19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපති බලතල කප්පාදු වූ බව ඇත්තය.

ඇතැම් ජනාධිපති බලතල මේ ජනාධිපතිවරයාගෙන් පසුව අහෝසි වී ඊළඟ ජනාධිපතිවරයාට නොලැබෙන බවත් ඇත්තයි. එනමුත් ඊළඟ ජනාධිපතිවරයා කිසිම බලතලයක් නැති ඉතාමත්ම දුර්වල හිස් තනතුරක් වන බවට මේ වනවිට සමාජය තුළ පැතිරෙමින් තියෙන පණිවිඩය තනිකරම ජනතාව නොමග යවන අමූලික බොරුවක්. එලෙස ජනතාව රවට්ටන්නට බැරෑරුම් යටි අරමුණුගත අවශ්‍යතාවක් සමහරෙකුට තිබෙන බව පැහැදිළියි. 

Mayadunne

එනිසාම ඊළඟ ජනාධිපතිවරයාට ඇත්තටම හිමි හා අහිමි බලතල මොනවාද කියා අවබෝධ කරගැනීම ජනතාවට ඉතා වැදගත් වෙනවා.

පහත සඳහන් ඡේදවල ඇතුළත් ජනාධිපති බලතල හා කටයුතු වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භයේ සිට අද දක්වාම තිබුණු අතර ඊළඟ ජනාධිපතිවරයාටත් එසේම අදාල වෙනවා. 

ඉන් වැදගත්ම එකක් තමයි, රටේම නායකයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කිරීම. ඒ අනුව රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩු‌වේ ප්‍රධානියාද, සන්නද්ධ සේනාවල සේනාධිනායකයාද වන්නේ, ජනාධිපතිවරයාමයි. 
{ව්‍යවස්ථාවේ අංක 30(1) }. 

Text 55

මේ බලය කෙතරම් අනතුරුදායක එකක්ද යන්න ජනතාවට නිසි ලෙස වැටහෙන්නේ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් ඇති වන ලෙසට ක්‍රියා ආරම්භ කළොත්, එවිටයි.

ජනාධිපතිවරයාගේ බලතල හා ඔහු කළ යුතු වැඩකටයුතු 4ක් ගැන ව්‍යවස්ථා අංක 33 (1) යටතේ කියැවෙනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටත්, ආරක්ෂා කරන බවටත් වගබලා ගැනීම ඉන් පළමුවැන්න. ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාව ප්‍රවර්ධනය ඊළඟ කරුණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේත් ඒ හා බැඳුණු ආයතවවලටත් නිසි ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම එහි තවත් කරුණක්. 

එහි හතරවන කරුණ නම් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම හා ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම තහවුරු කිරීමයි.

තවත් බලතල හා කළ යුතු වැඩ කටයුතු කිහිපයක් :

ඔහුට අයත් තවත් බලතල හා කළ යුතු වැඩ කටයුතු කිහිපයක් ගැන ව්‍යවස්ථාවේ අංක 33 (2) යටතේ කියැවෙනවා. 

පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීම, පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීම, පාර්ලිමේන්තුව කැඳවීම, වාර අවසන් කිරීම හා විසූරුවා හැරීම, තානාපති ධූරයන්ට පත්කිරීම්, බලතල පැවරීම් හා විදේශ තානාපතිවරු පිළිගැනීම, ජනාධිපති නීතිඥයන් පත්කිරීම්, ජනරජයේ රාජ්‍ය මුද්‍රාව තම භාරයට තබා ගැනීම හා අදාළ ලේඛනවලට රාජ්‍ය මුද්‍රාව තැබීම, යුද්ධය ප්‍රකාශකිරීම හා සාමය ප්‍රකාශකිරීම ආදිය එළෙස අදාල වෙනවා.

ඕනෑම අධිකරණයකින් වරදකරුවෙකු කළ අයෙකුට ජනාධිපති සමාවදීමත් (අංක 34), ජනාධීපතිවරයාට එරෙහිව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම ‌‌හෝ පැවැත්වීම නොකළයුතු බවත් ව්‍යවස්ථාවේ දැක්වෙනවා.(35). 

