැහැ” යනුවෙන් චීන නියෝජිත පිරිසේ නිලධාරියෙක් කියා සිටියා.
ප්‍රවාහනය එනතෙක් බලා සිටීම ඊයේ සන්ධ්‍යාව අවසන් වනතුරුත් පැවතුණු බව වාර්තා වනවා. කසකස්තානයේ ඉලක්කයට වෙඩි තැබීමේ කණ්ඩායම කිසිම නිල පැහැදිලි කිරීමක් නැතිව පැය දෙකකට වැඩි කාලයක් බලා සිටියා. මේ අවුල ඇතිව තිබෙන්නේ දෙපාර්තමේන්තු අතර දුර්වල සම්බන්ධිකරණය නිසා බව ස්වේච්ඡා නිලධාරියෙක් දන්වා තිබෙනවා.
“කාර්යයන් ගලා යාමේ බොහෝ කොටස් එකිනෙකට සම්බන්ධ කර නැහැ. කණ්ඩායම්වලට අවශ්‍ය නම් පෞද්ගලික ප්‍රවාහනය පිළියෙළ කර ගන්න පුළුවනි. නමුත් ඒ සඳහා යන වියදම ඔවුන් විසින් දැරිය යුතුයි” එම ස්වේච්ඡා නිලධාරියා පවසා තිබෙනවා.
නිල බස් රථ සඳහා පැහැදිලි කාලසටහනක් නොතිබීම නිසා චීනයේ බැඩ්මින්ටන් කණ්ඩායම ගුවන් තොටුපලෙන් පිටත් වන මහජන බස් රථවලට ගොඩවීමට උත්සාහ කළ ද සෑම දෙනාටම ප්‍රමාණවත් ප්‍රවේශපත් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වුණා. සමහර ක්‍රීඩකයින් වෙන් වෙන්ව පිටව ගිය අතර අනෙක් අය නතර වුණා.
ඉතිරි වූ බැඩ්මින්ටන් ක්‍රීඩකයින්ට නගෝයා හි චීන කොන්සල් ජනරාල්වරයාගේ කාර්ය මණ්ඩලයෙන් උපකාර ලැබුණු අතර ඔහු දේශීයව තිබෙන චීන විදේශීය සම්බන්ධකම් හරහා කුලී රථ පිළියෙළ කර දී තිබෙනවා. අවසානයේදී සම්පූර්ණ කණ්ඩායම ආචි ස්කයි එක්ස්පෝ ස්ථානයෙන් පිටව ගොස් තිබෙන්නේ පස්වරු 4.30 ට.
අනෙක් චීන කණ්ඩායම් ද දීර්ඝ ප්‍රමාදයන්ට මුහුණ දුන්නා. ටෙබ්ල් ටෙනිස්, වුෂු හා ඔරු පැදීමේ කණ්ඩායම්වල සමහර සාමාජිකයින් පස්වරු 5.00 ට පමණ නිල බස් රථවලට ගොඩවූ අතර ගුවන් තොටුපලට ගොඩබැසීමෙන් පසුව පැය හයකට ආසන්න කාලයක් ගත කළ ජිම්නාස්ටික්ස් කණ්ඩායමට පස්වරු 6.00 වනතෙක් එතැනින් පිටව යාමට හැකිවුනේ නැහැ.
ශ්‍රී ලංකා පිලට පැය 24ක අනපේක්ෂිත රස්තියාදුවක්
සමහර රටවල නියෝජිත කණ්ඩායම්වලට ඊට වඩා වැඩි කාලයක් මේ වේදනාකාරී අත්දැකීමට මුහුණ දීමට සිදුවුණා. නිවසින් පිටත් වීමෙන් පසුව තමාගේ කණ්ඩායමේ ගමන හා නතර වී සිටි කාලය පැය 24ක් දක්වා විහිදී ඇතැයි ජපාන වේලාවෙන් පස්වරු 7.00 ට පමණ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නිලධාරියෙක් කියා තිබෙනවා.
