1200 x 80 DMirror

 
 

ශ්‍රී ලාංකීය රාජ්‍ය පාලනය විෂයෙහි භික්‍ෂුන් වහන්සේලාගේ දායකත්වය, ප්‍රබල මැදිහත් වීම් මත සිදුවුවකී.



මෙම භික්‍ෂු දායකත්වය විටෙක මෙරට ඉතිහාසය ප්‍රභාෂ්වර කළේය. තව කල්හි අඳුරු ආගාධයකට රට ඇද දමන්නට ද හේතු විය.

භික්‍ෂුන් වහන්සේලා සෘජුව රාජ්‍ය පාලනයට මැදිහත් වුයේ ආක්‍රමණික එළාර රජ පරාජය කිරීම සඳහා දුටුගැමුණු කුමරු ගෙන ගිය ව්‍යායාමය සමඟ එකතු වීමෙනි.

එයට මත්තෙන් භික්‍ෂුව රාජ්‍ය අනුශාසකත්වයෙහි වැජඹුණ සේක. දුටුගැමුණු සමයට පෙරාතුව භික්‍ෂුන් වහන්සේ රාජ්‍යයෙහි උත්තරීතර අනුශාසකයන් වු බව සැබෑ වෙති.

chanakya

නමුදු භික්‍ෂුන් වහන්සේලා සෘජු දේශපාලන වාහකයට එක් කළේ ගැමුණු රජුම දැයි විමසිය යුත්තකි. උන් වහන්සේලා රාජ්‍ය දේශපාලනයේ පැටලීම ආරම්භ වුයේ එළාර රජුගේ රාජ්‍ය පදවි ප්‍රාප්තිය (ක්‍රි:පු: 205-161) සමඟය. එළාරට මුහුණ දීම සඳහා වඩාත් තිව්ර වු සඝ පෙරමුණක් දුටුගැමුණු කුමරුට ඇවැසි විය. එතැන් පටන් රුක් ගොමුවක, ගං තෙරක, තුරු සෙවනක, ශෛල ගුහාවක බවුන් වැඩු තෙර පරපුරට ද වෙහෙර වැස පිළිවෙත් පිරූ පරපුරට ද පතපොත සුරචිත කරමින් වැඩ සිටි පරපුරට ද අමතරව දේශපාලන සඟ පරපුරක් ලක් ශාසන ඉතිහාසයට එක් වූහ.


මෙලෙස ලක් සඝ සසුන පිළිවෙතින් දහරා තුනකට අනුගත විය. එලෙසම මහවිහාර, අභයගිරි සහ ජේතවනාරාම ලෙස නිකයාත්‍රය ගොණු වූහ. පසුව මහවංශය, චූලවංශය වශයෙන් දේශපාලනිකව ද ගොමු වූයේය.

සිංහල භික්‍ෂුව දේශපාලනිකව සවිඤාණික වීම සිංහල ජාතියේ ස්වීයත්වය ආරක්‍ෂා කිරීම අරභයා අති ප්‍රබල දායකත්වය සැපයු  කරුණක් වුහ.

 

නමුදු යම් කාලපරිච්ඡේදයන්හි දී සිංහල භික්‍ෂුව රාජ්‍ය විචක්ෂණය පිළිබඳව අපරිනත භාවයෙන් සිදුකළ රාජ්‍ය මැදිහත් වීම ජාතිය අඳුරු මාවතකට ගමන් කරවීමට හේතු වූහ. එවන් අපරිනත රාජ්‍ය මැදිහත් වීමෙහි ආරම්භය අනුරාධපුර සමයෙහි සිදු වූව ද, එහි උග්‍ර අවස්ථාව ( ක්‍රි:ව: 1110) පොළොන්නරු යුගයේ පළමු විජයබාහු පුත්‍ර වික්‍රමබාහුට එරෙහි වීමෙන් සංකේතවත් කරති.