ඊළඟ ජනාධිපතිවරයාට කවුරු වුණත් ඔබට හිමි ඒ බලතල හා කටයුතු ජන ජීවිත අවුල් කිරීමට හෝ නොකිරීමට කෙලින්ම අදාලයි. විශේෂයෙන්ම අර්බුදකාරී පරිසරයකදී එය වඩාත් ප්‍රශ්නකාරී වේවි.

ජනරජයේ සෑම ප්‍රධාන නතතුරකටම පත්වීම් ප්‍රධානය :

ජනරජයේ සෑම ප්‍රධාන නතතුරකටම පත්වීම් ප්‍රධානය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනුයි. ස්වාධීන කොමිෂන් සභා නමයේම සභාපතිවරයන් හා සාමාජිකයන් පත්කරන්නේ ජනාධිපතිවරයායි.{ 41(ආ)}. 

අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයනුත්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයනුත්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයනුත්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා යන තනතුරුත් පිරවීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කරන්නෙත්, ඒවා එම ව්‍යවස්ථා සභාව අනුමත කළහොත් පත්වීම් කරන්නෙත් ජනාධිපතිවරයායි.{41(ඇ)}. 

ඔහු ඒවා වැරදියට යෙදුවොත් ජනතාවට ඉතාම බරපතළ අවදානමක් ඇති කරන බලතල එම තනතුරකට පත්වීමට කෙතරම් සුදුසු අයෙකුට වුණත් එලෙස පත්විය හැක්කේ ජනාධිපතිවරයා ඔහු නිර්දේශ කළහොත් හා පත් කළොත් විතරයි.ජනාධිපතිවරයා නිර්දේශ කරන නුසුදුසු නමක් ව්‍යවස්ථා සභාව අනුමත නොකළහොත් හා ජනාධිපතිවරයා වෙනත් කිසිම නමක් නිර්දේශ නොකළහොත් සිදුවනුයේ එම තනතුර හිස්ව තැබීමයි. ජනාධිපතිවරයාට හිමි ඒ සුවිශේෂ බලය, ස්වාධීනත්වය අත්‍යවශ්‍ය අධිකරණය ඇතුළු ඉහත කී ක්ෂේත්‍රයන්හි ස්වාධීනත්වය විනාශ කිරීමට ලොකු අවධානමක් ඇති කරනවා. 

එපමණක් නොවෙයි, ජනරජයේ ඉහළම පරිපාලන තනතුරු වන ''ජනාධිපතිධූරයේ බලතල කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ සහ ඉටු කිරීමේලා තමාට සහය දීම පිණිස තම මතය අනුව, ලේකම්වරයන් පත් කිරීමටද.'' අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා, සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් කිසිම අයෙකුගේ කිසිම උපදේශයකට යටත් නොවී පත් කිරීමටද ජනාධිපතිවරයාට සම්පූර්ණ බලතල රැඳී තියෙනවා. {අංක 41 (1), 50(1), 51(1) සහ 52(1)}. 

ජනාධිපතිවරයාට අයිති ඉතාම බලගතු හිමිකමක්:

එය ජනාධිපතිවරයාට අයිති ඉතාම බලගතු හිමිකමක්. අඩුම තරමින් අගමැතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය විමසීමට වත් නොබැඳී ත්‍රිවිධ හමුදාපතිවරුන් පත්  කිරීමට ජනාධිපතිවරයාට හිමි බලයත් එවැන්නක් {අංක61(1)} 

මේ තනතුරට කොතරම් නුදුස්සෙකු වූවත් පත්කරන්නට ජනාධිපතිවරයාට හැකි  නිසා ඊළඟ ජනාධිපතිවරණය වැදගැම්මකට නැති එකක් ලෙස සමාජයට ඒත්තු ගැන්නුවොත් සහ එවැනි පසුබිමකදී ජනාධිපතිවරයා ලෙස පත්වන අය එම බලතල වඳුරාගේ දැලි පිහිය මෙන් පාවිච්චා කළොත් එය විශාල විනාශයකට ඉඩ හැරීමක් වෙනවා.