ඊයේ දිනය පුරා පහසුකම් තත්ත්වය තිබුණේ අවම මට්ටමෙන් බවත් එම ස්ථානයේ ආහාර නොතිබුණු අතර සැපයුනේ වතුර පමණක් බවත් වාර්තා වනවා.
බස් රියදුරන්ට පාර සොයා ගන්න බැරිවීමෙන් පාපන්දු කණ්ඩායම් අමාරුවේ
මේ අතර දකුණු කොරියාව හා කටාර් රාජ්‍යය අතර අඟහරුවාදා පැවති ආසියානු ක්‍රීඩා පාපන්දු තරගය සඳහා කණ්ඩායම් ක්‍රීඩාංගණයට පැමිණ තිබෙන්නේ නියමිත වේලාවට වඩා මිනිත්තු 30ක් පමණ ප්‍රමාද වීමෙන් බව වාර්තා වනවා. මීට හේතු වී තිබෙන්නේ මේ කණ්ඩායම් දෙකේ ම රියැදුරන්ට පාර වැරදීම බව පැවසෙනවා.
මේ රටවල් දෙක නගෝයා නගරයේ මිසුහො පාක් රග්බි පිටියේදී ඔවුන්ගේ ‘ඩී’ කොටසේ තරගය ආරම්භ කිරීමට නියමිත තිබුණේ පස්වරු 7.30 ට වූ අතර ඇඟ උණුසුම් කර ගැනීමේ ක්‍රියාවන් තරගයට මිනිත්තු 50කට පෙර ආරම්භ කිරීම සැලසුම වී තිබුණා.
කෙසේ වෙතත්, කණ්ඩායම් ක්‍රීඩාංගණයට පැමිණියේ පස්වරු 6.20 ට. ඒ අනුව ඔවුන්ට ඔවුන්ගේ ශරීර උණුසුම් කරගැනීමේ ක්‍රියාවලියට සූදානම් වීම පිණිස ඉතිරිව තිබුණේ සුළු වේලාවක් පමණයි. නිලධාරියෙකු පවසන පරිදි, කණ්ඩායම් රැගෙන පැමිණි බස් රථ දෙකේ ම රියදුරන් පාපන්දු ක්‍රීඩාංගණය වෙනුවට එහි ආසන්නයේ පිහිටි බේස්බෝල් ක්‍රීඩාංගණයට කණ්ඩායම් ගෙන ගොස් තිබෙනවා.
ජාත්‍යන්තර තරගාවලියකදී මෙවැනි දෙයක් සිදු නොවිය යුතුව තිබූ බව කොරියානු නිලධාරියෙකු පැවසුව ද, කොරියානු පාපන්දු සංගමය තවමත් ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර නැහැ.
මහ වරුසාව මැද ක්‍රීඩකයින් ශරීර උණුසුම් කර ගැනීමේ ව්‍යායාමය සඳහා පිටියට පැමිණ තිබෙන්නේ පස්වරු 6.45 ට පමණ බව වාර්තා වනවා.
ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම පිණිස නගෝයා නගරයට පැමිණ සිටින දකුණු කොරියානු පාපන්දු කණ්ඩායමට ප්‍රවාහනයේ ප්‍රමාද දෝෂයක් ඇතිවූ පළමු අවස්ථාව මෙය නෙවෙයි. නිශ්චය කරන ලද වාහනයක් කණ්ඩායම නැවතී සිටින හෝටලයට එවීමට සංවිධායක කමිටුව අසමත් වීම හේතුවෙන් කොරියානු පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලී මින්-සං සඳුදා මිසුහො පාක් රග්බි පිටියේ පැවති පූර්ව-තරගය මාධ්‍ය සාකච්ඡාවට පැමිණීම මිනිත්තු කිහිපයකින් ප්‍රමාද වුණා.
ටැක්සියකින් එම ස්ථානයට යන ලෙසට සංවිධායක කමිටුව ලී ට දන්වා ඇති බවත් එහෙත් ඔහු සහ කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ඔවුන්ට එතැනට යාම සඳහා වෙනත් නිල වාහනයක් සොයා ගත් බවත් කොරියානු පාපන්දු සංගමය කියා තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







