හයිටි සාම සාධක මෙහෙයුමේදී සිදුවූ බාලාපචාර ගැන අවුරුදු 19කට පසු යුද හමුදාවෙන් හෙළිදරව්වක්
-ස්වාධින සුපරීක්ෂාවකින් තොරව යළිත් දැවැන්ත භට පිරිසක් එරටට.
ළමුන් අපයෝජනය කළ 108ක් එදා ගෙදර එවද්දී සෙන්පතියන්ට උසස්වීම් - මානව හිමිකම් කොමිසමත් හැලෙද්දී නව බලඇණිය ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානයක්.
විදේශගත මෙහෙයුමක යොදවා සිටියදී ශ්‍රී ලංකා යුද භටයන් විසින් බාල ළමුන් ගණනාවක් ලිංගික වශයෙන් අපයෝජනය කරන ලද බව යුද හමුදාව පිළිගෙන තිබේ.
හයිටියේ සාමසාධක මෙහෙයුම්වල යොදවා සිටියදී වසර ගණනාවක් තිස්සේ කරන ලද මෙම අපරාධ පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාව අවුරුදු 19 කට පසුව තම දැනුවත් භාවය පල කොට ඇත්තේ දිවයිනෙන් මෙතෙක් යවනු ලබන විශාලතම බල ඇණියේ මුල් භට පිරිස එරටට ගොඩ බැසීමෙන් අනතුරුවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2007 දී කරන ලද අභ්‍යන්තර පරීක්ෂණයකින් රැස් කළ විශ්වසනීය සාක්ෂි අනුව 2005 සිට 2007 දක්වා කාල පරිච්ඡේදය තුලදී අඩුම වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදා භටයන් 134 දෙනකු විසින් හයිටියේ ළමුන් ලිංගික අපචාරයේ යොදවා තිබේ. සමහර ළමයින්ගේ වයස අවුරුදු අටකි. ගැහැණු හා පිරිමි දරුවන්ට එරෙහිව සිදුකරන ලද ලිංගික අපරාධ හෙළිවූ පසු 2007 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා හමුදා භටයන් 108 දෙනකු හයිටියෙන් පිටුවහල් කරන ලදී.
“එවැනි අපරාධ කළ බවට චෝදනා ලබන අයවලුන්ට එරෙහිව අභ්‍යන්තර යුද්ධාධිකරණයක නඩු පැවරීමෙන් අනතුරුව සේවයෙන් පහකරන ලදී,” යි යුද හමුදා ප්‍රකාශක වරුණ ගමගේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුණි.
චෝදනා ලැබූවන් සේවයෙන් පහකළත් උසස්වීම් ලැබූ සෙන්පතියෝ
කෙසේ වෙතත්, දේශීය නීතිය අනුව බරපතල සිර දඬුවම් පැනවිය යුතු හයිටි බාලාපචාර සම්බන්ධයෙන් කිසිවකුටත් උසාවියක නඩු පැවරූ බවක් දැනගන්නට නැතත් එම මෙහෙයුම්වල යොදවා සිටි සෑම සෙන්පතියකුටම පාහේ උසස්වීම් නම් ලැබී ඇති බව සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් අනාවරණය කර තිබුණි.
2005 නොවැම්බර් සිට 2006 ජුනි දක්වා හයිටියේ සාම සාධක මෙහෙයුම් සඳහා යවා තිබූ තුන්වැනි බලකායේ ගැමුණු හේවා බලඇණියේ දෙවැනි අණදෙන නිලධාරියා වූයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකරයි.
ශ්‍රී ලංකාවෙන් යවන භටයන් මානව හිමිකම් උල්ලංඝනය කර නැති බවට සහතික කිරීම සඳහා වන විශේෂ සුපරීක්ෂණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එකඟතාවෙන්, එජා මානව හිමිකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුතුව රජය විසින් 2016 පටන් භාර දෙනු ලැබුයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටය.
විමර්ශන මගහැර ලෙබනනයට යැවීම සහ මානව හිමිකම් කොමිසමේ ඉවත්වීම
එයින් අවුරුද්දක් ගතවත්ම, එම විමර්ශන ක්‍රියාදාමය මගහැර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අනුදැනුමකින් තොරව යුද හමුදාව විසින් දකුණු ලෙබනනයට භට පිරිසක් යවා තිබුණි. දෙසීයකට අධික සොල්දාදුවන්ගේ සුපරීක්ෂණය සිදුකෙරෙමින් තිබියදී 49 දෙනකු මෙහෙයුම් සඳහා යවා ඇති බව කොමිසම දැනගෙන තිබුනේ මාධ්‍ය නිවේදනයකිනි.