 

චෝල දේශපාලනය නිමා කොට නැවත දැය ප්‍රබෝධමත් කළ පළමු විජයබාහු රජ ස්ව පාලනය පනස් පස් වසරකින් නිමා කළේය. ඒ ක්‍රි:ව: 1110 දිය. එකල්හි රාජ්‍යයේ අනුප්‍රාප්තිකයා අරභයා මහත් වු විවාදයක් ඇති විය. මෙහිදි මහා සංඝයා විජයබාහු මහ රජුගේ පුත්‍ර වික්‍රමබාහු ට රාජ්‍ය පදවිය පැවරීමට එරෙහි වුහ. මහා සංඝයා මෙසේ වික්‍රමබාහු විරෝධී වුයේ කුමන හේතු මත දැයි අනුමානයක් නගා ගැනීමට පවා තොරතුරු විරලය.

 

දුටුගැමුණු පුතු සාලිය ට රාජ්‍යයත්වය අහිමි කිරීම සඳහා භික්‍ෂුන් වහන්සේලා මැදහත් වු බවට අනුමාන මත පවති. කෙසේ නමුදු එලෙසම විදේශ පාලනයක් නිම කළ විජයබාහුගේ පුත්‍රයාට රාජ්‍යයත්වය අහිමි කිරීමට මහා සඟුන් යත්ත දැරුවේ කුමන හේතු මතදැයි අපහැදිලිය.

 

මේ වනවිට විජයබාහු රජුගේ අනුග්‍රහය මත ශාසනික වශයෙන් ප්‍රබෝධමත් වු භික්‍ෂු පරපුරක් බිහිව පැවතුණි. එමෙන්ම එළාර සමයෙන් පසු ජාතික ප්‍රබෝධයක් ලැබු රාජ්‍ය පාක්ෂික භාවය මත ඉසුරුමත් වු ශාසන සම්ප්‍රදායට සියවස් දහයක් ගතව තිබුණි. එබවින් පළමු විජයබාහු රජුගේ මරණයත් සමඟ භික්‍ෂුන් වහන්සේලා ඔහුගේ පුතුට එරෙහි වීමේ හේතුව නිමිත්ත විමසිය යුතු තරමට වැදගත් වේ.

විජයබාහු පුත් වික්‍රමබාහුගේ දර්ශනය සොයා පාදා ගැනීම ද අතිශය ගැටළු සහගතය. මහා සඟුන්ගේ දැවැන්ත විරෝධතා පරාජය කර පසුව වික්‍රමබාහු සිහසුන උරුම කරගත්තේය.  21 වසරක් ලංකා රාජ්‍යය පාලනය කළේය. (ක්‍රී:ව: 1111 - 1132) එ නමුදු ඔහුගේ රාජ්‍ය දර්ශනය අරභයා දත්ත සොයා යාම අපහසුය. ඔහු තමන්ට එරෙහි වු මහා සංඝයාට රාජ්‍ය රැකවරණය අහිමි කළහ. විහාර, දේවාල සන්ත වූ දේපළ, නින්ද ගම්, ගොදුරු ගම් අහිමි කළේය.

 

ඔහු මේ සියල්ල සිදු කළේ බෞද්ධ විරෝධී ස්ථාවරයක පිහිටා නොවීම විශේෂයකි. එසේ සිදු කිරීම තරම් සසුන බහුභාණ්ඩික වී තිබුණි. එමෙන්ම අතිලෞකික සුඛාස්වාදින්ගෙන් පිරී පැවතිණි. 

 

ගිහියාට බදු දහම නමින් සළුපිලි පෙරව් අරුමෝසම්වාදී බුදු දහමක් මතු කරමින් තිබුණි. එම නිසා ඔහුට ඇවසිව තිබුණේ මහ සංඝයා සතු දේශපාලන අධිකාරී බලය පුපුරුවා දැමිමකිය. එහිලා ඔහුගේ ව්‍යායාමය මහත් වු සාධනීය වෙනසක් ලක් බුදු සසුනේ ඇති කිරීමට හේතු විය.

එනම්, ඉසුරුමත් රාජ්‍ය අනුග්‍රහය අහිමිව යාමත් සමඟ භික්‍ෂුන් වහන්සේලා සමඟ නාගරික දිවිය ක්‍රමයෙන් අත්හරින්නට වූහ. ඇතැම් හිමිවරු භාරතය ඇතුළු විදේශයන්ට යාත්‍රා කළහ. විහාර ආරාමයන් හි පැවැති ඉසුරු පිරි ධන සම්භාරය අහිමි වීමෙන් එසේ වූ  ප්‍රභූත්වය ද අහිමි විය.