ඊටත් වඩා ජනතාවට දැනෙන ජනාධිපතිවරයාට ඇති බලය නම් අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට ඇති සුවිශේෂ හිමිකමයි. අමාත්‍ය මණ්ඩලයේ  සාමාජිකයෙකු හා ප්‍රධානියා වන ජනාධිපතිවරයාට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස පත් කිරීමේ අභිමතය තියෙනවා. {අංක 42(1)}. 

අගමැති පත්කිරීමේ බලය !

එහිදී ඔහුගේ මතය හරිද වැරදිද යන්න අභියෝගයට ලක් කළ හැකි ව්‍යවස්ථාමය විධිවිධානයක් නැහැ. අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාවත්, අමාත්‍යංශ සංඛ්‍යාවත් ඒ ඒ අමාත්‍යාංශයන්ට පවරන්නේ මොනවාද යන්නත් තීරණය කරන්නේ ජනාධිපතිවරයායි. 

එසේ කිරීමේදී අවශ්‍ය නම් අගමැතිවරයා විමසීමට හැකි බව ව්‍යවස්ථාවේ දැක්වෙතත් එසේ විමසීමට බැඳීමක්වත් නැහැ. සමාජය ජනාධිපතිවරණය නොතකා හරිද්දී විදේශ පලපෑම්වල හා අවස්ථාවදීන්ගේ රූකඩයක් ජනාධිපතිවරයා ලෙස පත් වුණොත් ඇති විය හැකි විනාශය ඉතාම දරුණුයි.

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට දෙන ලද සුවිශේෂ බලතලත් , 1978 ව්‍යවස්ථාව ඇරඹුණු දින සිටම පැවතුණ් අගමැති, අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමේන්තුව පිළිබඳව තිබූ ඇතැම් බලතලත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය මගින් ඉවත් කෙරුණා. ඊළඟ ජනාධිපතිවරයාටත් දැනටත් අදාල එබඳු කරුණු ගැන පහත සඳහන් ඡේදවල දැක්වෙනවා.

අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ද, අනිකුත් අමාත්‍යවරුන් පත් කිරීමේදී තමන්‌ගේ කැමැත්ත පරිදි තීරණ ගන්නට 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර අතුව ජනාධිපතිවරයාට තුබූ ඉතා බලගතු බලතලය අගමැතිවරයාගේ උපදෙස් අනුව කළ යුතු ලෙසට සංශෝධනය වීම ඉන් එකක්.

කැබිනට්ටුවට අදාල බලය පෙරදී මෙන්ම දැනුත්

අග්‍රාමාත්‍යවරයා විමසන්නේ නැතුව, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය හා කාර්ය වෙනස් කිරීමට සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ඕනෑම විටෙක වෙනස් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය පෙරදී මෙන්ම දැනුත් තියෙනවා. මෙය අමාත්‍යවරුන්‌ගේ කාර්ය සාධනයට බාධාකාරී ලෙස යෙදවිය හැකි ජනාධිපතිවරයාට අයිති අත්තනෝමතික බලයක් වශයෙන් පේනවා. 

එනමුත් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් නැතුව, අමාත්‍යධූර දරන්නන්ගේ අමාත්‍යධූර අහිමි කිරීමට හෝ අමාත්‍යධූරයක් නොදරන කිසිවෙකුට නව අමාත්‍යධූරයක් පිරිනැමීමට ජනාධිපතිවරයාට පෙර තිබූ අභිමතානුසාරී බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර අග්‍රාමාත්‍යවරයා‌ගේ උපදෙස් අනුව කළ යුතු බව නියමකර තිබීමෙන් ජනාධිපතිවරයා ප්‍රමාණවත් පාලනයකට යටත් කර තියෙනවා.

තම අත්සන  යටතේ යවන ලිපියක් මගින් අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු හෝ වෙනත් අමාත්‍යවරයෙකු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලයද 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී සම්පූර්ණයෙන් ඉවත් කර තියෙනවා. එනිසා තම අභිමතය අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමටද,  ඔහුගේ උපදෙස් නැතුව කිසිම ඇමතිවරයෙකු ඉවත් කිරීමටද අදත් හෙටත් ජනාධිපතිවරයාට බලයක් ඇත්‌තේ නැහැ. 