“සුපරීක්ෂණයට ලක් නොකළ සොල්දාදුවන් මෙහෙයුම් සඳහා යෙදැවීම මානව හිමිකම් කොමිසම සමග එළැඹි ගිවිසුම මුළුමනින්ම උල්ලංඝනය කිරීමකි,” යි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ එවක සභාපතිනි දීපිකා උඩගම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පැමිණිලි කරමින් ලියා තිබුණාය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් භට පිරිස් ගෙන්වීම අවුරුද්දක කාලයකට අත් හිටුවා තිබුණි. රාජ්‍ය බලධාරීන්ගෙන් අනවශ්‍ය බලපෑම් කෙරෙන බව පවසමින් 2024 ජූනි මාසයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සුපරීක්ෂණ ක්‍රියාදාමයෙන් ඉවත් විය.
“උදාහරණයක් ලෙස, එක වතාවකදී එවක මහජන ආරක්ෂක අමාත්‍යවරයා මානව හිමිකම් කොමිසමට පැමිණ ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් අයැදුම් කරුවන්ට මානව හිමිකම් සහතිකය ලබා දෙන ලෙසට බලපෑම් කළේය,” යි කොමිසම විසින් 2024 දෙසැම්බර් මාසයේ ප්‍රසිද්ධ කළ විශේෂ වාර්තාවක දැක්වේ.
විදේශීය මෙහෙයුම් සඳහා යවන භට පිරිස් සෝදිසිය සඳහා අන්තර් අමාත්‍යංශ විමර්ශන මණ්ඩලයක් පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබුණි.
එවන් ආයතනයක් තවමත් ස්ථාපිත කර නැති තැන දැන් රට යවන යුද හමුදා භටයන් මානව හිමිකම් උල්ලංඝනය කර ඇතිද යන්න පිලිබඳ සෝදිසිය හා සුපරීක්ෂාව භාරව සිටින්නේ යුද හමුදාවමය.
ස්වාධීන සෝදිසියකින් තොරව හයිටියට ගිය නව බලඇණිය
හයිටියේ කල්ලි මර්දන බලකායට (Gang Suppression Force -GSF) එක්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් අලුතින් යැවෙන භට පිරිසට යුද හමුදාවේත්, පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේත් 1,132 ක් ඇතුලත් වෙයි.
ඒ අතරින් නිලධාරීන් 28 කින් සහ සෙසු නිල 289 දෙනකුගෙන් සැදුම්ලත් පළමු කණ්ඩායම කර්නල් තුශාන්ත ප්‍රියංකර ගේ නායකත්වයෙන් යුතුව ජූලි මස මුල් සතියේ හයිටියේ පෝර්ට් ඕ ප්‍රින්ස් අගනුවරට ගොඩ බැස ඇත්තේ අතීත මානව හිමිකම් චර්යාව ස්වාධීන හා විශ්වසනීය යාන්ත්‍රණයක පුර්ව සෝදිසියකින් තොරව ඔවුන් නොයවන ලෙස ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් ඉල්ලා සිටියදීය.
යවනු ලබන නිලධාරීන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කරන ලෙස කරන ලද ඉල්ලීමද සැලකිල්ලට ගෙන නැත.
භට පිරිසගේ මානව හිමිකම් යෝග්‍යතාව සහතික කරනු ලබන්නේ තමන් විසින්ම බව යුද හමුදාව තහවුරු කර ඇත.
අභ්‍යන්තර සුපරීක්ෂණ ක්‍රියාදාමයකින් තෝරාගන්නා නාමලේඛනය ඇමරිකා එක්සත් ජනපදයටත්, වැඩිදුර සෝදිසිය සඳහා මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයටත් යවන ලද බව යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ පවසයි.
ඒ ඒ රටවල ධජය යටතේ යොදවනු ලබන කල්ලි මර්දක GSF බලකායේ කාර්ය සම්පාදනය සිදුකෙරෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි.
සැප්තැම්බර් 30 දා ධුර කාලය අවසන් වන GSF බලකාය තවදුරටත් පවත්වාගෙන යා යුතුද යන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් නුදුරේදීම විවාදයට ගැනීමට නියමිතය.