එම තත්ත්වය අබියස තමන් වහන්සේලා වෙත යළි සමාජීය ගරුත්වය ලබා ගැනීමට උන්වහන්සේලා පිළිවෙත් පුරන්නට වුහ.

 

ශ්‍රී ලාංකික ඉතිහාස කතිකාවතෙ හි ජනප්‍රිය ඉතිහාසඥයන් මතු නොකොට ඇති සත්‍යයකී. මෙය එනම්, වික්‍රමබාහු රජුගේ ව්‍යායාමය ලක් සසුන හි ස්වීය පැවැත්මකට පරිවර්තනය කිරිමට පසුබිම සැකසීය. ඒ අනුව සංඝයා වහන්සේලා පිළිවෙතින් සරු වන්නට වූහ. එය මහා ප්‍රඥාවන්ත සංඝ පරපුරක් බිහිවීමේ ආරම්භය සටහන් කළේය.  ධර්ම විනය ග්‍රන්ථ හැදෑරීමට සහ ධර්ම නිශ්චය විනිශ්චය කිරිමට උන්වහන්සේලා පෙළඹුණහ.

 

මේ වන විට බලසම්පන්න මහ විහාරය මෙන්ම අභයගිරිය, ජේතවනාරාමය වැනි මුලායතන ද බිද වැටි තිබිණ. අගනගරය පොළොන්නරුවට සංකේන්‍ද්‍රනය වී තිබුණේය. ලක් භික්‍ෂු සසුන තුළ චෝළ ද්‍රවිඩ. මලයාම් භික්‍ෂුහු ද වැඩ සිටියහ. මේ සියලු සංකලනයන් සමඟ රාජ්‍යයෙහි ප්‍රභූ සත්කාර අහිමිවීම සසුන තුළ අනන්‍ය හා ස්වීය  සම්පන්න භික්‍ෂු සමාජයකට මාවත හෙළි කර දුන්නේය.  

වික්‍රමබාහුට එරෙහි වීමෙන් භික්‍ෂුන් වහන්සේලාට ප්‍රත්‍ය ලාභ අතින් විපාක විදිමට සිදු වුවත් එය පෙරළා ශාසන ප්‍රබෝධයකට අත්තිවාරම සකස් කර දුන්නේය.

කෙසේ නමුත් වික්‍රබාහු රජතුමාට එරෙහිව මහා සංඝයා ඇති කළ අපරිනත දේශපාලන ප්‍රතිරෝධය මහා විජයබාහු රජු සමඟි සම්පන්න ලංකා රාජ්‍යය යළි ඉරීතලායන්නට තරම් හේතු විය.

Anka 7

බෝහෝ ඉතිහාස නිගමනයන් අතහැර දැමුව ද පොළොන්නරු රාජධානිය ඇද වැටිමට මෙය ප්‍රබල හේතුවක් විය. පොළොන්නරු රාජධානිය ආරම්භ කළ සැනින් සිදු වු මේ ව්‍යාකුල භික්‍ෂු මැදිහත් වීම එහි ආනාගතය කෙටි කලකින් අවසන් කරන්න හේතු කාරක වුයේය. භික්‍ෂුන් වහන්සේලා රාජ්‍යය පාලනයට මැදිහත්වීම දැයේ ඒකමිතික පාලන අධිකාරීයට විපත් ගෙන දුන්න ද වික්‍රමබාහු රජුගේ ප්‍රතික්‍රියාව සසුනට නොසිතු මගක් තනා විවර කළේය.