මේ අයුරින්ම අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමටත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයාට පෙර තිබූ බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධයේදී බරපතල අයුරින් හීන කර තියෙනවා. ඒ අනුව අතිවිශාල හානියක් කිරීමට යොදාගත හැකිව තිබූ අන්තරාදායක ජනාධිපති බලතල යම් තරමකට කප්පාදු වී තිබීම යම් සහනයක් වුනත්, ඉතිරි වී ඇති බලතල විශාල විනාශයක් කරන්නට හොඳටෝම ප්‍රමාණවත්.

ජනාධිපතිට බලයක් නැති බවට ප්‍රචාරය වන පණිවිඩයට මූලිකම හේතුව :

ඉහත කියූ කරුණු සියල්ල වර්තමාන ජනාධිපතිවරයාට මෙන්ම ඊළඟ ජනාධිපතිවරයාටත් එක ලෙස අදාල වෙනවා. අද ඇති බලතල ඊළඟ ජනාධිපතිවරයාට නැති බවට ප්‍රචාරය වන පණිවිඩයට මූලිකම හේතුව කරගෙන ඇත්තේ ''19 වන ව්‍යවස්ථා සංශෝධනායේ අනෙකුත් අනුෂාංගික සංශෝධන - 51,''යටතේ දැක්වෙන පහත සඳහන් විධිවිධානය බව පේනවා.

''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැනිව කුමක් සිදු වුවද මේ පනත ආරම්භ වන දිනයේදී ජනාධිපතිවරයා ලෙස ධූර දරන තැනැත්තා එසේ ජනාධිපති ධූරය දරන තාක්කල් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවාගේ කර්තව්‍ය තමන්ගේ භාරය වෙත පවරා ගැනීමද, එකී කාර්යය සඳහා ඔහු වෙත පවරා ගත යුතු අමාත්‍යංශ තීරණය කරනු ලැබීමද කළ හැකි අතර ඒ අනුව එකී විෂය හෝ කර්තව්‍ය පවරනු ලැබ ඇති අමාත්‍යවරයාට යම් ලිඛිත නීතිගත කරනු ලබන යම් සඳහනක්, ජනාධිපතිවරයාට කරනු ලබන යම් සඳහනක් ලෙස කියවා තේරුම්ගනු ලැබීය යුත්තේය.'' 

මේ අනුව මෙම හිමිකම් වර්තමාන ජනාධිපතිවරයාට පෞද්ගලික වන සේ අනුමත කර තිබෙන බවත්, ''මේ පනත ආරම්භවන දිනයේදී ජනාධිපතිවරයා ලෙස ධූර දරන තැන්ත්තා එසේ ජනාධිපති ධූරය දරන තාක්කල්,'' යන්නට යටත්ව ඉදිරි ජනාධිපතිවරුන්ට හිමිකමක් නොමැති බවත් පැහැදිළි වෙනවා.

ඉහත විධිවිධානයට අමතරව පහත දැක්වෙන විධිවිධානද එම පණිවිඩයට සම්බන්ධ කර ඇති බවක් පේනවා. 

වර්තමාන ව්‍යවස්ථාවේ අංක 43(1)  දැක්වෙන අග්‍රාමාත්‍යවරයා‌ගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ අදහස්ද විමසා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාවද, අමාත්‍යංශ සංඛ්‍යාවද, ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්යයද නිශ්චය කළ යුත්තේය.

(2) ජනාධිපතිවරයා විසින් එසේ විනිශ්චය කරනු ලබන අමාත්‍යංශ භාරව කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා‌ගේ උපදෙස් මත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කළ යුත්තේය.'' යන විධිවිධානය නිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ට මිස ඉදිරි ජනාධිපතිවරයෙකුට අමාත්‍යංශ භාරව කටයුතු කිරීමට නොහැකි බවට තර්කයක් ගොඩ නැගී තියෙනවා. 

ජනාධිපතිට අමාත්‍යංශ භාරව කටයුතු කිරීමට නොහැකි බව:

 කෙසේ වුවද පාර්ලිමේන්තුවවේ මන්ත්‍රීවරයන්ට මිස ජනාධිපතිවරයෙකුට අමාත්‍යංශ භාරව කටයුතු කිරීමට නොහැකි බව එපමණකින්ම තීරණය කිරීම අපහසු වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පළමුවෙන්ද ඊට සමාන විධිවිධානයක් පැවතුණු නිසයි.

19 වන ව්‍යවසථාව සංශෝධනයට පෙර 1978 වසරේ සිටම ඒ සම්බන්ධිතව පැවති ව්‍යවස්ථාපිත විධිවිධානය මෙහෙමයි. 

''44(1) - අග්‍රාමාත්‍යවරයා‌ගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ අදහස්ද විමසා ජනාධිපතිවරයා විසින් කලින් කල - (අ) අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්‌ගේ සංඛ්‍යාවද,අමාත්‍යාංශ සංඛ්‍යාවද, ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්යද නිශ්චය කළ යුත්තේය; තවද, (ආ) එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරීම සඳහා පාර්ලිමෙන්තුවේ මන්ත්‍රිවරයන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කළ යුත්තේය." 

එනිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ට මිස ජනාධිපතිවරයෙකුට අමාත්‍යාංශ භාරව කටයුතු කිරීමට නොහැකි බවක් අතීත ක්‍රියාකාරිත්වයය අනුය සනාථ වන්නේ නැහැ.

කෙසේ වුවද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා විසින් යම් විෂයක් හෝ කාර්යයක් තමාම වෙත පවරා ගැනීම කළ හැකිව තිබුනත්,  19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී එය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබීම නිසා ඉදිරි ජනාධිපතිවරයෙකුට අමාත්‍යාංශ තමා වෙත පවරා ගැනීම කළ නොහැකි බව පේනවා.

එය ඉදිරි ජනාධිපතිවරයෙකුට අමාත්‍යාංශ භාරව කටයුතු කිරීමට නොහැකිය යන තර්කයටද හේතුවක් කරගෙන ඇති බවක් දැකිය හැකිවෙනවා.

ඊළඟ ජනාධිපතිවරයා අදට වඩා දුර්වල වුවත්...

Text 56

ඉහත දැක්වු ව්‍යවස්ථානුකුල විධිවිධාන අනුව පෙනෙන්නේ ඊළඟ ජනාධිපතිවරයා අදට වඩා දුර්වල වුවත් එය අතිශයෙන් වීමක් නොවන බවයි.ඉදිරියේදී පැවැත්වීමට බලාපොරොත්තු වන ජනාධිපතිවරණය, ඡන්දයක් දැමීමට තරම්වත් වැදගැමිමක් නැති එකකැයි පණිවිඩයක් සමාජගත කිරීම විශාල සැකයකට තුඩු දෙන්නේ එය තනිකරම අසත්‍ය ප්‍රචාරයක් වන නිසායි. 

මෙම ව්‍යවස්ථා විධිවිධානය ගැන පළමුවෙන් සමාජය දැනුවත් කළ නීති විශාරදයන් යහපත් අරමුණෙන් එය සමාජගත කළත්,එය භාවිතාකර ජනාධිපතිවරණයේදී ඡන්දදායකයා ඡන්දපලෙන් ඈත්කර තැබීමෙන් විශාල වාසියක් ලබා ගැනීමට හැකි බව තේරුම්ගත් යටිඅරමුණු සහිත අවස්ථාවිදීන් මේ ප්‍රචාරය පිටුපස ඉන්න බවක් පේනවා.

මේ ජනතාව නොමග යැවීම වඩාත් තීරණාත්මක වන්නේ එක අතකින් ඉදිරි මැතිවරණවල දිශානතිය තීරණයට ඊළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න අදාල කරගැනීමට විශාල ඉඩකඩක් තිබෙන නිසායි.

අනිත් අතින් ආඥාදායකයෙකු වීමට යමෙකුට අවශ්‍යතාවක් ඇතිවුවහොත් ජනාධිපතිවරයා සතු විනාශකාරී බලතල තම අරමුණු සඳහා ආයුධ ලෙසට යොදා ගැනීමට විශාල ඉඩකඩක් ඉන් ලැබෙන නිසායි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසි ලෙසකින්වත් නොතිබු බලතලද යොදාගෙන පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරයා සහ අනුගාමිකයන් කළ ක්‍රියා තුළින් තේරුම්ගත යුතු වන්නේ ඉදිරි ජනාධිපතිවරණය ලිහිල්ව සැලකීමට ජනතාව පෙළඹවීම ඉතාමත් සැකකටයුතු බවයි. 

ආපසු නිවැරදි කළ නොහැකි විනාශයක් !

ඊළඟ ජනාධිපතිවරයා කිසිම බලතලයක් නැති ඉතාමත් දුර්වල හිස් තනතුරක් ලෙස සලකා ඡන්දදායකයා ඡන්දපලට නොගියොත් ආපසු නිවැරදි කළ නොහැකි විනාශයක් සිදුවීමට ඉඩ තිබෙනවා.

මේ අනුව අප තේරුම්ගත යුත්තේ ඊළඟ ජනාධිපතිවරයාට කළ ‌හැක්කක් නැතැයි සිතා ඡන්දපලට නොගියොත් ආපසු එය ප්‍රජාතන්ත්‍රවාදී මිනීපෙට්යියට ඇණ ගැසීමක් විය හැකි බවයි. යටි අරමුණු සහිතව ඔබ නොමග යවන අවස්ථාවාදීන් ඔබ ඡන්දපළට නොයාම සිකුරටම ඔවුන්ගේ ජයග්‍රහනයක් බවට පෙරලා ගන්නවා ඇති.

ව්‍යවස්ථානුකූල තත්වය කුමක් වුවත් ඊළඟ ජනාධිපතිවරයාට දුර්වලද නැතහොත් කෙතරම් ශක්තිමත්ද යන්න සැබෑ ලෙසම තීරණය වන්නේ ඔහුට පාර්ලිමෙන්තුවේත්, අමාත්‍ය මණ්ඩලයේත් ලැබිය හැකි සහයෝගයේ මට්ටම අනුව බව නම් පේනවා.

එසේත් නැත්නම් පාර්ලිමේන්තුවත්, අමාත්‍ය මණ්ඩලයත් තමාගේ පාලනයට නතු කර ගන්නට ඔහුට ඇති දේශපාලනික හෝ වෙනත් ශක්තියක් අනුව බව පේනවා. ඔහුට පාර්ලිමේන්තුවේ සහාය අතිමහත් ලෙස ලැබේ නම් ඔහුට අනිවාර්යයෙන්ම ආඥාදායකයෙකු වීමට, නැත්නම් හිට්ලර් කෙනෙකු වීමට කිසිම ගැටලුවක් ඇති නොවේවි.

එයට හේතුව සන්නද්ධ සේනා වල සේනාධිනායකයා හා ඔවුනගේ පත්වීම් බලධරයා වීම ඇතුළු බලතල රාශියක් ඊළඟ ජනාධිපතිවරයාටද තිබෙන අතර එම බලතල වැරදියට පාවිච්චි කිරීමක් ඇරඹුනොත් එහි අවසානය කුමක්ද කියා සිතිමටවත් අපහසු වන නිසායි.

එලෙසම පාර්ලිමේන්තුවටද විනයකින් තොර අත්තනෝමතික පාලනයක් සඳහා ඊළඟ ජනාධිපතිවරයා අපූරු සම්බන්ධතාවයක් කර ගත්තොත් එම විනාශය තවත් දරුණු වෙන්නත් පුළුවවන්.

මේ අනුව අප තේරුම් ගතයුත‌තේ ඊළඟ ජනාධිපතාවරයා වශයෙන් කවුරුන් තෝරා පත්කර ගත්තත් එසේ පත්කර ගැනීම අතිවිශාල හානියක් කිරීමට හෝ නොකිරීමට ඔහුට දෙන බලපත්‍රයක් වන නිසා ඡන්දය දීමෙන් වැළකි නොසිට බුද්ධිමත්ව ඡන්දදායකයා අනිවාර්යයෙන් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවයි.

සරත් සී. මායාදුන්නේ 
විශ්‍රාමික විගණකාධිපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
(අනිද්දා පුවත්පතින් උපුටා ගන්න ලදී)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්