සැබැවින්ම පොළොන්නරු රාජධානිය අනගිභවනීය කළ මහා පරාක්‍රමබාහු සමයේ සිදුවු ශාසන ශෝධනය සඳහා අවශ්‍ය මහා වියත් තෙර පරපුර බිහිවුයේ වික්‍රමබාහු සමයේ රාජ්‍ය සැලකිල්ල නොලද තත්ත්වය තුළය. රාජ්‍යය විසින් නොසලකා හැරි භික්‍ෂුන් වහන්සේලා මහාසංඝ නේතෘන් බවට පත්ව සිටියහ. ශිල වෘද්ධ, ඥාණ වෘද්ධ, පිළිවෙතින් පිරිපුන් මෙම සග පරපුර පරාක්‍රමබාහු යුගයට බිහිවුයේ වික්‍රමබාහු රජුගේ පාලන ප්‍රතිපත්ති නිසාය. අගනගරය අහිමිව ඝෝර උදුම්බරා පබ්බතයට ( දිඹුලාගලට ) වැඩ පිළිවෙතින් සරුවූ සඝ පරපුර ලක් සසුන ශෝභන කිරීමට තරම් එය අර්ථ පූර්ණ, ක්‍රියාවක් විය.


තමන්ට මුහුණපාන්නට සිදු වූ සංකීර්ණ ගැටළු පිළිබදව යම් කතිකාවතක මෙම කාලයේ උන්වහන්සේලා නිරතවන්නට ඇත්තාහ. ඒ අනුව සඟ සසුන ශෝධනය කිරීමට මඟ විවර වූයේය. අපරිනත රාජ්‍ය පාලන තීන්දුව අවසානයේ සිංහල භික්‍ෂු සමුහයා අරඹයා රාජ්‍ය පාලන තීන්දුවක් ගොඩනැංවීමට හේතු විය.

ඒ අනුව මහා විජයබාහු රජු සමඟි සම්පන්න කළ ලංකා රාජ්‍යය පාලන සමයෙන් පසුව සංඝාධිකරණ විනිශ්චය සභාවක් ඇති වී භික්‍ෂුත්වය ඇතුළු ශාසනික කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් පත් වූ භික්‍ෂු සමුහයක නියමයෙන් විනිශ්චය විය. ඉතිහාසයේ සරදම ද, මවිතය ද, නියමයක් දැයි නොදනිමි.

ගිහි පාලනය විනිශ්චය කිරීමට පිවිස රාජ්‍ය විරෝධයට පාත්‍ර වූ ලාංකිකයා භික්‍ෂුව, ඒ තුළින් පරිනතව ගිහි රජකු සමඟ එක්ව තම වරද නිවැරදි කර ගත්තේය. ඒ මහා පරාක්‍රමබාහු රජ දවසය. පොළොන්නරු කතිකාවතින් තහවුරු කළ සංඝ සාමාග්‍රීය සඳහා පසුබිම සැකසුනේ මේපරිද්දෙනි. සංඝාධිකරණයට එහි විශේෂ ස්ථානයක් හිමි විය. එත් අතීතකාමය පුදසුන් කර ගත් ජාතිමාමකයන් වහන්සේලා බිය වන්නේම සංඝාධිකරණයටය.

 

ගිහියන්ට නිතිත් සදාචාරයත් විනයත් උපරිමට ලබා දීමට මතවාදී පෙරමුණ ගන්නා සඟුන් තම පැවත්ම නිතීය සදාචාරය විනය විමසන බුද්ධ නියමයට එරෙහිව අවි අමෝරා ගනිති. දේශපාලකයන් ඒ දුසසීල පැවිදන්ට බියෙන් පනත් හකුලා ගනිති. විටෙක පැවිදන් පාලනයට බැස ඇත්තේ පැවිද්දන් සමඟ හවුල් අවනීතියට බට සාටෝප පාට බෞද්ධයන්ය. දේශපාලනයෙන් සඟුන් එළවා දැමීමට මත්තෙන් ශාසනය පැවිද්දන්ගෙන් පිරිපුන් කළ යුතුය. එසේ පිරිපුන් කිරීමට තුමුම අභියොගය භාර ගත් ගිහියන් පැවිද්දන් විය යුතුය.



 
Sujith 2021සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

කියවන්න - හදාරන්න : ලේඛකයාගේ වෙනත් ලිපි


නන්දි මිත්‍රගේ පුරුෂ ලිංඟය (වායාම 12) - සුජිත් අක්කරවත්ත

පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව
 
වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

 
 
 
 
 
 
 
 
 
 
 
 



THE  LEADER  TV

 



සෑර් ගිනස් පොතට ! | මොණරවිලගේ ලියමන

 



සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න !

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා